ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන Robert Zemeckis ගේ Forrest Gump (1994) සඳහා වන ප්‍රධාන විවේචනයක් වන්නේ ෆොරස්ට් විසින් කරන වියට්නාම් යුද්ධය සඳහා වන අහේතුක, සදාචාරාත්මක නොවන සහභාගී

වීමයි (unethical participation). ඇමෙරිකානු අධිරාජ්‍ය ව්‍යාප්තවාදයේ කොටසක් ලෙස සිදුවුන එම අමානුෂික වියටනාම් යුද්ධය ගැන එවකට යුධ වීරෝධීන්, හිපියන් මෙන්ම ප්‍රති සංස්කෘතික වාදීන් (counter-culturalists) පවා දැවැන්ත විරෝධයක් ඉස්මතු කරන ලදී. එවන් විරෝධයක් තිබියදී පවා තමා කරන 'සහභාගී වීම' ගැන සදාචාර විනිශ්චයක් නොතිබීම, නැතහොත් තමා කරන ක්‍රියාවේ දේශපාලන හරි වැරැද්ද ගැන අභ්‍යන්තර හැඟීමක් නොතිබීම පාදක කර ගනිමින් ෆොරස්ට් විසින් රොබෝවරයක් මෙන් කරන 'සහභාගීත්ව ක්‍රියාව' (act of participation) දේශපාලන නිරවද්‍ය කඳවුර විසින් ප්‍රශ්න කරනු ලබයි.

විශේෂයෙන් දේශපාලන නිරවද්‍ය බව ගැඹුරින් ප්‍රශ්න කරන ජිජැක් මෙම චිත්‍රපටයේ බරපතලම සමකාලීන විවේචකයා ද වෙයි. එනයින් මිනිස් ක්‍රියාවන් සහ තේරීම් වල සදාචාර විනිශ්චය (ethical judgment) ගැන විශාල කතාබහක් මේ චිත්‍රපටය ඔස්සේ මතුකර ගත හැක. 

වැඩි බුද්ධියක් නොතිබූ ෆොරස්ට් තමා අතට ලැබුණු 'ඇමෙරිකානු හමුදාවට ඔබ අවශ්‍ය වී ඇත' (We need you!) යන මතභේදකාරී කොළ කැබැල්ල ගැන වැඩිදුර නොසොයයි. ඒ වගේම වැදගත් ම දෙය වන්නේ ඔහුට මුණ ගැසෙන කිසිවක් - අවම වශයෙන් අර හමුදා කොළ කැබැල්ල පවා - සැක නොකිරීමයි. ඒ නිසා කුමන තත්වයක් යටතේ හෝ තම මිතුරා වන 'බූබා' බේරා ගන්නා තුරුම නැවත නැවත මහා කැලය මැදට යාමට ඔහු කිසිවිටක පසුබට නොවෙයි.

140702154955 03 forrest gump restricted horizontal large gallery

ඒ 'වැඩි විනිශ්චයක් නැති' ක්‍රියාව කරන අතරතුරේ ඔහුට තව බොහෝ දේ කිරීමට ඉඩ ලැබේ. ඒ අතර ඔහුගේ ආසන්න හමුදා ප්‍රධානියා වන ඩෑන් පවා බේරා ගැනීමට ඔහුට හැකිවේ. තවත් සෙබළු ගණනාවක් ඔහු බේරා ගනී. ඔහුගේ අවසන් අරමුණ වන බූබා බේරා ගන්නා තුරු ඔහු තම ක්‍රියාව අත් නොහරී. 'අත් හරින්න' යයි ඩෑන් නියෝග දෙද්දී පවා ඔහු තම 'මෝඩ ක්‍රියාව' දිගටම කරගෙන යයි. අන් අය කොතෙක් සිහනා වුවත් ඔහු විසින් ම තෝරා ගන්නා ලද අවසානයක් දක්වා ඔහු ගමන් කරයි. එය වැලක්වීමට කිසිවකුට හැකි වන්නේ නැත.

බූබා මතක් වනු පිණිස ඔහුගේ දෙමව්පියන් කළ කූණිස්සන් ඇල්ලීම ට ඔහු අවසානයේ ඩෑන් කැමති කරවා ගනී. සාර්ථක ව්‍යාපාරයක් වන තුරු එය ද අවසානයක් දක්වා ගෙනයයි. ඒ ඔස්සේ අබාධිත යුධ සෙබළෙකු වන ඩෑන් ට ද ජිවිතයේ බලාපොරොත්තුවක් ලබා දෙයි. එසේ කල හැකි වන්නේ ද ඇතැම් විට ඔහු දෙවරක් නොසිතා 'රොබෝ වරයෙක්' ලෙස කරන සහභාගී ක්‍රියාව නිසාම විය හැකිය. බොහෝ විට සාමාන්‍ය අයෙක් උකටලී ව යමක් අත්හැරිය හැකි අවස්ථාවක ඔහු ඒ ක්‍රියාව දිගටම කරගෙන යයි. 

අනෙකා වෙනුවෙන් කැපකිරීමක් අවශ්‍ය වූ විට ඔහු බෞද්ධයෙක් මෙන් දේවල් අත්හරිනු ලබයි. කූණිස්සන් ව්‍යාපාරය ඔහු ඩෑන් ට දෙන්නේ ඒ ආකාරයටය. ජෙනී ට පියාඹන්න දෙන්නේ ද ඒ ආකාරයටම ය. බූබා වෙනුවෙන් යුද්ධය මැදට දිවයන්නේ ද කිසිදු ජීවිත ආශාවක් නොමැතිවය. හැමෝම බලා සිටින විට ජෙනී වෙනුවෙන් වතුරේ දිව යන්නේ අනෙකාගේ දැක්මෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙමිනි (free from the gaze of the other). 

තමාට ආදරය කල පුද්ගලයින් විසින් ඔහුට පවසන වදන් ඔහු කිසිවිටක සැක කරන්නේ නැත. භෞතික පියෙක් වටපිටාවේ නැති ඔහු ඒ වදන් දිව්‍යමය වදන් (divine words) ලෙස බාරගනී. මුලින් ඔහුගේ මව ඔහුට කියන්නේ ඔහුට කිසිම බුද්ධිමය 'අසාමාන්‍ය' බවක් නැති බවයි. දෙවියන් සමාන ලෙස මිනිසුන් මවා ඇති නිසා හැමෝටම කුමන හෝ මාවතක් තිබිය යුතු බවයි. තම නිවසේ ලැගුම්ගත් එක් තරුණයෙක් ඔහුට එල්විස් ප්‍රෙස්ලි ගේ දෙපා චලනය පෙන්වයි. ලෝ ප්‍රකට එල්විස් ගේ නර්තන දෙපා යනු අසාමාන්‍ය දෙයක් බව ඔහු තේරුම් ගනී. ඒ ආගන්තුක තරුණයා පෙන්වූ 'අසාමාන්‍ය බවේ විශ්වීය බව' (universality in abnormal) ඔහු සැක කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු එයින් ආශ්වාදයට ලක්වේ. එය ආදර්ශයක් කර ගනී. ඒ ඔස්සේ තම දෙපා චලනය කිරීමට ඔහු බිය වන්නේ නැත. ඇමෙරිකානු බව තුල ම ඔහුගේ කාලයේ විශ්වීය වූ චරිත ඔහුගේ පරමාදර්ශ බවට පත්වේ.  forrest gump 1994

ෆොරස්ට් ගේ ජීවන සන්දර්භය තුල මතු නොව සමස්ත චිත්‍රපටයේ ම එන වඩාත් ම අනුවේදනීය වදන් ප්‍රකාශ කරන්නේ ජෙනී විසින් ය. ඒ නම් ඔහුට උපද්‍රවයක් එන අවස්තාවල, ගැහැනියක් ලෙස ඇයට ද යමක් කළ නොහැකි අවස්ථාවල, ඇය නිතරම කියන 'දුවන්න, ෆොරස්ට් දුවන්න' (Run... Forrest.. run!) යන වචන තුනයි. වෙනස නොපිළිගන්නා, වෙනස බහිස්කරණය කරන, අමානුෂික පුරුෂ ලෝකයක ඔහුට ඇසෙන එකම දිව්‍යමය වදන වන්නේ ඒ ස්ත්‍රියගේ වචනයයි (මෙය ෂාම් සෙල්වදොරේ ගේ Funny Boy හි අර්ජි ට පවා අදාලය. ඩගී විසින් නියෝජනය කරන පුරුෂ ලෝකය අර්ජිව ප්‍රතික්ෂේප කරන විට ඔහුට ඇසෙන්නේ රාධා නැන්දා ගේ 'ඔබ ගැහැණියක් තරම් ම ලස්සනයි' යන වචනය). ඔහුගේ ආත්මය පුබුදු වන්නේ සහ ආත්මය මෙහෙයනවන අභ්‍යන්තර මාලිමාව (inner compass) වන්නේ ඒ ස්ත්‍රියගේ ආදර වදන් ය. 

මා නැවත නැවත කියන එකම දෙය නම් ඔහුගේ ජීවිතයේ එකම ගැලවුම වන්නේ ද ඒ වචන සැක නොකිරීම බවයි. උදාහරණ ලෙස මුලින් ම කොලු රංචුව විසින් ගල් මුල් ප්‍රහාර එල්ල කරනවිට ජෙනී කියන්නේ ඔහුට පැන දුවන ලෙසයි. එවිට ඔහු වීරයෙක් මෙන් 'එහෙම කොහෙද, මම පිරිමියෙක්. මම පැනල දුවන්නේ නැහැ. ඔවුන් මරාගෙන මමත් මැරෙනවා' යනුවෙන් පුරුෂ වීර කාව්‍යයක් ස්ත්‍රිය ඉදිරියේ ගොතන්නේ නැත. ඇගේ ඇස තුල වීරයෙක් වීමට ඔහු උත්සාහ කරන්නේ නැත. ඒ වෙනුවට ඇයගේ වචනය ට ඔහු භක්තිමත් වෙයි. ඔහු දිවීමට පටන් ගනී. කකුලේ ආධාරක ගැලවී විසිවෙයි. ඇමෙරිකානු රගර් කණ්ඩායම හමුවන තුරු පමණක් නොව ධවල මන්දිරය සහ පසුව කොමියුනිස්ට් චීනය දක්වා ම ඔහු දුවයි. ඉනුත් නොනැවතී ඔහු ඇමෙරිකාව වටාද දුවයි. අනෙක් මිනිසුන් ඒ දිවීම තම ජිවිතයේ අර්ථය කර ගන්නා තුරු ම ඔහු දිවීම නවත්වන්නේ නැත. 

forest gump running1

පියා මියගිය ලෝකයක 'දුවන්න ෆොරස්ට් දුවන්න' නම් ඒ 'සත්‍ය වචනය' (ගැලවුමේ වචනය) තමා තුල ස්ථාපිත කල ගැහැණියට ඔහු කරන ආදරය ඔහු කිසි විටක නවත්වන්නේ නැත. ඇය ඇයගේ ලෝකයක් සොයා නික්ම ගිය පසු ව වුවද ඔහු ඒ ආදරය වෙනුවෙන් පොරොත්තු වේ. තම අවම බුද්ධිය තුල ඔහු කියන්නේ 'මම එතරම් සුහුරු මිනිසෙක් නොවිය හැකියි. එහෙත් මා ආදරය යනු කුමක්ද කියා දනිමි' යනුවෙනි. එයට හේතුව ඔහුගේ භක්තිමත් බවයි. වචනයට ඇති භක්තිමත් බවයි. ඔහුගේ ජීවිතය ගලවාදුන් දෙවියන් ගේ වචනයට ඇති භක්තිමත් බවයි. ඔහුගේ මුළු ජීවිතය පුරා දෝංකාර දෙන එම වදන් අයිති දෙවියන් ට බව ඔහුට ඒත්තු ගොස් ඇත. ඒ ඔහුගේ දැනුමේ සීමාවයි. ඒ සීමාව සලකුණු කළේ ජෙනී ය. එසේනම් ඔහුගේ පැවැත්මේ සීමාව ඇය ය. ඇය ඔහුගේ දෙවියන් ය. 

සියල්ල අවසානයක් වන තුරු ඔහු පොරොත්තු වේ. ඔහු ඇය වෙනුවෙන් බලා සිටි. ඇයට අවශ්‍ය වුවේ නිදහසේ අහසේ ඉගිළෙන කිරිල්ලියක වීමටය. තම පියාගේ අඩන්තේට්ටම් වලින් ගැලවීමට ඇයට තිබු එකම සිහිනය වුවේ ඉහල අහසේ ඉගිළෙන වැහි ලිහිණියෙක් වීමය. විපරීත පියෙකු ගේ ගොදුරක් වූ ජෙනි ගේ වේදනාව තේරුම් ගැනීමට තරම් ලොකු හදවතක් තිබූ පියෙකු අහිමි ෆොරස්ට් ට ඇය ඉගිලී ආපසු එනතුරු බලා සිටීම එතරම් දුෂ්කර දෙයක් වූවේ නැත. අවසානයේ මරණය දක්වා ඉගිලුණු ජෙනි ඔහු සොයා එයි. ඒ දායාදයක් ද සහිතවය. නැවතත් පියා කවුද යන්න නොදන්නා දරුවෙක් ඇය ඔහුට දායාද කර ඇත. මරණය දක්වා 'පියඹා යාම' නිසා ම ඇතිවූ සුවපත් කල නොහැකි රෝගයක් ශරීර ගතව ඇය මිය යයි. කාත් කවුරුත් අහිමි දරුවෙක් පමණක් මේ ලොවට ශේෂ වේ. එය ඔහු ආදරයෙන් වැළඳ ගනී. මන්ද ඒ දෙවියන් ගේ අවසන් තිළිණය වන නිසාවෙනි. ඒ තිළිණය සඳහා දෙවියන් තමා ආදරය කරන ජෙනී ගේ කුස තෝරාගෙන ඇති බව ඔහු පසක් කරගෙන ඇත. දැන් ඔහු දිවීම නතර කර ඇත. එහෙත් ඒ දෙපා වලට චිත්‍රපටකරු ගෞරව දක්වන්නේ දිව්‍ය ලෝකයෙන් එන දේව දූතයෙක් ගේ පියාපතක් ඔහු දෙපාමුල පතිත කරමිනි.

මේ බුද්ධිය අඩු මිනිසා (low IQ man) එක් තැනක දී ඇමෙරිකාව වටේ දිවීම නතර කරයි. ඒ වසර ගණනක් අරමුණක් නැතිව දිවීමෙන් පසුවය. ඉන්පසු බොහෝ බුද්ධිමත් සාමාන්‍ය ජීවින් 'අහේතුකව' ඔහු පිටුපස නතර වේ. ඉන්පසු කරන්නේ කුමක්ද යන්න ඔවුන් දන්නේ නැත. ඔවුන්ගේ 'දැනුමේ සීමාවද' ඔහුගේ 'නොදනුමේ සීමාව' බවට පත්වේ. අන් අයුරකින් කිවහොත් ඔවුන්ගේ මාලිමාව අහිමි වේ. සාමාන්‍ය බුද්ධි මට්ටමේ සිටි අය ජිවිතයේ අර්ථයක් නොදුටු තැන අඩු බුද්ධියක සිටි ඔහු සියලු බුද්ධි ජීවින්ගේ ජීවිත වලට අර්ථයක් ගෙනැවිත් ඇත. සියළු බුද්ධි ජීවින් තම සිහිනය අත හරින විට ඔහු ඒ බුද්ධි ජීවින්ගේ සිහිනය අවසානයක් දක්වා ගෙනයෑමට ඉදිරියට අවුත් ඇත. අනාගතය අයිති එවැන්නන් ට ය. එවැන්නන් අවසානයේ අයිති දෙවියන් ට ය. 

මිනිස් සිහිනයට සීමාවක් නොමැත. එනිසා සිහිනයට භක්තිමත් මිනිසෙකුට කළ නොහැක්කක් ද නොමැත. ඒ ෆොරස්ට් අපට කියාදුන් පාඩමයි. 

මහේෂ් හපුගොඩ 

 කියවීම්: 
Levinas, E. (1998). Entre Nous: Thinking-of-the-other. (trans. Micheal B. Smith & Barbara Harshav). London. Continuum. 

Robbins, J. (2001). Is It Righteous To Be? Interviews with Emmanuel Levinas. California. Stanford. 

Zizek, S. (1996). Indivisible Remainder. London. Verso.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image