පසුගිය ලිපියෙන් මා සාකච්ඡා කලේ පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය යන්නයි.

නමුත් රටෙහි අද පවතින දුර්දාන්ත, හිතුවක්කාරී, අධිකාරිවාදී එසේත් නැත්නම් කිසි වැඩපිළිවෙළක් නොපෙන්වන අයුරින් කර ගෙන යන ගජමිතුරු දේශපාලන පරදවා දැමීම සඳහා බලවේගයන් ගොඩනඟා ගැනීමේ වැදගත්කම ගැන සාකච්ඡා කිරීම ඊලඟ වැදගත්ම කාරණයයි.

පුළුල් බහුජන ව්‍යාපාරයක් රටේ ජනතාවගේ උවමනාවන් ඉටු කර ගන්නා තුරු පැවතිය යුතු බව මෙන්ම යම්කිසි දේශපාලන සන්ධානයක්, එකතුවක් හෝ පෙරමුණක් මේ පවතින ජනතා විරෝධී දේශපාලනයට එරෙහිව ගොඩනගා එම බලය පෙරළා දැමීමටත් ප්‍රජාතන්ත්‍රවාදී බලයක් එතැනට ගෙන ඒමත් අත්‍යාවශ්‍ය බව පැහැදිලි කරුණකි.

එසේ දේශපාලන සන්ධානයක් ගොඩ නගා ගැනීමට නම් විවිධ දේශපාලන කණ්ඩායම්, දේශපාලන පක්ෂ සහ පුද්ගලයින්ගේ එකතුවක් අත්‍යාවශ්‍ය වෙයි. එම එකතුව ඇතිවිය යුත්තේ අද පවතින දේශපාලනයට සම්පූර්ණයෙන් වෙනස් ජනතා උවමනාවන් ඉටුකර ගැනීමේ පුළුල් ප්‍රජාතන්ත්‍රීය දේශපාලන සන්ධානයකින් එසේ නැත්නම් එකතුවකිනි.

මෙම දේශපාලන සන්ධානය අත්‍යාවශ්‍යයෙන් ම එකට එකතු විය යුත්තේ මූලික ව සකස් කර ගන්නා ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිපත්තිමය එකඟතාවයක් තුල ඇති කර ගන්නා වැඩපිළිවෙළක් සමග එකඟව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ගැනීමට වන අතර ආරම්භයේ සිටම එය එහි ක්‍රියාත්මකාරිත්වයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් පවත්වා ගත යුතුය.



මෙතෙක් ලංකා දේශපාලනයට හුරුවී ඇති සන්ධාන, පෙරමුණු ආදියෙහි පැවති මූලික වැරැද්ද වන ආරම්භයේ සිටම එය එක පක්ෂයක, එක කණ්ඩායමක හෝ එක කල්ලියක ආධිපත්‍යයට යටත්ව පැවතීම මෙම එකතුව විසින් පිටු දැකිය යුතුය.



ආරම්භයේ සිටම එය, එක කණ්ඩායමක හෝ එක පුද්ගලයෙකුගේ නායකත්වයේ භුක්තියට සවි නොවූ එකතුවක්, සන්ධානයක් විය යුතුය. එය තුළ සෑම ඒකකයක්ම සම අයිතියකින් යුතු විය යුතුය. එම දේශපාලන පොදු එකතුවේ ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට කණ්ඩායම් නායකත්වයක් පවත්වා ගැනීම ආරම්භයේ සිට ම වැදගත් වේ.

කිසියම් එක් කණ්ඩායමක ආධිපත්‍ය මෙම එකතුව තුළ නොතිබිය යුතුය. ලොකු කුඩා සෑම කණ්ඩායමකටම එක හා සමාන අයිතියක් පැවතිය යුතු වන අතර මෙම එකතුව තුළින් තෝරා ගත් කමිටුවක් තුළින් කණ්ඩායම් දේශපාලනය ක්‍රියාත්මක කිරීම කළ යුතුය.  

එසේ ඇති වන සන්ධානය යම් කිසි දිනක මැතිවරණයකට, ජනාධිපතිවරණයකට මුහුණ දෙන අවස්ථාව වන විට එයට මුහුණ දීමට තෝරා ගන්නා පුද්ගලයින් එම අවස්ථාවෙහි තීරණය කළ යුතුවා මිස එය ආරම්භයේ සිට නම් කර ගත් කොටසක් නොවිය යුතුය.


ලංකාවේ ජීවත් වන ජන කණ්ඩායම් වැඩි ප්‍රමාණයක් නියෝජනය වන ආකාරයෙන් එම කමිටුව සකස් කර ගැනීම වැදගත් වේ. දෙමළ භාෂාව කතා කරන අයගේ නියෝජනය මෙහි දී අනිවාර්ය සාධකයකි.



ස්ත්‍රී සහභාගිත්වය අත්‍යාවශ්‍යයි :

5675676සංධානයේ සෑම තලයකම ස්ත්‍රී සහභාගිත්වය අත්‍යාවශ්‍ය වෙයි.


මෙවැනි සන්ධානයකට වැදගත් වන ඊළඟ කාරණය වන්නේ ආරම්භයේ සිටම මෙහි ක්‍රියාදාමය සඳහා තෝරා ගන්නා කමිටුව තුළ පිරිමින් සහ ස්ත්‍රීන් සමසමව (හැකි උපරිමයෙන්) නියෝජනය වන බව සහතික කිරීමයි. තවද සංධානයේ සෑම තලයකම ස්ත්‍රී සහභාගිත්වය අත්‍යාවශ්‍ය වෙයි. (මල් පෝච්චි නොවන සැබෑ නියෝජනයක්.)
 
මෙම කාරණයේදී අප හුරු වී ඇත්තේ (ඒ අප පුරුෂමූල ලොවක ජීවත් වන බැවින්) අප සංවිධානවලට ස්ත්‍රී පක්ෂය අඩු යැයි කියමින් ආරම්භයේ දීම ස්ත්‍රී කොටස් නැතිවම වැඩකරගෙන යාමටයි.
 
නිදහසට කරුනු නොසොයා අපහසුවෙන් වුවත් අප කළ යුතු වන්නේ මෙම දේශපාලන එකතූන් වලට ස්ත්‍රීන් සහභාගි කර ගැනීමට හැකි උපරිම උත්සාහය දැරීමයි. අපට හැමදා හුරු වී ඇති ආකාරයට මෙම එකතුන තුළ ආධිපත්‍යයක් පිරිමින් සතුව පවතින්නට ඉඩ නොතබමින්, අඩු හඬක් තිබුණා වූවත් ස්ත්‍රීන්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට එය තුළ ඉඩ සැලසීම, එමෙන්ම ඔවුන්ගේ අදහස් නොවැදගත් ලෙස සලකා ඉවත් නොකිරීමටත් වග බලා ගත යුතුය.
 
අපට වෙනස අවශ්‍ය කරන්නේ හුදෙක් මේතාක් බලයේ සිටි දේශපාලන පක්ෂවලට එරෙහිව පමණක් නොවේ. ලංකාවෙහි පවතින සෑම ආකාරයකම අධිපතිවාදී දෟෂ්ඨිවාදයන්ටද  වෙනස්ව යන  සුසමාදර්හී වෙනසක් ඇති කළ හැකි ආකරයකටය.
 

මෙම පුළුල් සංවිධානය ආරම්භයේ දී මේ ආකාරයෙන් ‍ප්‍රජාතන්ත්‍රවාදී වන, ඒවාගේම පවතින දේශපාලනයට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් ලෙස, අලුත් දෙයක් බවට පත් කිරීම මෙම පෙරමුණ, නැත්නම් සන්ධානය හෝ මෙම එකතුව තුළ ක්‍රියාත්මක වන  දේශපාලනයේ දී සිදු විය යුතුයි. ඇත්තෙන්ම පවතින දේශපාලනයට පැහැදිලි විකල්පයක් න්‍යායාත්මකව මෙන්ම භාවිතාවෙන් ද ඉදිරිපත් කිරීම අද අප හමුවේ ඇති අභියෝගයයි.


 
එනිසා දේශපාලන බලය පෙරළා දැමීම අනවශ්‍ය කාරණයක් යයි මම කිසි විටෙක අදහස් නොකරමි. නමුත් බලය පෙරළා දැමීම සහ බලයට බලපෑම් කරමින් දීර්ඝකාලීනව තම උවමනාවන් ඉටුකර ගන්නා දේශපාලන බලයක් රට තුළ ගොඩනඟා ගැනීම යනු කාරණා දෙකකි. මේ එකිනෙකට සම්බන්ධව පවතින කාරණා දෙකකි. මේ දෙක එකිනෙකට සමගාමීව ගමන් කරන අතර එකක් අනෙක සමග සහ සන්ධිය සම්බන්ධයකින් පවතී.



ගැලවුම්කරුවකු සොයන සමාජයක් !
 
ලංකා සමාජය අධිපතිවාදි සහ අධිකාරිවාදය තුළ හිරවී ඇති සමාජයක් බව මගේ වැටහීමයි. එම නිසාම අප සෑම විටම සොයනුයේ ගැලවුම් කරුවෙකි. එනිසා රාජ්‍ය බලය හිමි  අයට අපගේ සියලු ක්‍රියාදාමයන් පාලනය කිරීමට අපි ඉඩ හරින්නෙමු. බොහෝ විට මෙම අධිපතිවාදි බලධරයන්  පවත්වා ගෙන යන දුර්දාන්ත පාලනය වුවත් තමන් තුළම කරන මැසිවිලි නගා ගැනීමක් තුළ, එම දුර්දාන්ත තත්ත්වය ඉවසා සිටීමට අප සමාජය පුරුදුව ඇත්තෙමු.

නමුත් සිදු විය යුත්තේ මෙවැනි දුර්දාන්ත තත්වයක් ඇති වන විට එය පෙරළා දැමීම සඳහා මිනිසුන් උද්ඝෝෂණය කිරීමයි. මිනිසුන් සංවිධානය වීමයි. මිනිසුන් එයට එරෙහිව කැරලි ගැසීමයි. ජනතාවගේ පරමාධිපත්‍ය ඉල්ලා අරගල කිරීමයි. නමුත් අප සමාජයේ හුරුව වී තිබෙන්නේ මෙයින් දුරස්ථව ඉවසා සිටීමේ සංස්කෘතියකටයි.
 

ජනතාව කැරලි ගැසීමේ සංස්කෘතියක් ලංකා සමාජයට උරුමව නැති නමුත් සමාජයක් කැරලි ගැසීමට හෝ එක්ව ගමන් කිරීමට සංස්කෘතියක් ඇති කර ගැනීම යනු ඉතිහාසය තුල සිදු නොවූ නිසා ඇති නො විය හැක්කක් යැයි සිතීම නිවැරදි දෙයක් නොවන බව මගේ වැටහීමයි. සංස්කෘතිය යන්න එක තැන පවතින දෙයක් වත් සැමදා එකම ආකාරයකින් පවතින දෙයක් වත් නොවන බව මගේ වැටහීමයි.


 
සංස්කෘතිය විවිධ දේවල් වලින් ආභාෂය ලබමින්, විවිධ අංගයන් එක් කරගනිමින්, ඒ ඒ සමාජ තත්වයන්ට සහ කාල වකවානු වලට අනුගත වෙමින්, නිරන්තරයෙන් වෙනස් වෙමින්, නිරන්තරයෙන් සංවර්ධනය වෙමින් ගමන් කරන ක්‍රියාදාමයකි. එය කැරලි ගැසීමට හෝ එකිනෙකා අතර සහයෝගය ගොඩනගා ගැනීමට බාධාවක් නොවන බව මගේ වැටහීමයි.

සිදු විය යුත්තේ එවැනි සංස්කෘතියක් මතු කර ගැනීම සඳහා සමාජයට මඟ පෙන්වන ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් පිරිසක් සමාජ ක්‍රියාකාරීන් සමග සම්බන්ධ වී ක්‍රියාත්මක වීම තුලින් සමාජය තුළ ඇති කිරීමයි.
 
එසේ ඇතිවෙන සංස්කෘතිය අපේ දෙයක් ලෙස භාර ගැනීමට අප මැළි නොවන බව අද වන විට ලංකාවේ පවතින සමාජ දේශපාලන සංස්කෘතිය දෙස බැලූ විට අපට වටහා ගැනීමට අපහසු නැත.
 

බොහෝ විට අප රට සහ එහි දේශපාලන බලවේග හුරුව ඇති දේශපාලන ගමන් මාර්ගයට වෙනස් මගක දේශපාලනය ගමන් කරවීමට උත්සාහ කරන මෙම ආරම්භය, එහි ඇති ආගන්තුක බව නිසාම අපහසුතාවයන් ගොඩක හිරවීමක් ආරම්භයේදී ඇති විය හැකිය. මේ තත්ත්වයට අප නොබියව මුහුණ දීමට සූදානම් විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බව අප වටහා ගෙන තිබිය යුතුය.



එයට හේතුව  අප සමාජයේ, ලංකා දේශපාලනයේ, ලංකා පවුල් සංස්ථාවේ, ආයතන පද්ධතියේ, සමාජ ක්‍රියාදාමයන්හි අති බහුතරයක් ක්‍රියාත්මක වන්නේ අධිකාරිවාදී, අධිපතිවාදී යටපත් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සංස්කෘතියක් තුල නිසාවෙනි. එහි ඇති වැඩවසම් ලක්ෂන අප පෙම් බැඳ ඇති සමාජ වටිනාකම් බව අප අමතක නොකළ යුතුය.
 
ප්‍රජාතන්ත්‍රවාදය දෙසට හැරෙන අපි අභියෝග කළ යුත්තේ මේ අප හුරුවී ඇති පසුගාමී සමාජ වටිනාකම් වලටය. එම නිසාම ‍ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයකට අප සූදානම් වන විට එය අපට අපහසුවක් ඇති කරයි. ඒ අපේ හුරුව ඇත්තේ ඉහළින් කියන දෙයකට අනුව ක්‍රියාත්මක වීමට නිසාවෙනි.



විමසීම වෙනුවට වන පොත් කිරීමට හුරු කල සමාජයක් !

අප විමසීම වෙනුවට වන පොත් කිරීමට හුරු කල සමාජයකි. අප ප්‍රශ්න කරන්නා පිටු දැක අවනත වන්නා අගයන සමාජයකි. සමාජයක් ඉදිරියට ගමන් කරනුයේ ඉගෙනුමට සහ ප්‍රශ්න කිරීමට බිය නොවීම තුලිනි.
 
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක දී සෑම පුද්ගලයෙකුම ස්වාධීනව සිතීමට සහ නොබියව තීරණ ගැණීමට පුහුණු විය යුතුය. අපේ අදහස් සාමූහික සාකච්ඡාව තුලින් වැඩි දියුණු කර ගත යුතුය යන්න ඉන් ප්‍රතික්ෂේප නොවේ. සාමූහික සාකච්ඡා මගින් ඉදිරියට යෑමට නම් අපට එනම් ක්‍රියාකාරීන්ට සහ ක්‍රියාකාරිනියන්ට අදහස් දැක්වීමේ හැකියාවක් තිබිය යුතුය.
 
දේශපාලන සංවිධානයනට හෝ ආයතනයන්ට මෙම ක්‍රියාවන් හි දී තමන් හුරුව ඇති ක්‍රියාදාමයෙන් (අධිපතිවාදී සහ ගැති බවින්) එපිට ගිය ක්‍රියාදාමයකට ඇතුළු වීමට සිංදුවෙයි. එනිසාවෙන්ම මෙම භාවිතාව ආරම්භයේ දී අපට අපහසුතාවයන් මතු කරනු නොඅනුමානය. භාවිතාව හුරු වූ පසු එම ක්‍රියාදාමය ඉතා පහසු මෙන්ම වැඩි දෙනෙකුගේ සතුටට හේතු වන ක්‍රියාදාමයක් බවට පරිවර්තනය වන බව ද  නොඅනුමානය.
 

එනිසා පවතින දුර්දාන්ත දේශපාලන බලය, වැරදි දේශපාලන නායකත්වය, පෙරළා දැමීම සහ ඉවත් කිරීම අත්‍යාවශ්‍ය බව පැහැදිලියි. වැරදි දේශපාලන බලය පෙරළා දැමීම, වැරදි දේශපාලන බලවේග බලයෙන් පහ කිරීම, මෙම පොදු ජන බලවේගයෙහි ප්‍රධාන අරමුණ විය යුතුය. දේශපාලන බලය පෙරළා දැමීම, බලය ඇල්ලීම පුළුල් බහුජන ව්‍යාපාරයක මග පෙන්වීම යටතේ ඇති වන දේශපාලන සන්ධානයක් තුළින් සිදු විය යුතුයයි මම සිතමි.
 

 


 

The Leader TV  

 

මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip

   

 

සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්