ඊයේ පෙබරවාරි 04 වෙනිදා. සමහරු එදාට කියන්නේ නිදහස් දවස කියලා.  රටේ රාළටත් පොඩි කාලේ එහෙම හිතිලා තියනවා. දැන් නං ගොඩක් කාලෙක ඉදන් එහෙම හිතෙන්නේ නෑ. ඇත්තටම එහෙම හිතන්න හේතුවක් නෑ.

 


කොහොම හරි ඊයේ නිදහස සමරලා කරපු ජාතික උත්සවයේදී ජනාධිපතිතුමා කරපු කතාව නං ඇහුවා. රටේ රාළ අද කතා කරන්නේ නිදහස ගැන නෙවෙයි. නිදහස් දවස කියලා කියන දවසේ ජනාධිපතිතුමා කරපු කතාව ගැන.

කවුරු හරි රටේ රාළගෙන් ඇහුවොත් කොහොමද ජනාධිපතිතුමාගේ කතාව කියලා. රටේ රාළ කියන්න තියෙන්නේ හොඳයි කියලා තමයි. වචන උච්චාරණය, ඉදිරපත් කිරීම, අංග චලනය හෙම හොද මට්ටමක තිබුණා.

ඒත් ඉතින් එතුමාගේ භාවිතාවත් එක්ක හිතද්දී නං කතාවේ ලොකු පරස්පරයක් තියනවා.



කතාවේ සාරාංශය මෙහෙමයි. එතුමා කියන්නේ නිදහස අර්ථවත් කරන්න නං හැමෝම වගකීම් ඉෂ්ඨ කරන්න ඕනි කියලා. අයිතිවාසිකම් වෙනුවෙන් විතරක් පෙනී නොසිට වගකීමුත් ඉෂ්ඨ කරන්න ඕනි කියලා. ඒ වෙනුවෙන් රටේ ජනතාවට අවශ්‍ය ආගමික නිදහස, ස්වාධීන මත දැරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. පුර්ණ මාධ්‍ය නිදහස, මානව හිමිකම් සියල්ල සුරක්ෂිත කරලා තියනවා කියලා.




ජාතික ආරක්ෂාවත් සලසලා දීලා තියනවා කියලත් කිව්වා. පුරවැසියන්ට රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත් වීමේ නිදහස ලබාදීලා තියෙනවාලු. ආර්ථික වශයෙන් නිදහස දිනාගන්න අවශ්‍ය සැලසුම් දැන් ක්‍රියාත්මක වෙන බවත් එතුමා කිව්වා. කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවාවල දියුණුවක් ඇති කරන්න ඕනි සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කරලලු තියෙන්නේ. ඒ වෙනුවෙන් කවුරුත් කැපකිරීම් කරන්න ඕනි කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ.

එතුමා ඒ කැපකිරීම උපරිමයෙන් කරනවාලු. ඒ වගේම මැති ඇමතිවරුන් හා දේශපාලනඥයින්ගෙන් ඒ කැපකිරීම එතුමා ඉල්ලානවා. එයාලත් ඒ කැපකිරීම කරනවා නම් ජනතාවත් එයාලා අනුගමනය කරයිලු. කතාව අහපු අය පිලිගනී ඕක තමයි සාරාංශය කියලා.

 තව ඉතින් රජවරු ගැන, වෙහෙර විහාර ගැන, වැව් ගැන එහෙමවත් කිව්වා. යුද්ධය ගැන, එන්නත්කරණය ගැනත් කිව්වා.

ජනාධිපතිතුමාගේ ගිය අවුරුද්දේ නිදහස් දවසේ කරපු කතාව එක්ක මේ කතාව සන්සන්දනය කළොත් කතා දෙක ගොඩක් දුරට සමානයි. වෙනසකට තියෙන්නේ ගිය කතාවේදී ජනාධිපතිතුමා කියනවා පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඩුවම් කරනවා කියලා. ඊළඟට කියනවා මහ බැංකු මංකොල්ලයට සම්බන්ධව අයට දඩුවම් දෙනවා කියලා.

හැබැයි ඉතින් ඊයේ වෙනකොටම පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව අනුගමනය කරන උදාසීන පිලිවෙතට විරෝධය දක්වලා නිදහස් දින සමරුවට කතෝලික ප්‍රජාව වෙනුවෙන් අගරදගුරු හිමියන් සහභාගී උනේ නෑ. උන් වහන්සේ ඊයේ නිදහස් උත්සවය වර්ජනයේ කළා. ඒ විතරක් නෙවෙයි පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරගන්න එක්සත් ජාතින්ගේ සංවිධානයට යන බවත් කිව්වා.




එතකොට එන ප්‍රශ්නයක් තියනවා. ජනාධිපතිතුමා ගිය පාර නිදහස් දින කතාවට එතුමා සාධාරණය ඉෂ්ඨ කරලා නෑ කියලා පේනවා? එතකොට මේවා නිකං කතා විතරද? ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා කැපවෙලා තියෙනවද? කෝ පාස්කු වින්දිතයන්ට නීතියේ නිදහස.




හැබැයි ජනාධිපතිතුමාගේ ගිය කතාවයි මේ කතාවයි අතර කාලය ඇතුළේ තාක්ෂණික ප්‍රශ්න කියලා, අල්ලස් හෝ දූෂණ කොමිසමේ ප්‍රශ්න කියලා මේ රටේ මහා පරිමාණ දූෂිතයෝ කීදෙනෙකුට විරුද්ධ එල්ල උන චෝදනා නීතිපති ඉල්ලා අස්කර ගත්තද? ඒ අයගෙන් අති බහුතරය ආණ්ඩුවේ මැති ඇමතිවරු නෙවෙයිද? දැන් බලනකොට එහෙම වැරදිලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටම දාපු නඩුව ටිකට විතරයිනේ.

ඒක මාර වැරදීමක්නේ. විපක්ෂයේ කාගේවත් නඩුවකට එහෙම තාක්ෂණික දෝෂ ඇවිත් නෑනේ. ඒවා ටක්කෙටම දාල තියනවනේ. මාර වැඩක් නේ අපේ නීතිපතිටයි, නීතිපති දෙපාර්තමේන්තුවටයි. අල්ලස් හෝ දූෂණ කොමිසමටයි වෙලා තියෙන්නේ.



එහෙනම් මේ රටේ නීතියෙන් හොරුන්ට නිදහස් වීමේ නිදහස තියනවා. රටේ ජනතාවට නැති නිදහසක් හොරුන්ට තියනවා. ඒක නිසා හොරු ටික එකතුවෙලා නිදහස සමරනවා. බලන්නකො ඒ වේදිකාවේ ඉස්සරහා හිටිය කට්ටිය කවුද කියලා.

 


272897192 480530253440627 7705775473092383230 n(බලන්නකො නිදහස් වේදිකාවේ ඉස්සරහා හිටිය කට්ටිය කවුද කියලා.)



රටේ රාළ කෙළින්ම කියනවා ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට යුක්තිය ඉටුකරන්න මැදිහත් වෙලා නෑ කියලා. උදාහරණයක් කිව්වොත් ඔයාලට මතක ඇති ජනාධිපතිතුමාගේ ඥාතිවරියක් වෙච්චි නිරූපමාට Pandora Papers වලින් අයථා මුදල් ඉපයිම් ගැන චෝදනාවක් ජාත්‍යන්තර වශයෙන් එල්ල උනා. ජනාධිපතිතුමා ටක් ගාලා අල්ලස් හෝ දූෂණ කොමිසමට නියෝග කළා මාසයක් ඇතුළත එතුමාට වාර්තාවක් දෙන්න කියලා. ඇත්තටම කෝ ජනාධිපතිතුමා ඒ වාර්තාව.

ඒ පරීක්ෂණය දුන්නෙත් අර දූෂිතයන් රකින අල්ලස් හෝ දූෂණ කොමිසමටම තමයි. ජනාධිපතිතුමාට ඕනි නං තිබ්බනේ ස්වාධීන කොමිසමක් පත් කරලා ඒකට වැඩේ බාර දෙන්න. දීකිරට බළල්ලුත් සාක්කි කියනවාලුනේ. මාසෙකින් පස්සේ ජනාධිපතිතුමා ඒක මතු කරලා ගත්තේ නෑ. ලබැදියාවන් අතර ගැටුම නිසාද දන්නේ නෑ.

ඒ ජාත්‍යන්තර වංචාව වෙනුවෙන් රටේ කීර්තිනාමය රැක ගන්න එතුමා ක්‍රියාත්මක උනේ නෑ. රටේ රාළ කියන්නේ අද හොරකමක් සිද්ධ උනහම ටක් ගාලා පරීක්ෂණයක් කරන්න කියලා ඕඩරයක් දෙනවා. ඒක අලි බොරුවක්. ඒක ලංකාවේ නං හොරකම, දූෂණය වහන තවත් එක උපක්‍රමයක්.

රටේ රාළ කියනවා අරුන්දික ඉල්ලා අස්වීමත් එහෙම එකක්. දැන් අරුන්දික මහා පින්වතෙක් කරලා. තමන්ගේ අමාත්‍යාංශයේ වාහන මැර වැඩවලට අරන් යනකං හිටිය එයා බබා. ඒවා හොදයි අර නීතියට විහිළු කරන වොයිෂ් කට් සාදුලට. ඒක නිසා දැන් ඔය කතා කියලා වැඩක් නෑ. ඇත්තටම ඕවා කියන්න ඕනි කොන්ඩේ බැදපු චීන්නුන්ට.



ජනාධිපතිතුමාට නීතිය ක්‍රියාත්මක කරන විදිහ දැන ගන්න ඕනි නං එදා අපි යටත් කරගෙන හිටිය සුද්දන්ගෙන් ඉගෙන ගන්න. එකට හොදම උදාහරණය තමයි කොවිඩ් සමයේ සාදයක් පැවැත්තුවාය කියලා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට විරුද්ධව දැන් කෙරෙන පරීක්ෂණය. 

 
 
 
 
ඒවා මේ රටේ මිනිස්සුන්ටත් පේනවා. මිනිස්සු ඒවා ඔබතුමාගේ වැඩත් එක්ක සන්සන්දනය කරනවා. ඒත් ඔබතුමාලා තවම මේ රටට බොරු වැඩවසම් පම්පෝරි කතාව කියනවා.

කැපකිරීම කරනවා කියන්නේ තනි පුද්ගලයෙක්ගේ වියදම අඩු කිරීම විතරක් නෙවෙයි. ඒකත් කොටසක් තමයි. ජනාධිපතිතුමා ඒක කරනවාත් ඇති. හැබැයි ඔබතුමා කරන කැපකිරීම් වැඩක් නෑ. ඒවා හොදයි ඔබතුමාට ස්වයංව හිත සනසාගන්න.

ඔබතුමා කියන ඔය කැපකිරීම කරන ඇමති මණ්ඩලයේ එක්කෙනෙක් කියන්න. අගමැති, මුදල් ඇමති, නාමල්, චමල් ඔය කවුරුත් නෑනේ. එතකොට එතන ඔබතුමා හරි වෙලා එයාලා වැරදි වෙන්නේ නෑ. එතන ප්‍රධාන වැරැද්ද ජනාධිපතිගේ. සෘජු තීරණ ගන්න ජනාධිපතිට තියන නොහැකියාව.

හොරු ටිකක් මැද ඉදගෙන මම හොරෙක් නෙවෙයි කියලා කෑගහලා වැඩක් නෑ. මම හොරෙක් නෙවෙයි වගේම මම එකෙකුටවත් හොරකම් කරන්න දුන්නේ නෑ කියලා කියන්න ඔබතුමාට බෑ.  

ඔබතුමාගේ ආණ්ඩුව පත් උන දවසේ ඉදන් මේ රටේ කෝටි ප්‍රකෝටි ගනනංවල හොරකම් සිද්ද උනා. මහජන දේපල නාස්ති කලා. මොකද්ද ඔබතුමා ඒ වෙනුවෙන් කළේ. ගත්ත එක පියවරක් කියන්න.

ඔබතුමා කළේ දෙල්කද පොලේ ඉදන් බඩුමිල වැඩී කියලා කිව්ව, ඔබතුමාගේ කෘෂිකර්මය ප්‍රතිපත්තිය වැරදී කිව්ව සුසිල් ප්‍රේමජයන්ත අයින් කරපු එක විතරයි. ඒකෙන් ඔබතුමා රට ඉස්සරහා බරපතල විදිහට හෑල්ලු උනා. ඒකෙන් රටේ ජනතාව කිව්වේ ඔබතුමා ලන්සාට බයයි කියලා විතරයි.

ඔබතුමාගේ කාලේ මහජන මුදල් නාස්ති කරන්න දුන්නේ නෑ කියලා කියන්න ඔබතුමාට බෑ. ඒක කරගන්න බැරිව ජනාධිපතිතුමා අදත් කියනවා මම මැති ඇමතිවරුන්ගෙන් හා දේශපාලනඥයන්ගෙන් ඉල්ලනවා ජනතාවට ආදර්ශ දෙන්න කියලා.
 
 
 
 ඇත්තටම ඔය කතාව තවත් කියන්න ජනාධිපතිතුමා ලැජ්ජා වෙන්න ඕනි. ඔය කරන්න හදන්නේ තමන්ගේ දුර්වලකම ඇමති මණ්ඩලයට පටවලා ඇඟ බේරාගනීම.
 


ඊළඟට ජනාධිපතිතුමා කියනවා එතුමාගේ ඉදිරි අවුරුදු තුනේ සියලු පොරොන්දු ඉෂ්ඨ කරනවා.ඒ වෙනුවෙන් සංවර්ධන සැලැස්මක් දැන් ක්‍රියාත්මකයි කියලා. ජනාධිපතිතුමා ඔය කියනවා ඇත්තේ පෙබරවාරි 03 වෙනිදා ආරම්භ කරපු අය වැයෙන් වැඩ ලක්ෂයක් වැඩපිලිවෙල ගැන වෙන්න ඇති.

ජනාධිපතිතුමාට රටේ රාළ කිව්වා කියලා අද ලියලා තියාගන්න. ඒකෙන් අපේ රටේ නිෂ්පාදන ආර්ථික ගොඩ ගන්න බෑ. ඒක මේ බැසිල්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් බඩු බෙදන, ටයිල් අල්ලන, පැති බැමි ගහන, කානු සුද්ද කරන ව්‍යාපෘතියක්.

දැන් මේ රටට වහාම ඕනි වගා සංග්‍රාමයක්. ඉස්සෙල්ලාම කරන්න ඕනි මේ රටේ ආහාර සුරක්ෂිතතාවය හදා ගැනීම. එක නොකර පිටරටින් කන්න ගෙනත් දෙන්න නං හිතාගෙන ඉන්නේ ඔබතුමාගේ ඉතිරි අවුරුදු දෙක හමාර ගැනත් කියන්න තියෙන්නේ Sorry කියලම තමයි.



ජනාධිපතිතුමා ලෝකය පුරා ඉන්න ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ රටේ ආයෝජනය කරන්න කතා කළා. ඇත්තටම ඒක හොද යෝජනාවක්. ඒත් කළු සල්ලි කතාවක් කියලා බැසිල් ජාත්‍යන්තරව අපේ මූල්‍ය ප්‍රතිපත්ති ගැන ලෝකෙට සහතිකයක් දීලා ඉවරයි. ඇත්තටම දැන් මේ රටට ඕනි කතා නෙවෙයි. ප්‍රායෝගික වැඩ. ඔය ටික කිව්වට පස්සේ බලාගන්න පුළුවන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියනවද නැද්ද කියලත්.
 



එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්