"දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" කියන්නේ අපේ ජන වහරේ ජනප්‍රිය කියමනක්. 

 

ඒ කියමනේ විදිහට අපි යන්නේ කොහෙද යන්න ගැන වගේම ගමනාන්තය ගැනත් නිවැරදි අදහසක් තියෙන්න ඕන. නැත්නම් යන්න ඕන තැන දැනගෙන හිටියත් නිවැරදි තැනට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි ගමනක් යනකොට ඉබේටම වගේ ලොකේෂන් චෙක් කරගන්නේ. හරි කියලා හිතාගෙන යන පාරත් සමහර වෙලාවට වරදින්න ඉඩ තියෙනවා. ප්‍රාග්ධනයෙන් සවිමත් අභිමානවත් පුරවැසියන් සිටින ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන් ඉදිරියට යන්න, මගේ අදහස් අකුරු බවට පත්වෙන "හරි පාර" දිගහැරෙන්නේ ඒ වගේ ගමනකට. දැනගෙන යන, ඒ තැන නිශ්චිත, නිවැරදි ගමනකට.

 


ජුනි මාසය ආරම්භ වුණේ දේශගුණික විපර්යාස පිළිබඳ බරපතළ ලෙස සිතීමේ අවශ්‍යතාව යළි යලිත් තහවුරු කරමින්. පසුගිය දින කීපය තුළ ඇද හැළුණු අධික වර්ෂාපතනය සමඟ ඇතිවූ අපදා හමුවේ  ජුනි 5 වනදා වන විට පුද්ගල මරණ 30ක් වාර්තා වෙලා තිබුණා. දිවයිනේ  දිස්ත්‍රික්ක 13 පවුල් 65,777 අයත් පුද්ගලයින් 247,406 ක් බලපෑමට ලක් වී තිබුණා.

 

floodxඅධික වර්ෂාපතනය සමඟ ඇතිවූ අපදා
 

ගංවතුර, ජලගැලීම්, නායයාම්, සුළි කුණාටු, අකුණු සැර වගේම නියඟ වැනි ආපදා තත්ත්වයන් සැළකෙන්නේ  ස්වාභාවික ආපදා ලෙසයි.


අපේ රට සම්බන්ධව අවධානය යොමු කළොත් ස්වාභාවික අපදා අපේ දෛනික ජීවිත අත්දැකීමක් කිව්වත් වැරදි නෑ. ඒ වගේම ස්වාභාවික ආපදා අපට නවත්වන්නත් කොහෙත්ම හැකියාවක් නෑ. නමුත් මූලික ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර සහ ජලය වගේම,  ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා කටයුතු  කිරීම රජයේ වගකීම වෙනවා.  ඒ නිසාම මේ මොහොතේද රජය විශේෂ කැබිනට් සංදේශයක් පවා අනුමත කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මකයි. මේ හමුවේ   සුපුරුදු පරිදි සම්ප්‍රදායික විපක්ෂය රජයේ මැදිහත්වීම විවේචනය කරමින් සිටිනවා. ඒ හැර විකල්පයක් විපක්ෂය වෙතින් ඉදිරිපත් නොවීම ජාතික අවාසනාවක්.

 

 

විපතටපත් ජනජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම  රජයේ වගකීම වුවත්  ඒ සඳහා මුදල්  කොහෙන්ද ?  කවුරු රට පාලනය කළත් මේ සඳහා වෙන්කරන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල්. ඒ අනුව  ස්වාභාවික ආපදා වෙනුවෙන් අප රට වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් මහජන ධනය වැය කරනවා.  යළිත් ව්‍යසනයක් ඇති වූ විට ඒ ආකාරයටම ජනතා මුදල් යළි වියදම් කරනවා. මේක "අපි කෙසෙල් ගෙඩියක් කාලා  ලෙල්ල බිම දමා, ඊටම ලිස්සා වැටීම"ට සමානයි. අපි හැමදාම ගෙඩිය කාලා, ලෙල්ල බිම දමා ලිස්සා වැටෙනවා. එසේ නම් අපි , දියුණු ප්‍රතිපත්තියක් වෙත අවධානය යොමුකළ යුතුයි. එය මෙරට සිදුවන ස්වාභාවික ආපදා වල ප්‍රමාණය සහ හානියේ තීව්‍රතාවය තක්සේරු කිරීමේදී එය ජාතික අවශ්‍යතාවක් වෙනවා. එනිසාම මේ සම්බන්ධව මා සතු අත්දැකීමක් මේ මොහොතේ ඔබ සමඟ බෙදා ගැනීමට අදහස් කළා.

 

shutterstock 494219458"අපි කෙසෙල් ගෙඩියක් කාලා  ලෙල්ල බිම දමා, ඊටම ලිස්සා වැටීම"ට සමානයි.

ඒ 2015 වසර. යහපාලන ආණ්ඩු සමය.මම මුදල් ඇමති. ඒ කාලේ නැගෙනහිර ඇතිවූ මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයකට අතිවිශාල මුදලක් වෙන් කිරීමට සිදුවුණා. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000කින් ඉහළ දැමීම ඇතුළු විශේෂ ආර්ථික සහන පැකේජයක් ලබාදී තිබූ ඒ අවස්ථාවේ එම මුදල වෙන් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වුවත්, විපතටපත් ජනතාව වෙනුවෙන් එම මුදල් වෙන් කිරීම අත්‍යවශ්‍ය වුණා. ඒ මොහොතේදී මා කල්පනාකරා මෙවැනි තත්ත්වයකට මුහුණදීමට තිරසර විසඳුමක්. එහිදී මගේ අදහස වුණේ රටම ආවරණය වන ආකාරයට ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමයි. මම ඒ යෝජනාව සමඟ එවකට අග්‍රාමාත්‍යවරයා වූ , වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළා. ඔහු එය ඉහළින් ඇගයීමට ලක්කළා වගේම, කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දුන්නා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මා 2016 අයවැය යෝජනා සඳහා එය ඇතුළත් කළා. මා එය හඳුන්වා දුන්නේ ජාතික රක්ෂණ භාර අරමුදල යටතේයි. එහිදී එම අරමුදල සඳහා සිදුවිය හැකි අලාභ  අවධානම වැළක්වීමට ප්‍රතිරක්ෂණයක් ගෙන ඒමත් සැලසුම් කළා. ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර දෙස් විදෙස් රක්ෂණ සමාගම් වෙත ඊට ආරාධනා කළා. එහිදී වරලත් ගණකාධිකාරවරයකු වන ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු විසින් මැදිහත්ව ඉදිරිපත් කළ විදෙස් සමාගමක් වෙත ප්‍රතිරක්ෂණ අවස්ථාව ලබාදුන්නා.

 254b2e98c56ed9fa4c2cc527494b24b7 XL

2016 අයවැයේ දී මා ස්වාභාවික ආපදා රක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 330 ක් වෙන්කළා

2016 අයවැයේ දී මා ස්වාභාවික ආපදා රක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 330 ක් වෙන්කළා. නමුත් ස්වාභාවික ආපදා රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 15800ක් 2016 වසරේ දී අප ලබාගෙන ජනතාවට නිකුත්කර තිබුණා. ඒ වගේම තමයි 2017 වසරේ දී රුපියල් මිලියන 590ක් වෙන්කර වන්දි ලෙස රුපියල් මිලියන 17000ක් ලබාගෙන තිබුණා. ඒ වන්දි, ගංවතුර, සුළි සුළඟ , නායයාම් හමුවේ අවතැන් වන ජනතාවට විතරක් නෙවෙයි, නියඟයෙන් පීඩාවටපත් ගොවියාටත්, ධීවර කටයුතු වලදී ස්වාභාවික ආපදාවකට ලක්වන ධීවරයටත් හිමිවුණා. 

 

මෙහිදී  තවත් වැදගත් කාරණයක් සිදුවෙනවා. ඒ තමයි  ප්‍රතිරක්ෂණය අවස්ථාවේ අදාළ සමාගම ඔවුන්ගේ පිරිවැය අවම කිරීම වෙනුවෙන් ස්වාභාවික ආපදාවට මුහුණදීමට අදාළ අපේ සූදානම ගැනත් උනන්දුවීම. එහිදී ඔවුන්  ස්වාභාවික ආපදා පාලනය කර ගැනීමට මෙන්ම ආපදාවෙන් පසු තත්ත්වය කළමනාකරණය කරගැනීමට අදාළ අපේ පෙර සූදානම ගැනත් අවධානය යොමුකරනවා. ඒ තුළ දිස්ත්‍රික් මට්ටමින් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් සක්‍රීයව නිර්මාණය වෙනවා. එවකට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම කටයුතු  සාර්ථක කරගන්න මාහැඟි සහයක් ලබාදුන් බවත් මේ වෙලාවේ සිහිපත් කල යුතුයි.
 
 
anuraආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම කටයුතු  සාර්ථක කරගන්න මාහැඟි සහයක් ලබාදුන් බව

සැබවින්ම ඒ වන්දි  මුදල් අපි රක්ෂණ වන්දි ලෙස එදා ලබා නොගත්තා නම්, මේ සඳහා වියදම් කරන්න සිදුවෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන්. ඒ කියන්නේ ජනතා බදු මුදල් වලින්. ඒ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැයකළ විට එම වියදම පියවා ගන්න නැවත බදු අය කරගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ගෙවන්නෙත් ජනතාව. කවුරු රට පාලනය කළත් යතාර්ථය එයයි. එසේ නම්  ජනතා නියෝජිත වගකීම ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමයි.

නමුත් අවාසනාව වන්නේ, අපේ රටේ හොඳ දේට නිතර සිදුවන ඉරණම එම කටයුත්තටද සිදුවීමයි. ඒ කියන්නේ මගෙන් පසුව එම කටයුත්ත ඉදිරියට නොයාම. පසුව පැමිණි පාලනයන් එම ජාතික වැදගත්කමකින් යුතු ප්‍රතිපත්තිය අත්හැර දමා තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් කෙසෙල් ගෙඩිය කා ලෙල්ල බිම දමන , පසුව ඊටම ලිස්සා වැවීම තෝරාගෙන තිබුණා.
 
 
IN 235ආසියා ෆැසිපික් කළාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍ර විම 2017 වසරේදී

නමුත්  මා ආසියා ෆැසිපික් කළාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ 2017 වසරේදී මෙහි පැමිණි ලෝක බැංකු නියෝජිතයන් රටම ආවරණය වන ආකාරයට දියත්කළ ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉහළ ඇගයීමකට ලක්කලා. ඒ වගේම ඔවුන් මට සඳහන් කළා "මේ වගේ අත්දැකීමක් අපි ලැබුවේ ලෝකයේම පළමු වතාවට බව. ඇත්තටම මම පෞද්ගලිකව එවැනි  ඇගයීමකට ලක්වීම සතුට දනවන කරුණක්. නමුත් ලෝකයෙන් පැසසුම් ලද එවැනි ප්‍රතිපත්තියක් අප විසින් අහිමිකර ගැනීම ජාතික අවාසනාවක්. මෙවැනි මොහොතක හෝ යළි එවැනි තිරසාර ප්‍රතිපත්තියක් ගැන සිතීම ජාතික අවශ්‍යතාවක්.


(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image