ජනාධිපතිතුමා ජනතාව අතරට ගිය අවස්ථාවක විඩියෝ එකක් පෙරේදා අන්තර්ජාලය කළඹමින් සංසරණය වෙනවා දැක්කා.


බැසිල්ගේ කපුටාස් වීඩියෝවෙන් පස්සේ රාජපක්ෂලාට අදාළව එළියට ආපු හොඳම එක ඒක කියලා තමයි ගොඩක් අය කියන්නේ.

කොහොම හරි එතනදී නං ජනාධිපතිතුමා නෙවෙයි ජනතාව තමයි හොඳටම කරලා තිබුණේ.



විඩියෝ එක ස්ථිරවම සංස්කරණය කරපු එකක් නෙවෙයි. මොකද ජනාධිපතිතුමාට ඉතාම කිට්ටු ඇමති කෙනෙක්ගේ පුවත් අඩවියක පවා ඒ වීඩියෝ එක පලවෙලා තිබුණා.

ආරංචියේ හැටියට සිද්ධිය වෙලා තියෙන්නේ ගාල්ලේ අක්මීමනදී.

ජනාධිපතිතුමා පහුගිය දවසක ගාල්ලේ ගිය ගමන් අක්මීමන  ජනතාව අතරටත් ගිහින්. දැන් නං ජනාධිපතිතුමාටත් හිතෙනවා ඇති ඒ ගමන නොගිහින් හිටියා නං හොදයි කියලා.

ජනාධිපතිවරයෙක් ජනතාව අතරට යන්නේ වෙන මොකකටවත් නෙවෙයි, ජනතාවගේ දුක සැප අහන්න. මොකද ඔය වැඩේට පොඩි සංස්කෘතික අනන්‍යතාවයක් වගේම ඓතිහාසික වටිනාකමකුත් තියෙනවා.



අපේ පෙර රජවරු පවා ඔය වැඩේ කරලා තියනවා. අනේ මන්දා රජවරු කරන වැඩ කරන්න ගිහින් ඇණ ගත්තාවත්ද කියලත් හිතෙනවා. මොකද ඔය රජ මානසිකත්වය රජවරුන්යටත් වැඩිය රාජපක්ෂලාට තියනවා. රජ මානසිකත්වය හින්දා රජ ඇණ ගැනිල්ලක් ඇණගත්තද මන්දා? අපේ රටේ හිටපු සමහර රජවරු ජනතාවගේ දුක සැප හොයන්න වෙස්වලාගෙනත් ගියා කියලා ජනප්‍රවාදයේ තියනවා.



කොහොම හරි රජවරු ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදීව කටයුතු කළා කියන්න හොඳ කවියක් රටේ රාළලා පොඩි කාලේ පෙල පොතක තිබුණා.

මා වැනි බිළින්දා.
වර වර ළගට කැන්දා,
දුක් සැප කුමන්දා,
අසන නිරිඳෝ වෙන කොයින්දා


මතක ඇති.

ඒ වගේම තමයි අදත්, ජනාධිපති තමන්ගේ ගමට එනවා කිව්වම අපේ රටේ ජනතාව ඒක දැනුනේ අර ඉතිහාසයේ රජතුමා එනවා වගේම තමයි. ඒ වගේ වෙලාවලදී ඔය සමහරු කියන්නේ අරයගෙන් පස්සේ ඔය ජනාධිපති කෙනෙක් එනවාමයි කියලා ඇහිලා ඇති. ඒ විශේෂය හින්දම ගොඩක් අය කැමතියි ජනාධිපතිතුමා එක්ක වචනයක් දෙකක් කතා කරන්න. අතින් අල්ලන්න.

ඒ වගේම ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ දුක සැප අහලා තියන ප්‍රශ්නවලට උත්තර හදපු ජනාධිපතිලත් හිටියා. ඒ වැඩේටම නම් දරාපු ජනාධිපතිලා අපේ රටේ හිටියා. එයාලගේ දේශපාලනයත් එක්ක රටේ රාළ එකඟ නෑ. හැබැයි එයාලගේ තිබුණ ඒ ගුණය අගේ කරන්න ඕනි එකක්.

එහෙම ගොඩක් අවස්ථාවල ජනතාව අතරට ගිය ජනාධිපති කෙනෙක් තමයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස. ඒ වගේම මෑතකාලීනව ජනතාව අතරට ගිහින් ජනතාවට සවන් දුන්න ජනාධිපති කෙනෙක් විදිහට මෛත්‍රීපාල සිරිසේනත් හදුන්වන්න පුළුවන්. ඊට අමතරව යුද්ධ කාලේ ත්‍රස්ත ප්‍රහාර එල්ල උන ගම්මානවලට ජනාධිපති මහින්ද ගිහින් ඒ මිනිස්සුන්ට ධෛර්යය හදපු අවස්ථාවලුත් ගොඩක් තිබුණා.

ඔයාලා දකින්න ඇති ඒ හැම වෙලාවකදීම ජනාධිපතිවරයා ජනතාව අතරට ගියේ ජනතාවගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ඇතිව. ඇත්තටම ඒ වගේ වෙලාවකදී ජනමනස කියවගන්න ඒ ජනාධිපතිවරුන්ට පුළුවන් උනා. හැබැයි එදා අක්මීමනදී නං උනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

වර්තමාන ජනාධිපතිතුමාට ජන මනස ගැන කිසිම අවබෝධයක් නැති බව ඒ විඩියෝ එකෙන් තේරෙනවා. ඒ වගේම ප්‍රශ්න ගැන, කාල වකවානු ගැන කිසිම අවබෝධයක් එතුමට නෑ. එතුමා කටට එන එක ඔහේ කියලා දානවා.

ඇත්තටම ජනාධිපතිතුමා එහෙම ජනතාව අතරට යන එකෙන් ජනතාවටවත්, ජනාධිපතිතුමාටවත් ශත පහක වැඩක් නෑ. ඒ වෙනුවෙන් කරන වියදමත් අපරාධි. ඒකෙන් වෙන්නේ ජනාධිපති ධූරය හෑල්ලූ වීම විතරයි.



හැබැයි ජනතාවගේ පැත්තෙන් හිතද්දී නං එදා අක්මීමනදී ප්‍රශ්නවලට උත්තර හම්බ උනේ නැතත් හොඳ දේවල් ගොඩක් සිදිධ උනා. එකක් තමයි මහ පොලොවේ තියන ඇත්ත ප්‍රශ්නය කතා කරන්න ජනතාව ලෑස්ති කියන එක ඔප්පු උනා.



ඒ සංවාද ජනාධිපති එක්ක නෙවෙයි ඕනි යකෙක් එක්ක කරන්න ජනතාව දැන් ලෑස්තියි. ඒ තරම් පීඩනයක් ජනතාවට තියනවා. හැබැයි තියන ප්‍රශ්නය තමයි ඒ ජනතා අභිලාෂය ජනතා අරගලයක් බවට පත් කරලා මේ රටට ඕනි සමාජ පරිවර්තනය කරන්න පුළුවන් දේශපාලනය ව්‍යාපාරයක් රටේ නෑ. ඒක වෙනම කතාවක්.

ආයෙත් පෙරේදා සිද්ධියට ගියොත් කාටත් පැහැදිලියි දෙයක් එතන තියනවා. තමන්ට තියන ප්‍රශ්නය කියන්න මිනිස්සු ඉස්සරහට ආවට එයාලට තියන ප්‍රශ්නය අහන්න කෙනෙක් එතන හිටියේ නෑ. ජනාධිපතිතුමත් ප්‍රශ්න කියන මිනිස්සුන්ගෙන් පෙරලා ප්‍රශ්න අහනවා.

රටේ රාළ හැමදාම කියන රාජපක්ෂලාගේ වැඩවසම් චින්තනයේ පැතිකඩක් ඒ වීඩියෝ එකෙන් හොදට පෙනුනා. ජනාධිපතිතුමා ජනතාව කියන ප්‍රශ්නවලට සංවේදී නොවී මොකද්දෝ එතුමාගේ ඔළුවේ තියන එල්බ ගත්ත එකම කතාව හැමදාම කියනවා.

ඇත්තටම එතන ජනාධිපතිතුමා එක්ක කතා කරන්නේ තේ ගොවියෙක්. හැබැයි ජනාධිපතිතුමා දෙන්නේ වි ගොවියෙකුට අදාළ කතාවක්. අපේ රටේ තේ ගොවියාට පෝර සහනාධාරය යටතේ තේ පෝර නිකං දුන්නා කියලා රටේ රාළ නං දන්නේ නෑ. අනික මේ ජනාධිපතිතුමා යටතේ එහෙම දීලා තියනවා නං කියන්න.

ඊළඟට මොන ගොවියෙකුටවත් මේ ජනාධිපතිතුමා බලයට පත්වුනාට පස්සේ අවුරුදු දෙකක් නොමිලේ පෝර දුන්නේ නෑ. මෙතුමා බලයට ඇවිල්ලත් දැන් යන්තම් අවුරුදු දෙක පැනලා මාස කීපයක් ගියා විතරයි. ජනාධිපතිතුමා කියන විදිහට එහෙනං ගිය කන්නෙත් පෝර නිකං දීලා තියෙන්න ඕනි. ඇත්තටම ජනාධිපතිවරයෙක් කියන ප්‍රකාශ වගකීම් සහගත වෙන්න ඕනි.


ජනාධිපතිත් බැසිල් වගේ උනොත් කොහොමද? බැසිල්ට නං කපුටන්ට crews කියන්නත් පුළුවන් කපුටාස් කියන්නත් පුළුවන්. හැබැයි රටක ජනාධිපති කෙනෙකුට Broken English කතා කරන්න බෑ. මේ රටේ නං එක්කෝ ඉංග්‍රීසි නැත්තං සිංහල හරි, දෙමළ හරි වෙන්න ඕනි. ජනාධිපතිතුමාත් එදා එතනදී කළේ බැසිල් කලා වගේ වැඩක්. තේ ගොවියෙකුට වී ගොවියෙකුට දෙන්න ඕනි උත්තර දෙනවා.



 අනික තමයි ජනාධිපතිට ප්‍රශ්න කියන්න ඉදිරිපත් වෙන්නේ ප්‍රශ්නයක් තියෙන මිනිහෙක් කියලා දකින්න ජනාධිපතිතුමාට බෑ. එතුමා දකින්නේ එයා හතුරෙක් විදිහට. තමන්ගේ දේශපාලන හතුරන් උගන්නලා එවපු කෙනෙක් විදිහට. තමන්ගේ ප්‍රශ්නය කියපු ඒ ගොවි මහත්තයට ජනාධිපතිතුමා අන්තිමට කිව්වේ බොරු කියන්න එපා කියලා. හැබැයි ඉතින් ඒ ගොවි මහත්තයත් අතෑරියේ නෑ. එයත් කිව්වා ජනාධිපතිතුමාගේ පැත්තෙන් කියන්නේ බොරු කියලා.

කොහොම හරි ජනාධිපති කෙනෙක් ජනතාව අතරට යනවා නං ඒක බොහොම විවෘත මනසකින් වෙන්න ඕනි දෙයක්. එහෙම නැතිව තමන්ගේ ඔළුවේ තියන මනස්ගාත මිනිස්සුන්ට පටවලා එන්න නං ඇවිත් තේරුමක් නෑ. ඒකට ඉතින් හොඳ අර අනුරාධපුරේ සල්ගාදු පිට්ටනියේ කළා වගේ රැස්වීමක් තියන එක. ඒ ආකෘතියයි මේ ආකෘතියයි දෙකක් කියලා ජනාධිපතිතුමාට තේරෙන්නේ නෑ.

මෙතනදී තව දෙයක් උනා. ජනාධිපතිතුමාට කෘෂිකර්මය සම්බන්ධව කිසිම දැනුමක් නෑ කියලා ඔප්පු උනා. එතුමා කියන්නේ අවුරුදු දෙකක් දිගටම පෝර දුන්න හින්දා අස්වැන්න අඩුවෙන්න විදිහක් නෑ කියලා. රටේ රාළට හිතෙන්නේ ජනාධිපතිතුමාට ගහකට පොහොර දාන විදිහ, පොහොර දාන කාලය, දාන ප්‍රමාණය ගැන අවබෝධයක් ඇත්තෙම නෑ.

එතුමා හිතාගෙන ඉන්නේ පරණ දාපු පොහොර ටික ගහට උරාගෙන ගහේ පොහොර විදිහට ගබඩා කරගෙන තියනවා කියලද කොහේද. නැති කාලෙට ගන්න ස්ටොක් කරනවා වගේ. මේක ක්‍රියාවලිය චක්‍රීයයි කියලා එතුමා දන්නේ නෑ. එතුමා හිතාගෙන ඉන්නේ මේ හැම දෙයක්ම Flat කියලා.

අවසාන වශයෙන් රටේ රාළට කියන්න තියෙන්නේ දේශපාලන වශයෙන් එකඟ නැති උනත් රටේ ජනාධිපතිවරයා ඔහොම හෑල්ලු වෙනවට රටේ රාළ කැමති නෑ. 

 
ඒ විඩියෝ එකේ ඒ ගොවි මහත්තයාගෙන් පස්සේ කතා කරන කාන්තා කටහඩවල් වලින් ජනාධිපතිතුමා උපහාසයට ලක්කරන විදිහ පැහැදිලිව තේරෙනවා. රටේ රාළට ඇහුන විදිහට එයාලා කියන්නේ ඉතිහාසේ ගත්ත වැඩිම දළු අස්වැන්න දැන් ගන්නවා කියලා උපහාසයෙන් හිනා වෙනවා.

කොහොම උනත් රටේ රාළ ජනාධිපතිතුමාත් එක්ක ඒ සංවාදය හදාගත්ත ගොවි මහත්තයට ස්තුති වන්න වෙනවා. ගොවියාගේ ඇත්ත ප්‍රශ්නය කතා කරන්න ධෛර්යයක් තිබුණාට.

ඒ වගේම රටේ රාළ ජනාධිපතිතුමාටත් කියන්නේ ජනතාව අතරට යන එක හොදයි. හැබැයි ඔය වගේ එල්බ ගත්ත පුර්ව නිගමනවල ඉදන් ජනතාව අතරට යන්න එපා. ජනතාව කියන ප්‍රශ්නයට අඩුම ගානේ අහ ඉන්නවත් නිහතමානී වෙන්න. එහෙම නූනොත් හෙට දවසේ ජනතා ප්‍රතිචාරය ඔයිට වඩා අයහපත් වෙන්න පුළුවන්. සමහරවිට ඔය ඒකේ ආරම්භය වෙන්නත් පුළුවන්.
 
 
 
Priynatha witharana
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.
මීට
රටේ රාළ.
(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්