දකුණේ සිංහල බෞද්ධ ඡන්ද දිනිය හැක්කේ අන්තවාදීන්ගේ කතා මත නොව, අවුරුදු 40 ක විවෘත වෙළඳපල ආර්ථිකය විසින් අතහැර දමා ඇති

දිගින් දිගටම පීඩාවට පත්වන ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජ ගැටළු වෙනුවෙන් විසඳුම් ඉදිරිපත් කිරීමෙන් පමණක් බව ප්‍රවීන දේශපාලන විචාරක කුසල් පෙරේරා පවසයි.

'ජනාධිපතිවරණයේ අලුත් මාවතක් සඳහා' යන ශීර්ෂයෙන් යුතුව ඔහු සිය FB පළකර ඇති සටහනේ එබව සඳහන්වේ.

රටේ ග්‍රාමීය ජනතාවගේ සිතුම් පැතුම් ඉතා හොඳින් තේරුම් ගත් මෑත කාලයේ එකම දේශපාලනඥයා ජනාධිපති ආර්. ප්‍රේමදාස බවත්, ඔහු ග්‍රාමීය සමාජය ආමන්ත්‍රණය කෙරුවේ සිංහල බෞද්ධ දේශපාලනයක් හා දේශප්‍රේමයක් කර ගසා ගෙන නොවන බවත් කුසල් පෙරේරා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණයට අදාලව සිදුකර ඇති කුසල්ගේ විග්‍රහය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.

 

'ජනාධිපතිවරණයේ අලුත් මාවතක් සඳහා'

මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රාහී අපේක්ෂකයා ලෙස අවශ්‍ය වන්නේ අලුත් සංවර්ධනයකට මුල පුරන අපේක්ෂකයෙකු මිස හැමෝම කතා කරන, කාටවත් අදාල නැති “ජාතික ආරක්ෂාව” හා සිංහල බෞද්ධ රටක් පොරොන්දු වන බලසම්පන්න අපේක්ෂකයෙකු නොවේ.

අලුත් මාවතක් තෝරා ගැනීමට එඩිතර වන ඒ ජනාධිපති අපේක්ෂකයා -

1. අවුරුදු 40 ක් අතහැර දමා තිබෙන අති බහුතර ග්‍රාමීය ජනතාව සඳහා ඔවුන්ගේ ජීවන තත්ත්තවය දියුණු කළ හැකි අයුරින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන පිළිවෙත ගැන යෝජනා ඉදිරිපත් කළ යුතුය.

2. කවුරුත් පොරොන්දුවන කිසි දින නෙකෙරෙන “ඒකීය රාජ්‍යයක් තුල උපරිම බලය බෙදීමේ” කතා වෙනුවට ඉතා පුළුල් දේශපාලන සම්මුතියකින් ඉදිරිපත් කෙරුනු සර්ව පාක්ෂික නියෝජිත සමුළු අවසන් වාර්තාව (APRC Full Report) මත බලය බෙදීම යෝජනා කළ යුතුය.       

 
එවැනි නව ප්‍රවේශයක් ගැනීම වෙනුවට,

■     මෙවර ජනාධිපතිවරණය 2005 ජනාධිපතිවරණයටත් වඩා සිංහල බෞද්ධ ආධිපත්‍ය වෙනුවෙන් පැවැත් වෙන්නක් බවට සියලු අපේක්ෂකයින් හවුල්වී පත්කර ගෙන ඇත.

■     ජනාධිපතිවරණය නියත වශයෙන්ම දෙසැම්බර පළමු සතියට පෙර පැවැත්විය යුතු යැයි දැන සිටි සමාජයේ අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් විසින් යොදා ගනු ලැබුවේ මුස්ලිම් විරෝධය යළි ප්‍රචණ්ඩ ලෙස උස්සා ගෙන සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් දැඩි බලයක් සහිත සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකු ඉල්ලීමටය.

■     එයට එක්තරා ආකාරයකින් ඉහළ හමුදා නිලධාරින්ගේද කැමැත්ත එකතු විය. ඔවුන් විසින් “ජාතික ආරක්ෂාව” පිළිබඳ කාරණාව අවධාරණය කරන්නට වූයේ ඊට ගැලපෙන ආකාරයෙනි.

■     සිංහල බෞද්ධ අන්තවාදී මතයට ඉන් යම් හයියක් ලැබුණි. සංඝ සමාජයෙන්ද ඒ අනුව ජාතික ආරක්ෂාව සහතික කළ හැකි සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකු ගැන අදහස් පල විය.

Sep 30 Texxt 1ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයින් සියලු දෙන පමණක් නොව, විකල්ප අපේක්ෂකයින් මෙන් පෙනී සිටින්නට උත්සාහ කරන පුද්ගලයන් පවා දැන් “ජාතික ආරක්ෂාව” අවධාරණය කරන්නේ විලාසිතාවක් ලෙසින්ය.

■     මේ කිසිවකු “ජාතික ආරක්ෂාව” යනු කුමක්දැයි හරියාකාරව නිර්වචනය කර ගත්තවුන් නොවේ.

■     ජාතික ආරක්ෂාව යනු “බාහිර” සතුරු බලවේග වලින් ජාතික රාජ්‍යයට එල්ලවන තර්ජන හමුවේ ආරක්ෂා වීමය. එය ඇමෙරිකානු හමුදා ආරක්ෂක අර්ථකතනයට අනුව ” Specifically, national security means a circumstance that exists as a result of a military or defense advantage over any foreign nation or group of nations, or a friendly foreign relations position, or a defense position capable of successfully protesting hostile or destructive action.” ලෙස අර්ථකතනය වේ.

 ඒ අනුව “ජාතික ආරක්ෂාව” පිළිබඳව අලුතින් අවධාරණය කිරීමේ අවශ්‍යතාවක් අපට නැත.

 එහෙත් මේ ජනාධිපතිවරණයේදී සාමාන්‍ය සිංහල බෞද්ධ ඡන්දදායකයා නොදන්නා සහ ඔවුන්ට අදාල නොවන “ජාතික ආරක්ෂාව” අවධාරණය කෙරෙන්නේ අන්තවාදීන් ඉල්ලා සිටින සිංහල බෞද්ධ ආධිපත්‍යයක් වෙනුවෙනි.

 
එවැනි පසුබිමක,

■     සියල්ලන්ම තරග වදින්නට උත්සාහ කරන්නේ මෙවර ඡන්දය භාවිත කළ හැකි සිංහල බෞද්ධ ඡන්ද මිලියන 06 ක් හෝ 06.5 ක පමණ ඡන්ද දිනා ගැනීම සඳහාය.

■     සජිත් සහ ගෝඨාභය යන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙන හා ජ.වි.පෙ අපේක්ෂක අනුර කුමාර අතර ඒ ඡන්ද බෙදුනු විට, මිලියන 12 ට අඩු විය හැකි භාවිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් සජිත්ට හෝ ගෝඨාභයට සියයට 50 ට වැඩි ඡන්ද ප්‍රමානයක් දකුණේ සිංහල සමාජයෙන් පමණක් ලබා ගෙන ජයග්‍රහණය කළ නොහැක.

■     ජයග්‍රාහි අපේක්ෂයාට දකුණේ බහුතර සිංහල ඡන්ද වලට අමතරව උඩරට සහ උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද සමග මුස්ලිම් ඡන්ද ආකර්ශනය කර ගැනීමට සිදු වන්නේය.

 
ඒ සඳහාවන දේශපාලනය කුමක්ද? ඊට ප්‍රධාන වන්නේ

■     දකුණේ සිංහල සමාජයේ ඡන්ද තීන්දු වන්නේ සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් කිහිපයකගේ ගෝසා මත නොවන බව තේරුම් ගැනීමය.

■     මේ සමාජයේ ගැටළුව ඇත්තේ ඔවුන්ට ඉඩ දී දකුණේ දේශපාලන නායකයින් නිහඬව සිටීමෙහිය.

■     දකුණේ සිංහල බෞද්ධ ඡන්ද දිනිය හැක්කේ අන්තවාදීන්ගේ කතා මත නොව, අවුරුදු 40 ක විවෘත වෙළඳපල ආර්ථිකය විසින් අතහැර දමා ඇති දිගින් දිගටම පීඩාවට පත්වන ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජ ගැටළු වෙනුවෙන් විසඳුම් ඉදිරිපත් කිරීමෙනි. 

Sep 30 Texxt 2ගල් ගසා මරන්නේ යැයි, ඇණ ගසන්නේ යැයි, ශාරිරික හා ලිංගික හිංසන ඇතැයි ප්‍රසිද්ධියේ කතා කෙරෙන විටද රුපියල් 35,000 ක පමණ මාසික වැටුපකට සෑම වසරකම දළ වශයෙන් ලක්ෂයකට ආසන්න තරුණියන් හා තරුණ මව්වරුන් මැද පෙරදිග ගෘහ සේවයට යන්නේ ඇයි? මේ ප්‍රශ්නයට උත්තරය වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ චක්‍ර ලේඛ නොවේ.

 ග්‍රාමීය හා වැවිලිකරයේ තරුණ පිරිස් විශාල වශයෙන් කොළඹට හා ප්‍රධාන නගර කිහිපයට රැකියා සොයා ඇදෙන්නේ මන්ද? විශේෂයෙන් ග්‍රාමීය සිංහල තරුණන් දහස් ගණන් යුද්ධය වෙනුවෙන් සොල්දාදුවන් ලෙස බඳවා ගැණුනු හමුදා රැකියාද දැන් දසකයක කාලයක සිට නැත.  

 අවුරුදු 40 ක් පුරා ග්‍රාමීය සමාජයේ ජීවත්වීමට හැකි ආදායම් මාර්ග ගමේ හැදුනේ නැත. ගමට ඉතිරිකර තිබූයේ මැද පෙරදිග ගෘහ සේවය, නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත්‍රයේ බාල රැකියා සහ යුද්ධය අවසන් වන තෙක් සොල්දාදු රැකියා පමණි.

 මේ දිළිඳු ග්‍රාමීය ආර්ථිකයෙහි ජීවත්වන ජනතාවගේ ප්‍රශ්න වලට “ජාතික ආරක්ෂාව” හා ”සිංහල බෞද්ධ බලය” විසඳුම් ලබා දෙන්නේ නැත.. එනිසා ග්‍රාමීය බහුතර ඡන්ද ආකර්ශනය කර ගැනීමට කතා කළ යුත්තේ ඔවුන්ගේ සමාජ ආර්ථික ගැටළු ගැන සහ ඒවාට ලබා දිය හැකි ඇත්ත විසඳුම් පිළිබඳවය.

 මෙය ඉතා හොඳින් තේරුම් ගත් මෑත කාලයේ එකම දේශපාලනඥයා ජනාධිපති ප්‍රේමදාස ය.

ඔහු ග්‍රාමීය සමාජය ආමන්ත්‍රණය කෙරුවේ සිංහල බෞද්ධ දේශපාලනයක් හා දේශප්‍රේමයක් කර ගසා ගෙන නොවේ.

අගමැති වශයෙන් හා ජනාධිපති වශයන් ඔහුගේ උදාගම්, ජනසවිය, ගම් උදාව, ඇඟළුම් කර්මාන්ත 200 ව්‍යාපෘතිය වැනි දිළිඳු ප්‍රජාව ඉලක්ක කළ සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය ආර්ථිකය හා ග්‍රාමීය ජීවන තත්ත්වය ඉලක්ක කළ වැඩ සටහන් විය.

 
ඉගෙන ගත යුතු පාඩම

1. සිංහල බෞද්ධ දේශපාලනයෙන් සිංහල බෞද්ධ බහුතර ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්න සඳහා මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් විසඳුම් ලබාදී නැත. ලබා දීමටද නොහැක.

2. කොළඹට සියලු බලය කේන්ද්‍රගත කෙරෙන “ඒකීය රාජ්‍ය” මගින් දෙමළ ප්‍රදේශ සඳහා පමණක් නොව සිංහල ග්‍රාමීය ප්‍රදේශ සඳහාද මෙතක් කිසිදු වැදගත් සංවර්ධනයක් එකතු කර නැත.

3. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සිවිල් නිදහස සිංහල බෞද්ධ බහුතරයට පමණක් බුක්ති විඳින්නට හැකි ආණ්ඩු පාලන පවත්වා ගත නොහැක.

 
එබැවින් පවතින අකාර්යක්ෂම හා දූෂිත පාලන ව්‍යුහය ප්‍රජාතන්ත්‍රීය කිරීමේදී සමාජයේ පහළ ස්ථර එයට හවුල් කර ගත හැකි අයුරු අලුතින් ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් “බලය” පළාත් වෙත ලබා දීමේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේය. එය සමාජයෙන් ව්‍යුක්ත බහුශ්‍රෘතයින්ගේ යෝජනා මත සිදු කරන්නක් නොවිය යුතුය.

එවගේම ඒ වෙනුවෙන් යළි දේශපාලන පක්ෂ සමග අලුත් සාකච්ඡා හා වට මේස පැවැත්වීමද අවශ්‍ය නොවන්නේය. “There is no necessity to waste time re-inventing the same wheel again” කියලා කියමනක් ඇත. එයට එකතු කළ යුත්තේ “Now use that wheel for your own journey” කියලා ය.  

 අදට අදාල දේශපාලන සන්දර්භයෙහි අවුරුදු 04 ක කාලයක් සාකච්ඡාකර යුද්ධය අවසන් වූ පසු 2010 ජූලියේදී ජනාධිපති වෙත බාර දුන් “සර්ව පාක්ෂික නියෝජිත කමිටුව” සකස් කළ “අවසන් වාර්තාව” (APRC Full Report) ඒ වෙනුවෙන් යොදා ගත හැකිය. එය ඉදිරිපත් කිරීමේ වාසිය ඇත්තේ,

1. යුද්ධය දිනූ පසු බලය බෙදීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ විරුද්ධවීම

2. අද ගෝඨාභය රාජපක්ෂ සමග ඉන්නා දිනේශ් ගුණවර්ධනගේ මහජන පක්ෂය, ජාතික හෙළ උරුමය වෙනුවෙන් අත්සන් තැබූ ගම්මන්පිල, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ඩග්ලස් දේවනාන්ද ගේ ඊ.පී.ඩී.පිය සහ එදා ශ්‍රී.ල.නි.ප නායකත්වය දැරූ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියල්ලන් ඊට එකගත්වය ලබාදී තිබීමය.

3. එහි ඇති බලය බෙදීමේ ව්‍යුහයට මුස්ලිම් නායකයින් හා වැවිලිකරයේ දෙමළ පක්ෂද එකඟව ඇත.

 
මෙරට අර්බූද විසඳීමේ අලුත් මාවතක් වෙනුවෙන් ඉදිරිපත් නොවී බහුතර ඡන්දයක් දිනිය නොහැකිය. එය කළ හැකි වන්නේ, අනෙක් අපේක්ෂකයින් ආමන්ත්‍රණය නොකරන ග්‍රාමීය සමාජය හා සුළුතර වාර්ගික හා ආගමික ජනතාව ආමන්ත්‍රණය කිරීමට සූදානම් එඩිතර ජනාධිපති අපේක්ෂකයෙකුට පමනි.

 Kusal perera 1 - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා
  2019 සැප්තැම්බර් 29    
  (සංවාදයට විවෘතයි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්