''අහන්නට ලැබුණා අපට ආරංචියක්, අනාගතයේ ජනාධිපතිතුමා බවට පත්වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ.

අපි බොහොම සන්තෝෂ වෙනවා...

මාත් කියනවා ඒ කඩවල්වලට (මුස්ලිම්) යන්න එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා. මොකද ඒක ප්‍රසිද්ධ කාරණයක්. අපට අපේ ජනතාවට වස විස දීපු, අපේ ජනතාව විනාශ කරන්න උත්සාහ ගත්ත, පිරිසක් කියන එක ඉතා පැහැදිළිව පේනවා. ඒ නිසා, අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕනෑ. ඒ කඩවල්වලට යන්නත් එපා ඒවා ගන්නත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මම හිතනවා අනාගතයේ දූ දරුවෝ නැති වෙයි කියලා...

ඒ වගේම අර මාතලේ දොස්තර මහත්තයෙක් කරපු වීර ක්‍රියාව පිළිබඳව කවුරුත් දන්නවා. ලක්ෂ ගාණක් අපේ දරුවෝ විනාශ කරලා. ඔය වගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ. අර කවුද උපාසක අම්මලා වගයක් කිවුවා ගල් ගහලා මරන්න ඕනෑ කියලා. මම ඒක කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි. ඒ විදිහේ වැරැද්දක් කළා නම් අපේ මනුස්සයෙක් අපි පෙති ගහලා දානවා. ඔය නීති රීති ඕවා හරියන්නේ නෑ..''

පසුගිය ජූනි 15 දා දොඩම්වල දියකෙළිනාවල කිත්සිරි මෙවන් රජ මහ විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥාණරතන හිමි දැක්වූ අදහසකි ඒ.
මේ ප්‍රකාශයෙන් අස්ගිරි නා හිමි කියන දේ මෙසේ සාරාංශ කළ හැකිය.

1- චමල් රාජපක්ෂ ජනාධිපති වේ නම් සතුටකි.
2- මුස්ලිම් කඩවලට නොයා යුතුය.
3- මුසල්මානුවෝ බෞද්ධයන් විනාශ කරන්නට සිටින පිරිසකි.
4- මුස්ලිම් කඩවලින් කෑ පසු වඳ වෙයි.
5- දොස්තර සාෆි දරුවන් ලක්ෂ ගණනක් විනාශ කර ඇත.
6- (අන්‍යාගමික) ජාති ද්‍රෝහීන්ට ගල් ගසා මැරිය යුතුයි.
7- (බෞද්ධාගමික) ජාති ද්‍රෝහීන් පෙති ගසා මරා දැමිය යුතුය.
8- එවැනි දඩුවම් දීම හැර නීතියේ පාලනයක් රටට නොගැළපෙයි.

බෞද්ධ මහා නායකවරයෙකුට මෙවැනි බිහිසුණු ප්‍රකාශයක් කළ හැකි දැයි කිසිවෙකු විමතියට පත් විය යුතු නැත. දැන් තිබෙන්නේ එවැන්නන්ගේ බුද්ධාගමක් නිසාය.

මහා නායක හිමියන්ගේ මේ වෛරී ප්‍රකාශයෙන් කියැවෙන්නේ ඔහු බුද්ධ ශාසනයේ මහානායක ධූරයක් දැරීමට තබා අඩු ගණනේ බුද්ධ චීවරයවත් දැරීමට නුසුදුසු පුද්ගලයකු බව පමණක් නොව, බුද්ධ ශාසනය නමින් දැන් ඇති ආයතනය රටේ යහපැවැත්මට එරෙහිව කරන්නාවූ මහා විනාශයේද තරම නොවේද?

වරකාගොඩ ඥාණරතන හිමි, නූගත්, රට ලෝකය ගැන අවබෝධයෙන් හීන, හුදෙක් සංඝ පරම්පරාවේ ජ්‍යෙෂ්ඨත්වය නිසා මහානායක ධූරයට පත්, රාජපක්ෂවරුන්ගේ දේශපාලනයෙන් මෙහෙයැවෙන පුද්ගලයකු වන්නට පුළුවන. එවැනි පුද්ගලයෙකුගෙන් චමල් රාජපක්ෂට, මෛත්‍රීපාල සිරිසේනට හෝ රනිල් වික්‍රමසිංහට ආවැඩීමක් බලාපොරොත්තු විය හැකිය.

එවැනි විටෙක, අහවල් භික්ෂුව අහවල් පක්ෂයේ , අහවල් දේශපාලකයාගේ තැග්තෙකි'යි කියා ඒ ගැන නොසලකා හැරීමටද අපට හැකිය. එහෙත්, බුදුදහමේ මූලික ඉගැන්වීම්වලට පවා එරෙහිව කෙරෙන මෙවැනි ප්‍රහාරයක් නම් රටේ බෞද්ධයන් ඉවසිය යුතු නැත.

බුදුදහම මූලුමනින්ම පාහේ අහිංසාවාදය මත ගොඩනැගුණු, සියලු සතුන්ට මෛත්‍රීය පැරතිරවීම පදනම් කර ගත් දහමකි. සියලු සත්වයෝ නිදුක්වේවා කියනු මිස, මිනිසුන් ගල් ගසා මැරීමේ ක්‍රමයක් එහි දැක්වෙන්නේ නැත.

ප්‍රාණඝාතයෙන් වැළකීම දෛනික ශීලයේ පළමුවැන්න බව කියන එහි මිනිසුන් පෙති ගසා මරා දැමිය යුතුයැ'යි කියැවෙන්නේ ද නැත. සියලු සත්වයන් දඩුවමට, මරණයට බිය බව කියන බුදු දහම, සිය ශ්‍රාවකයන්ට උපදෙස් දෙන්නේ තමා උපමා කොට ඝාතනයෙන් වැළකී සිටින ලෙසය.

දැන් මේ මහානායක භික්ෂුව දෙසන්නේ ඒ මූලික බෞද්ධ ඉගැන්වීම්වලට සපුරා පටහැනි කතාවකි.

නියම බෞද්ධ ශාසනයක් රටේ පවතිනවා නම්, එවැනි භයානක කතාවක් මහා සභාවක දෙසන භික්ෂුවකට, සිය ශාස්තෘවරයාගේ මූලික ඉගැන්වීම්වලටම පටහැනි දෙයක් කීවේය යන චෝදනාව නැගිය යුතු නොවේද? භික්ෂු ශාසනයේ වගකීම් දරන අන් සියලු භික්ෂූන් ඉදිරිපත්ව මෙවැන්නන්ගෙන් බුදුදහම බේරා ගැනීම සඳහා විනය ක්‍රියාමාර්ග ගත යුතු නොවේද? ඔහුට අඩුගානේ චීවරයවත් දැරීමට ඇති අයිතිය ගැන ප්‍රශ්න කළ යුතු නොවේද?

බුදුදහම දිනෙන් දින පිරිහෙමින් පවතින්නේ මෙවැන්නන්ගේ දායකත්වය නිසාත් බව අවබෝධ කරගත යුතු නොවේද?

අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක හිමි අද මෙවැනි ප්‍රකාශයක් කරන විට තකට තක ලෙස, අස්ගිරිය පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමි රට පාලනය කරන්නට ඉල්ලන්නේ මිනීමරු හිට්ලර් කෙනෙකි. ගෝඨාභය රාජපක්ෂට මිනීමරු හිට්ලර් කෙනෙකු වී හෝ රට සංවර්ධනය කර දෙන්නට යැයි එහිමියන් ආරාධනා කළේ, මීට හරියටම අවුරුද්දකට පෙර 2018 ජූනි මාසයේදීය.

අස්ගිරිය ලේකාධිකාරී මැදගම ධම්මානන්ද භික්ෂුව මේ ප්‍රහාරයේ ඊළඟ සාමාජිකයාය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක්, සුළුතර වාර්ගික ජනතාව සමග බලය බෙදා හදාගැනීම, වැනි ඉදිරිගාමී පියවරවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ මැදගම ධම්මානන්ද හිමි, කවදා හෝ රාජපක්ෂවරයෙකු රටේ නායකයා කිරීමට මහන්සිවී වැඩ කරන්නෙකි.

අස්ගිරි පාර්ශ්වරයේ කොතරම් පසුගාමී ප්‍රතිපත්තියක සිටින්නේදැයි පැහැදිළිවන තවත් සරල උදාහරණයක් වන්නේ, දළදා මාලිගාව ඉදිරිපිටින් දිවෙන ඒ26 මාර්ගය විවෘත කිරීමට ඔවුන් දක්වන මාරාන්තික විරෝධයයි. එම මාර්ගය වසා තිබීම නිසා මහනුවර ඇති වී තිබෙන බරපතල පරිසර දූෂණයත්, ජන ජීවිතයට ඇති අවහිරයත්, පාසැල් ළමුන් පවා රෝගීන් බවට පත් කරන භයානක තත්වයත් ගැන නොඇසූ කන් ඇතිව සිටින අස්ගිරි පාර්ශ්වය, ඒ26 මාර්ගය විවෘත කිරීමට එකම බාදකයයි.

'බහුජන හිතාය බහුජන සුඛාය' පිණිස හැසිරෙන ලෙස බුදුන් නියම කළ භික්ෂු ශාසනයේ වර්තමාන පොල්මක්කාරයන් ලෙස හැසිරෙන අස්ගිරි මහානායක ඇතුළු නායකකාරාදීන්ගේ බහුජන විරෝධී පිළිවෙත එසේය.

සියම් නිඛායේ අනෙක් පාර්ශ්වය වන මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු එම පාර්ශ්වය එදා සිට අද දක්වා ඒ26 මාර්ගය විවෘත කර මහජනතාවට සිදුවී ඇති අපහසුතාව නැති කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව ඔවුන්ට ගෞරවයක් පිණිස සටහන් කළ යුතුය.

පුදුමය නම්, මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ අස්ගිරියෙන් මෙවැනි ශාසනමාමක කාහලයක් පිට නොවීමයි. මහින්ද රාජපක්ෂයේ පුත්‍රයන් දළදා මාලිගාව ආසන්නයේ කාර් රේස් පදින්නට සූදානම් වන විට, එවකට අස්ගිරි මහානායක උඩුගම බුද්ධරක්ඛිත හිමි හීන් හඩක් නැගූ මුත්, අවසානයේ නාමල් රාජපක්ෂගේ කාර් රේස් ව්‍යාපෘතිය නිරුපද්‍රැතව පවත්වන්නට ධර්මානුකූලව සහාය දුන්නේය.

මහානායක හිමියන්ගේ මේ අදහස් අනුව, අස්ගිරිය මුස්ලිම් විරෝධයේ පුරෝගාමියෙකි. මුසල්මානුවන් හා බෞද්ධයන් ගල් ගසා මැරීමේ, පෙති ගසා මැරීමේ තිරශ්චීන දඩුවම් නැවත ක්‍රියාත්මක කළ යුතු යැයි සිතන පංසලකි.

ජනාධිපති සමාවෙන් නිදහස් වී සිටින මුස්ලිම් විරෝධයේ තාරකාව හැටියට සැලකෙන ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ අන්තවාදී අදහස් ප්‍රසිද්ධියේ අනුමත කළ බෞද්ධ ආයතනයක් වේ නම් ඒ අස්ගිරි පාර්ශ්වයයි. 2017 දී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි කාරක සංඝ සභාව කීවේ, 'ගලගොඩඅත්තෙ ඥානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව සහ අදහස් ප්‍රකාශන ශෛලීය කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදයද බැහැර නොකරන' බවයි.

ඥානසාර හිමියන්ගේ 'මතවාදය' කුමක්ද? මුස්ලිම් විරෝධයයි. සිංහල බෞද්ධ අන්තවාදයයි. බුරුමයේ විරතු නැමැති සාහසික භික්ෂුව අනුගමනය කරන මානව විරෝධී පිළිවෙතයි. අස්ගිරිය බැහැර නොකරන්නේ ඒ ෆැසිස්ට් මතවාදයද?

ඥානසාර භික්ෂුව බෞද්ධ චීවරය දරන්නට නුසුදුසු වන්නේ යම් සේද, ඥානසාර භික්ෂුව හා සමාන මනසකින් මෙහෙයැවෙන අස්ගිරි මහානායක, අනුනායක ලේකාධිකාරී වැන්න්නන්ද එසේම චීවරයට සුදුසු වන්නේදැයි සොයා බලන්නට ධර්මධර, විනයධර භික්ෂූන් හා බෞද්ධයන් පෙරට ආ යුතුය.

(අනිද්දා -මනුවර්ණගේ සතිය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්