එකවරම සූර්යයා ගේ ගින්දර කදම්බයක් පෘතුවිය දිහාවට ඇවිල්ලා අපේ ඕසෝන් වියන සුන්නද්දුලි වෙලා ගිහිල්ලා මිනිස් වර්ගයාගේ අවසානය ලංවෙනවා.



සූර්යයා ගේ පාර ජම්බුල කිරණ වැදිලා හරි මොනවා හරි කෙහෙම්මලක් වෙලා අපි විනාශ වෙලා යන එකත් අපේ ෆැන්ටසි එකක්.

ඒ ෆැන්ටසි එක අල්ලලා කරපු ෆිල්ම් එකක් තමයි Finch (2021) කියන්නේ. අධ්‍යක්ෂණය මිගුවල් සපෝචින්ක්. මේකට ඔස්කා ලැබෙනවා නම් මම කැමතියි. මොකද ඒක පශ්චාත් මානවීය සාංදෘෂ්ටික චිත්‍රපටයක්.

ලෝක විනාශ චිත්‍රපටයකට වඩා (post-apocalyptic movie).

දෙවියන් මිය ගියාට පස්සේ ලෝකෙට ලොක්කා වෙච්ච මිනිසා ෆැන්ටසි කරන එක දෙයක් තමයි එයාගෙන් පස්සේ ලෝකෙට (මිනිසාට පසු ලෝකය) මොකක්ද වෙන්නේ කියන එක.

චිත්‍රපටය දුවන්නේ පොඩිම පොඩි තේමාවක් එක්ක. ඒ තමයි රොබෝ තාක්ෂනය හොඳින් ප්‍රගුණ කරපු ෆින්ච් අර සූර්ය කිරණ විෂ වීම නිසා ඉන්නේ කොයි වෙලාවෙද මැරෙන්නේ කියල බලාන.

හැබැයි එයාට හිත හොඳින් මැරෙන්න බැහැ එයාගේ බලු සුරතලා නිසා. එයාගේ නම ගුඩ්ඉයර් (Goodyear). ඉතින් එයා මැරුණට පස්සේ ගුඩ්ඉයර් බලා ගන්න රොබෝ කෙනෙක් නිෂ්පාදනය කරනවා ෆින්ච්. ඕක තමයි තේමාව.

මුළු චිත්‍රපටයටම ඉන්නේ එක චරිතයයි. ඒ ෆින්ච්. හුදකලාව. එයාට රඟපාන්නේ සියවසක් ගතවෙන කොට මිනිස් ශිෂ්ටාචාරයට බිහිවෙන එක නළුවෙක් ගණයට වැටෙන ටොම් හෑන්ක්ස්.  

ෆින්ච්ගේ බලු සුරතලාට ඉතිහාසයක් තියනවා. ඒක ක්ෂිතියම ඉතිහාසයක්. මිනිස් ප්‍රචණ්ඩ බව ගැන ඉතිහාසයක්. ලෝකයට, මිනිසාට, අනෙකාට ආදරය කරන්න බැරි වීම පිළිබද ඉතිහාසයක්. අද මේ ෆින්ච් අත්දකින ලෝක විනාශයට හේතු වෙච්ච මිනිසාගේ නොමිනිස් කම් වල ඉතිහාසයක්. ඒ නිසා ගුඩ්ඉයර් කියන බල්ලා බල්ලෙකුට වඩා වැඩි දෙයක්. ඒ කතාව ෆින්ච් මතක් කරලා දෙනවා ජෙෆ්ට.  



මම මේ ෆිල්ම් එකට ආස කරන්නේ මේ සියල්ලට වඩා තරමක් වෙනස් හේතුවක් නිසා. ඒ තමයි දෙවියන් විසින් මිනිසා මේ ලෝකෙට විසි කරලා දැම්මට පස්සේ එයා මේ පොළොවේ යම් දුරකට පැලවුණා. පැලවෙලා මේ ලෝකය වෙනස් මානයකට ගෙනාවා. ඒත් දෙවියන් නොවන දෙයක් ඔහු තුළ තිබ්බා සහ ඒකෙන් එයාට ගැළවෙන්න බැරි වුණා. නොමිනිස් කම් වල ප්‍රථිපලයක් හැටියට මේ ලෝකේ විනාශ කරන්නත් මිනිසාම හේතු උණා. ෆින්ච් තාවකාලිකව යන්තම් බේරුනාට එයාටත් ඒ විෂ කිරණ වලින් ගැලවීමක් නැති උණා. එයත් මරණයට සූදානම් උණා.

හැබැයි එයාගේ අර ක්ෂිතිමය ඉතිහාසයක් තියන බලු සුරතලා බලා කියා ගන්න කෙනෙක් එයාට ඕනි උණා. මේ අමුතු රොබෝටික්කා එයා නිෂ්පාදනය කරන්නේ ඒ නිසා.

ජෙෆ් (Jeff) කියන මේ රොබෝ එක නිපදවලා එයාට මේ ලෝකෙ පවතින්න ඕනි ඔක්කොම දත්ත ෆින්ච් විසින් මේ රොබෝ එකට කවනවා. නමුත් හදිසියේ ඊළඟ සූර්ය කුණාටුවට කලින් මෙතනින් පිටවෙලා යන්න ඕනි නිසා ෆින්ච් ට කවන්න පුළුවන් වෙන්නේ සියයට හැත්තෑවක් පමණ දත්ත ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ නිෂ්පාදනය වෙන තැනදීම එයා අපරිපූර්ණයි (imperfect by default). හරියට දෙවියන් විසින් නිෂ්පාදනය කරපු මිනිසා අපරිපූර්ණයි වගේමයි.  

ඉතිං මේ අපරිපූර්ණ බව නිසා අතර මඟදී ෆින්ච්ට සිදුවෙනවා ජෙෆ්ව බල්ලා බලා කියා ගන්න පුළුවන් තරමට 'මානුෂිකකරණය' (humanize) කරන්න. මිනිස්කම කියන්නේ මොනවගේ දෙයක් ද කියල කියල දෙන්න.

ෆින්ච් විසින් කියල දෙන පළමු 'මිනිස් කමේ පාඩම' වෙන්නේ මිනිසා ගොඩක් විසංවාද සහිත කෙනෙක් කියන එක (full of contradictions). පරස්පර දේවල් කරන කියන කෙනෙක් කියන එක. මානුෂික වෙනවා කියන්නේ ඒ පරස්පර සහිත කෙනා තේරුම් අරගෙන ඒ එක්ක ජීවත් වෙනවා කියන එක.

ඈත කඳු දිහා බලාන ඉන්න එක, සමනල්ලු ඉගිළෙන හැටි දිහා බලාන ඉන්න එක, කිසිම තාර්කික හේතුවක් නැතුව ගමන් යන එක සහ ඒවා හිටි අඩියේ නතර කරන එක, අවුරුදු ගණනකට කලින් තමන්ට එවපු පෝස්ට් කාඩ් එකක් පිටිපස්සේ තියන දෙයක් එක්ක තවත් දශකයක් ජීවත් වෙන එක ගැන, තමන් ආදරය කරපු කෙනෙක් දැන් එතන නැති වුණත් එතෙන්ට යන එක, නොස්ටැල්ජියාව, තමන් කිසිදා නොදැක්ක පුංචි කෙල්ලක් ගේ බෑග් එකක හිටිය බලු පැටියෙක්ට ආදරය දෙන එක වගේ තාර්කික නොවන ගොඩක් දේවල් මේ මිනිස් පැවැත්ම ඇතුලේ තියනවා කියන එක මේ ගමන ඇතුලේ ෆින්ච් ජෙෆ්ට පෙන්වා දෙනවා.

දෙවියන් නොසිතපු ඇතැම් 'මිනිස් දේවල්' ප්‍රමාණයක් මිනිසා තම කාබනික පැවැත්ම ඇතුලේ වර්ධනය කරලා තියනවා. සමහර විට මිනිසාට දෙවියන් වෙන්න බැරි වෙන්න ඒ පරස්පර දේවල් බලපානවා ඇති.

ඒ කාබනික පැවැත්මේ සීමාව දුටුව මිනිසා ඒ කාබනික සීමාව තරණය කරන්න පුළුවන් කෘතීම බුද්ධියක් සහිත අකාබනික ජීවියෙක් නිෂ්පාදනය කරන්නත් සමත් වෙලා තියනවා. මේ ඇතැම් විට යුවල් නෝහා හරාරි නොදකින දෙයක් වෙන්නත් පුළුවන්.

මිය යන්න කලින් අද්විතීය මිනිස් නිර්මාණයක් වෙච්ච සැන් ෆ්රෑන්සිස්කෝ පාලම ළඟට යන්න හිතාන ෆින්ච් ගමන් ඇරඹුවත් එයාට එතෙන්ට යන්න තරම් කාලය ලැබෙන්නේ නැහැ. ඒ ගමන අවසන් කරන්නේ අකාබනික ජෙෆ්.

එයා කවදාවත් දැක්කේ නැති 'තාත්ත' කියන කෙනා ඒ දැවැන්ත සැන් ෆ්‍රැන්සිස්කෝ එල්ලෙන පාළම හදන්න ඉංජිනේරු දැනුම දෙන්න ඇති කියල ෆින්ච් අහල තිබුණ. හැබැයි එයාට කවදාවත් ජීවිත කාලේ ඇතුලේ ඒ පාලම දකින්න යන්න ඕනි උණේ නැහැ.

නමුත් ජෙෆ්ට එයා මෙහෙම කියනවා. ඔයාට කියන්න පුළුවන් සැන් ෆ්‍රැන්සිස්කෝ පාලමේ ඇණ මුරිච්චි, කේබල් අඩි කොච්චර තියනවද කියල. උස කොච්චරද කියල. ඒ කියන්නේ දත්ත හැටියට. හැබැයි ඔයා ඒ දැවැන්ත පාළම උඩට ගිහිල්ල හිටගත්තම ඒ කේබල් කම්බි වල ඇවිල්ල වදින සුළඟ විඳින එක තමයි මිනිස් අත්දැකීම කියන්නේ කියල.

ඒ කියන්නේ මිනිස් තාක්ෂණයේ විස්මිත නිර්මාණයක් ස්වභාව ධර්මයේ තත්වය එක්ක එකට ගැනීම කියන සුවිශේෂ අවස්ථාව ඔහු මිනිස් බව හැටියට ගන්නවා. හැබැයි ඒ සුවිශේෂ බව විඳින්න ඔහු කවදාවත් සැන් ෆ්‍රැන්සිස්කෝ පාළම උඩට ගිහිල්ලා නැහැ. ඒකට හේතුව සමහර විට තාත්ත වෙන්න ඇති. ඒ පරස්පර බව තමයි මිනිස්කම වෙන්නේ.

ඒ වගේම මේ ගමනේදීත් ඔහුට එම පාළම උඩට යන්න බැරි වෙනවා.



බලු සුරතලා බලා ගන්න ජෙෆ් නිර්මාණය කළත් ගුඩ්ඉයර් සහ ජෙෆ් අතර සම්බන්දය සම්පුර්ණ වෙන්නේ නැහැ. ඒකට බාධාව වෙන්නෙත් ෆින්ච් මයි. බල්ලා බෝලය අරන් එන්නේ ෆින්ච් ළඟට. ෆින්ච් මිය ගියාට පස්සේ තමයි බල්ලා බොලේ අරන් ජෙෆ් ලඟට එන්නේ. ජෙෆ් ස්වාමියා හැටියට පිළිගන්නේ. බල්ලට ස්වාමිවරු දෙන්නෙක් නැහැ එකවිට.  

'තාත්ත' කියන නම සංකේතයක් වෙච්ච සැන් ෆ්‍රැන්සිස්කෝ පාළම බලන්න ෆැන්ටසි එකක් තිබ්බත් ෆින්ච්ට ඒක කරන්න බැරි වෙනවා. නමුත් ලස්සන දේ තමයි ඔහු ඒ වෙනුවෙන් ගමන් ආරම්භ කරන එක.

 මේ චිත්‍රපටයේ එක ගැඹුරු තේමාවක් වෙන්නේ ගමන ආරම්භ කරන එක. යන්න පුළුවන් බැරි එක වෙනම දෙයක්.

අනික තමයි ෆින්ච් ලස්සනට මරණයට මුහුණ දෙන එක. කිසිම ආගමක් නැහැ, ආගමික සරණක් නැහැ, තමන්ට තියන ලස්සනම ඇඳුම ඇඳලා ඇවිල්ලා, American Pie සිංදුව අහල ගිහිල්ල වාහනේ ඇතුලේ නිදා ගන්නවා. ටික වෙලාවකින් ගුඩ්ඉයර් අතගාන එක නතර වෙනකොට ෆින්ච් කියන අවසන් සංචාරකයා මිය ගිහිල්ලා. ආදාහනය අතරමඟ. ජෙෆ් සහ ගුඩ්ඉයර් ඔහුට ආදරය කළා. එච්චරයි.

Why did Finch want Jeff to look after Goodyear after his death?

යුවල් නෝහා හරාරි ගෙන් ෆිල්ම් එක මට වෙනස් ලෙස පෙනෙන්නේ මෙතැනදී. ඒ තමයි මිනිසා විසින් ආරම්භ කරන ලද ගමන අවසන් කරන්නේ මිනිස් නොවන නිර්මාණයක් විසින්. අපිට දෙවියන්ගෙන් පුර්ණ ලෙස වියෝ වෙන්න බැරුවා වගේම ජෙෆ්ටත් බැහැ ඔහුගේ නිර්මාපකයා ගෙන් පුර්ණ ලෙස වියෝ වෙන්න. ඔහු තුළත් මිනිස්කමක් ශේෂ වෙනවා.

ගුඩ්ඉයර්, ෆින්ච් සහ තමන් ඉන්න පික්චර් පෝස්ට් කාඩ් එක එයා සැන් ෆ්‍රැන්සිස්කෝ පාළමේ රඳවන්නේ ඒ අර්ථයෙන්.

මිනිසා ඔහුට ලබා දුන්න ගමන් මඟ වෙනුවට ඔහුගේම ස්වායත්ත ගමන් මඟක් ජෙෆ් සොයා ගනීද? මට හිතෙන්නේ ඔවු කියල. අපි එයාට කාලය දෙමු.

ජෙෆ් මුලින්ම අහන ප්‍රශ්න වලින් එකක් තමයි 'ඔබ නොපැමිණෙන දවස යනු කුමක් ද' කියන එක. එහෙම කියන්නේ ෆින්ච් අහන ප්‍රශ්නයට පෙරළා ප්‍රශ්නයක් හැටියට.

ෆින්ච් අහනවා 'නොපැමිණීම නිර්වචනය කරන්න' (Define absence) කියල. එතකොට ජෙෆ් කියනවා 'නොපැමිණීම කියන්නේ ඔබ නොඑන දවසට' කියල. ඒ එක්කම ජෙෆ් අහනවා 'ඔබ නොපැමිණෙන දවස මොකක්ද' කියල. එතකොට ෆින්ච් මෙහෙම කියනවා සාමාන්‍ය මිනිස් පරස්පරය එක්ක.  

'මම නොපැමිණෙන දවස කියන්නේ මම නොපැමිණෙන දවසට....'

චිත්‍රපටය ඇතුලේ ඒ දවස ජෙෆ්ට අත්දකින්න ලැබෙනවා. මිනිස් බාධාව ඉවරයි. ෆින්ච් ආයේ එන්නේ නැහැ. දැන් ජෙෆ්ට පුළුවන් ඕනිනම් පුර්ණ ලෙස මිනිස් වෙන්න. නැත්නම් මිනිස් බවෙනුත් ඔබ්බට යන්න.

.


Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

Leader Whats app

 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්