මිල්කො ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ඉවත්කර, එම ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්
රේණුක පෙරේරා පත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ වන විටත් අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර ඇති නමුත් රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නොමැත. ඊට හේතුවී ඇත්තේ පසුගියදා ඔහුට සිදුවූ බරපතල අවමානයයි.
ඒ මිට දිනකිහිපයකට පෙරදී ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්කරනු ලැබූ ඔහුව, පැය ඉන් පැය කිහිපයකට පසු ජනාධිපතිවරයා ගේ නියෝගය මත ඉවත්කිරීම නිසා පසුගිය දින කිහිපයේ රේණුක පෙරේරා බලවත්සේ සිත්තැවුලකින් සිටිබව වාර්තාවේ.
ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ලසන්ත වික්‍රමසිංහ ඉවත්කර රේණුක පෙරේරා මිල්කො සභාපති ධූරයට පත්කර ගැනීම සඳහා දැඩි ලෙස බලපෑම් කර ඇත්තේ, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් ය.
විෂයබාර රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ රේණුක පෙරේරා, මිල්කො සමාගමේ සභාපති ධූරය සඳහා පත් කිරීමට සූදානම් වන්නේ, ලසන්ත වික්‍රමසිංහ යටතේ එම සමාගම ලාභ ලබමින් කිරි ගොවින්ට ද ඉහළ මිලක් ගෙවමින් ඉතා ම හොඳින් පාලනය වන පසුබිමක බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පවසති.
යහපාලන ආණ්ඩුව සමයේ අවසාන වසර තුනෙහි මිල්කො ආයතනය රු. මිලියන 2000කට අධික පාඩුවක් ලැබූ අතර එය ලාභ ලබන ආයතනයක් බවට පත්කළේ වර්තමාන මිල්කො සභාපති ලසන්ත වික්‍රමසිංහ යටතේ බවත්, 2020 සහ 2021 දෙවසර තුළ මිල්කෝ ආයතනය රු. මිලියන 800 ඉක්මවා ලාභ ලැබූ අතර 2015 වසරට පසු කිරි ගොවීන් සඳහා ගෙවන මිල ද 30%කින් ඉහළ දැමීමට කටයුතු කළ බවත් එම නිලධාරීන් වැඩිදුරටත් පවසයි.
මෙසේ ඉවත්කළ ලසන්ත වික්‍රමසිංහ ට පොහොර ව්‍යාපෘතියට අදාල වගකිමක් පැවරීමට ජනාධිපතිවරයා තීන්දුකර ඇතත්, මින් අනතුරුව රාජ්‍ය ආයතනවල කිසිඳු දේශපාලන පත්වීමක් බාර නොගැනීමට ඔහු තීරණය කර ඇතැයි වාර්තාවේ.
225ටම ඇමතිකම්! | වියත්කතා