මේ දිනවල අප රටේ සිදුවන ජනාධිපති අපේක්ෂක සටන් දෙස විමසිල්ලෙන් බලාසිටින පුරවැසියන්ට, අප රටේ දේශපාලනයේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවත්නා දේශපාලනයේ ව්‍යූහාත්මක සහ ආයතනික වෙනස්වීම් රාශියක් පිළිබඳවද ඉතා විශ්වාසජනක ඉඟිකිරීම් ගණනාවක්ම හඳුනාගත හැකිය. මේ ලිපියේ අරමුණ එවැනි ඉඟිකිරීම්වලින් ප්‍රකාශවන දේශපාලන පරිවර්තනයේ ප්‍රවණතා කිහිපයක් ද හඳුනාගැනීමයි.

අපගේ සාකච්ඡාව ගොඩනැගෙනු ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ (ගෝඨාභය රා) රනිල් වික්‍රමසිංහ ( රනිල් වි), සජිත් ප්‍රේමදාස (සජිත් ප්‍රේ) සහ අනුර කුමාර දිසානායක (අනුර කුමාර දි) යන දේශපාලකයන් සිව්දෙනා කේන්ද්‍රකොටගෙනය. 

මේ සිව්දෙනාම ජනාධිපති අපේක්ෂක අපේක්ෂකයෝය. මා  මෙම ලිපියේ ගොඩනගන සාකච්ඡාව සහ විග්‍රහය, මධ්‍යස්ථ සහ අපක්ෂපාත දේශපාලන විග්‍රහයක් සඳහා වන උත්සාහයක්ද වේ. මේ අපේක්ෂක අපේක්ෂකයන් හතර දෙනාම පිළිබඳ මෙම සාකච්ඡාව, එම පුද්ගලයන් තමන් ජීවත්වන සමාජයේ සිදුවන වාස්තවික පරිවර්තනවල අවිඥානක ප්‍රකාශකයන් බවට ඔවුන් පත්වී ඇති ආකාරය පිළිබඳව කරන සටහනක් ද වෙයි.

ගෝඨාභය රා:

පොහොට්ටුව පක්ෂ නායකත්වය විසින් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය මහතා නම් කිරීම තුළින්, ලංකාව සහ ලෝක මට්ටමෙන් සිදුවන එක්තරා නව දේශපාලන ප්‍රවණතාවක් සංකේතවත් කරයි. එය නම්, ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්ෂවලින් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයන්ගේ නැගීම පිළිබඳ නව වෘත්තාන්තයයි.                Gota trump new24

මෙය පසුගිය අවුරුදු දෙක තුන තුළ ලෝකයේ රටවල් කිහිපයකින් ප්‍රකාශයට පත්වූ ප්‍රවණතාවයකි. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රවණතාවේ ඉතාම පැහැදිළි නියෝජිතයාය.

මෙවැනි ජනාධිපති අපේක්ෂකයන් සහ අළුත් පන්නයේ දේශපාලන නායකයන් නියෝජනය කරන පොදු ප්‍රවණතා කිහිපයක් තිබේ. ඔවුන් තම දේශපාලන පදනම ගොඩනගන්නේ ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්ෂවලට පිටතින් සහ ඒවාට ස්වාධීනව වීම පළමුවැන්නයි. 

ඔවුන්ගේ දේශපාලන පදනම තමන්ගේම ධනය, පුද්ගලික සම්බන්ධතා, ව්‍යාපාරික හා වෘත්තීය සම්බන්ධතා මත ගොඩනගා තිබීම දෙවැන්නයි. 

තුන්වැන්න, පවත්නා ප්‍රතිෂ්ඨාපිත දේශපාලන ආයතන, භාවිත, මතවාදයන් යනාදිය ප්‍රතික්ෂේප කරමින්, තමන් ඒ සියල්ලට විකල්ප ඉදිරිපත් කරන්නේය යන 'මිත්‍යාව' ප්‍රබල ලෙස ගොඩනැගීමයි. 

ඒ අනුව මෙවැනි අය ඉදිරිපත්  කරන්නේ‌ තමන්ගේ පුද්ගලිකත්වය වටා ගොඩනගන ලද දේශපාලන ප්‍රතිරූපයක් සහ දේශපාලන ව්‍යාපෘතියකි. කාලයක් තිස්සේ ජනමාධ්‍ය, විශේෂයෙන් සමාජ මාධ්‍ය, යොදාගනිමින් ගොඩනගන පුද්ගලික කේන්ද්‍රීය ප්‍රචාරක ව්‍යාපාරයකින් පසු ඔවුන් කරන්නේ, තමන්ගේ අපේක්ෂකත්වය පිළිගන්නා ලෙස, තමන් සම්බන්ධකම් පවත්වන ප්‍රතිෂ්ඨාපිත දේශපාලන පක්ෂයට බලකිරීමයි. 

එසේ කරමින්, ඔවුන් දේශපාලන අවකාශය තුළ ඉදිරියට එන්නේ, රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට 'මැජික් විසඳුම්' තමන් සතුව ඇත යන මිත්‍යාවාද ගොඩනගමිනි. එසේ ගොඩනගන මිත්‍යාවේ එක් දේශපාලන යථාර්ථයක් තිබේ. එය නම්, සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයත්, එහි දෘෂ්ටිවාදීමය මූලධර්මත් ප්‍රතික්ෂේප කිරීමයි. 

එබැවින් මෙවැනි දේශපාලන 'වීර පුරුෂයෝ' පශ්චාත් - ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන හා සමාජ සිද්ධියක්ද වෙති. 
පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පරිහාණිය, දේශපාලන බිඳවැටීම්, දූෂණය, අකාර්යක්ෂමතාව, ආර්ථික අවවර්ධනය යන මේවා නිසා සමාජයේ ඇති අතිමහත් අර්බුදය, මෙවැනි 'වීර පුරුෂයන්ගේ' මතුවීමට අවශ්‍ය සමාජ සහ සමාජ - මනෝවිද්‍යාත්මක අවකාශයද නිර්මාණය කරයි.

මෙපරිදි ගෝඨාභට රාජපක්ෂ නම් වූ ජනාධිපති අපේක්ෂක අපේක්ෂකයා අපට දැකිය හැක්කේ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රසීලයේ ජයිල් බොල්සෝනරෝ, පිලිපීනයේ රොඩ්රි‌ගෝ දුතර්තේ, බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් වැනි අලුත් පන්නයේ පශ්චාත් - ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලඥයන්ගේ මාදිලියේ තවත් කෙනෙකු ලෙසය. මෙම නායකයන් සියලුදෙනාගේ පොදු ලක්ෂණයක් නම්, බැසිල් රාජපක්ෂගේ වචනයකින් කියන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදයේද 'කම්මුතුකාරයන්' වීමයි.

රනිල් වි

තමන් ජනාධිපති අපේක්ෂක අපේක්ෂකයෙකු බව තවමත් සෘජුව ප්‍රකාශ කර නැතත්, අගමැති රනිල්, එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලියක තදින්ම නිමග්න වී සිටින බව ඉතා පැහැදිළිය. රනිල්ගේ ජනාධිපති අපේක්ෂකත්වයට දේශපාලන අනාගතයක් නැත යන්න එජාපයේ සාමාජිකයන් බොහෝ  දෙනෙකුගේ පොදු මතය බව පෙනෙන්නට තිබුණත්, අගමැති රනිල් එම අදහස්  පිළිගන්නා බවක් නොපෙනේ. 

රනිල් සහ සජිත් අතර, ජනාධිපතිධූර අපේක්ෂකත්වය පිළිබඳව පසුගිය සති ගණනාවක් තුළ දියත් වී තිබෙන උග්‍ර සීතල යුද්ධය තුළ සිදුවී තිබෙන්නේ, එජාපය පෙර නොවූ විරූ ලෙස අභ්‍යන්තර බෙදීමකට සහ දුර්වලවීමකට පාත්‍ර වීමයි. 

තමන් දෙදෙනා අතර ඇතිවන මෙම අන්‍යෙන්‍ය වශයෙන් ස්වයං - විනාශකාරී ද්වන්ද යුද්ධය නිසා තම පක්ෂයටත්, තමන්ටත්, ජනාධිපතිවරණය ජයගැනීමට තමන්ට තිබෙන අවකාශවලටත්, සිදුවන අතිමහත් හානිය ගැන ඔවුන් සිතන්නේ නැද්ද? මෙය වනාහී දේශපාලන සිහිබුද්ධිය ඇති එජාපය පාක්ෂිකයන් ඇසිය යුතු ප්‍රශ්නයයි. 

 Ranil text24මේ අතර, සජිත් ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් කරමින් යන ජනාධිපතිධූරය ලබාගැනීමේ නොතිත් විජිගීෂාව නිසා අගමැති රනිල් එක්තරා දේශපාලන උභතෝකෝටිකයකට මුහුණ පා සිටින බවද අප අමතක නොකළ යුතුය. එය නම් බැරිවෙලාවත් සජිත් ජනාධිපති වුවහොත්, එහි ප්‍රතිඵලය වන්නේ   එජාපයේ නායකත්වයද සජිත් වෙතට මාරුවීමයි. 
   එජාපයේ නායකත්වය, සේනානායක - ජයවර්ධන - විජයවර්ධන - වික්‍රමසිංහ පවුල් කිහිපය වෙතින් ගිලිහීයාමයි. 

සම්පූර්ණයෙන්ම අලුත් සමාජ සහ පවුල් ස්ථරයක් වෙතට පක්ෂ නායකත්වය මාරුවීමයි. ශ්‍රීලනිපයේ මෙම වෙනස දැන් සිදුවී තිබේ. එවැනි වෙනසක් එජාපය තුළද සිදුවීම, අවිඥානක සමාජය -  ‌ෙඑතිහාසික පරිවර්තනයේ නීතියක් ලෙස පිළිගැනීමට අගමැති රනිල් සහ ඔහුගේ සාමාජිකයන්ද, ඥාති පවුල්වල අයද සූදානම් විය යුතුය. එහෙත්, එවැනි සූදානමක් තිබෙන බව ඉඟියක් අගමැති රනිල් වෙතින් තවමත් ප්‍රකාශ වී නැත.

 

සජිත් ප්‍රේ:

මේ අතර සජිත් ප්‍රකාශයට පත්කරන්නේ එජාපය දේශපාලන පක්ෂයක් වශයෙන් මුහුණ දෙන මහා ප්‍රශ්නයේ අනෙක් මුහුණවරයි. එය නම්, රටේ ජනාධිපතිධූරයත්, එජාපයේ නායකධූරයත් ලබාගැනීමට දැනට තම සටන ආරම්භ කර තිබුණා ද, ඒ සඳහා පුළුල් මහජන සහයෝගයක් ලබා ගැනීමට අවශ්‍ය දේශපාලන ඉදිරි දැක්මක්ද, පරිවර්තනීය දෘෂ්ටියක්ද, තමා සහ ඡන්දදායකයන් එකට බැඳී තැබිය හැකි ප්‍රතිපත්තිමය දැක්මක් ද ඔහු වෙතින් ඉදිරිපත් නොවීමයි. 

තමන් රටේ පුරවන්නට අපේක්ෂා කරන්නේ කවර දේශපාලන හිදැසද? යන ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ඡන්දදායකයන් වෙත ඉදිරිපත්කිරීමට ඔහු තවමත් මැලිවී තිබේ. ඔහු දැනට ගොඩනැගීමට උත්සාහගෙන තිබෙන්නේ තමන් වනාහී 'ජනතාවගේ දුක දන්නා එකම නායකයාය' යන අදහස පදනම්කරගත් ප්‍රතිරූපයකි.                                                                                          Sajit text24

මෙය වනාහී සජිත් මහතා තම පියාගෙන් ලබාගත් අදහසකි. ඇරත්, එම ප්‍රතිරූපයවත් ප්‍රබල ලෙස  සමාජය වෙත ඉදිරිපත් කිරීමට ඒ මහතා සමත්වී නැත. ඔහුට තවමත් ඇත්තේ 'ජාතික නායකයෙකු' පිළිබඳ ප්‍රතිරූපයක් නොවේ. ගම්වල දුප්පත් ජනතාවට සුළු සුළු උදවු කරන, එහෙත් ඒවාට ප්‍රසිද්ධිය දීමට එම වැඩවලට යන වියදමට වඩා ප්‍රචාරය සඳහා වියදම්කරන ග්‍රාමිය මට්ටමේ දේශපාලඥයකුය යන ප්‍රතිරූපයයි. 

මෙම කුඩා ප්‍රතිරූපමය කටුව කඩාගෙන එලියට පැමිණ, පුළුල් දේශපාලන ඉදිරි දර්ශනයක් සහිත දුරදක්නා නායකයෙකුය යන ප්‍රතිරූපය නිර්මාණය නොකරන තාක් දුරට, සජිත් මහතාට ලංකාවේ දේශපාලනය තුළ ලබාගත හැකි අවධානය සහ අවකාශය කැඩෙනසුළු එකක් වීමට හොඳටම ඉඩ තිබේ. ඔහුගේ මෙම අඩුපාඩුව රනිල් වික්‍රමසිංහ පාර්ශවයට හොඳින් වැටහී තිබෙන බවද පෙනේ.

අනුර දි:

මේ අතර ලංකාවේ ජනාධිපති අපේක්ෂක රඟමඬලට පායා ඇති අළුත්ම තාරකාව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාය. ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමට පසුගිය ඉරිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වුණු රැලිය, එහි දේශපාලන මෙන් ම දෘශ්‍යමය පණිවිඩද ඉතා ප්‍රවේශමෙන් සකස්කර ඉදිරිපත් කර තිබුණු එකක් විය. රැලියට සහභාගි වූ විශාල සෙනඟ, අනුර කුමාර මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ සාධනීය පණිවිඩයක් ලෝකයාට ඉදිරිපත් කිරීම ගැන කිසිදු සැකයක් නැත.

එහෙත්, ජනාධිපතිවරණයට සෘජුව මැදිහත්වන ජවිපෙ මුහුණ දෙන අභියෝග කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න නම්, දැනට ජවිපෙ ගොඩනගාගෙන තිබෙන වාමාංශික පෙරමුණ කේන්ද්‍රකොටගෙන පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් අළුතෙන් ගොඩනැගීමයි. 

එහිදී 2015දී ඇති වූ දේශපාලන පරිවර්තනයට දායකවූ ඡන්දදායකයන් අතර සිටින, එම පරිවර්තනයේ පරමාදර්ශවලට කැපවී සිටින දසදහස් ගණනක් වන පාක්ෂික මෙන්ම නිර් - පාක්ෂික ඡන්දදායක ප්‍රමාණයක් රටපුරා විසිරී සිටිති. ඔවුහු නාගරික මෙන්ම ග්‍රාමීය සමාජවලත්, සෑම ජනවර්ගික කණ්ඩායමක් මෙන්ම විශේෂයෙන් සුළු ජන ප්‍රජා කණ්ඩායම් අතරත්, විවිධ සමාජ පන්තීන් අතරත් විසිරී සිටිති. මේ අය එකතු කරන මැතිවරණ සන්ධානයක්, සමාජවාදී සහ වාමාංශික  සන්ධානයක් විය යුතු නොවේ. 

Anura text24එය ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍රකොටගත් දේශපාලනමය වශයෙන් පරිවර්තනීය සන්ධානයක් හා පුළුල් පෙරමුණක් විය යුතුය. එවැන්නක් සඳහා අවශ්‍ය දෘෂ්ටිමය විකල්පයක්ද, විකල්ප වැඩපිළිවෙළක්ද, මහජනතාවගේ දේශපාලන පරිකල්පනය පුබුදුකළ හැකි සටන්පාඨද මෙම පුළුල් පෙරමුණට තිබිය යුතුය. 

සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් යනු ඉතා පැහැදිළි, පුවැසියන්ගේ දේශපාලන පරිකල්පනය පුබුදුවන සහ ඔවුන්ටද තම දේශපාලන අපේක්ෂාද අනන්‍ය කරගත හැකි සටන් පාඨ දෙකතුනක් වටා ගොඩනගන නිර්මාණාත්මක ප්‍රයත්නයකි. 

පසුගිය අවුරුදු තුනේදී පත්වුණු දුක්ඛදායක ඉරණම අමතක කරමින්, 2014 අගදී දියත් කළ සහ 2015 මුලදී සාර්තක වූ, ජවිපෙද ප්‍රධාන වැඩකොටසක් ඉටු කළ මැතිවරණ ව්‍යාපාරය දෙස ආපසු බැලුවහොත්, ඒ වෙතින් ඉගෙන ගැනීමට තිබෙන දේශපාලන පාඩමක් වන්නේද මෙම කාරණයයි.


ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස අනුර කුමාර ඉදිරියට පැමිණ සිටින්නේ, සම්ප්‍රදායික දේශපාලන නායකත්වය විශාල අර්බුදයකට ගොස් තිබෙන පසුබිමකය. ගෝඨාභය මහතා  ප්‍රයෝජනයට ගන්නට යන්නේද ලංකාවේ දෙශපාලන නායකත්වය සම්බන්ධව තිබෙන මෙම අර්බුද පසුබිමයි.

 එහෙත් ඔහුට දැන් තිබෙන අවාසිය, ඔහුද රාජපක්ෂ පවුලෙත් පැරණි දූෂිත දේශාපාලන පන්තියේම නියෝජිතයා ලෙස ඉදිරියට ඒමයි. එජාපයේ අපේක්ෂකයා වන්නේ රනිල් වුවද, සජිත් වුවද, ඔවුන්ද අපේක්ෂකයන් වන්නේ එම පිරිහුණු දේශපාලන පන්තියේම නියෝජිතයන් හැටියටය.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ඇති මෙම අර්බුදය විසින් බිහිකරන ලද විකාශය, 2015 ජනවාරියේ දී මෛත්‍රීගේ ජයග්‍රහණයට තුඩුදුන් එක්  සාධකයක් විය. මෛත්‍රී එවර ජනයා ඉදිරියට ආවේ 'නැවුම්' සහ 'විශ්වාස කළ හැකි' විකල්ප නායකයෙකු ලෙසය.

 ඔහු තම විශ්වාසය කඩා දමා ඇතත්, එවැනි විකල්ප නායකත්වයක් සඳහා ඇති සමාජය හා දේශපාලන අවකාශය අප රටෙහි තවමත් තිබේ. අනුර කුමාර මහතා ආමන්ත්‍රණය කළ යුත්තේ මෙම සමාජය අපේක්ෂාවටද විය යුතුය.

(ජයදේව උයන්ගොඩ : අනිද්දා පුවත්පත 2019.08.24)

jayadewa Uyangoda

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්