මේ රටේ මේ මොහොතේ ආණ්ඩුකරන පාලකයන්ගේ නොමනා, අවිධිමත් සහ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුකොට ගෙන ගොඩනැගුණු සමාජ, ආර්ථික

පීඩනයට සමස්ත ජනතාවම ගොදුරුවී හමාරය.

එකී ජන පීඩනයට එරෙහි භෞතික ප්‍රකාශනය අප්‍රේල් 03 දිවයින පුරා සෑම නගරයකදීම කලඑළි බැසීමට සමාජ මාධ්‍ය හරහා සැලසුම් කොට තිබිණි. එය එසේ තිබිය දී ඊට පෙර දින එනම් අප්‍රේල් 02 රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාගේ නිවස පිහිටි මිරිහාන ප්‍රදේශයේ දී පළමු පියවර තැබීම ආරම්භ විය.

එතැන් පටන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම නගරයකම, සෑම ගමකම පමණක් නොව ලොව පුරා විසිරී සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ද සිය උපරිම හැකියාව, ශක්තිය යොදවමින් අප්‍රේල් 03  විරෝධතා අරගලය පෝෂණය කරමින් සිටී.

කෙසේ නමුත් මෙවැනි අවිධිමත් හෝ අසංවිධානාත්මක අරගලයන්ට අත්විය හැකි ඉරණම ඵෙතිහාසික අත්දැකීම් ප්‍රකාරව ඛේදජනක, බිහිසුණු හෝ අනර්ථකාරී අවසානයකින් ඉතිහාසයේ වැළලී යාමය.

එය එසේ වන්නට ප්‍රධානතම හේතුව ලෙස දැකිය හැක්කේ, සාම්ප්‍රදායික හා/හෝ ගතානුගතික දේශපාලනයට (consavative politics) එකී අරගලය හරහා එල්ලවන මාරාන්තික අභියෝගයයි.

 

එවැනි අභියෝගයන් හමුවේ වම ද දකුණ ද කිසිදු භේදයකින් තොරව, දේශපාලන පක්ෂ, කණ්ඩායම්, නායකයෝ සේම එහි ‍සේවාලාභියෝද ආරක්ෂකයෝ ද සිය පැවැත්මේ අනිවාර්ය කොන්දේසියට අභියෝගයක් වන කෙතරම් අවිහිංසාවාදී වුවත් මෙවැනි ජනතා නැගිටීම්වලට එරෙහිව අවි ඔසවන බැවිනි.

 

විටෙක එය අරගලකරුවාගේ ස්වරූපයෙන් වෙස්ගෙන සැබෑ ජනතා අභිලාශය දියකර හැරීමක් ලෙස ද තවත් විටෙක රුදුරු මර්දනීය ස්වරූපයෙන් මිලිටරිකරණයට ගොදුරුකර විනාශ කර දැමිමෙන්ද ඉදිරිගාමී ජනතා අභිලාශයන්, ආකල්පයන්, ප්‍රාර්ථනාවන් සියල්ල නැවත වතාවක් සාම්ප්‍රදායික දේශපාලන ගර්භාෂයේ සඟවා තබනු ඇත.


අප්‍රේල් 03 ජනතා නැගිටීම විනාශ වීමට ඉඩහසර විවර කරමු ද?


අප්‍රේල් 03 ජනතා නැගිටීම එසේ විනාශ වීමට ඉඩහසර විවර කරමු ද?  එසේ නැතහොත් අභියෝගය කෙතරම් බරපතළ වුවත් සැබෑ ජනතා ප්‍රාර්ථනාවන් සඵල වන තෙක්, සාර්ථකත්වය අත්පත් කරගන්නා තෙක් අරගලකරුවාගේ භූමිකාවට පණ පොවමු ද?

මෙහි තීරකයා අන් කිසිවකු නොව මම සහ ඔබය.

මේ රටේ හෙට දවස පිළිබඳ සුබ සිහින දකිමින්, පාරම්පරික ප්‍රභූ දේශපාලනය වෙනස් කළ යුතු යැයි කල්පනා කරමින්, බලකාමී පවුල් අතලොස්සක් අතරේ දෝලනය වන සමස්ත දේශපාලන බලය සාමාන්‍ය පුරවැසියා විසින් අත්පත් කරගත යුතු යැයි විශ්වාසයෙන්, 74 වසරක් පුරා ගොදුරු වූ රැවටිලිකාර දේශපාලනයෙන් අත්මිදීම ද සමස්ත රටවැසියාම එකාවන්ව, එකම ධජයක් යට එකම ජාතියක් ලෙස ගොඩනැගි ද ඉදිරි පරම්පරාවට, දුවා දරුවා නිදහසේ ජීවත්විය හැකි රටක්, සමාජ සංස්කෘතික පරිසරයක් නිර්මාණය කළ යුතු බව ද දැඩි අත්නොහරින විශ්වාසයෙන් අද සටන් පාඨ පුවරු අතදරා මහ මගට පය තබන ඔබට හෙට දවසේ කුමන හේතුවක් නිසා හෝ අරගල භූමිය පැමිණීමට නොහැකි වුවත් මෙම ජනතා අරගලය, පුරවැසියාගේ අරගලය, ශ්‍රී ලාංකිකයාගේ අරගලය, ජාතිවාදයට හෝ ආගම්වාදය ගොදුරු නොවූ අරගලය, අන්තවාදය පිටුදකින අරගලය ජයග්‍රහණයෙන් කෙළවර නොවී සාර්ථකත්වය අත්පත් කරගන්නා තුරු කුමන බාධක හමුවේ වුවද ඉදිරියටම යායුතු බව මාගේ විශ්වාසයයි.

sri lanka e1649141234921

ඒ වෙනුවෙන් අද දවසේ අරගල භූමියේ රැවිපිළිරැව් දෙන #GOGOTAHOME සටන් පුවරුව ප්‍රකාරව වත්මන් පාලකයන් නැතහොත් රාජපක්ෂවරු පාලන බලයෙන් ඉවත් කිරීමෙන් පමණක්, ඔබ මා පතන ආර්ථික අහේනියකින් තොර, නිදහස්කාමී, සහජීවනයෙන් පිරි සමාජයක් මේ පොළොවේ හෙට දවසේ නිර්මාණය කිරීමට නොහැකි බවත්, අත්‍යවශ්‍යයෙන් ම රාජපක්ෂවරු දශක දෙකක් පුරා මේ රටේ මිනිසුන්ගේ මිනිස්කම් වනසා දැමූ ජාතිවාදී ආගම්වාදී මතවාදීමය රාජපක්ෂවාදී චින්තන ධාරව මුලිනුපුටා දැමිය යුතු බවත්, එකී මිත්‍යාදෘෂ්ටිය සුරුවමක් කොටගත් කල්ලි කණ්ඩායම් ද මේ රටේ දේශපාලන භූමියෙන් අතුගා දැමීය යුතු බවත් අවබෝධයෙන් තේරුම්ගත යුතුය.

 

එසේම රාජපක්ෂවරු පන්නලා හෙට දවසේ කාටද බලය අත්කර දෙන්නේ යැයි සමාජයෙන් නැගෙන පැනයට නිසි, ශක්තිමත් පිළිතුරක් ඔබ මා සතුවිය යුතුය.

 

අප එකිනෙකා විශ්වාස කරන තනි තනි පුද්ගල දේශපාලන චරිත, නායකයන් සිටිය හැකිය. ඔබ මා පතන සිහින රට නිමැවීමට ඔහුට හෝ ඇයට ශක්තිය ද ධෛර්යය ද ශක්‍යතාවය ද තිබිය හැකිය.

එය එසේ වුවත් අද අරගල භූමියේ මහත් වූ ධෛර්යයෙන් සහ වීර්යයෙන් සටනට පණ පොවන සියලු සටන්කරුවන්ගේ කැමැත්ත හෝ මනාපය ඔහුට හෝ ඇයට දිනා ගැනීමට නොහැකිව අසමත් විය හැකිය. ඒ පුද්ගල කැමැත්ත යනු තත්ත්වානුකූල මෙන්ම අවස්ථානුකූල ඒකපුද්ගල චින්තන ස්වරූපයක් වන බැවිනි.

ඒ අනුව එවැනි මොහොතක සමස්ත පුරවැසියාම එක්ව දිවිහිමයෙන් දියත්කළ සටන සී සීකඩ ව, ප්‍රාර්ථනාවන් පමණක්ම හදවත් තුළ හිරකර තබා වාතලයට එක්වනු ඇත.


එය එසේ නොවන්නට අපි කුමක් කරමුද?


01. පුද්ගල චරිතයක් වටා හෝ දේශපාලන පක්ෂයක් වටා මේ සටන ලඝු කිරීමට උත්සාහ නොකර සිටීම.

02. අරගල බිමේ සටනට ඡවය දෙන සියලු දෙනාගේම ඒකායන අභිප්‍රාය සඵල කරවන වැඩපිළිවෙළකින් යුතු සම්මුතියක් ගොඩනැගීම.

03. එකී සම්මුතිය "අප්‍රේල් 3 සම්මුතිය" යැයි නාමකරණය කිරීම.(ඒ පළමුවරට මේ සටනට පණ පෙව් අප්‍රේල් 03 සටන් සගයන්ට ගෞවරයක් වනු පිණිසය.)

04. ඒ සඳහා සමාජ මාධ්‍ය හරහා යෝජනා කොට සංශිප්ත ප්‍රකාශනයක් ඉතාම නුදුරේදී ප්‍රසිද්ධ කිරීමට පියවර ගැනීම. (කෙටි කාලීන හා දිගු කාලීන)

05. යෝජනා චෝදනා කළමනාකරණය කිරීමෙන් අනතුරුව සටන් බිමේ අලුත්ම සටන් පාඨයක් ලෙස "අප්‍රේල් 03 සම්මුතිය" ජනගත කිරීමට පියවර ගැනීම.

06. රාජපක්ෂවරුන්ගෙන් නිදහස් කරගන්නා රට තුළ අනාගතයේ බලයට පත්වන ඕනෑම පාලකයකු මෙකී සම්මුතියට යටත්ව සිය පාලන බලය මෙහෙය වීම සිදුකළ යුතුබව ව්‍යවස්ථානූකූල හෝ බලය පැවරූ පණතක් ලෙස ස්ථාපිත කිරීම.


ඒ අනුව හෙට දවසේ රාජපක්ෂවරු පමණක් නොව රාජපක්ෂවාදය පෝෂණය කළවුන්ද දේශපාලන භූමියෙන් නිදොස් කොට, ඔවුන් විසින් අද දවසේ නිර්මාණය කොට අප හමුවේ තබා ඇති දැවැන්ත ආර්ථික සමාජ අර්බුදයන් ඉතා කෙටි කලක් (උපරිම වසරක කාලයක්) තුළ සමහන් කරගන්නා තුරු එකඟතා වැඩපිළිවෙළක් සහිත පාලන තන්ත්‍රයක් නිර්මාණය කොට එය ගරු සේවයක් සේ ස්ථාපිත කිරීම සුදුසු ය. (කෙටි කාලීන)

 

ඉන් පසු ශ්‍රී ලංකාවේ අනාගතය තවදුරටත් හොරුන්ගේ දූෂිතයන්ගේ වංචාකරුවන්ගේ ග්‍රහනයට ගොදුරුව, අඳුරු නොවන රටක් බවට  සඵත කළ හැකි වැඩපිළිවෙළක් සහිත අරගලකරුවන්ගේ අප්‍රේල් 3 සම්මුතිය (දිගු කාලීන) පදනම් කොටගත් පාලන තන්ත්‍රයක් සේ ස්ථාපිත කිරීමට පියවර ගැනීම සුදුසුය.



csk(CSK තුෂාර)
නිදහස් ලේඛක
සැබෑ දේශප්‍රේමියෝ ක්‍රියාකාරී සාමාජික

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(CSK තුෂාරගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)



Leader Whats app

 

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්