සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණ යනු සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයේ මොහොතවල්ය.

තම පාලකයින් තම ස්වාධීන දේශපාලන විනිශ්චයන්ට අනුව නිදහසේ තෝරා පත්කර ගැනීමට පුරවැසියන්ට ලැබෙන අවස්ථාව එයයි. ජනාධිපතිවරණ සහ මැතිවරණ යන වචන දෙකේම ඇති ‘වරණය’ ඒවායේ ඇති ඉතාම වැදගත් වචනයයි. එහි තේරුම ‘තෝරා ගැනීම’ යන්නයි. පාලකයින් ‘තෝරා ගැනීම’ යනු ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් සුවිශේෂ දේශපාලන ගුණාංගයකි.

ජනාධිපති හෝ මැති හෝ වරණයක් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී මොහොතක් වුවද, එවැනි සෑම වරණයකම දේශපාලන ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන සහ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර ඒවා විය හැකිය. 

1932 ජර්මනියේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නට්සිවාදීන් බලයට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකිනි. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය, අතිශයින්ම test32ප්‍රජාතන්ත්‍ර විරෝධී, එනම් ෆැසිස්ට්වාදී, දේශපාලන ව්‍යාපෘතියක සැලසුම් සහගත අවස්ථාවක් බවට පත්කර ගැනීමක් විය. එහෙත් ජර්මනියේ ප්‍රගතිශීලි බලවේග බොහොමයක් ඒ බව ගණන් ගත්තේ නැත.

ඒ අතර මැතිවරණයක අවසාන දේශපාලන ප්‍රතිඵලය තුළ රටක අනාගත දේශපාලන ඉරණම තීරණාත්මක ලෙස තීන්දු කරන සන්ධිස්ථානයක් බවට සලකුණු කරන අවස්ථා තිබේ. වර්තමාන ලෝකයේ එය ප්‍රකාශයට පත්වන සුවිශේෂ ආකාරයක් වන්නේ, නව -දක්ෂිණාංශික, නව-කොන්සර්වටිව් සහ අධිකාරවාදී බලවේග, මැතිවරණ මාධ්‍ය කොටගෙන බලයට පැමිණීමයි. 
ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, පිලිපීනය මේ සඳහා ඇති සමකාලීන නිදසුන්ය. ලංකාවද මේ මාවතට පිවිසීමේ අබිමුව සිටින බව, කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.

ඇමරිකානු අත්දැකීම්

Donald Trump
''ඇමරිකානු සමාජයේ 9/11 සිදුවීමෙන් පසු ගොඩ නැගී තිබුණු අනාරක්ෂණවාදී හැඟීම්වලට සහ ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික දේශප්‍රේමය, රණවාදය සහ ජාතික ආරක්ෂක මතවාදය වෙතට ඡන්දදායකයෝ ඇදී ගියහ.''

ලංකාවේ මෙම තත්ත්වයට තරමක් හෝ සමාන්තර ක්‍රියාවලියක් පැවතියේ 2016 ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ජනාධිපති මැතිවරණයේදීය. එම ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වූ ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජය ගැනීමට මුලදී තිබුණේ ඉතා මද ඉඩකඩකි. 

ඇමරිකානු පක්ෂ දේශපාලනයට සම්පූර්ණයෙන් පිටතින් සිටි ට්‍රම්ප් ලෝකයම මවිත කරමින් 2016 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත්තේය. ඔහුගේ ජයග්‍රහණයට නොයෙකුත් සාධක බලපෑ අතර, එයින් දෙකක් ප්‍රධාන බව පෙනේ.

පළමුවැන්න ට්‍රම්ප් ඉදිරිපත් කළ නව දක්ෂිණාංශික, නව ගතානුගතිකවාදී, වර්ගවාදී සුදු දේශප්‍රේමී සහ ජනතාවාදී යන පදයෙන් හඳුන්වන දේශපාලන මතවාදය, සහ විකල්පයයි. එය ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය යන අධිපති පක්ෂ දෙක ඉදිරිපත් කළ සුපුරුදු පක්ෂ මතවාද වලට වෙනස් එකක් විය. 

රණවාදී ඇමරිකානු දේශප්‍රේමය, ක්‍රම විරෝධය මෙන්ම ගෝලීයකරණ විරෝධයද මිශ්‍ර කොටගත්, සාමාන්‍ය ඇමරිකානු පුරවැසියන්ගේ අතාර්කික හැඟුම්බර දේශපාලන විඥානයට ආයාචනා කළ එකක් විය. 

බිල් ක්ලින්ටන්, බරක් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් නායකත්වය දුන් ඩිමොක්‍රටික් පක්ෂය ගොඩ නගා තිබූ මධ්‍යස්ථවාදී දේශපාලන මතවාද සහ ප්‍රතිපත්ති වෙනුවට රිපබ්ලිකන් පක්ෂයේ සුපුරුදු දක්ෂිණාංශික මතවාදයටත් ඈතට ගිය අති දක්ෂිණාංශික මතවාදයක් වෙත ඇමරිකානු ඡන්දදායකයින්ගේ ආකර්ෂණය ඇද ගැනීමට ඩොනල්ඞ් ට්‍රම්ප් සමත් විය. 

ඇමරිකානු සමාජයේ 9/11 සිදුවීමෙන් පසු ගොඩ නැගී තිබුණු අනාරක්ෂණවාදී හැඟීම්වලට සහ ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික දේශප්‍රේමය, රණවාදය සහ ජාතික ආරක්ෂක මතවාදය වෙතට ඡන්දදායකයෝ ඇදී ගියහ.

සෑන්ඩර්ස් භූමිකාව

ට්‍රම්ප්ගේ මෙම නව දක්ෂිණාංශික, නව කොන්සර්වටිව් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන විකල්පයේ ඉතාම ප්‍රබල විවේචකයා වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා මුලදී තරග කළ බර්නි සෑන්ඩර්ස්ය. වාමාංශික නැඹුරුවකින් පැමිණි ප්‍රගතිශීලී, ධනපති විරෝධී සෙනෙට් සභිකයෙකු වූ ඔහු, ප්‍රාථමික අපේක්ෂකවරණ ව්‍යාපාරයේදී විකල්පයක් වශයෙන් ඉදිරිපත් වූයේ ඩොනල්ඞ් ට්‍රම්ප්ට පමණක් නොවේ. ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ධුරය සඳහා තමන් සමග තරග කළ හිලරි ක්ලින්ටන්ටද විරුද්ධවය. 

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක වරණවලින් ජය ගන්නට සෑන්ඩර්ස්ට නොහැකි විය. අපේක්ෂිකාව වූයේ හිලරි ක්ලින්ටන්ය. අවසාන ජනාධිපති තරගය සිදුවූයේ ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් යන දෙදෙනා අතරය. ජයගත්තේ, ජයගනිතැයි මුලදී සියලු ලකුණු පෙන්වූ, හිලරි ක්ලින්ටන් නොවේ; ජය ගැනීමට දුෂ්කර බව පෙනුණු ට්‍රම්ප්ය.

ට්‍රම්ප්ගේ මෙම ජයග්‍රහණයට වක්‍ර ලෙස දායක වූයේ, එම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සිටි, දේශපාලන අදහස් අතින් ඉතාම දියුණු සහ ඉතාම ප්‍රගතිශීලී හොඳම කථික තරගකරුවා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික වරණවලට සහභාගි වූ බර්නි සෑන්ඩර්ස්ය. ඔහුගේ ප්‍රාථමිකවරණ තරගයේදී ඔහුගේ නිර්දය විවේචනයට ලක්වූයේ ට්‍රම්ප් පමණක් නොවේ, හිලරි ක්ලින්ටන් ද ඔහු ඉතා දැඩි වාමාංශික සහ ධනපති විරෝධී විවේචනයකට ලක් කළේය. 

එම විවේචනය කොතරම් ප්‍රබල එකක් වීදයත්, ට්‍රම්ප් සමග අවසාන තරගයට හිලරි ක්ලින්ටන් සහභාගි වන විට, ඇය අපේක්ෂිකාව වූ ඩිමොක්‍රටික් පක්ෂයේ බොහෝ ප්‍රගතිශීලී කොටස්, හිලරි ක්ලින්ටන්ට ඡන්දය නොදීමට තීරණය කළහ. ඩිමොක්‍රටික් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්දදායකයන් වූ කළු ජාතික සහ කම්කරු පන්ති කොටස්, ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජනතාවාදයට ඇදී යාමට පවා එය හේතු වූ බව සමහර විචාරකයෝ පෙන්වා දුන්හ. 

ට්‍රම්ප් විසින් පරාජය කරන්නට පෙර, හිලරි ක්ලින්ටන් පරාජය කරනු ලැබුවේ ට්‍රම්ප් විරෝධී කඳවුරේම සිටි, ඇමරිකානු දේශපාලනයේ දැනට සිටින ඉතාම ප්‍රගතිශීලී දේශපාලනඥයා වන බානි සෑන්ඩර්ස් විසිනි.

test33මෙය වනාහී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රීඩාවේදී අහම්බෙන් සිදුවන, සරදම්කාරී දේශපාලන ප්‍රතිඵලයකි.

එහෙත් එය කුරිරු දේශපාලන සරදමකි. විශාල මහජන වරමකින් බලයට පැමිණි ඩොනල්ඞ් ට්‍රම්ප්, දැන් විනාශකාරී පරිවර්තනයට භාජනය කර ඇත්තේ ඇමරිකාව පමණක් නොවේ. ඔහු ලෝකයද විනාශ කරමින් සිටී. 

ඔහුගෙන් පරාජය වූ හිලරි ක්ලින්ටන් සහ ඩිමොක්‍රටික් පක්ෂය පමණක් නොව, හිලරි ක්ලින්ටන්ගේ පරාජයට පාර කැපූ බර්නි සෑන්ඩර්ස් සහ ඔහු වටා ඒකරාශි වූ ඇමරිකාවේ ප්‍රගතිශීලී බලවේගද තවමත් සිටින්නේ පහසුවෙන් ගොඩ ආ නොහැකි පසුබෑමකය. 

ට්‍රම්ප් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ සම්ප්‍රදාය විනාශ කරමින්, ලෝකය පුරා අලුත් ගැටුම් සහ යුද්ධ පතුරුවමින් සිය විනාශකාරී දේශපාලනය දිගටම කරගෙන යයි. ඔහුගේ ජයග්‍රහණයට වක්‍ර ලෙස මග පෑදූ සෑන්ඩර්ස් කඳවුර දේශපාලන වශයෙන් නිෂ්ක්‍රීයව පවතී.

පාඩම්

1996 නොවැම්බර් ජනාධිපතිවරණයේදී ඇමෙරිකානු දේශපාලනයේ සිදුවූ මෙම ප්‍රතිඵලයේ සමාන්තරයක්, ඊට අවුරුදු විසි තුනකට පසු ලංකාවේද සිදුවන්නට හොඳටම ඉඩ තිබේ. ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන් සහ සෑන්ඩර්ස් යන තිදෙනාම සමාන්තර දේශපාලන රංගකරුවෝ දැන් දිග හැරෙන ලංකාවේ ජනාධිපතිවරණයේදීද, අපට පහසුවෙන් හඳුනාගත හැකියි. මෙම සමාන්තරයෙන් අප රටේ පුරවැසියන් උගත යුතු දේශපාලන පාඩම් තිබේද? එසේ නම් ඒවා මොනවාද? එයින් තුනක් මෙසේ දැක්විය හැකිය.

පළමුවැන්න නම්, මහජන ආකර්ෂණයක්ද සහිතව මතුවී සිටින නව දක්ෂිණාංශයේ ජයග්‍රහණය වැළැක්වීම, ප්‍රජාතන්ත්‍රවාදයට කැපවූ සෑම දේශපාලන බලවේගයකම සහ ඡන්දදායකයකුගේම ඓතිහාසික වගකීමක් වන්නේය යන්නයි.

මෙම නව- දක්ෂිණාංශයේ නැගීම සුළුවෙන් තක්සේරු කළ යුතු දේශපාලන අනතුරක් නොවේ. එය අප රටේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ, ඒවායේ කොතරම් අඩුපාඩු තිබුණද, ඓතිහාසික පරාජයන්ට ඇද දමන තීරණාත්මක අනතුරකි.

දෙවැන්න නම් මෙම අනතුර ගැන සවිඥානක නොවී, නැතහොත් එය අඩුවෙන් තක්සේරු කර, එම අනතුරේ වක්‍ර හවුල්කරුවන් වීමේ බරපතළ දේශපාලන වරද, කිසිදු ප්‍රගතිශීලී, වාමාංශික හෝ සිවිල් සමාජ බලවේගයක් විසින් සිදු නොකළ යුතුය යන්නයි. 

තම පක්ෂයේ, කණ්ඩායමේ ව්‍යාපාරයේ හෝ දෘෂ්ටිවාදයේ ජයග්‍රහණය සඳහා පමණක් මෙම ජනාධිපතිවරණය යොදාගෙන, ඒ මගින් පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි නියෝජනයක් අපේක්ෂා කරමින් කරන දේශපාලන ගණන් බැලීම්, දේශපාලන වශයෙන් අතිශයින්ම වියදම්කාරී ඒවා විය හැකි බවද එම පක්ෂ ව්‍යාපාර සහ කණ්ඩායම්වල නායකත්වයන් විසින් අවබෝධ කරගත යුතුව තිබේ.

ජනාධිපතිවරණයේදී නව – දක්ෂිණාංශික බලවේග ලබන ජයග්‍රහණය, තම තමන්ගේද ඓතිහාසික පරාජයකට තුඩුදෙන බව ඔවුන් විසින් වටහාගත යුතුව තිබේ.test34

තුන්වැන්න නම්, නොවැම්බර් ජනාධිපතිවරණය සහ ලබන වසරේ මාර්තු මස පමණ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයත්, ඉන් පසු දේශපාලන ක්‍රියාවලියත් පිළිබඳ අලුත් උපායික ප්‍රිස්මයක් තුළින් ප්‍රවේශවීමයි. 

එය මෙසේය: ජනාධිපතිවරණයෙන් විසඳා ගත යුතුව තිබෙන්නේ ලංකා දේශපාලනයේ ප්‍රධාන සහ ක්ෂණික කර්තව්‍යය වන අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය, නව – දක්ෂිණාංශය විසින් පරාජය කර, මුළු රටේම දේශපාලන සිතියම ආපස්සට අකුළනු ලැබීමේ හැකියාවට ඉඩ නොතැබීමයි. 

ඒ සඳහා සියලු දක්ෂිණාංශ- විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී බලවේග, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති දේශපාලන අවකාශය ආරක්ෂා කරගැනීමට ඉඩ සලසන අපේක්ෂකයා සහ කඳවුර වෙත, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම යන අවම කොන්දේසිය පමණක් මත සහයෝගය දෙමින්, නව දක්ෂිණාංශයේ ජයග්‍රහණය වැළැක්වීමයි. 

දේශපාලන අරගල අලුත්කර ගැනීමේ සූදානම :

එය වනාහී 2015දී කළා වැනි සන්ධානගත කොන්දේසි සහිත, ප්‍රතිසංස්කරණ අපේක්ෂා සහිත මුලාවේ අනතුර සහිත සහයෝගය දීමක් නොවේ. තමන්ටද ඉදිරි කාලයේ දේශපාලන අරගලයේ දිගටම යෙදී සිටීමේ අවම අපේක්ෂාව සහතික කරන මූලෝපායික තෝරා ගැනීමකි. ඡන්දය දීමෙන් පසු සිත් තැවුලට සහ කෝපයට පත්විය යුතු තෝරා ගැනීමක් නොව, මාර්තු මහ මැතිවරණය තුළත්, ඉන් පසුවත් තම දේශපාලන අරගල අලුත්කර ගැනීමේ සූදානම ඇතුව ගත යුතු උපායික සහ දීර්ඝකාලීන වශයෙන් වැදගත් දේශපාලන තීන්දුවකි. 

gota saji anura 800px

ජනාධිපතිවරණයේදී වෙනම තරග කර තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන, නව දක්ෂිණාංශයේ ජයග්‍රහණයට දොර විවෘත කිරීමෙන් පසුව තම තමන්ගේ දේශපාලන පැවැත්මද දරුණු අනතුරකට පත්කර ගැනීමෙන් වැළකී සිටීමේ සබුද්ධික වරණය පිළිබඳව හැඟීමෙන්ද, පොතේ ගුරුවාදයෙන්ද, කණ්ඩායම් ස්වර්ථවාදී දේශපාලන ගණන් බැලීම්වලින්ද වැළකී ගන්නා තරමක් අපහසු එහෙත් නුදුරු ඉතිහාසය විසින් නිදොස් කරවනු ලබන, තීන්දුවකි.

දේශපාලනයේ ඇතැම් තීරණාත්මක සන්ධිස්ථානවලදී ප්‍රගතිශීලීන් ගත යුතු වන සමහර දේශපාලන තීන්දු පහසු ඒවා නොවේ. එහෙත් ඉතිහාසය බලකරන එවැනි තීන්දු ගැනීම, අමාරුවෙන් හෝ කළ යුතු ඓතිහාසික මොහොතවල් හඳුනා ගැනීම, ප්‍රගතිශීලී දේශපාලනයේ පැවැත්මටද අත්‍යවශ්‍ය වේ.

(ආචාර්ය ජයදේව උයන්ගොඩ : උපුටා ගැනීම -'රාවය' October 19, 2019)

subscribeYT

කාටුන්

නවතම පුවත්