සිංහල මව්වරුන් වඳ භාවයට පත් කළ බවට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම සිංහල බෞද්ධ දේශපාලන බලවේග විසින් චෝදනා කෙරුණු කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව හෙළිවී තිබේ.

 

සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර කාන්තාවන් වන්ධ්‍යකරණය, අයථා ලෙස මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගන්නා ලද දොස්තර සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි මේ මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත ය.

එහෙත් වෛද්‍යවරයාට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ නඩු පැවරීමට හෝ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ලැබි නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු JDS හා කියා සිටියේය.

ඔහු ප්‍රකාශ කරන පරිදි වෛද්‍ය සාෆිට එරෙහිව ජනමාධ්‍ය ඔස්සේ නගා ඇති සියළු චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා ය.

මේ හේතුව නිසා, සාක්ෂි රැස් කිරීම මෙන්ම නඩු පැවරීමද ඉතා අසිරු කරුණක් වී ඇති බව පවසන එම නිලධාරියා කියා සිටියේ වෛද්‍ය සාෆි විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ බවට කාන්තාවන් සිය ගණනක් පැමිණිලි කර ඇතැයි මාධ්‍ය මගින් කෙරෙන ප්‍රචාර “තනිකරම බොරුවක්” බව ය.

"මේක තනිකරම බොරුවක්. පැමිණිලි කරපු කාන්තාවෝ කියන්නේ ඩොක්ටර් සාෆි තමන්ව වඳභාවයට පත්කළා කියලා නෙමෙයි. මේ පුවත දැක්කම අවුරුදු ගාණක් දරුවෝ හදන්නේ නැතුව හිටිය සමහර කාන්තාවෝ දැන් කියනවා තමන්ට දරුවන් ලැබුණේ නැති එක පරික්ෂාකර ගන්න ඕනේ කියලා. ඒක නිකං සැකයක් විතරයි. අනෙක අපි මේ ගැන කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකගෙන් කරුණු විමසුවා. විද්‍යාත්මකව ගත්තාම මෙහෙම දෙයක් කරන්න බෑ කියලයි ඒ හැමෝම කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ විශේෂඥවරුන්ගේ මතයටවත්, අපේ පරික්ෂණ ප්‍රතිඵලවලටවත් ඉඩක් නැති කමයි."

ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ නගා ඇති චෝදනා කිසිවක් අධිකරණයක් හමුවේ ඔප්පු කළ නොහැකි ඒවා බවට අවධාරණය කරන වෛද්‍ය සාෆි ගේ නීතිඥවරයා, තමන් වෛද්‍ය සාෆිගේ නීතිඥවරයා වුවද මේ දක්වා තමන්ට, ඔහුට එරෙහිව ඇති චෝදනා කවරේදැයි නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයිද කියා සිටියි.

 

'හාරදාහෙන් එක නමක් කියන්න'

“පොලිසිය අවස්ථා කිහිපයකදිම එකකට, එකක් වෙනස් චෝදනා තමයි සඳහන් කෙරුවේ. ඒ චෝදනා අපි දැක්කෙත් මාධ්‍යයෙන්,” යැයි නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් JDS හා පැවසීය.

Hijaz“දිවයින පත්තරේ ලියලා තිබ්බේ දොස්තර සාෆි කාන්තාවෝ 4000 ක් වඳ භාවයට පත්කරලා තියනවා කියලයි. ඔවුන් දිගින්, දිගටම ලියුවා මේකට අදාල සාක්ෂි තියනවා, වඳ භාවයට පත්වුණු කාන්තාවෝ සිය ගණනක් පොලිසියට සාක්ෂි දිලා තියනවා කියලා. අපිට දැන ගන්න තියන විදිහට එහෙම කිසිම සාක්ෂියක් දිලා නෑ. 4000 ක් වඳභාවයට පත් කරලා තියනවනම්, අඩුම වශයෙන් එක නමක් හරි ලියන්න පුලවන් වෙන්න ඕනැනේ. මාධ්‍යයක එහෙම නම් ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් පොලිසියට පුලුවන් එම කාන්තාවන් කවුද, ඔවුන්ගේ පැමිණිලි මොන වගේද කියලා අධිකරණය හමුවට වාර්තා කරන්න. එහෙම නමක් කවුරුත් දන්නවද?" නීතිඥ හිස්බුල්ලා පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝග කරයි.

JDS විසින් කරන ලද සොයා බැලීම්වලදි දැන ගන්නට ලැබුණු පරිදි මැයි මස 25 දින, කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල් විසින් අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍ය සාෆි මේ දක්වා අධිකරණයක් හමුවට පමුණුවා නොමැත.

වෛද්‍ය සාෆිගේ බිරිඳ වන වෛද්‍ය මොහොමඩ් නසීර් ෆාතිමා ඉමාරා අප සමග කියා සිටියේ සිය සැමියා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවට ඔහු තමන් සමඟ කියා සිටි නමුත් එම රඳවා තබා ගැනීමට අදාළ කිසිදු ලේඛණයක් මේ දක්වා තමන්ට හෝ තම නීතිඥවරයාට හෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දී නැති බව ය.

 

නීති විරෝධී රඳවා තබා ගැනීමක් !

නමුත් වෛද්‍ය සාෆි රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටිම සහතික කරමින් ඒ සඳහා නිල කුවිතාන්සයක් ලබා නොදීම මෙන්ම, ඔහු රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමම නීති විරෝධී බව නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් කියා සිටියි.

"ඩොක්ටර් සාෆිට රැඳවුම් නියෝග ගහන්නේ කොහොමද? ඔහුව අත්අඩංගුවට ගන්නේ වත්කම් රැස් කිරීම සහ කාන්තාවන් වඳ භාවයට පත් කරන්න කටයුතු කෙරුවා කියන චෝදනා යටතේයි. ඒ චෝදනාවලට කොහොමද රැඳවුම් නියෝග අරගන්නේ? පසුව තමයි අයිඑස් චෝදනාව ඉදිරිපත් කරන්නේ. අනෙක තවමත් ඔහුව අධිකරණයක් හමුවට ඉදිරිපත් කරලා නෑ. මේක හරිම අසාධාරණ හා නීති විරෝධී දෙයක්".

නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ කුරුණෑගල පොලිසිය ඉතා සැලසුම් සහගතව වෛද්‍ය සාෆිට එරෙහිව ව්‍යාජ චෝදනා ගොනු කර ඇති බවකි.

Kithsiri Jayalathජේඩීඑස් වෙත අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව කුරුණැගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින්, කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පුෂ්පලාල් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන්නේ වෛද්‍ය සාෆි ISIS සංවිධානයට සහාය ලබා දෙන අයෙකු ලෙස බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ය.

ඒ අනුව පොලිස් පරීක්ෂක පුෂ්පලාල් ලිපි අංක 263/317 යටතේ 2019 මැයි මස 20 දාතමින් නඩු අංක බී.1398/19 යටතේ කුරුණැගල මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

 

DIG ගේ බුද්ධි වාර්තාව

එම වාර්තාවේ මෙසේ දැක් වේ:

"කුරුණැගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනු ලබන මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් ලංකාවේ ක්‍රියාත්මක වී ඇති අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වනු ලබන මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදි සංවිධානයට සහාය ලබා දෙන බවට කුරුණැගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙත බුද්ධි තොරතුරක් ලැබි ඇති අතර 2019.05.12 දින එතුමාගේ බැහැර අංක ඩීඅයිජී/කේයු/ආර්අයියූ/134/19 දරණ ලිපිය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර මෙම වෛද්‍යවරයා කිසියම් මුස්ලිම් අන්තවාදි කණ්ඩායමකට සම්බන්ධ බවට අනාවරණය වන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝග ලබා දී ඇත".

එම කරුණු දැක්වීමෙන් අනතුරු එම වාර්තාවෙහිම තැනක පොලිස් පරික්ෂක පුෂ්පලාල් මෙසේ කියයි:

'ඒ අනුව මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් මා විසින් නිලධාරින් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇත. එහිදී මෙම වෛද්‍යවරයා විසින් කාලයක් තිස්සේ සිංහල ජාතික කාන්තාවන් දරු ප්‍රසුතිය සඳහා රෝහලට ඇතුලත් කර සිසේරියන් සැත්කම් සිදුකරන අවස්ථාවන්හි දි එම කාන්තාවන්ට නැවත දරුවන් පිළිසිඳ ගැනීමක් සිදු නොවන අයුරින් උපක්‍රමශිලිව ශරිරයේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඉන්ද්‍රියන් හි ක්‍රියාකාරිත්වය අඩපන වන අයුරින් කටයුතු කර සිටින බවට බුද්ධි තොරතුරු ලැබි ඇති අතර මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටිමි."

වෛද්‍ය සාෆි විවිධාකාරයේ වත්කම් උපයාගෙන කුරුණැගල නගරයේ විශාල වශයෙන් වටිනා ඉඩම් මිලදි ගෙන එම ස්ථානවල ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බව‍ ද එම වාර්තාවේම තවදුරටත් කරුණු දක්වා තිබේ.

 

'දිවයින' බුද්ධි වාර්තාව:

නීතිඥ හිස්බුල්ලා පවසන්නේ පොලිස් පරික්ෂකවරයාගේ මෙම වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇත්තේ මැයි මස 22 බව ය. ඒ වන්ධ්‍යාකරණය පිළිබඳ චෝදනාවත් සමග ය. නමුත් එදිනම 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත් මගින් කියා සිටින්නේ මුස්ලිම් වෛද්‍යවරයකු සිංහල කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කොට ඇති බව ය.

එහෙත් පොලිසිය අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන වාර්තාවෙහි කිසිදු තැනක වඳභාවයට පත්කෙරුනු බව පැවසුන කාන්තාවන් පිළිබඳ නිශ්චිත තොරතුරක් හෝ සංඛ්‍යාවක් හෝ සඳහන් කොට නැත. එසේ තිබියදීත්, 'දිවයින' පුවත්පත 4000 ක් යනුවෙන් සඳහන් කිරීම මඟින්ම පෙන්නුම් කෙරෙන්නේ වෛද්‍ය සාෆිට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පෙරම පොලිසිය සැලසුම් සහගත ලෙස ව්‍යාජ චෝදනාවක් සමාජගත කිරීමට කටයුතු යොදා තිබීම ය.

එය තවදුරටත් තහවුරු වන්නේ මහාචාර්ය චන්න ජයසුමන නමැත්තකු විසින් වෛද්‍ය සාෆිට එරෙහිව සිය මුහුණු පොතේ දමන තර්ජනාත්මක සටහනත්, පෙරළා එයට පක්ෂව ලැබෙන අනෙකුත් සටහනුත් හේතුවෙනි.

'දිවයින' පුවත් පතේ වාර්තාවට පසුව මැයි මස 25 දින කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගනු ලැබේ. ඒ තමන්ට එරෙහිව ව්‍යාජ චෝදනාවක් නගා මුහුණු පොත හරහා මරණිය තර්ජන එල්ල කිරීම පිළිබඳව වෛද්‍ය සාෆි විසින් කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට යන අතරවාරයේ මග හරස් කරමිනි.

Banner

 

දරුවන්ට මරණ තර්ජන:

වෛද්‍ය සාෆිගේ බිරිඳ වන වෛද්‍ය ඉමාරා සඳහන් කරන්නේ පොලිසිය සිය සැමියා පොලිසියට රැගෙන ගොස් ඇත්තේ බලහත්කාරයෙන් බව ය. එයට පෙර ඔහු විසින් තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලිඛිත තොරතුරු කිහිපයක්ද රැගෙන පොලිසියට ගිය බවත්, අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම සාක්ෂිවලට සිදුවුයේ කුමක්දැයි තමන් නොදන්නා බවත් ඇය JDS හා පවසා සිටියාය.

"මගේ මහත්තයාව පොලිසියට රැගෙන ගියාට පස්සේ ඔහුව අධිකරණ වෛද්‍යවරයෙක් ළඟට ඉදිරිපත් කරලා තියෙන්නේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා ගේ දැනුම් දීම මතයි. ඔහු තමයි ජේඑම්ඕ කාර්යාලයට කතා කරලා සහායක වෛද්‍යවරයෙක් ළඟට මහත්තයාව යවලා තියෙන්නේ. එදා ජේඑම්ඕ කාර්යාලයේ හිටපු ඩොක්ටර්ස්ලා මේක දැනගෙන තියෙන්නේ පහුවදායි. අපිට ලොකු සැකයක් තියනවා ඒ ගැන.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව පොලිසිය තමයි යම් සැකකරුවෙක් ජේඑම්ඕ ලඟට ගෙනියන්න ඕනේ. රෝහල් අධ්‍යක්ෂට එහෙම කරන්න තියෙන අයිතිය මොකද්ද? ඔහුට එහෙම කරන්න අවසරයකුත් නෑ. ඒකෙන් පැහැදිලි වෙනවා මේ වැඩේ රෝහල් අධ්‍යක්ෂකයි, කුරුණෑගල ඩීඅයිජීයි, කුරුණෑගල අපරාධ අංශයේ ස්ථානභාර නිලධාරියායි හවුලේ කරපු දෙයක් කියලා," වෛද්‍ය ඉමාරා වැඩි දුරටත් චෝදනා කර සිටියා ය.

පොලිස් පරික්ෂණයක් මෙන්ම අධිකරණ ක්‍රියාවලියක්ද සිදුවෙමින් පවතින අතුරතුර එයට බලපෑම් ඇති වෙන අයුරින්, අමාත්‍යාංශ චක්‍ර ලේඛණයන්ද උල්ලංඝණය කරමින් රෝහල් අධ්‍යක්ෂකවරයාතව දුරටත් කටයුතු කරමින් සිටින බවද වෛද්‍ය ඉමාරා පෙන්වා දෙන්නීය.

"අපිට දැන ගන්න ලැබිලා තියනවා රෝහල් අධ්‍යක්ෂකවරයා කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවන්ට ලිපි යවමින් ඩොක්ටර් සාෆිට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා බලපෑම් කරනවා කියලා. සාමාන්‍යයෙන් යම් රෝගියෙකුගේ විස්තර පත්‍රිකාවක් රෝහල් බාරයේ තියාගන්නේ අවුරුදු පහයි. ලිපි යවලා තියන කාන්තාවන් කොයි කාලේද දරුවන් ප්‍රසුත කෙරුවේ? අනෙක මෙහෙම තොරතුරු අරන් ලිපි යවන එක නීති විරෝධි නැද්ද? ඇයි පොලිසිය මේ ගැන විමර්ශනය කරන් නැත්තේ?"

පොලිස් පරික්ෂණ අවසන් වන්නටත් පෙර කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සිය සැමියාට එරෙහිව චෝදනා නගාන්නේ කෙසේද යන වග ද වෛද්‍ය ඉමාරා ප්‍රශ්න කරන්නීය .රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය සැමියා සම්බන්ධයෙන් දක්වන අදහස් හෙලා දකිමින් කතා කරන ඇය, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ විශේෂ විමර්ශන කණ්ඩායමට එම සංගමය සහාය නොදීමට තීරණය කිර තිබීම පිළිබඳවත් සැක පහල කර සිටියා ය.

"අපේ පඩියෙන් රුපියල් 6,000ක් විතර වාර්ෂිකව ජීඑම්ඕ එක කපා ගන්නවා සාමාජික ගාස්තු විදිහට. මගේයි ,මහත්තයාගෙයි වැටුපෙන් 12,000ක්. මගේ මහත්තයා නීතිය ඉදිරියේ තවමත් වැරදි කරුවෙක් වෙලා නැහැ. ඒත් ජීඑම්ඕ එකේ ප්‍රධානීන් මාධ්‍ය සාකච්ඡා පවත්වලා කියන්නේ මොනවද? ඒ අය මගේ මහත්තයාව දැනටත් අපරාධකාරයෙක් කරලා ඉවරයි. වෛද්‍යවරුන් විදියට ඔවුන් පැහැදිලිවම දන්නවා මේ වගේ සර්ජරි කරන්න බැහැ කියලා. ඒ දැන, දැනත් ඇයි මේ විදියට බොරු කරන්නේ?"

වයස අවුරුදු දහයත් පහළොවත් අතර වයසේ පසුවන තම දරු තිදෙනා මරා දැමිය යුතු යැයි ඇතැමුන් පවසා ඇති බැවින් ඔවුන් සඟවා තැබිමට තමන්ට සිදුව ඇති බව වෛද්‍ය ෆාතිමා ඉමාරා JDS හා කියා සිටියාය. සිය දරුවන් අධ්‍යාපනය ලබන පාසල්වල සෙසු දරුවන් සහ දෙමාපියන් ද තම දරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමට සැළසුම් කර ඇති බැවින් ඔවුන්ව පාසල් යැවිමෙන් වැලකි සිටින බවද ඈ කියා සිටියි.

 

භික්ෂු බලපෑම්:

කෙසේ නමුත් එළැඹෙන 27 දින වෛද්‍ය සාෆි සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණැගල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. JDS වෙත දැනගන්නට ලැබී ඇති පරිදි දැනට එම වාර්තාවේ වෛද්‍ය සාෆිට එරෙහිව කිසිදු චෝදනාවක් හෝ වඳ සැත්කම් සිදුකිරීමක් පිළිබඳ වැඩිදුර විමර්ශනයකට අවශ්‍ය සාක්ෂි සටහන් හෝ ඉදිරිපත් කෙරෙන්නේ නැත.

 Arathanahimiනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් සැක මතු කරන්නේ ඇතැම් විට ඉදිරි දින කිහිපයේදි මෙම තත්ත්වය වෙනස් විය හැකි බව ය. මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ ඇතැම් මන්ත්‍රිවරුන් ද, වෛද්‍ය සේවයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති නායකයන් ද සිඅයිඩියට දැඩි ලෙස බලපෑම් එල්ල කිරමින් සිටින බවත් ඔවුහු පවසති.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජාතික දේශපාලනඥයන්ට එරෙහිව ප්‍රසිද්ධියේම විරෝධතා පැවැත්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන භික්ෂුවක් දේශපාලන බලාධිකාරිය හරහා සීඅයිඩිය අමතමින්, වඳ සැත්කම් කළ බව පිළිගන්නා පාපොච්චාරණයක් හොඳින් හෝ නරකින් වෛද්‍ය සාෆිගෙන් ලබා ගත යුතු යැයි බලපෑම් කර ඇතැයිද දැන ගන්නට ඇත.

මේ අතර පසුගිය දිනෙක යාපනය ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන භික්ෂුව හෙළි කළේ වෛද්‍ය සාෆි අත් අඩංගුවට ලැබුවේ තමන්ගේ මාධ්‍ය මෙහෙයුමකින් බව ය. නිල පොලිස් පරීක්ෂණවලට ප්‍රමාණවත් සාක්ෂි නැතත් ඔහුගේ ප්‍රකාශනය අනුව ඇති පැමිණිලි සංඛ්‍යාව දහසකට ආසන්න ය.

"වෛද්‍ය සාෆි සැත්කම් 8000ක් කරලා තියනවා. මම කිවුවා මෙහෙම සිදුවීමක් වෙලා තියනවා, මේක ජාතික සංහාරයක්, ඒ නිසා මේකට විරුද්ධව අපි විමර්ශන කරනවා කියලා. පස්සේ අපි මේ මනුස්සයාව අත්අඩංගුවට ගත්තා. මෙයා රෝහලේ ඉන්නකම් මේක කරන්න බෑ. එයාට ගොඩක් සල්ලි තියනවා. ඒ නිසා එයාව එයාව අත්අඩංගුවට ගැනීම අවශ්‍ය වුණා. දැන් මොකද වෙන්නේ? මම මාධ්‍යයට ප්‍රකාශයක් කරලා දවස් හත අටක් යනකොට 900කට අධික අම්මලා ඇවිත් පැමිණිලි කෙරුවා"යි ඔහු කියා සිටියේය.

කෙසේ වුවද, වෛද්‍ය සාෆිට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන්නට ඇතැම් පිරිස් සැලසුම් කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගිය දිනෙක සාක්ෂි ලබා දී ඇති කුරුණෑගල මහ රෝහලේ ශල්‍යාගාර හෙදියන් 69 දෙනකුම පවසා ඇත්තේ වෛද්‍ය සාෆි එවැනි සැත්කම් සිදු නොකළ බව ය.☐

(කිත්සිරි විජේසිංහ විසිනි - jdslanka.org/s)

 

සබැඳි පුවත් :

'වඳ කතා නාඩගම' : විශේෂඥ කමිටුව ඇණහිටී !

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

කුරුණෑගල හෙදියගේ ගර්භාෂය ඉවත් කලේ කව්ද ? ලොකු පටලැවිල්ලක් !

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක් !

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

'වඳ කතා නාඩගම' : රටම ගිණි තැබුවේ කුරුණෑගල පොහොට්ටු DIG ! h

කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි සියල්ල සැකය මතයි - CID කියයි

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

වඳ සැත්කම් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා අත්අඩංගුවට !

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්