අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට හදිසි මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට ලක් විය.

සිකුරාදා (ජුනි 28) ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ කරුණු සහ අදාළ ස්ථාන මාරුව සම්බන්ධ විමසුමක් පහත දැක්වේ.

 

ස්ථාන මාරුව

මාධ්‍යවේදී ලසන්ත ඝාතනය සහ තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමට සම්බන්ධව විමර්ශනවල යෙදුනු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට හදිසි ස්ථාන මාරුවක් ලබා දුන්නේ 2018 වසරේ නොවැම්බර් මසදීය.

එනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබීමත් සමග හටගත් අර්බුදකාරී දේශපාලන වාතාවරණය අතරතුරදීය.

පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී.එම් සමන්සිරි දිසානායකපොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී.එම් සමන්සිරි දිසානායක

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ ජුනි 29 වෙනිදා සාක්ෂි ලබා දුන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී.එම් සමන්සිරි දිසානායක පවසන පරිදි:

* 2018 නොවැම්බර් 18: පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා හදිසියේම මීගමුව කොට්ඨාසයට මාරු කර ඇත.
* 2018 නොවැම්බර් 19: ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් වී ඇත.
* 2018 නොවැම්බර් 19: ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ බව පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත ලිඛිතව දැන්වා ඇත.
* 2018 නොවැම්බර් 19: ස්ථාන මාරුව අවලංගු කළ බව පොලිස්පතිවරයා විසින් දන්වනු ලැබ ඇත.

 

එල්ටීටීඊ චෝදනා

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී.එම් සමන්සිරි දිසානායක පවසන පරිදි අදාළ ස්ථාන මාරුව අවලංගු කරමින් පොලිස්පතිවරයා එවන ලද ලිපියේ සඳහන් වූ කරුණු:

* පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙක් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවී විජේගුණරත්න ආරක්ෂක මණ්ඩලයේදී චෝදනා කර ඇත.

* අද්මිරාල් රවී විජේගුණරත්න ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ම පොලිස්පතිවරයාට දුරකතන ඇමතුම් ලබා දී ඇත.

 

එල්ටීටීඊයට සම්බන්ධ නම් ස්ථාන මාරුව අවලංගු කළේ ඇයි?

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පවසන පරිදි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා එල්ටීටීඊ සංවිධානය සමග සබඳතා පවත්වා ඇත්තේ නම් අදාළ ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස්පති ක්‍රියා කළේ ඇයි දැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී.එම් සමන්සිරි දිසානායකගෙන් ප්‍රශ්න කළේය.

"නැහැ. අපට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක අපේ වපසරියට අයිති දෙයක් නෙවෙයිනේ. අපේ වපසරියට අයිති දෙයක්නම් අපි ප්‍රශ්න කරනවා. එතුමාගේ වපසරියට අයත් පුද්ගලයෙක් නිසා සේවයේ අවශ්‍යතාව අනුව ස්ථාන මාරු කිරීමේ සහ ඒවා අවලංගු කිරීමේ බලතල ඔහුට තිබෙනවා." යනුවෙන් ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

 

"බරපතල චෝදනාවක්"

 

නිශාන්ත ද සිල්වා වෙත කර ඇති චෝදනාව "බරපතල චෝදනාවක්" බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එහිදී පැවසීය.

ඉහත කී චෝදනාව සඳහන් ලිපිය පොලිස් කොමිසමේ ලේකම් ඩී.එම් සමන්සිරි දිසානායක විසින් තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් කළේය.

IG to Sec Def 19 Nov 2018 1 

නිශාන්ත ද සිල්වාගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවී විජේගුණරත්න ම දැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කළ විමසීමේදී පොලිස් කොමිසමේ ලේකම්වරයා කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය.

අදාළ ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ආරක්ෂක අමාත්‍යංශයේ එවක ලේකම් තේරීම් කාරක සභාව හමුවට කැඳවිය යුතු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යෝජනා කළේය.

 

චෝදනා ඇත්තක්ද?

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකු බවට අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කළ චෝදනාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී සෙනෙවිරත්න එවක ප්‍රතික්ෂේප කර තිබිණි.

ඔහු ඒ බව සඳහන් කර තිබුණේ පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවකට පිළිතුරු සපයමින් 2018.11.18 දින දාතමින් යවන ලද ලිපියකින්ය.

 

නිශාන්ත සිල්වාට එරෙහි එල්ටීටීඊ චෝදනාව "ද්වේශ සහගත ප්‍රකාශයක්"

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කරන බවට සහ අපරාධවලට හෝ වෙනත් කිසිදු නීති විරෝධී සම්බන්ධ බවට "කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් නොමැති," බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ. එම ලිපියේ පිටපතක් බීබීසී සිංහල සේවයට ද දැක ගැනීමට ලැබිණ.

මේ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී සෙනෙවිරත්න පොලිස්පතිවරයා වෙත යොමුකරන ලද සිය ලිපිය මගින් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව බරපතල චෝදනාවක් ද එල්ල කර තිබිණි.

BBC

"වර්තමාන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ක්‍රියාකාරීත්වය, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ දඬුවම් ලැබීය හැකි වරදක්," බව ඉතා පැහැදිළිව පෙනෙන බව ද "ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර කඩිනමින් ගැනීම නිර්දේශ කරමින්," වාර්තාව ඉදිරිපත් කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ ලිපියේ සඳහන් විය.

"ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ආර් සී විජේගුණරත්න, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් සිදු කරනු ලබන පුද්ගල පැහැර ගැනීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරනු ලැබූ සැකකරුවෙක්ව සිටී," යනුවෙන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපියේ සඳහන්වේ.

"ඔහුට (ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී) එරෙහිව පවත්වාගෙන යනු ලබන විමර්ශනයේ ප්‍රධාන පරීක්‍ෂක නිලධාරියා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත, අභූත චදනා ඉදිරිපත් කිරීම, සැකකරුවෙක් විසින් ඔහුට එරෙහිව පවත්වාගෙන යනු ලබන විමර්ශනයට බලපෑම් එල්ලකිරීමට ගත් උත්සාහයක්," බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී සෙනෙවිරත්න, පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

 

කවුද මේ නිශාන්ත ද සිල්වා?

 

"අවුරුදු නමයක් පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ"

පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධීන් රාශියක් සම්බන්ධයෙන් පරීක්ෂණ භාරව සිටි නිලධාරියෙකි.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට අදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් ලබා දීමෙන් එම විමර්ශන කටයුතු තවදුරටත් අඩාළ විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එවක පැවසීය.

 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධානයට ලක් කළ පරීක්‍ෂණ මොනවා ද?

* ලසන්න වික්‍රමතුංග ඝාතනය
* කීත් නොයාර් පැහැර ගැනීම
* උපාලි තෙන්නකෝන් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ
* කොළඔ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම

පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට හදිසි ස්ථාන මාරුවක් ලබාදීම මගින් ඉහත කී සියලු පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට බාධාවක් විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දී තිබිණි.

Ravindra

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධ නඩුවේ ප්‍රධාන සැකකරුවකුවන 'නේවි සම්පත්' හෙවත් ලූතිනන් කමාන්ඩර් සම්පත් හෙට්ටිආරච්චිට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය කීපවරක් ම නියෝග කර තිබිණි.

එහෙත් නඩු පැවරීමකින් තොරව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සැප්තැම්බර් 14 දින කොළඹ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් අමතමින් කියා සිටියේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය පසුගිය නොවැම්බර් 28 වෙනිදා නියෝග කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය පනවනු ලැබුවේ 2008 - 2009 කාලය අතරතුර අතුරුදහන්වූ තරුණයන් 11 දෙනෙකු සම්බන්ධ පරීක්ෂණයට අදාලවය.

 

අත්අඩංගුවට

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළ ද, එසේ නොකො ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර විය.

ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දෙසැම්බර් 05 වෙනිදා නියම කළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින මෙන් ඇප මත මුදා හැරි අවස්ථාවේ අධිකරණය සැකකාර අද්මිරාල්වරයාට අවවාද කර තිබිණි.

එසේ තර්ජන හෝ බලපෑම් එල්ල කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත්, දැනට නියම කර ඇති ඇප අවලංගු කර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කරන බව ද මහේස්ත්‍රාත් රංග දිසානායක අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට අවවාද කළේය.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්