ආණ්ඩුව ඇතුළේ සිද්ධ වෙන දේශපාලන චලන ගැන රටේ රාළ දිගටම කතා කළා. දැන් ආයෙත් කතා කරන්න ඕනි තරමට ඇතුළ මෝරලා.



ආණ්ඩුව ඇතුළේ ගැටුම් දවසින් දවස වෙනස් උන හැටි රටේ රාළ මිට කළින් අවස්ථාවල පෙන්නුවා. එදාට වඩා අද තත්වය ආයෙත් වෙනස් වෙලා.

මේ විරෝධය මුලින්ම පටන් ගත්තේ බැසිල් විරෝධයක් විදිහට. දැන් ඒක රාජපක්ෂ විරෝධයක් දක්වා වර්ධනය වෙලා. සැළකිය යුතු ගෝඨාභය විරෝධයකුත් ආණ්ඩුව ඇතුළේ තියනවා.

මුලින් මේ ගැටුම පටන් ගත්තේ මතුපිට තලයේ ගැටුමක් විදිහට. දැන් මේක මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් වගේ. මතුපිටට පේනවාට වඩා ලොකු දෙයක් වතුර යට තියනවා.

මුලදී මේක පටන් ගත්තේ විමල් බැසිල් ගැටුමක් විදිහට. පස්සේ ඒ ගැටුම සුළු පක්ෂ සන්ධානය හා බැසිල් අතර ගැටුමක් උනා.

ඊට පස්සේ මෛත්‍රී හා රාජපක්ෂවරු අතර ගැටුමක් උනා. හැබැයි දැන් ලොකු ගැටුමක් පේන්න නෑ. ඔයාලට නිකං හිතෙනවා ඇති වැඩේ ශේෂ්වෙලා තමයි කියලා. රටේ රාළ නං කියන්නේ වැඩේ තිබුණට වැඩිය සංකීර්ණ වෙලා කියලා.

දැන් ඇතුළේ තවත් රාජපක්ෂ විරෝධී කණ්ඩායම් හැදෙන්න පටන් අරන්. ඒ කියන්නේ රටේ රාළ මුලදී හදුනා ගත්ත සුළු පක්ෂ විරෝධය, ශ්‍රීලනිප විරෝධය, පොහොට්ටුවේ ජේෂ්ඨයන්ගේ විරෝධයට අමතර තවත් රාජපක්ෂ විරෝධීන් ඇතුළේ ඉන්නවා.

වෙන වෙනම රහසිගත මෙහෙයුම් ගොඩක් කෙරෙනවා. දැන් බලන්න ලන්සාගේ ප්‍රශ්නය අලුත් එකක්. ලන්සා ඉන්නේ attacking mood එකක. දැන් නිකං පේන්නේ ලන්සට බයේ සර් මහාරිනවා වගේ සීන් එකක්. ගොඩක් අය කියන්නේ ඒක මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් මගඩියක් වෙනුවෙන් ඇදුනු වලියක් කියලා.

කොහොම හරි උග්‍ර රාජපක්ෂවාදීන් පවා දවසින් දවස කොක්කට තමයි සෙට් වෙන්නේ.


ඇත්තටම රාජපක්ෂලා මේ තාක් අනුගමනයට කරපු බෙදා වෙන්කරන පාලනය කිරීමේ ක්‍රමය දැන් අසාර්ථක වෙලා. එයාලගේ එක කණ්ඩායමකට විතරක් සැලකීමේ ක්‍රමය අසාර්ථකයි. දැන් වෙලා තියෙන්නේ මෙච්චර කාලයක් මතුපිට තලයේ ක්‍රියාත්මක උන ගැටුම අභයන්තරයට කිඳා බැහැලා. ඒ කිඳා බැහීමේ සන්ධිස්ථානය විදිහට රටේ රාළ දකින්නේ අය වැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය හරහා පටන් ගත්ත බැසිල්ගේ ඡන්ද කැම්පේන් එක. ඒකත් එක්ක අනුරාධපුරේ තිබ්බ සල්ගාදු රැලිය.



රටේ රාළ හිතන්නේ ඒක වැරදි වෙලාවක වැරදි විදිහට පටන් ගත්ත එකක්. ඇත්තටම ඒ තමයි බැසිල්ගේ කැමැත්ත. හැබැයි ඒක මෝඩ වැඩක්.

අඩුම වශයෙන් බැසිල් ඕක පොහොට්ටුවේ සියලු පක්ෂ එකතු කරගෙන කලා නං එක තැනකදී බැසිල්ට බේරීමක් තිබුණා. බැසිල් තනියම පොදුජන පෙරමුණ විදිහට හයිය පෙන්නන්න කරපු රැස්වීමක් නිසා ආණ්ඩුවට තිබුණ හයියත් නැති උනා.

දැන් පොහොට්ටුවේ අනිත් පක්ෂ දන්නවා පොහොට්ටුව ඇතුළේ එයාලට ඉඩක් නෑ කියලා. බැසිල් ඒ බව සල්ගාදු එකේදී නිල වශයෙන් තහවුරු කළා. බැසිල් ඒක කළේ ඒ අර්ථයෙන් වගේම තවත් අර්ථයක් බැසිල් ළග තියෙන්න ඇති. පොදුජන පෙරමුණේ මහින්ද හා ගෝඨාභයවාදීන් හලා දැමීමත් ඒක ඇතුළේ අනිවාර්ය වැඩක් වෙන්න ඕනි.

 

කොහොම හරි මේකෙන් එක දෙයක් උනා. මෙච්චර කල් බැසිල් එක්ක මතුපිටින් හැපෙමින් තිබුණ සුළු පක්ෂ සන්ධානයේ හා ශ්‍රිලනිපයේ ගැටුම වෙනත් විකල්පයක් හොයන තැනට තල්ලු උනා. දැන් එයාලත් දන්නවා එයාලට පොහොට්ටුවක් එක්ක තවදුරටත් ගමනක් නෑ කියලා.

 

පොහොට්ටුත් එක්ක තවදුරටත් යනවා නම් ඒ ගමන යන්න වෙන්නේ යටත් වෙලා. ඒක නිසා එයාලා දැන් තමන්ට අනන්‍ය උන ගමනක් ගැන ප්ලෑන් කරනවා. විශේෂයෙන් ශ්‍රීලනිපය නව සංධානයකට අවශ්‍ය වැඩපිළිවෙළ හා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.

ඒ වගේම සුළු පක්ෂ සන්ධානයත් ආණ්ඩුවට රට ගොඩගැනීමට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ලෑස්ති වෙනවා. මාර්තු දෙක ඒක ඉදිරිපත් කරනවාලු. ඒ වැඩපිළිවෙළ හරහා එයාලා කරන්නේ කරදරයක් නැතිව යන්න පුළුවන් පාරක් හොයාගන්න. පව් අප්පා අර තිස්ස විතාරණ හෙම.

ඒ වැඩපිළිවෙළ ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් එයාලා තවමත් ආණ්ඩුව ඇතුළෙන් දොරක් ඇරගන්න උත්සහ කරන බව පේනවා. ඇත්තටම මෙතනදී එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එයාලා කාගේ පැත්තෙන්ද දොරක් ඇර ගන්නද උත්සාහ කරන්නේ? ජනාධිපතිගෙ පැත්තෙන්ද? රටේ රාළ හිතන්නේ ජනාධිපතිට එයාලට අරින්න දොරක් දැන් ඉතිරි වෙලා නෑ කියලා.

 

ඇත්තටම දොරක් අරිනවා නං අරින්න පුලුවන් මහින්දට. මහින්දට ඕනි නං ඒක ජනාධිපති හරහා අරවන්නත් පුළුවන්. රටේ රාළ හිතන්නේ මේක සමහරවිට මහින්දගේම සැළැස්මක් වෙන්නත් පුලුවන්. ඔයාලා කවුරුත් දන්නවා දැනටමත් පොහොට්ටුව ඇතුළේ බැසිල්, නාමල් අතර සීතල බල අරගලයක් පටන් අරන්.

 

මෙතනදී බැසිල්, නාමල් කියන චරිත දෙක සන්සන්දනය කළොත් නාමල්ට වඩා බැසිල් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. හැබැයි නාමල්ගේ ගොඩට මහින්ද දාලා හිතුවොත් එතකොට බැසිල්ට වඩා නාමල් ඉස්හරහට යනවා. ඒක නිසා නාමල්ගේ එකම ඉටු දෙවියා මහින්දම තමයි.

බැසිල් නාමල්ට වඩා ශෂීන්ද්‍ර විශ්වාස කරනවලු. රටේ රාළට නං ඔය දෙකම එකයි. මහින්දට මතු පිටින් ගේමක් ගහන්න බැසිල්ට බෑ. මෙච්චර කල් ගහපු ඔක්කොම ගේම් ගැහුවේ යටින්. දැන් ඔන්න මහින්දටත් වාරයක් ඇවිල්ලා. සමහරවිට මේක මහින්දගේ අවසන් වාරය වෙන්නත් පුළුවන්. ඒක හරියටම ගහන්න ඕනි කියලා මහින්දත් දන්නවා ඇති.

මේ දක්වා මොන සෙල්ලම දැම්මත් මහින්දගේ අගමැතිකම උදුරගන්න බැසිල්ට බැරි උනා. මහින්ද හදන්නේ මතුපිට තිබුණු ගැටුම් අභ්‍යන්තරයට යවලා. අභයන්තරයෙන් නාමල් උස්සන්න වැඩපිළිවෙලක් උඩට ගන්න. මහින්ද කියන්නේ බැසිල්ට වඩා ගැට කාරයෙක්. ඒ කියන්නේ මහින්ද හදන්නේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලම කපන්න.

 

එහෙම හිතද්දී එදා සල්ගාදු පිට්ටනියේ මහින්ද පොර ටෝක් දුන්නේ බැසිල්ටද කියලත් හිතෙනවා. මහින්ද මෙතනදී පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායම් නාමල්ට ගැට ගහන්න උපරිම උත්සාහයක් දරයි. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවකුත් ගැට ගහයි. ඒ නැතත් මහින්දට සල්ලි තියනවා. මෙතනින් එහාට මහින්ද වැඩි බරක් තියන්නේ නාමල්ගේ වැඩේට.

 

මහින්ද නතර වෙන්න ඉස්සෙල්ලා නාමල් මහින්දගේ ලෙවෙල් එකට ගේන්න මහින්ද හදයි. හැබැයි ඒක කරන්න බෑ කියලා මහින්ද දන්නවා. එහෙනම් මහින්දගේ ඊළඟ Option එක නාමල් බැසිල්ට වඩා උඩට ගේන්න එක. මාර්තු මාසේ පටන් ගන්නවා කියන Hope For Sri Lanka වැඩපිළිවෙළ කියන්නේ එහෙම එකක් වෙන්න ඕනි.

ඒක තනිකරම මහින්දගේ උපරිම වැර යොදා නාමල් පිම්බීමේ ව්‍යාපෘතියක්. එතකොට තනිකරම පොහොට්ටුව කියන්නේ තනිකරම පිම්බීමේ ව්‍යාපෘතියක්. එක පැත්තකින් බැසිල්. අනිත් පැත්තෙන් නාමල්. අන්තිමට බැලුම් පිපිරවීමේ තරගයක් වෙන්නත් ඉඩ තියනවා.

ඒක නිසාම සුළු පක්ෂ සන්ධානය ඉදරිපත් කරන වැඩපිළිවෙළට මහින්ද ක්ෂණික ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ආරම්භයේදීම සුළු පක්ෂ සන්ධානය නාමල්ගේ සාක්කුවේ දාගන්න පුළුවන් උනොත් ඒක ලොකු ජයග්‍රහණයක්.

සමහරවිට සුළු පක්ෂ සන්ධාන වැඩපිළිවෙළ percent කරන්නේ මහින්දට වෙන්නත් පුළුවන්. ඒක තමයි රටේ රාළ කිව්වේ අනුරාධපුර රැස්වීම බැසිල් වැරදි වෙලාවේ කරපු ඕනි නැති වැඩක් කියලා.

කොහොම උනත් බැසිල් ඒකටත් මොකක් හරි ගුලියක් අඹරන්න බලයි. මොකද මේ දෙගොල්ලොම මේ සටනේ ඉත්තෙක් විදිහට ජනාධිපතිව පාවිච්චි කරගන්න බලයි. දෙපැත්තෙන්ම අනවශ්‍ය පීඩනයක් ජනාධිපතිතුමාට දැනටමත් දීලා කියලා හොදටම පේනවා.

හැබැයි ඔය ඔක්කොටෝම වඩා හොඳ උත්තරයක් ඔය දෙපැත්තටම තියනවා. එතනදී නං ඉස්සර වෙන කෙනා දිනනවා. ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. දැනට ටික දවසක් මේ සටන දිහාත් බලා ඉමු.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන් ..)

 


 
 

Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්