මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා පුන පුනා පවසන මතයක් නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බවයි.
දැනට පවතින බටහිර විද්‍යාව පදනම්ව ඇත්තේ යුදෙව් චින්තනය ඇසුරින් තැනුණු ප්‍රවාද මත බවද ඔහු පවසයි. 
 
මෙසේ ප්‍රවාද ඇසුරින් තැනුණු බටහිර විද්‍යාව අධිරාජ්‍යවාදීන් විසින් තම මතවාදී ආධිපත්‍යයය ලොව පුරා පැතිරවීම තුලින්, ලොවෙහි අනෙක් විද්‍යාවන් යටපත් කර ඇති බව එතුමා පවසයි. 
 
බටහිර විද්‍යාවන් ප්‍රතික්ෂේප කරන එතුමා ඇතැම් බටහිර විද්‍යාවන්ට පදනම්ව ඇත්තේ පෙරදිග විද්‍යාවන් බවද, ඔහුගේ පොත්වල තැනින් තැන පවසයි.  
 
 
චීනුන්ගේ නිෂ්පාදන බටහිර ජාතීන් වැළඳ ගත්තා පමණක් නොව ඔවුන්ගේ නිපැයුම් නවීකරණය කොට, තමන්ගේ ප්‍රයෝජනය සඳහා ගන්නා ලදි.
 
දැන් අප පෙරදිග විද්‍යාවන් ගැන කතා කරමු. පෙරදිග විද්‍යාවන්ට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. ආයුර්වේදය වසර පන්දහසක් පැරණි ගැඹුරු විද්‍යාවකි. පෙරදිග කලා ශිල්පද, ගණිත ශාස්ත්‍රයද ඉතා පැරණිය. 
 
චීනය තම ඉතිහාසය තුළ කළ නව නිෂ්පාදන අති මහත්ය. කඩදාසි,මුද්‍රණ ශිල්පය, වෙඩිබෙහෙත්, මාලිමා යන්ත්‍රය, රොකට්, පටසළු පමණක් නොව නලින් මැතිතුමාද අපද අඳින කලිසමද ලොවට දායාද කළේ චීනයයි. 
 
ජෝශප් නීඩ්හැම් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා පසුගිය ශත වර්ෂයේදී චීනයට ගොස් විමසා බලා " චීනයේ විද්‍යාව හා ශිෂ්ටාචාරය" නමින් විශාල ග්‍රන්ථ හතක් ඉංග්‍රීසි බසින් ලිවීය.
 
ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථිකයෙකුවූ වූ ඔහුගේ නම නලින් ද සිල්වා මැතිතුමාගේ ලිපිවල තැනින් තැනින් ඇසේ. 
 
චීනුන්ගේ නිෂ්පාදන බටහිර ජාතීන් වැළඳ ගත්තා පමණක් නොව ඔවුන්ගේ නිපැයුම් නවීකරණය කොට, තමන්ගේ ප්‍රයෝජනය සඳහා ගන්නා ලදි. බටහිරයන් හැසිරෙන්නේ එසේය. යමක් සොයාගත්තේ තමන්ද, අන් අයද, යන්න  ඔවුන්ට වැදගත් නොවේ. 
 
බටහිරට පෙරදිගින් යමක් ගෙන එය තම උන්නතිය හා ලාභය සඳහා යොදාගැනීම බටහිරයන්ට කිසිවිටෙකත් ප්‍රශ්ණයක් නොවේ. එහෙත් බටහිරින් යමක් අප ගැනීම නලින් ද සිල්වා මැතිතුමාට හා එතුමාගේ අනුගාමිකයින්ට බලවත් ප්‍රශ්ණයකි. 
 
එනමුත්, අදවන විට බටහිර සමග කරට කර තරඟ කරන චීනය, ජපානය හා ඉන්දියාව හැසිරෙන්නේ නලින්වාදී, ලිංමැඩි ආකල්පය තුලද? අප පහසුව සඳහා එක් උදාහරණයක් පමණක් ගනිමු. 
 
තුවක්කුව මුල්වරට නිෂ්පාදනය කළේ චීනයේය. ඒ 12  වන ශතවර්ෂයේදීය. ඒ වනවිට චීනය වෙඩි බෙහෙත්ද සොයාගෙන තිබුණි. එම චීන තුවක්කුව ඉතා සරල වර්ගයේ බෙහෙත් කොටන තුවක්කුවකි. මෙම තුවක්කුව බටහිර ජාතීන් අතට පත්විය. ඔවුන් එය වැඩිදියුණු කොට, නිර්දය ලෙස පාවිච්චි කොට, මුළු ලොවම යටත්කර ගත්තේය.
 
මැෂින් තුවක්කු, අත්තුවක්කු, කාලතුවක්කු හා රයිෆල් වැනි විවිධ ගණයේ ගිණි අවි බටහිරයන් විසින් නිෂ්පාදනය කරන ලදි.
 
 ඔවුන් තුවක්කුව වැඩිදියුණු කලේ නලින් ද සිල්වා මහතාගේ වචන වලින් පවසන අන්දමට "නිව්ටන්ගේ ප්‍රවාද" යේ සංසිද්ධින් භාවිතා කරමින්ය. චීනුන් නිවුටන්ගේ ප්‍රවාද දැන නොසිටියේය. 
 
මෙම තුවක්කුව අලුත් ආකාරයකට, අතට හුරුබුහුටි ස්වයංක්‍රීය අවියක් ලෙස රුසියාව නිෂ්පාදන කළේය. එම ස්වයංක්‍රීය ගිනි අවිය AK 47 නම්ය. මෙම AK 47 ගිනි අවිය දුටු චීනුන් කළේ කුමක්ද ? තමන්ගේ මුතුන් මිත්තන් තුවක්කුවේ මුල් නිර්මාපකයන් ලෙස පාරම්බබා සිටීමද? AK 47 ගිනි අවිය දියුණු කර ඇත්තේ නිවුටන්ගේ ප්‍රවාදය මත නිසා එය ප්‍රතික්ෂේප කිරීමද? 12 වන ශතවර්ෂයේ තමන් අත්තුවක්කු නිපදවූ තාක්ෂණය සොයා නැවත සොයා ගැනීමට උත්සාහ කිරීමද ? නැත. අතිශයින්ම බුද්ධිමත් හා ප්‍රායෝගික චීන්නු  AK 47  ගිණි අවිය අනුකරණය කොට T 56 නම් ගිණි අවියක් නිෂ්පාදනය කළේය. මිලෙන් අඩු මෙම ගිණිඅවිය AK 47 ගිණි අවියට වඩා වැඩියෙන් ලොවෙහි අලෙවි විය. 
නලින්වාදීන්ට චීනයේ සිටියේ නම් T 56  ගිණිඅවිය සෑදු අය අනුකාරක උගතුන් යැයි කියනු නියතය. ඒ ඔවුන් බටහිර නිපදවූ AK 47 ගිණිඅවියේ අනුකරණයක් චීනයේ නිපදවීම නිසාය. 
  
චීනයේ වාසනාවට මෙන් නලින් ද සිල්වා මැතිතුමා චීනයේ නොඉපදිනි. චීනයේ ඉපැරණි නිපැයුම් ගැන චීනුන්ට නැති කැක්කුමක් නලීන් ද සිල්වා මැතිතුමන්ට හා එතුමාගේ ළිංමැඩියන් වැනි අනුගාමිකයන්ට ඇත. 
 
එසේ එතුමා චීනයේ ඉපදුනානම් එතුමා හා එතුමාගේ අනුගාමිකයන්ගේ බක බකය චීනය පුරා පැතිරෙණු ඇත. එහෙත් චීනයේ එම කරච්චලය වැඩිදිනක් නොපැවතෙනු ඇත. ඒ අතින් නලින් ද සිල්වා මැතිතුමා චීනයේ නොඉපදුණේ එතුමාගේද  වාසනාවකටය. 
 
බෞද්ධයන් ගිණිඅවි නිෂ්පාදනය නොකළ යුත්තේ, බුදුරජානන්වහන්සේ අවි වෙළඳාම ගිහියන් විසින් නොකළ යුතු වෙළඳාම් පහෙන් එකක් ලෙස හැඳින්වීම නිසා යයි යමෙකු  පැවසුවහොත්, අපි එම මතය හා  එකඟ වෙමු. එහෙත් එහෙත් ඔවුන් ගිණිඅවි නිෂ්පාදනය නොකළ යුත්තේ ඒවා බටහිර තාක්ෂණය තුලින් නිපදවන නිසායැයි කිවහොත්, අපි එම මතය එකහෙලා ප්‍රතික්ෂේප කරන්නෙමු. 
 
තමන් එසේ නොකියන්නේ යැයි නලින් වාදීන් දැන් පවසනු ඇත. යම් කරුණක් නොකියා කියා, තර්කය වැරදුනු පසු ආඳන්මෙන් ලිස්සා යාම, නලින් වාදයේ මුලික ලක්ෂණයෙකි.මෙවර මේ ආඳන් මඩ වලෙහි එරී ඇත.   
 
ලංකා ඉතිහාසය ගැන අල්ප දැනුමක් ඇතිව ඒ පිලිබඳ විශාරදයෙකු ලෙස හැසිරෙන නලින් ද සිල්වා මැතිතුමාගේ දැනගැනීම පිණිස තවත් කරුණක් මෙහි සඳහන් කරමු. 
 
එනම් බටහිරයන් ලංකාවට පැමිණීමට පළමුව ලාංකිකයන් වෙඩිබෙහෙත් ගැන දැනසිටි බවයි. ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසේ ලියැවුණු  "දඹදෙණි අස්න" නම් කුඩා ග්‍රන්ථයෙහි දඹදෙණියේ රජකම් කල "පණ්ඩිත පරාක්‍රමබාහු" රජුගේ යුධ අවි අතර "දුම් වෙඩි, සැර වෙඩි, මුන වෙඩි, යතුරු වෙඩි, ගල් වෙඩි, ගිනි වෙඩි. ශබ්ද වෙඩි, වාල වෙඩි, මහ වෙඩි" තිබුණු බව සඳහන්වේ. 
මෙම කරුණ නලින් ද සිල්වා මැතිතුමා දැන සිටියේ සිටියේනම් "බටහිරයන්ට පෙර අප වෙඩි බෙහෙත් සොයගතිමු" යැයි දාර්ශනික මතයක් පලකරනු ඇත. 
 
යම් යම් මතවාදී ගැටුම් ඇතත්, නලින් වාදයෙන්ම නිෂ්පන්නවූ ප්‍රභේදයක් වන රාවණා වාදීන්, වෙඩි බෙහෙත් ලොවට සොයදුන්නේ සක්විති රාවණ බැවු ඉපැරණි පුස්කොල පොතක ඇති රහස් වට්ටෝරුවක සඳහන්වේ, යැයි පවසනු ඇත. ඒ පුස්කොළ පොත එච්.සී.පී බෙල් මහතා එංගලන්තයට සොරා ගෙන ගොස්, ඒ ඇසුරෙන් වෙඩිබෙහෙත් තැනුවේ යැයි පවසනු ඇත. සැබවින්ම, මෙම වෙඩි වර්ග ලංකාවට ලැබෙන්නට ඇත්තේ ලංකාව හා චීනය අතර තිබූ ඉපැරණි නාවුක සම්බන්ධතාවයන් මගිනි.    
       
AK 47 හා T 56 ගිණි අවි ගැන කතාව අප මෙහිදී පැවසුවේ කරුණු අවබෝධය කරගැනීමේ පහසුව සඳහාය. අප කළ යුත්තේ බටහිර දෙය ප්‍රතික්ෂේප කිරීම නොවේ. අපගේ අතීතය ගැන කට මැත දොඩවමින් සිටීමද නොවේ. අපගේ අතීතය ගැන ආඩම්බර වන අතරම, නවීකරණය ඇතිවී ඇති ලොවෙහි සොයාගැනීම් බටහිරද, පෙරදිගද යැයි සොයා නොබලා අපගේ උන්නතිය සඳහා යොදා ගැනීමයි.
 
බටහිර හා පෙරදිග උන්නතිකාමී ජාතීන් හැසිරෙන්නේ එලෙසයි. මෙහිදී අවශ්‍ය වන්නේ තම රටට ආදරය කිරීම පමණි. චීනුන් චීනුන් ලෙසම සිටියදී, නූඩ්ල්ස් කමින් AK 47 ගිණිඅවිය අනුකරණය කොට T 56 ගිණි අවිය නිපදවීය. 
 
ඉන්දියාවද, චීනයද, ජපානයද අද දියුණු වන්නේ ඔවුන්ගේ පැරණි තාක්ෂණය නැවත සොයායාම නිසා හෝ පැරණි තාක්ෂණය ගැන නන්දොඩවා සිටීම නිසා නොව නවීන තාක්ෂණය රටේ ප්‍රයෝජනයට ගෙන තම රටවල් දියුණු ගැනීමෙනි. 
 
එහිදී  බටහිර සමාගම් හා එක්ව ඔවුන්ගේ රටවල කර්මාන්ත ශාලා පිහිටුවීම, චීනුන්ට හෝ ඉන්දියානුවන්ට හෝ ජපනුන්ට හෝ ප්‍රශ්ණයක් නොවේ. එය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස ඔවුන් සලකන්නේ නැත. එය බටහිර මතවාදී ආධිපත්‍යයකට තමන් යටවීමක් ලෙසද ඔවුන් සලකන්නේ නැත. එමනිසා ඔවුන් ඉදිරියට යයි. අප හිටි තැනමය. 
තමන්ගේ ආගම, විශ්වාසයන් හා සංස්කෘතිය ආරක්ෂා කරගන්නා අතරම බටහිර දේ විචාර බුද්ධියෙන් ගැනීමට තරම් මුහුකුරා ගිය නුවණක් ඔවුන්ට තිබේ. 
 
නලින් ද සිල්වා මැතිතුමන් හා  ඔහුගේ අනුගාමිකයින් ලාංකිකයන්ගේ මෙම විචාර බුද්ධිය මොට කොට ඇත. බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කරන එතුමා හා ඔහුගේ අනුගාමිකයින් ඒ ප්‍රතික්ෂේප කරන බටහිර විද්‍යාව වෙනුවට හඳුන්වාදෙන පෙරදිග විද්‍යාව කුමක්දැයි සඳහන් නොකරයි. 
 
මෙය අටුව කඩා පුටුවක්ද නොසෑදීමකට සමානය. දැන් කොස් ඇටයක් වේලීමටවත් අටුවක් නැත. වාඩි වන්නට පුටුවක්ද නැත. 
 
 anatha
"නාථ සහ විපස්සක දෙවියන්ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත"යැයි නලින් ද සිල්වා සඳහන් කරයි. 
 
අපගේ මුතුන්මිත්තන් විශාල වැව් දහස් ගණනක් තැනු බව ඇත්තය. ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවැන් සහශ්‍රය තුළ ලෝකයේ විශාලතම වාරිමාර්ග තැනුනේ ලංකාවේය. එහෙත් එම වාරි තාක්ෂණයේ නිර්මාපක විද්‍යාවන් අද ඉතුරුවී ඇත්ද? එම නිර්මාපක විද්‍යාවන් සොයාගැනීමට පසුගිය දශක තුන තුල නලින් වාදීන් ගත් පියවර මොනවාද? අවම වශයෙන් නාථ දෙවිඳුගෙන් ඒ ගැන ඇසීද? 
 
ඔහුගේ එක්පොතක "නාථ සහ විපස්සක දෙවියන්ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත"යැයි  සඳහන් කරයි. 
 
පෙරදිග විද්‍යාවන් ගැන සැඟවී ඇති දැනුම ඔවුන්ගෙන් නොඇසුවේ නම්, එසේ අසා දැන ගන්නේ කවදාද? නලින් ද සිල්වා සහ ඔහුගේ නාථ දේව බැතිමතුන්ට කල හැකි එක් දෙයක් ඇත.
 
එනම් නාථ සහ විපස්සක දෙවියන්ගෙන් අසා " ශ්‍රී ලංකාවේ ඉපැරණි විද්‍යාව" නමින් පොත් මාලාවක් පලකිරීමයි. 
 
එවැන්නක් සිදුකලහොත් නලින් ද සිල්වා මැතිතුමාගේ නම ජෝශප් නීඩ්හැම් මෙන්ම අමරණීය වනු ඇත. අපට ඒ විද්‍යාව අනුව ස්වාධීන නිපැයුම් කලහැකි වනු ඇත.
 
නලින් ද සිල්වා මැතිතුමා හා නාථ දේව බැතිමතුන් කල්ලිය අපට ඒ සැඟවුණු දැනුම සොයාදෙන තෙක්, වැව් තැනවීමට නවීන උපකරණද, නවීන ගණනය කිරීම් ද, භෞතික විද්‍යාවද යොදා ගත යුතුවේ. දන්නා දැනුමට දෙස් දෙවොල් තැබීමද, නොදන්නා දැනුමෙහි අගය කීමද එක හා සමාන නිෂ්පල ක්‍රියාවන් වේ. 
 
මෙහිදී වැදගත් වන්නේ අපගේ මුතුන්මිත්තන් කළ දේ ගැන ආඩම්බර වීමෙන් නොනැවතී, දැනට ලොවේ දැනට පවතින පෙරදිග හෝ අපරදිග විද්‍යාවන් පාවිච්චි කරමින් රට ප්‍රවර්ධනය කිරීමට සහය දීමයි. නලින් ද සිල්වා මැතිතුමා හා  එතුමාගේ අනුගාමිකයින් නොකරන්නේද එයයි. ඔහුගේ මතවාදය ශ්‍රී ලාංකිකයන්ගේ මනස  අවුල් කොට ඇත.
 
Drjpg 
විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර

 

 

කියවන්න :
 
 
 

 


 

 
 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්