ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන
අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කරයි.
එම කමිටුවේ වාර්තාව ඊයේ (සැප්. 09) විෂයභාර අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් අනතුරුව ඊයේ දිනයේ ම පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදුකළේය.
පොලීසියට ලබා දුන් සාක්ෂිවලට අනුව මෙම ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ ඩෝසර් හිමිකරු පෝරුවතොටගේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දු නමැති අය ලෙසත්, ඉස්සන් කොටුව ශුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා වර්ණකුලසූරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය බවත් කමිටුව විසින් හඳුනාගෙන තිබේ.
ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත මෙම සුද්ධ කිරීම සිදුකර ඇති අතර ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපකදී ද, අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා මෙලෙස භාවිත කර තිබෙන බව ද මෙම වාර්තාවේ සඳහන්ය.
මෙම ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරාය.
සිද්ධිය පිළිබඳව කමිටුව ලබාගත් සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරීක්ෂණය කළ කරුණු ලෙස මෙම ඉඩම අනවසරයෙන් සහ අනීතික ලෙස ඉස්සන් ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට උත්සහ කර ඇති බව සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ වරදකරුවන්ට රුපියල් 15000 සිට ලක්ෂ 05ක් දක්වා දඩ මුදලකට හෝ වසර 02කට නොඅඩු සහ වසර 05කට නොවැඩි බන්ධනාගාරගත කිරීම යන දඬුවමකට යටත් වන වරදක් බව කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
ගත වූ මාසය තුළ 'වන' විනාශය දිනකට අක්කර 03 බැගින්
ගත වූ මාසයක කාලය තුළ දිනකට අක්කර 3 බැගින් මෙරට වන විනාශයන් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ, දේශපාලන බලය යොදා ගනිමින් මෙරට සිදු කෙරෙන වන විනාශයන් නතර කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මෙරට වනාන්තර පද්ධතිය දැඩි අවදානමකට ලක් විය හැකි බවයි.
ආනවිලූන්දාව, වනාතවිල්ලූව වැනි ප්‍රදේශවල මෑත කාලයේ සිදුවූ පරිසර හානි පිළිබද ඔහු වැඩිදුරටත් කියාසිටියේ එලූවන්කුලම වනාතවිල්ලූව ප්‍රදේශයේ අක්කර 100ක් පුලූස්සා එලිපෙහෙලි කිරීම හේතුවෙන් එහි තිබූ වටිනා ගස් විනාශ වී ඇති බවයි.
1992 ඍජු ඇමතුම් අංකයක්:
මේ අතර වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබා දීම සඳහා 1992 ඍජු ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් හා මඳු ඇටවීම් වැනි දෑ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.