ගෙවුණු කෙටිකාලීන දේශපාලනය දෙස ඇස් ඇර බලන්නෙකුට කියවිය හැකි මාතෘකා දෙකක් හමුවේ.

එකක් ජනපති ගෝඨාභයගේ වෙනස්වීමේ ආරම්භය සහ එජාපය හැව ඇරීමේ ලක්ෂණය. මේ දෙක සීරු මාරුවට හඳුනාගත යුත්තේ මේ පටන් ගැනීම් නිසාය.

ගෝඨාගේ වෙනස්වීම:

Gotabayaඡන්ද කාලයේදී පොහොට්ටු ලොක්කෝම පෙර සලකුණක් ගෝඨාභය මත තැබුවෝය. ඒ ‘ටර්මිනේටර්’ යන්නය. එහි සිංහල අරුත වූයේ කම්මුතු කරන්නා යන්නය. ඒ මොහොතේ විරුද්ධ දේශපාලන විචාරකයෝ ගෝඨා පට්ට ගසන්නට එය මසුරන් යෙදුමක් කර ගත්තෝය. නැවත ඔවුහු එය රහසේවත් නොකියනවා සහතිකය.

එහෙත් සිදුවීමට නියමිතව ඇත්තේ ජනපති ඒ චරිතයටම පණ පෙවීමය. ප්‍රශ්නය කම්මුතු කරන්නා කම්මුතු කරන්නේ කුමක්ද යන්නය. එය ඉතාම නරක අරුතෙන් මෙන්ම ඉතාම හොඳ අරුතෙන්ද ගත හැකිය. මේ සමාජයේ බොහෝ පිළිල ඇත. ඒවා කම්මුතු කළ යුතුය. වැඬේ නම් ඒ පිළිල ගොඩට ඕනෑම දෙයක් ආදේශ කරගත හැකිවීමය. එවිට සියල්ල සමාජ වුවමනාව වෙනුවෙනි.

ජනපති ගෝඨාභයට කැත, අපිරිසිදුකම පෙනෙන්නට බැරිය. ඔහු ඒ වෙනුවෙන් මාරාන්තික සටනක නියැලේ. දැන් ඔහුගේ එකම අරමුණ වී ඇත්තේ නැවත කොළඹ අතිසුන්දර නගරයක් කිරීමය. කුණු ඇතැයි කණු කුණු ගෑම ඔහු නොරුස්සයි. දිනෙන් දෙකෙන් ඒවා ඉවත් කළ යුතු යැයි කී විට එය එලෙසම විය යුතුය. මහරගම කුණු දින දෙකෙන් අහවරය. එසේ නම් පේන චිත්‍රය පිරිසිදුය. නොපෙනෙන චිත්‍රය ඒ කුණු යන්නේ කොහාටද යන්නය.

පසුගිය කාලයේ තිබූ ලොකුම ප්‍රශ්නය කුණු දමන්නට තැනක් නොමැතිවීමය. එසේ නම් දැන් දවසින් දෙකෙන් කුණු හංගන්නේ කොහිද? කිසිවෙක් මේ කිසිවක් ප්‍රශ්න නොකරති. ඒ වෙනුවට ඇහෙන්නේ ජනපති ගෝඨාභය කිව්ව ගමන් නගරය පිරිසිදුයි වැනි ආඩම්බර කතාය.

බොහෝ අය පින්තූර ගලවා රාජ්‍ය ලාංඡනය එල්ලීම මහ ඉහළින් වනති. යහපාලන ආණ්ඩුවේ දින සියය මෙන්ම මෙයද කෙටිකාලීන පෙරහුරුවකි. තවම තරගය පටන් ගත්තේ නැත. ආණ්ඩුවේ සියලු බලය දිනා (මහ මැතිවරණය) ඉන්පසු ලාංඡනය දෙපැත්තට අයියා, මල්ලි එනවාද යන්න කල් තබා කිව නොහැකිය.

අපි එදා ගෝඨා භයානකයි කියා මුළුගැන්වෙන මහ රකුසකු මවන අයට කීවේ ඔහුට වෙනස් විය නොහැකිද? ඔහුට හොඳ පුද්ගලයකු විය නොහැකිද යන්නය. දැන් අප සිතනුයේ අද හොඳ මිනිසකු හෙට නරක් විය නොහැකිද යන්නය.

 

බෙල්ලන්විල වාදය:

M.Abayatissaඅප එසේ සිතනුයේ නිකමට නොවේ. ජනපති ගෝඨාභයගේ බෙල්ලන්විල විහාරයේ පැවති කතාව නිසාය. එය බරපතළ කතාවකි. වෙනසේ ආරම්භයකි. ජනපතිවීමට පෙර ගෝඨාභය කීවේ තමා ජනපති වී පහුවදාම සිරගත කොට ඇති රණවිරුවන් නිදහස් කරන බවය. එය එදා හැම විවේචනය කළේ ඔහු නීතිය සියතට ගැනීමක් ලෙසය.

එහෙත් අභාග්‍ය බලය අතට ගෙන ඔහු ඒ ප්‍රකාශයම වක්‍රාකාරයෙන් කියන විට කිසිවක් නොතේරුණු ගාණට එදා කෑගැසූ අය සිටීමය.

“මෙම රණවිරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් තමාගේ නම ප්‍රකාශ කරවා ගැනීමට ඔහු උත්සාහ කළ බවත්, මෙලෙස රණවිරුවන් අත්අඩංගුවට ගත්විට මානව හිමිකම් ගැන කතා නොකළ රාජ්‍ය නොවන සංවිධාන ශානි අබේසේකර සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා විට මානව හිමිකම් ගැන කතා කරනවා.”

මේ නීතියේ ආධිපත්‍යය නොවන බවත්, ජනතාව තමාට රට භාර දුන්නේ එන්ජීඕවලට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට නොවේ යැයිද ඒ නිසා ජනතාව ලබා දුන් වරමට අනුව කටයුතු කිරීමට තමා කිසිවිටෙකත් පැකිළෙන්නේ නැතැයි ජනපති නොවැම්බර් 24 වැනිදා බෙල්ලන්විල විහාරයේදී ප්‍රකාශ කළේය.

ඉන් නොනැවතුණු ජනපති තව බොහෝ දෑ කීවේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඉන් ඇති කළ කොමිෂන් සභාවලින් පළක් නැති බවත් ඒවා නිසා රට පාලනය කළ නොහැකි බවත් ජනපති එහිදී කීවේය.”

Text 12එයට පිදුරු එක් කළ බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් පැවසුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ඇති කළ කොමිෂන් සභා මගින් රට පාලනය කිරීමට බාධා ඇති වනවා පමණක් නොව, ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද බලයක් නැති බවය.

 2015න් පසු පන්සල් සම්පූර්ණ දේශපාලනික විය. මහින්ද පන්සල් ගාණේ ගොස් වැපුරූ දේශපාලන වෛරය සමාජගත කළේ භික්ෂුවය. අද ජනපති වටා මෙන්ම අගමැති වටාද භික්ෂුව පවුරක් බැඳගෙනය. අගමැතිට එයින් ලිස්සා යෑමේ න්‍යාය පහසුවට කළ හැකි වුවත් ජනපතිට එය කළ නොහැකිය. ඔහුට එතරම් දේශපාලන මුහුකුරා යෑමක් නොමැතිය.

ජනපති සිරිසේනට කාලයක් යනතුරු ඔහු ජනපතිද යන්න සිතා ගැනීමට නොහැකි විය. ජනපති ගෝඨා වුවද තවමත් ක්‍රියා කරනුයේ එදා සිටි ආරක්ෂක ලේකම් මානසිකත්වයෙනි. නගර අලංකාර සිතුවිල්ලෙනි. 

එය ඉක්මනින් ඔහුට පහදා දීමට භික්ෂුව පෙරට පැමිණ ඇත. බෙල්ලන්විල නායක හාමුදුරුවෝ කියනුයේ 19 හරහා නැති කළ ජනපති බලය ගන්නා ලෙසය. මොවුන් සිතනුයේ ඒකාධිපතියෙක් නම් නියම ඒකාධිපතියකු විය යුතු බවය. ජනපති දිවුරුම් දෙන දා තමා ආරක්ෂක ඇමති බව කීවේය. එහෙත් එය භුක්තියට ගැනීමට බාධා 19 හරහා ඇත.

ඡන්දයට පෙර මහින්ද කීවේ ගෝඨාභය ආරක්ෂක ලේකම් කාලෙත් එහෙම වැඩ කළා නම් ජනපති වුවහොත් වැඩ කරන හැටි බලා ගන්නට හැකි බවය. දැන් ඒ කතාව කිරා බැලීමට කාලය පැමිණ ඇත. එනම් ජනපති ලෙස ගෝඨා පත් වුවද බලය සම්පූර්ණ ලැබී ඇත්තේ අගමැති මහින්දටය. දැන් හිමිවරු නොකියා කියනුයේ ජනතාව ඡන්දය දුන්නේ ඔබට. ඒ නිසා අයියාට නොව බලය ලැබිය යුත්තේ මල්ලීට බවය.

 

මහින්ද අගමැතිකම දිනේෂ්ට හෝ චමල්ට නොදුන්නේ .....

DInesh Chamal MRමේ කෙටි කාලයට වුව මහින්ද අගමැතිකම දිනේෂ්ට හෝ චමල්ට නොදුන්නේ 19 වැනි සංශෝධනය අනුව අගමැති ප්‍රබල නිසාය. එහෙත් දැනට පෙනෙන චිත්‍රය අනුව ඉදිරියේදී 19 වලංගු නොවන ගානය. එදා ඡන්දයට පෙර රණවිරුවන් නිදහස් කරන බව කී ගෝඨාභය අද එය ක්‍රියාත්මක කරන්නට යනුයේ මේ සියල්ල සීඅයිඩීයේ වැඩ බව කියමිනි. එහි ප්‍රධානියකු වූ ශානි අබේසේකර බැබලීමට කළ වැඩ බව පවසමිනි.

ඒ අනුව නීතිය කුමක් වුවත් ජනපති රණවිරුවන් නිදොස් කොට අවසන්ය. ඔවුන් නොබෝ දිනකින් එළියට එනු ඇත. ඒ වෙනුවට ශානිලා ඇතුළට යනු ඇත. දැන් මෙය දේශපාලන මෝස්තරයක් වී ඇත. යහපාලනය කළේ චෝදනා කරමින් කල්මැරීමය. එහෙත් දැන් චෝදනාව සමග දඬුවමද ඒමට නියමිතය.

 ඉදිරියේදී ජනපති ගෝඨාභය 19 අහකට කොට ක්‍රියා කරනු නියතය. එයට විරුද්ධවීමට අගමැති මහින්දට නොහැකිය. අගමැති අකමැති වුවද එය ඉවසා සිටිනු ඇත. ඒ කාලය කොතෙක්ද යන්න නිශ්චිත නැත. මන්ද දැන් ජනපති වටාද පවුරක් හැදෙන බැවිනි. බලය නැති වුවත් ඔහු බලය ක්‍රියාත්මක කරන්නට හපනෙක් නිසා බොහෝ අය සිට ගන්නේ එතැනය.

 

ගෝඨා ගෙනයන වැඩපිළවෙළට මූලික විරෝධය එනුයේ ආණ්ඩුවෙන්ම බව.....

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි කියනුයේ ජනපති ගෝඨා ගෙනයන වැඩපිළවෙළට මූලික විරෝධය එනුයේ ආණ්ඩුවෙන්ම බවත් එයට එරෙහිව තම භික්ෂූන් පවුරක් වන බවය. දුටුගැමුණු රජතුමාටත් නිම නොවන ගැටුමක් තිබුණේ තම සහෝදරයා සමගය. එසේ නම් දුටුගැමුණු ඉදිරිපිට දිවුරුම් දුන් ගෝඨාභයට සහෝදරයෝ ගොඩක් ඇත. එසේ නම් මේ භික්ෂු ආවරණය කාගෙන් ජනපති ගෝඨාභය බේරා ගන්න යන්නද තවම පැහැදිලි නැත. එහෙත් එකක් පැහැදිලිය. මේ ගමන් දෙකක් බවය.

එහිදී වඩා නරක හැසිරීම් මත්තේ වුව ජන මනස දිනා ගනු ඇත්තේ ජනපති ගෝඨාය. මන්ද රටේ ජනයා සැබැවින්ම දැනට ඇති තත්ත්වය කුඩු කරගෙන යන්නෙකු සොයමින් සිටි බැවිනි. එවිට නීතිය කොතරම් නැවුණද වගක් නොවනු ඇත.

 

ඇමරිකන්කම:

අනෙක් අතට ලංකාව තුළ බහුතර මතය ජනපති ගෝඨා ආමිකාරයෙකු යන්න වුවත් එහි ඊට වඩා ලොකු අරුතක් ඇත්තේ ඔහු බොහෝ කාලයක් ජීවත් වනුයේ ඇමරිකාවේ බැවිනි. සැබැවින්ම මහින්දගේ ආණ්ඩුවත් සමග ලංකාවේ පොළොවට පය තබන ගෝඨාභය ඇමරිකන් පුරවැසියෙකි. ඔහුගේ මනස අදටත් ක්‍රියා කරනුයේ ඒ පන්නයටය. ඔහු යුද්ධය මෙහෙයවන තැන සිට ආරක්ෂක ලේකම් දක්වා ක්‍රියාකරනුයේ මේ ද්විත්ව පුරවැසි ලක්ෂණ සමගය. එහි වැඩි නැඹුරුව ඇත්තේ ඇමරිකාවටය.

ෆොන්සේකා තුළ සිටින ආමිකාරයා අබිබවා ජනපති ගෝඨා තුළ සිටින ආමිකාරයා ප්‍රබල වන්නේ ඇමරිකානු ශික්ෂණයෙනි. කවුරු කොහොම කීවද ඔහුගේ සමාජ විනය ගොඩනැගී ඇත්තේ ඇමරිකානු ක්‍රමයටය. ඒ නිසාම ජනපති වුව වටහා ගතයුත්තේ කමල් ගුණරත්න යනු තවම අමුම අමු හමුදාකාරයකු බවය. හමුදාව හැම තැනටම දමන ජනපති ගෝඨාභය වටහාගෙන නැත්තේ තමා ආමි වුවද ඇමරිකන් පුරවැසියකු බවය. එහි කිසිදු හානියක් නැත.

මේ රට දියුණු කිරීමේ පිපාසාව ඔහුට එන්නේ ඔහු දියුණුම භූමියක පැළවූ නිසාය. ඔහු උත්සාහ කරන්නේද ඒ තරම් නොවුණද මෙය පුංචි ඇමරිකාවක් කරන්නටය. අපට නම් එහි කිසිම අවුලක් නැත. ඉතාම හොඳය. එහෙත් ප්‍රශ්නය මේ ගමන තුළ ඔහු කොතෙක් සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද යන්නය. මන්ද ඔහු මේ තුළ සාර්ථක වන්නට නම් ඔහු අවදි කරගත යුත්තේ ඇමරිකන්කාරයාම බැවිනි. ඔහු ඒ වෙනුවට ආමිකාරයා මතු කර නොගත යුතුය.

ඔහු යනුයේ ඔහුගේම ගමනකි. තීරණය කළයුත්තේ ගමන් දෙකක් ඇති බව පමණි. ඔහු මේ දෙකම තුළ ඇවිදිමින් සිටී. ලාංඡනය එල්ලා, පින්තූර ගලවා, සේවක මණ්ඩලය අඩු කොට, පාරවල්වල දේශපාලකයන්ගේ නම් ඉවත් කරන්නැයි කියමින් ඇමරිකානු පුරවැසියා අවදි කර ගත් ජනපති ගෝඨාභය, බෙල්ලන්විලට ගොස් ලංකා ආමිකාරයා අවදි කර ගත්තේය. ඒ හඬද පිට කළේය.

එසේ නම් එකක් පැහැදිලිය. පන්සල ආගමික වැඩවලටම සීමා කළ හැකි නම් මේ ප්‍රශ්න භාගයක් අඩුවන බවය. එහෙත් එයින් මිදීම ලේසි නැත. මේ කෙටි කාලය තුළ අපිට නම් දැනුණේ ලාංඡන එල්ලීම නොව බෙල්ලන්විලදී කළ වාදයය. බෙල්ලන්විලදී කළ කතාව අනුව බලන කල ලාංඡන එල්ලීම මොනතරම් පුංචි වැඩක්ද?

 

එජාපයේ හැව ඇරීම ! Text 11

උමතු මිනිසුන් දෙදෙනකු ගසක අත්තක් මත ඇන තියා වාඩිවී සිටියා. එවිට එක් අයෙක් ගසෙන් බිමට වැටුණා. ගසේ අත්ත මත තවමත් වාඩිගෙන සිටින මිනිසා තරහින් කෑ ගසා ඇසුවේ “ඔයා මොකද කළේ” යන්නය. එවිට වැටුණු මිනිසා මෙසේ කියන්නට විය.

“ඔව්! ඉතින් මම බිමට වැටුණා. මම ඉදිලා හිටියේ.”

ඉහත කතාවේ රසයම මේ වනවිට එජාපයෙන් අසන්නට ලැබේ. එනම් එජාපයද දැන් පරාජයේ නියම හේතුව හොයාගෙන ඇත. කවුරු හෝ එජාප පරාජයේ හේතුව ඇසුවහොත් නායකයන් කියනුයේ “අපි නියම බෞද්ධ වුණේ නැහැනේ. ඒ අය නියම බෞද්ධ වූ නිසා දින්නා. ඉතින් අපි දිනන්න නම් නියම බෞද්ධ වෙන්න ඕන. පන්සල් යන්න ඕන. සාදුලා කියන ඕනම දෙයක් කරන්න ඕන. වගේ කතාය. මෙතනදී ඉහත පිස්සන් එජාපයට වඩා නුවණැතිය.

රාජපක්ෂලා දින්නේ භික්ෂුවගේ පිහිටෙනි. පන්සලේ බලයෙනි. එහෙත් නොවිය යුත්තේ වුව නැවත එයය. පන්සල, භික්ෂුව දේශපාලනයෙන් ඈත්ම කළ යුතුය. බෞද්ධයකු වූ සජිත්ව තෝරා ගත්තේ උතුරු නැගෙනහිර මිනිසුන්ය. ඒ වෙනුවට රාජපක්ෂලා තෝරා ගන්නැයි බෞද්ධකම් වැපුරුවේ පන්සලය.

එසේ නම් එජාපය තෝරාගත යුත්තේ මේ නරක ආදර්ශය නොව තමන් නියම බෞද්ධයෝ බව ජනතාවට ඒත්තු ගැන්වීමය. පන්සල් නොගියාට භික්ෂුව ඉදිරිපිට දණ නොනැම්මාට තමන් ක්‍රියාවෙන් බෞද්ධ බවය.

පන්සල් යන බෞද්ධයන්ට වඩා පන්සල් නොයන බෞද්ධයෝ උතුම්ය. පන්සල් යෑම වෙනුවට එජාපය කළයුත්තේ පොළොවට බැසීමය. ජනතාවට අවංකවම සමීපවීමය. එවැනි බලඇණියක් හදා ගැනීමය. එසේ නොවී බෞද්ධ වනවායැයි බොරුවට හැව ඇරීම විකාරයකි.

 

බොරුවට නිදාගෙන සිටින පුද්ගලයා !

UNPඑජාපය මේ මොහොතේ වටහාගත යුත්තේ තමන් බිම වැටුණේ ඉදී ඇති නිසා බවය. ඉදී නොව කුණුවීද ඇති නිසා බවය. ඒ සියලු දොස් වසාගෙන පන්සල් යෑම නිසා, භික්ෂුව ළංකර ගැනීම නිසා එජාපයට ගමනක් ඇතැයි සිතන්නේ නම් එය ලොකුම ව්‍යාජයකි.

දැන් හෝ එජාපය අවදි විය යුතුය. ප්‍රශ්නය බොරුවට නිදාගෙන සිටින පුද්ගලයා අවදි කිරීම අමාරු වැඩක් වීමය.

(ටිරන් කුමාර බංගගමආරච්චි : රාවය -November 30, 2019 )

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්