"සිදුහත් කුමාරයාගේ චරිතය මාර්ටින් වික්‍රමසිංහයන් 'බව තරණය' ලෙස එළිදක්වනවා.

ඒ වගේ ම නීති ශිෂ්‍යයෙක් ලියපු තවත් පොතක සිදුහත් කුමාරයා 'දඩබ්බරයා' ලෙස හඳුන්වා තිබෙනවා... මේ සෑම පොතක ම ආශ්චර්යවත් සිදුහත් කුමාරයෙක් ගැන වෙනුවට බොහොම සාමාන්‍ය කුමාරයෙක් ගැන කියවෙන්නේ."

"සමහරුන්ට මේ දෙයින් සිත් රිදීමක් ඇති වෙන්න පුළුවන්. නමුත්, ඊට එහා ගිය වෛරයක් නැත්නම් භීෂණයක් ආගම ගැන ඇති වෙන්න අවශ්‍යයි 'ICCPR' පනත ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගැනීම් සිදු කරන්න."

"මිනිස් අයිතිවාසිකම් ගැන අපි සාපේක්ෂව බලන්න ඕනේ. ඕනෑ ම පුද්ගලයෙකුට තිබෙනවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය," ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.

 

මොකක්ද මේ 'ICCPR' පනත?

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR), සිවිල් යුද සමයේ මෙන් ම පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයට ලක් වූ පනතකි.

මෙම පනතේ පූර්විකාවේ සඳහන් වන්නේ, "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ව්‍යවස්ථාමය පියවර මගින් පිළිගැනීමක් ලබා දී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි," යනුවෙනි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් කර තිබේ.

war 

තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධමය වාතාවරණය තුළ ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා වූ බවට එල්ල වූ චෝදනා හමුවේ, යුද්ධ ගැටුම්වලින් අනතුරුව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා නීති සම්පාදනය කරමින් පිළිගත් ජාත්‍යන්තර සම්මුති හා සමගාමීව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය.

2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු නොවුණු ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීම එමගින් අපේක්ෂා කෙරේ.

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ, 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද පාර්ශවයක් ලෙස එක් විණි.

1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන් ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනීක් ලබා දීම සිදු විය.

මින් පෙර, ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා නොදුන් ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට සරිලන නීති සම්පාදනය කිරීම සඳහා රජයට මතු වූ අවශ්‍යතාව ICCPR පනතේ ආරම්භය ලෙස දැක්විය හැකිය.

ජාත්‍යන්තර සම්මුති අනුව පිළිගැනුණු ඇතැම් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබා දීම මෙන් ම එකී අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම පනතෙන් සිදු විය.

 

මෙම පනතෙන් ජනතාව පීඩනයට පත් කළ හැකි ද?

පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඔහු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවේ.

Shakthika Fathima 

ඒ අතර, ෆාතිමා නුශ්රා සාරූක් ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ අඩංගු වගන්තිවලින් බලාත්මක වන නීතිය අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විණි.

මේ හේතුවෙන් බොහෝ පිරිසක් අදාළ පනත 'ජනතාව මර්දනය' කිරීම සඳහා ක්‍රියාත්මක වන්නක් ලෙස හඳුන්වා තිබිණි. එමෙන් ම, අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද මෙම පනතෙන් ලැබෙන බවට සමහරු මත පළ කර තිබිණි.

පනතේ 3 (1) වගන්තියේ අන්තර්ගතය බොහෝ විට මෙම මතවාදවලට තුඩු දිණි. ඉහත සඳහන් අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබන්නේ ද මෙම වගන්තිය යටතේ සැපයෙන නීති අර්ථකථනය කිරීමෙන්ය.

Windya Gamlath post 

3 (1) වගන්තිය අනුව, "කිසි ම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය."

එමෙන් ම, 3 වැනි වගන්තියේ (4) වැනි උප වගන්තිය ප්‍රකාරව "මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසි ම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය," යනුවෙන් සඳහන් වී තිබේ.

ඒ අනුව, 3 (1) වගන්තියේ සඳහන් ආකාරයේ වරදක් සිදු කළ තැනැත්තෙකුට ඇප ලබා ගැනීමේ මුල් අවස්ථා අධිකරණය වන්නේ මහාධිකරණයයි. එහි අරුත වන්නේ මහාධිකරණයකට වඩා පහළ අධිකරණයකින් ඇප ලබා ගැනීමට නොහැකිය යන්නයි.

ඒ අනුව, 1997 අංක 30 දරන ඇප පනත මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක නොවේ.

 Prison

"මේ වගන්තියට පුළුල් සහ පටු අර්ථ විවරණ දෙකක් දෙන්න පුළුවන්. එසේ අර්ථ විවරණය කරන කොට පනතේ තිබෙන අනෙක් දේ සමග කියවා බැලීම අවශ්‍යයි," ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසීය.

"මෙහි පළමු වගන්තියේ තිබෙන්නේ 'යුද්ධය පැතිරවීම'. නමුත් ඉන් පසු සඳහන් වෙන එදිරිවාදිකම් සහ වෛරය ඇති කිරීම යන දේවල් ද අර යුද්ධයක් ඇති කිරීමේ මට්ටමට ළඟා වන තරමේ ක්‍රියාකාරකම් වෙන්න ඕනේ."

"උදාහරණයකට, මම කිව්වොත් මගේ බුදු දහම තමයි ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම ධර්මය කියලා, පනත අනුව ඒකත් වරදක් විදියට යම් කෙනෙක් සිතන්න පුළුවන්. නමුත් එය 'වෛරය පැතිරවීම' මට්ටමට ළඟා වෙන්නේ නැහැ," ඔහු පැවසුවේය.

පනත පුළුල් ලෙස විග්‍රහ කළ විට එහි අරමුණ අයිතීන් මර්දනය කිරීම නොව අයිතීන් වඩාත් තහවුරු කිරීම යැයි නීතිඥවරයා තවදුරටත් පැවසීය.

ෆාතිමා නුශ්රා සාරූක්ගේ ඇඳුමේ තිබූ රූපයක් නිසා අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දැක්වූ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසුවේ, "බෞද්ධයෙක් වශයෙනුත් මම මේ සිද්ධිය දැඩි කනගාටුවෙන් හෙළා දකිනවා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. මුලින් ම, මේ ඇඳුමේ තිබෙන්නේ ධර්ම චක්‍රයක් නෙමෙයි, පැහැදිලිව පෙනෙනවා ඒක නැවක සුක්කානම කියලා," යනුවෙනි.

obama 

"මම දැක්කා බෞද්ධ කොඩිය මහපු කමිස වෙළෙඳපොළෙහි විකුණන්න තිබෙනවා. කොඩිය වෙනුවට ධර්ම චක්‍රය දැම්මා නම් ඒකත් වැරද්දක් වෙන්න ඕනේ. නමුත්, කාන්තාව මුස්ලිම් වීම මත අත්අඩංගුවට අරගෙන රඳවා ගත්තා. මිනිස්සු ධර්ම චක්‍රය කමිසවල වගේ ම පළඳනාවක් විදියටත් භාවිත කරනවා. එහෙම බැලුවොත් ඒ සියලු දෙනා වගේ ම ඒවා විකුණන අයත් වැරදිකාරයෝ වෙන්න ඕනේ."

'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතට අදහස් දක්වමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පවසා ඇත්තේ පුද්ගල අයිතීන් සුරැකීම සඳහා හඳුන්වා දුන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සිවිල් නිදහස සීමා කිරීමට යොදාගෙන ඇති බවය.

ශක්තික අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස සීමා කිරීමක් වන අතර, ෆාතිමා නුශ්රා සාරූක්ගේ සිද්ධිය පනතේ කරුණු අනිසි ලෙස යෙදවීමක් ලෙස ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.

 

'ICCPR' ක්‍රියාත්මක වූ විශේෂ අවස්ථා මොනවා ද?

2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීමවලින් පසු මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාරගත වීම ද මෙම පනත සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් සිදු විය.

හදිසි නීති මෙන් ම මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් පිරිස වරින් වර ඇති වූ යුද්ධමය තත්ත්වයන් සහ කලහකාරී සිදු වීම් යටතේ අත්අඩංගුවට පත් වී තිබේ.

කෙසේ වෙතත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතින් විවිධ ආකාරයේ අයිතිවාසිකම් ආවරණය කර ඇති අතර, 4(1) වගන්තියෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ අයිතිවාසිකම් ගැන පවා සඳහන් කර තිබේ.

Nayomy 

නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් 2014 වර්ෂයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහ ජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් පසු ඇය මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර, ඉන් ලද නියෝගයක් අනුව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු ක‍ළේය.

නමුත්, මානව හිමිකම් කඩවීම යටතේ ඇය ගොනු කළ නඩුව අවසානයේදී එම බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඒ වන විට කිහිප වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ නයෝමි පැවසුවේ, සැදැහැවත් බෞද්ධයෙකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ "බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා," යනුවෙනි.

"කොහොම වුණත්, මෙවැනි වගන්තියක් යටතේ පුද්ගලයෙකුට නඩු පවරද්දී පොලිසිය ඉතා පරිස්සම් වෙන්න ඕනේ. මෙය අධිකරණයට වුණත් යම් සීමා පනවන පනතක්," යැයි ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසීය.

3(1) වගන්තිය යටතේ නඩු පැවරූ විට මහාධිකරණයෙන් ඇප ඉල්ලීමේදී 'විශේෂ කරුණු' ඉදිරිපත් කළ යුතුය. නමුත්, එම විශේෂ කරුණු මොනවා ද යන්න නීතිය තුළ අර්ථ නිරූපණය කර නොමැත.

මේ අනුව, නඩුවලදී විනිසුරුවරුන්ට අතිවිශේෂ කරුණු යන්න විග්‍රහ කිරීමට පුළුල් නිදහසක් හිමි වේ.

 

මූලික අයිතිවාසිකම් යටතේ නඩු

ශක්තික සත්කුමාර මෙන් ම ෆාතිමා නුශ්රා සාරූක් ද මේ වන විට සිය මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

1978 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ ද පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් ගැන දක්වා තිබේ:

"ශ්‍රී ලංකා වාසී ජනතාවගේ මතු පරම්පරාවල ද ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහි ලා සහ සුරක්ෂිත කිරීමෙහි ලා ඒ පරම්පරා විසින් දරන්නා වූ ප්‍රයත්නයේදී සහාය වීමට පැමිණෙන සකල ලෝක වාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ෂණීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා…"

police block 

එමෙන් ම, ව්‍යවස්ථාවේ 4(ඈ) මූලික අයිතිවාසිකම් පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ:

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ.

එමෙන් ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට තමන්ගේ කැමැත්ත අනුව ඕනෑ ම ආගමක් වැළඳ ගැනීමේ නිදහස ද, විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද හිමි වේ. හෘද සාක්ෂියේ නිදහස තුළින් පුද්ගලයෙකුට තමන්ට රිසි දෙයක් සිතීමේ සහ ඕනෑ ම ආගමක් හෝ සදාචාරාත්මක කාරණාවක් ගැන තමන් කැමති මතයක් දැරීමේ අයිතිය හිමි වේ.

කෙසේ නමුත්, මේ සියලු අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ අන් අයගේ පෞද්ගලිකත්වයට හානි නොකර, ආත්ම ගරුත්වයට හානි නොකර, ඔවුන්ගේ අයිතිවාසිකම් ද සුරැකෙන ආකාරයෙනි.

පුද්ගල අයිතිවාසිකම් සීමාව ඉක්මවා භාවිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවිධ පනත් සහ නීතිවලින් නොයෙකුත් සීමා පනවා තිබේ.

 (දැහැමි රණවීර බීබීසී සිංහල)

 

අස්ගිරි නාහිමිගේ වෛරී ප්‍රකාශය ගැන පොලිසිය ගොලුවෙලා !

පසුගිය ජූනි 15 වන දා දොඩම්වල දියකෙළිනාවළ කිත්සිරිමෙවන් රජ මහ විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් අස්ගිරියේ මහ නාහිමියන් ICCPR' පනත යටතේ අත්අඩංගුවට ගත හැකි බරපතල වෛරී ප්‍රකාශයක් කර ඇතත් පොලිසිය හා නිතිය පිලිබඳ බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමන කරමිනි සිටිති.

ඒ සම්බන්ධයෙන් විදර්ශන කන්නන්ගරගේ සිය FB පිටුවේ පොස්ටුවක තබා ඇත්තේ මෙසේය.

''අස්ගිරි නා හිමියන්ව අත් අඩංගුවට ගැනීමට ලංකාවේ පොදු නීතිය අසමත්‍ ය.නීතියට යටත් නැති අසහාය බලයක් ඔවුන් භුක්ති විදී.''

Kannangara post 

Kannangara post 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්