බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ අයකුට අධිකරණය මගින් වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්  නියම කර තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි පිරිමි දරුවෙක් 2013 වසරේදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකින් පසු, කොළඹ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ  නඩුවක් ගොනුකර තිබේ.

මහාධිකරණය විසින් නඩු විභාගයෙන් පසුව 2020 වසරේ අගෝස්තු මාසයේ දී සැකකරු වරදකරු කොට තිබෙන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ.

එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා නිකුත් කර තිබෙන නිවේදනයක සදහන් වන්නේ එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතට අධිකරණය විසින් වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කළ අතර, ඊට අමතරව රුපියල් දස දහසක  දඩ මුදලක් ද නියම කළ බවයි.

එම දඩ මුදල නොගෙවන්නේ නම්, අමතර  මාස 8ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර  පිරිමි දරුවාට රුපියල් පනස් දහසක  වන්දි මුදලක් ගෙවීමට ද නියම කර තිබේ.

එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, තවත්  වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද අධිකරණය  නියම කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩි දුරටත් පවසයි.

කෙටි දුරකථන  ඇමතුම් අංකයක් :1929 

ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීම සදහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය 1929 කෙටි දුරකථන  ඇමතුම් අංකයක්ද හදුන්වා දී තිබේ.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පසුගියදා හෙළි කර තිබුනේ ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තා වන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්