නැගෙනහිර පුරාවස්තු කළමනාකරණය වෙනුවෙන් කාර්ය සාධක බලකායක් පිහිටවූ රාජපක්ෂ දෙසොහොයුරන්  ප්‍රමුඛ ආණ්ඩුව යටතේ

අගමැති තරග වදින දිස්ත්‍රික්කයේම ඓතිහාසික සම්පත් විනාශවීම ගැන සිංහල බෞද්ධ සංවිධානයක් විරෝධය පල කොට තිබේ.

'හෙළ බොදු සවිය' සංවිධානය විසින් ජුලි 17 සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ, ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙමින් පසුගිය ජනාධිපතිවරණයේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර, ඊට හාත්පසින්ම විරුද්ධ සිදු කරන  දෑ  ජනතාව කිසිසේත්ම බලාපොරෙත්තු නොවන බවයි.

 ඓතිහාසික කුරුණෑගල නගරයේ පිහිටි දෙවැනි බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉදි කරන ලද අවුරුදු 700ක් පමණ පැරනි ගොඩනැගිල්ලක් කඩා බිඳ දමා ඇති බව පෙන්වා දෙන එම ලිපියෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ, වත්මන් අගමැතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කය තුලම එවැන්නක් සිදුවීම හරහා  ජනතාවට සැක මතුවීම  සාධාරණ බවයි.

kurunegala 1

"අද වන විට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අවස්ථාවක වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතුය. එසේම තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල සිදුවන මෙවන් වටිනා ඵෙතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට නොහැකි මැතිවරණ අපේක්ෂකයකු උතුරු ප්‍රදේශයේ මුහුදු මහා විහාරය, දෙවනගල හා කූරගල නටබුන් සංරක්ෂණය කරන්නේ කෙසේද යන්න සමස්ත මහජනතාවටම ඇත්තේ සාධාරණ සැකයකි," යි එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේද අනුදැනුම ඇතිව පාරක් පළල් කිරීම සඳහා මෙම කඩාබිඳ දැමීම කරන ලද බව ජනපති, අගමැති නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ පිළිගෙන තිබේ.

''මාර්ග සංවර්ධන අධිකාරියේද අනුදැනුම ඇතිව පාරක් පළල් කිරීම සඳහා මෙම කඩාබිඳ දැමීම කරන ලද බව ජනපති, අගමැති නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ පිළිගෙන තිබේ.''

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවු අතර  එම බලකාය සදහා එක් ආගමකට අයත් පුජකයන් පමණක් ඇතුලත් කිරීම නිසා  සිවිල් සමාජයෙන් මේ වන විට විරෝධතා ද එල්ල වෙමින් පවති.

 වර්තමානයේදී නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දිස්ත්‍රික්යේ සංරක්ෂණය කලයුතු ගොඩනැගිලි 10න් එකක් වන දෙවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සභා ගොඩනැගිල්ල නගර සංවර්ධනය මුවාවෙන් පසුගියදා කඩා ඉවත් කර ඇති බව එම ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස  හිමියන් සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත්  විමසා ඇත්තේ, පුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද යන්නයි.

sri lanka disappearance

 

අගෞරවයකි, අපහාසයකි

"ගරු ජනාධිපතිතුමනි, මෙම සිදුවීම පිටුපස සිට එයට බලපෑම් කරන දේශපාලන හස්තයන් ගැන සොයා ඊට කඩිනමින් මැදිහත්ව කටයුතු කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින අතර එම ස්ථානයේ ඓතිහාසිකත්වය සුරැකෙන ලෙස අනාගත පරපුර වෙනුවෙන් එම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල නැවත ඒ ආකාරයෙන්ම ඉදි කරන ලෙස ද ඉල්ලා සිටිමි. එසේ නොකිරිමයෙන් සිදු වන්නේ ඔබතුමා බලයට පත් කිරීමට කටයුතු කළ ජනතාවට කරන අගෞරවයකි, අපහාසයකි, අවඥාවට ලක්කිරීමකි."

 ඵෙතිහාසික වටිනාකමක් ඇති  කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවක් බව  බුදුගල ජිනවංස  හිමියන් සිය ලිපිය මගින්  වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතත්, මේ දක්වා පොලීසිය ක්‍රියාත්මක වී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසයි.

 

අගමැතිගෙන් විද්වත් කමිටුවක් :

මේ අතර පුරාවිදු කොමසාරිස් විසින් බුවනෙකබාහු රාජ සභාව ලෙස හඳුන්වනු ලබන අගමැති විසින් බුවනෙක හෝටලය ලෙස නම් කරන 13 සියවසට අයත් කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා දැමීම ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (ජුලි 17) පස්වරුවේ නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

සතියක් තුලදී වාර්තාව දීමට අගමැති නියෝග කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්