ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවාගත් ජාතික ජන බලවේගය අගෝස්තු 18 දා ගාලු මුවදොර පැවැත්වූ මහා රැලියේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එහි ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කළේය.

දේශපාලන හා සිවිල් සංවිධාන රාශියක එකතුවකින් හැදුණු එම බලවේගය, මෑත කාලයේ වැඩිම සෙනඟක් ගාලු මුවදොරට කැඳවීමට සමත් වූ ජනවලවේගය බවට සැකයක් නැත.

ඒ අනුව, ජවිපෙ මූලිකත්වය ගත් ජාතික ජනබලවේගය දැන් තමන්ගේ අපේක්ෂකයා ඉදි‌රිපත් කර තිබේ. ඊට පෙර සති අග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ සිය අපේක්ෂකයා ලෙස නම් කළේය. අනෙක් ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් අපේක්ෂකයෙකු නම් කර නැත.

එජාපය ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මාරාන්තික කඹ ඇදිල්ලක නිරත වන අතර, ශ්‍රීලනිපයද ඉන්නේ බලවත් අවුලකය.

පොහොට්ටුව ශ්‍රීලනිපය ගිලගැනීමේ අභිලාෂයෙන් සිටින අතර, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේනද වැඩි නැඹුරුවක් දක්වන්නේ පොහොට්ටුව සමග එකතුවී ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහා වැඩ කිරිමටය. තමන් සමග කතාබහ කරන සමීපතමයන්ට ඔහු ඒ බව අඟවා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිම තීරණයක් නොගෙන ඔහු කල් අරින්නේද ඒ හේතුව නිසා විය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ යම් හෙයකින් දිනුවහොත්, තමාගේ සහ තම පවුලේ ජීවිත ආරක්ෂාව සඳහා කළ හැකි එකම දෙය, ශ්‍රීලනිපය පොහොට්ටුවට පාවාදීම බවට ඔහු සලකනවා විය හැකිය.

text 09බලවත් පෙර හා පසු විවේචන මධ්‍යයේ ගෝඨාභයගේ අතිජාත මිත්‍රයෙකු වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔහු හමුදාපති ධූරයට පත් කරන්නේද ඒ හොඳ හිත පෙන්වීමට විය හැකිය.

එහෙත්, ශ්‍රීලනිපය තුළ ඇත්තේ බලවත් අවුලකි. කිසිසේත් පොහොට්ටුවට එකතුවීමට අකමැති දේශපාලකයෝ පිරිසක් ශ්‍රීලනිපයේ සිටිති. ඒ තමන්ගේ දේශපාලන අනාගතය ගැන සලකා බලා විය හැකිය. එක පැත්තකින් තමන්ටම වූ දේශපාලන අනාගතයක් ගැන සිතීම හා පොහොට්ටුවට එකතුවූ පසුව සංවිධානාත්මක ලෙස පරාජය කරනු ලැබීමේ ඉරණමට පත්වීමට ඇති අකමැත්ත ඒ තීරණයට හේතුවෙයි. එය සාධාරණ දේශපාලන තීරණයකි.

මේ පිරිස හරහා ශ්‍රීලනිපයෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු කරළියට ආවොත් එයද පුදුමයට කාරණයක් නොවේ. යම් වෙලාවක මෛත්‍රීපාල සිරිසේන දියවී යෑමට නියමිතය. පක්ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් කිසිම තීන්දුවක් තීරණයක් කිසිවෙකුට එරෙහිව ගන්නට අද එයට නොහැකිවාක් පමණක් නොව, හෙටද නොහැකිය.

ඒ නිසා සභාපති මෛත්‍රීපාල සිරිසේන කියන දේකට, ගන්නා තීරණයකට එරෙහිවන ශ්‍රීලනිප දේශපාලකයන් ඉදිරියේදී තව තවත් දැකගත හැකිවනවා මෙන්ම, ඔවුන්ට එරෙහිව කිසිම විනය තීරණයක් නොගැනීමද එලෙසම දැකගත හැකිවනු ඇත. ශ්‍රීලනිපයේ ඉරණම ඒකය.

text 102015 ජනාධිපතිවරණයටත් වඩා 2019 ජනාධිපතිවරණය තීරණාත්මකය. 2015 දී, ප්‍රගතිශීලී ජනතාවගේ දේශපාලන සතුරා හැටියට ඉදිරිපත් වුණේ යම් තරමකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දුවක් දැක්මක් තිබෙන මහින්ද රාජපක්ෂය. 2015 දී අනිවාර්ය පරාජයක් ඔහුට හිමිකර දුන්නේ තම අපරාධකාරී දේශපාලන ඉතිහාසය විසිනි.

ඔහු පරාජය කිරීම සඳහා අවශ්‍ය වැඩි ඡන්ද ලක්ෂ හතරක් සපයා ගැනීමට, සියලු බලවේගවලට එකට සිටගන්නට සිදුවිය. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන මෙන්ම පුරවැසියෝ විවිධ පෙරමුණුවලින් ඒ සමූහ ක්‍රියාවලියට එකතු වූහ. එවැනි පොදු පෙරමුණක් නොවී නම් මහින්ද තවමත් රටේ ජනාධිපතිය.

2019 වන විට, අපට මුණගැසෙන්නේ මහින්ද රාජපක්ෂටත් වඩා අන්ත ආඥාදායක, අපරාධකාරී ඉතිහාසයක හිමිකාරයෙකු වන ගෝඨාභය රාජපක්ෂය. යම් හෙයකින් ඔහු ජයගතහොත්, රටේ සියලු ප්‍රගතශීලී බලවේගවලට අත්වන බිහිසුණු ඉරණම අලුතෙන් කිවයුතු නොවේ.

එවිට උද්ගත වන්නේ, දේශපාලනය කිරීම, තමන්ගේ දේශපාලන කන්‍යාභාවය ආරක්ෂා කර ගැනීම වැනි දේ පිළිබඳ සටනකට වඩා ජීවිතය රැකගැනීම සඳහා වන සටනක් වනු නියතය.

ප්‍රංශ ජාතික දේශපාලන දාර්ශනික චාල්ස් මොන්ටෙස්කියු කිවාක් මෙන්, එහිදී, සියලු බලතල එක් පුද්ගලයෙකු අත කේන්ද්‍රගත වීමෙන් 'සියල්ල අවසානයක් කරා පැමිණෙන්නේය'.

 

'නැවතත් අතීතයට ඉඩ නොඇරීම' :

එනිසා, 2015 දී මේ අපරාධකාරී ආඥාදායක පාලනය පළවාහැරි ප්‍රගතශීලී දේශපාලන බලවේග සලකා බැලිය යුතු වැදගත්ම කාරණය වන්නේ පළමුව, 'නැවතත් අතීතයට ඉඩ නොඇරීම' ය. එය කළ හැකි වන්නේ කෙසේද යන්න කල්පනාවෙන් සලකා බැලීමය.

හැම පක්ෂයකටම දේශපාලන අභිලාශයක් පවතී. හැකි සෑම අවස්ථාවකින්ම තව දේශපාලන හයිය පෙන්වීම ඒ හැමගේ උවමනාවය. ජනතා විමුක්ති පෙරමුණ ගාලු මුවදොරට වැඩිම සෙනඟක් ගෙන්වන විට එහි අභිලාෂයද එයම මිස අනෙකක් නොවේ.

ඊට පෙර පොදුජන පෙමුණද, එජාපයද ගාලු මුවදොරට තරඟයට මෙන් සෙනඟ ගෙන්වා පෙන්වා තිබුණි. අගෝස්තු 18 වැනිදා, තමන්ටද ඊටත් වඩා හැකි බව ජවිපෙ පෙන්නුවේය. ඒ ගෞරවය ඔවුන්ට හිමිය.

දැන් හැමෝම අඩු වැඩි වශයෙන් සිය බාහු බලය ප්‍රදර්ශනය කර තිබේ. එහෙත්, ප්‍රශ්නය ඇත්තේ ඊට එපිටිනි. ප්‍රශ්නය නම්, ගෝඨාභය රාජපක්ෂ පැරදවිය හැක්කේ කෙසේද යන්නයි.

text 01100

ජනාධිපතිවරණයේ පවතින ආවේණික ඡන්ද ක්‍රමය නිසා ජයග්‍රහණය සඳහා සියයට පනහකටත් වැඩියෙන් එකක් ඡන්ද ලබාගත යුතුය. කිසිවෙකුට ඒ තරම ලබාගත නොහැකි තත්වයට පත් කිරීමත්, දේශපාලන ජයග්‍රහණයක් බව සැබවි.

ඒ හරහා රටේ සාම්ප්‍රදායික දේශපාලනය ගැන ජනතාවගේ කලකිරීම, විරෝධය, විවේචනය, ප්‍රතික්ෂේප කිරීම වැනි හැඟීම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන බව සැබවි.

අනෙක් අතට එය හරහා තමන්ගේ දේශපාලන කන්‍යාභාවය ආරක්ෂා කරගත හැකි වීමද, තමන්ගේ ජනබලය පෙන්වීමට හැකිවීමද, විරෝධාකල්පනිකයන් (සමහරවිට අරාජකවාදීන්) එකට එකතුකර ගැනීමට හැකිවීම ඇත්තකි.

එහෙත් අප මුහුණ දී තිබෙන අභියෝගය ඊට වඩා ගැඹුරු බවද ඒ තරමටම ඇත්තකි.

එජාපය මේ මොහොතේ සිටින්නේ මේ බිහුසුණු යථාර්ථය මුලුමනින්ම නොසලකා හැර ජනාධිපති අපේක්ෂකයා තමා යැයි හැමෝම කියාගන්නා ලැජ්ජා සහගත සටනකය. රනිල්, සජිත්, සරත් ෆොන්සේකා දැනටමත් ජනාධිපති අපේක්ෂකත්වයට පොරකති.

text 012හැමෝම හිතන්නේ තමා ජනාධිපති අපේක්ෂකයා වුවහොත්, ගෝඨාභයට බයේ සියලුදෙනා තමන් වටේ අනිවාර්යයෙන්ම ඒකරාශී විය යුතු බවය. මුලින් එසේ සිතුවේ රනිල් වික්‍රමසිංහය. තමා ජනාධිපති අපේක්ෂක වුවහොත්, ගෝඨාභය බලයට පත්වීම වළක්වන්නට සිවිල් සමාජයට තමා හැර වෙනත් විකල්පයක් නැති බව ඔහු සිතයි. (මොකද, ගෝඨාභය ජනාධිපති වුවහොත් රනිල් වික්‍රමසිංහටත්, ඔහුගේ සමීපතමයන්ටත් ඇති වන හානියක් නැත.

අවදානම ඇත්තේ එවැනි සිවිල් බලයක් නැති සාමාන්‍ය පුරවැසියන්ටය.) දැන් සජිත් ප්‍රේමදාස සිතන්නේද ඒ ආකරයටය. 'මම අපේක්ෂක වුනාම, ඔක්කෝටම මට එකතුවෙන්න වෙනවා'.!

මේ සිතීම ඔවුන්ට පමණක් ආවේණික නොවේ. තමන් කිසියම් ස්ථාවරයක් ගත් විට සිවිල් සමාජයද ඊට එකතුව තමන් දිනිවිය යුතුව ඇතැ' යි තවත් දේශපාලන පක්ෂ සිතයි. එහෙත්, මේ සියලුදෙනාගේ භාවිතයෙන් පැහැදිළි වන්නේ ද අඩු වැඩි වශයෙන් එක්තරා ආකාරයක දේශපාලන බලහත්කාරයකි.

text 0132019 දී අවශ්‍ය වන්නේ, මේ දේශපාලන පුරුදු අත්හැර, වඩාත්ම පුළුල් සන්ධානයක් නැවත ඇති කර ගන්නේ කෙසේද යන්නයි. 2015 කළ සටන ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්නයි.

අත්තුක්කංසනයෙන් තොරව තම තමන්ගේ අපේක්ෂකයන් දාම් පෙතට දැමීමට පෙර, එවැනි පොදු සන්ධානයකට ඉඩක් ඇති කර ගැනීම සඳහා තමන්ගේ පැත්තෙන් විය යුතු දේ මේ දේශපාලන සංවිධාන පෙරට පැමිණ ඉටු කර තිබේද? යන්න ඔවුන් තමන්ගෙන්ම අසා බැලිය යුතුය. ඊට ලැබෙන පිළිතුර 'නැත' යන්න නම්, එහි තේරුම තවත් උත්සාහයක් ගත හැකි බවය.

දැන් එළැඹි ඇත්තේ ඒ සඳහා කාලයයි. ඒ අවස්ථාව මගහැරුණොත්, 2019 න් පසු කාට කාටත් දේශපාලනයේ යෙදෙනවාට වඩා සිදුවන්නේ මිනිසුන් මරණ, මැරෙණ, අතුරුදහන්වන හැටි ගණන් කරන්නටය. වාර්තා කරන්නටය. ඒ තමන්ද සැඟවී සිටීමිනි.

(අනිද්දා)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්