ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස දිනුවත් ගෝඨාබය රාජපක්ෂ දිනුවත් අවුරුද්දක් ඇතුළත ගෙදර යැවීමට පිරිසක් කටයුතු කරන බවත්, ඔවුන්ගේ උත්සාහය සජිත් ද

ගෝඨාභය ද යන දෙදෙනා ම පරාජය කිරීම බවත් 'ජාතික චින්තනයේ' ප්‍රධානි  මහාචාර්ය නලින් ද සිල්වා පවසයි. 

''අපි මේ උත්සාහය පරදවමු. අප සජිත් පමණක් පරදවා ගෝඨාභයගේ ජනාධිපතිකම රැක ගනිමු'' යයි ද ඔහු අවධාරණය කර සිටියි.

මහාචාර්ය නලින් ද සිල්වා එබව සඳහන් කර ඇත්තේ, 'ජාතික චින්තනය' සංවිධානයේ 'කාලය' FB පිටුවේ සටහනක් තබමිනි.

'ගෝඨාභයගේ ජනාධිපතිකම රැක ගනිමු' යන ශිර්ෂයෙන් යුතු එම සටහනේ මෙසේ සඳහන් වේ.

''අප රටට නව ව්‍යවස්ථාවක් ඕන බව සැබෑව. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් ජේ ආර් ජයවර්ධන ඉදිරිපත් කර සම්මත කර ගත් ව්‍යවස්ථාව රටට අහිතකරයි. එසේ වන්නේ එය මෙරට ඉතිහාසයට සංස්කෘතියට එකඟ ව ඒ පදනම් කර ගත් ව්‍යවස්ථාවක් නොවන බැවින්. 

එය චෙල්වනායගම්ගේ බෑණනුවන් වූ ඒ ජේ විල්සන් ප්‍රමුඛ පිරිසකගේ මැදිහත් වීමෙන් සකස් කරන ලද්දක්. එය ප්‍රංශ හා එක්සත් රාජ්‍ය (ඇමරිකාව) ව්‍යවස්ථා අනුව ඒ අනුකරණයෙන් සකස් කරන ලද්දක්. අපේ රටට ආගන්තුක ව්‍යවස්ථාවක්.

මේ ව්‍යවස්ථාව යටතේ අප අවුරුදු හතළිස්දෙකකට කිට්ටු කාලයක් ජීවත් වෙලා තියෙනවා. ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ අතරින් දහතුන්වැනි සංශෝධනය හා දහනවවැනි සංශෝධනය අති භයානකයි. මේ සංශෝධන තවත් සංශෝධනයකින් අහෝසි කරන්න ඕන. 

ජාතික සංවිධාන සම්මේලන ප්‍රකාශය:

ඒක තමයි පසුගිය දා රැස්වෙච්ච ජාතික සංවිධාන සම්මේලනය ප්‍රකාශ කෙළේ. ඒ එක්ක ම ඒ සම්මේලනයේ දී තවත් දේ ප්‍රකාශ වුණා. ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිවරණයේ දී කොන්දේසි විරහිත ව සහාය දීමත් එකක්. එමෙන් ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු යන්න තවත් එකක්.

මේ සමහර දේ ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවර. සමහර දේ සම්මේලනයේ භූමිකාව. මේ සියල්ල 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්.

ජනමාධ්‍ය දෙකක තුනක සම්මේලනයේ පසුගිය දා පැවති රැස්වීම වාර්තා වුණෙ වෙනත් සංවිධානවල රැස්වීමක වාර්තාවක් ලෙස. 
test26උදාහරණයක් වශයෙන් රැස්වීම පැවති දින ම දෙරණ රාත්‍රි දහය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කියැවුණේ එය සමථා බලය රැස්වීමක් බව. එය කාගේ වුවනාවකට සිදුවන්නේ ද යන්න ප්‍රශ්නයක්. මා හිතන්නේ නැහැ ජනමාධ්‍ය ඒ වෙනස කළාය කියා. ඒ රැස්වීමේ දී ඉතා හොඳින් කියැවුණා, ප්‍රදර්ශනය කෙරුණා රැස්වීම ජාතික සංවිධාන සම්මේලනයේ රැස්වීමක් බව. ජනමාධ්‍ය වාර්තාකරුවන්ට දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය හෝ ආබාධයක් ඇතැයි මා හිතන්නේ නැහැ.

බොහෝ ජනමාධ්‍ය ජාතික සංවිධාන සම්මේලනයේ රැස්වීම වාර්තා කෙළේ නැහැ. දෙරණ අරුණේ චතුර අල්විස් අද ඒ ගැන කිසිවක් කීවේ නැහැ. පෙරේදා පැවති රැස්වීමේ වාර්තා මුද්‍රිත මාධ්‍යවල පළ විය යුත්තේ අදයි. චතුර එක්කෝ ඒ වාර්තා නොසලකා හැර තියෙනවා, එහෙම නැත්නම් පුවත්පත් ඒ වාර්තා කර නැහැ. 

යම් ආකාරයක පුවත් පාලනයක් සිදු වෙන බව පැහැදිලියි. සිරස නම් ජාතික සංවිධාන සම්මේලනයේ රැස්වීමටත් මා එහි දී කළ කතාවටත් ප්‍රචාරයක් දීල තියෙනවා. අද මුහුණුපොතේ පඬි නැට්ටන් එමගින් උත්සාහ කරනවා මා ගෝඨාභය විරෝධියකු බව පෙන්වීමට. මෙරට පඬියන්ට හොඳ තාර්කික ඥානයක් තියෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උත්සාහ :

ඇතැමුනට අවශ්‍ය වී ඇත්තේ ජාතික සංවිධාන සම්මේලන රැස්වීමක් නොපැවැත්වූ බවට ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කිරීමට. ඔවුන්ට ජාතික සංවිධාන සම්මේලනය කියන නමත් මකා දමන්න අවශ්‍ය වී තියෙනවා. මා ඒ ගැන පුදුම වන්නේ නැහැ. ජාතික සංවිධාන සම්මේලනයට අවශ්‍ය නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. එහෙත් එහි කිහිප දෙනකුට අවශ්‍ය වී තිබුණා ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සම්මේලනයේ පෙරේදා පැවති රැස්වීමේ දී ප්‍රචාරය කරවා ගන්න. 

ඒ අවශ්‍යතාව ඉටු නොවීම නිසා තමයි අද මාධ්‍යයෙන්, පොදුජන පෙරමුණට හා ගෝඨාභයට හිතවත් ය යන මතයක් ගොඩ නැගී ඇති මාධ්‍යයෙන්, රැස්වීමට ප්‍රචාරයක් ලැබීම වැළැක්වුණෙ.

ජාතික සංවිධාන තමන්ගේ බූදලය යැයි සිතා ගෙන ක්‍රියා කරන අය, තමන් එහි න්‍යායාචාර්යයන් යැයි හිතා ගන්නා අය සහ අද දේශපාලනඥයේ දැවැන්තයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ ගන්නවා.

පසුගිය දා ජාතික විද්වද් භික්‍ෂු සංසදය විසින් ඉදිරිපත් කරන ලද මාලිමාවේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කර තිබුණා. මා හිතන්නේ නැහැ භික්‍ෂු සංසදයේ බොහෝ භික්‍ෂූන් වහන්සේට එවැනි මතයක් තියෙනවා කියා. සමහර විට එක් භික්‍ෂූන් වහන්සේ නමකට හෝ දෙනමකට හෝ එවැනි අදහසක් ඇති.

එමෙන් ම ඒ මාලිමාව ඉදිරිපත් වූ සාක්‍ෂි මත පදනම් වූ එකක් යැයි කියා මා හිතන්නේ නැහැ. හැකිනම් හඬපටයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය මේ හදිසියේ අහෝසි කිරීමට දුන් සාක්‍ෂි ඉදිරිපත් කරන්න.

පවත්නා ව්‍යවස්ථාව හොඳ නැති වුවත්.....

පවත්නා ව්‍යවස්ථාව හොඳ නැති වුවත් අප නව ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ ඇති කර ගත යුතු ය කියන්නේ නැහැ. ජාතික සංවිධාන සම්මේලනයේ එක් ස්ථාවරයක් වන්නේ ඉදිරි ජනාධිපතිවරණය නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වන ජනමත විචාරණයක් බවට පත් නොකිරීමයි. 

කොහොමටත් මේ පාර්ලිමේන්තුවවත් පත් වෙන පාර්ලිමේන්තුවවත් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට තරම් සුදුසු මානසික තත්වයක නැහැ. ඔවුන් දන්නේ බටහිරට අවශ්‍ය අන්දමට කටයුතු කරන්න පමණයි. පඬියන්ට මෙන් ම ඔවුන්ටත් හිතන්න බැහැ. අපි හිතන්න පුළුවන් මන්ත්‍රින් ටිකක් අවුරුදු දහයකින්වත් පත් කර ගමු. ඉන් පසු නව ව්‍යවස්ථාවක් සම්මත කර ගනිමු. එතෙක් අවශ්‍ය සංශෝධන ටිකක් පමණක් කර ගනිමු.

අද දේශපාලනයේ දෙපැත්තේ ම ප්‍රධානීන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය වෙලා. ගෝඨාභය ජනාධිපති වුණත් සජිත් ජනාධිපති වුණත් ඔහු ගෙදර යවන්න කටයුතු සිදුවෙමින් පවතිනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නාමික ජනාධිපති කෙනකු බවට ජනාධිපති පත් කර අගමැති අතට විධායක මෙන් ම ව්‍යවස්ථාදායක බලය අතට ගැනීමට බලවතුන් ක්‍රියා කරනවා.

රැස්වීමට සුදුසු තරමේ ප්‍රචාරයක් නොලැබුණ හේතුව !

ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය එයට විරුද්ධ ව යනවා. ජනමාධ්‍ය පාලනයකින් රැස්වීමට සුදුසු තරමේ ප්‍රචාරයක් නොලැබුණේ අර දේශපාලන බලවතුන් පෞද්ගලික ව හමුවෙමින් ජාතික සංවිධානවල මතය වෙනස් කිරීමට කටයුතු කරන්නන් දෙතුන් දෙනකු මැදිහත් වීමෙන්. 

ඔවුන්ට සිරසට සම්බන්ධකම් නැති වෙන්න පුළුවන්. එමෙන් ම සිරසට ඉවෙන් මෙන් වැටහෙන්න ඇති අගමැති බලය අතට ගැනීම යනු ඔවුන්ගේ මනාපය පරිදි සජිත්ට නොව රනිල්ට (මහින්දට) බලය පැවරීමක් කියා. කිසි දිනෙක නොවූ විධියට ඔවුන් මගේ කතාව ප්‍රචාරය කෙළේ, ගෝඨාභය ආරක්‍ෂා කර ගෙන ඔහු ජනාධිපති ලෙස අඩු තරමෙන් අවුරුදු දහයක්වත් තබා ගැනීමට වුවමනා මා අනුමත කිරීමට නො වෙයි. ඔවුන්ට සජිත් ජනාධිපති ධුරයේ තබා ගැනීමට අවශ්‍ය නිසයි.

සජිත් දිනුවත් ගෝඨාභය දිනුවත් අවුරුද්දක් ඇතුළත ගෙදර යැවීමට පිරිසක් කටයුතු කරන බව පැහැදිලියි. ඔවුන්ගේ උත්සාහය සජිත් ද ගෝඨාභය ද යන දෙදෙනා ම පරාජය කිරීමයි. අපි මේ උත්සාහය පරදවමු. අප සජිත් පමණක් පරදවා ගෝඨාභයගේ ජනාධිපතිකම රැක ගනිමු.

(කාලය FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)

මහචාර්ය නලින් ද සිල්වා ජාතික සංවිධාන සම්මේලනය අමතා සිදු කළ කතාව 
වීඩියෝ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්