ආණ්ඩුව ඇතුළේ නිර්මාණය වෙලා තියන දේශපාලන අර්බුදය ගැන රටේ රාළ පහුගිය දවස්වල දිගටම කතා කළා.



මඩ අපහාස, අවලාද නං ටිකක් ආවා. ඒත් ඇත්ත කතා කරන්න ඇයි බය වෙන්නේ? රටේ රාළ මරෙනකං හෝ මරනකං ඒ ඇත්ත කතා කරනවා. මොකද මේ ප්‍රශ්නේ තව පැති ගොඩක් තියනවා.

දැනට රටේ රාළ කතා කළේ මේක ඇතුළේ තියන මහින්දගේ උවමනාව ගැන. ඒ වගේම බැසිල්ගේ උවමනාව ගැන විතරයි. තව මෛත්‍රීගේ උවමනාව ගැනත් කතා කරන්න පුළුවන්.

ඇත්තටම විමල්ගේ උවමනාව ගැනත් කතා කරන්න ඕනි. හැබැයි රටේ රාළ හිතාමතාම විමල්ගේ උවමනාව ගැන කතා කරන එක කල් දැම්මා. මොකද ඒකට බාධාවක් මේ මොහොතේ තියනවා. කොහොමත් දහ වෙනිදායින් පස්සේ ඒක කතා කරනවා.

 

දහ වෙනිදා කියන දිනේ විශේෂ වෙන්නේ විමල්ගේ පාස්පෝට් නඩුවේ තීන්දුව දෙන්නේ එදාට. මොකද විමල්ගේ උවමනාව ගැන කතා කරන්න ඕනි ඒ නඩුවේ තීන්දුවත් එක්ක. ඒක නිසා ඒක Await....

 

නාමල් හා බැසිල් ප්‍රතිවිරෝධය ..


අද රටේ රාළ කතා කරන්නේ මේ අර්බුදය ඇතුළේ තියන තවත් බරපතල ප්‍රශ්නය ගැන. ඇත්තටම ඇතුළේ කිව්වාට ඒක තියෙන්නේ එළියේ. ඒක ඇතුළේ තමයි ආණ්ඩුවේ අර්බුදය තියෙන්නේ.

රටේ රාළ කිව්වේ ආණ්ඩුව ඇතුළේ එහෙමත් නෑත්තං පොහොට්ටුව ඇතුළේ තියන ප්‍රධාන ප්‍රතිවිරෝධයක් තමයි නාමල් හා බැසිල් ප්‍රතිවිරෝධය කියලා. හැබැයි ඊට වඩා ලොකු ඒවා මේක ඇතුළේ තියනවා. නාමල් බැසිල් ගැටුම තියෙන්නේ ආණ්ඩුව ඇතුළේ ශීතල යුද්ධයක් විදිහට. හැබැයි ඒක එක එක විදිහට එලියට පනිනවා.

එතකොට දේශපාලනය තේරෙන අයට නං වැඩේ තේරෙනවා. එළියට දාන සටන් පාඨවල ඇතුළට කිදා බැස්සම ඇතුළේ තියන ඇත්ත දේශපාලන උවමනාව පේනවා. ඒක තේරුම් ගන්න පුළුවන් නං රට ඉස්සරහා ලස්සනට ඇඳගෙන රඟපාන අය ඇතුළේ හෙළුමෙන් නටන හැටි පේනවා. රටේ රාළ කරන්නේ එයාලගේ හෙළුව රටට පෙන්නන එක.

විමල්ලා, ගම්මන්පිලලා කරන්නේ ඕකේ අනිත් පැත්ත. රටට පේන්න නියමිත පාලකයන්ගේ හෙළුව එයාලා අතින් වහගෙන ඉන්න එක. එතකොට එයාලගේ හෙළුව වහගන්න තියන අත් දෙකත් එයාලට නෑ .දැන් දෙගොල්ලොම හෙළුමෙන්.


''ජාත්‍යන්තර බලවතුන්ගේ තුන් දෙදෙනකුගේ දැඩි බලපෑමට අහුවෙච්චි රටක්..''


ඇත්තටම ආණ්ඩුව ඇතුළේ තියන මේ බල අරගලය එක්ක ගැට ගැහුණු ජාත්‍යන්තර සම්බන්ධයක් තියනවා. අද රටේ රාළ කථා කරන්නේ ඒක. රටේ රාළ දිගටම කියපු කථාවක් තමයි අපි ජාත්‍යන්තර බලවතුන්ගේ තුන් දෙදෙනකුගේ දැඩි බලපෑමට අහුවෙච්චි රටක් කියලා. ඒ ඇමරිකාව,  ඉන්දියාව, චීනය කියන රටවල්.

කොහොම හරි මේ රටවල් එයාලගේ ආර්ථික දේශපාලන උපායමාර්ගය ඇතුළට ශ්‍රී ලංකාව අරගෙන ඉවරයි.

ඒ අපට ආදරේට නං නෙවෙයි වගේම ඒක අද ඊයේ වෙච්චි වැඩකුත් නෙවෙයි.

ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව ආසියාවේ භූ දේශපාලනය ගැන හිතන ඕනි කෙනෙකුට ශ්‍රී ලංකාව නොසලකා කටයුතු කරන්න බෑ. ඒ තරමටම අපි වැදගත්. නැගෙනහිර ආසියාවට බටහිර පැත්තෙන් ඇතුලු වෙන්නත් පිට වෙන්නත් තියන දොරටුව තමයි අපි.

ඒක හරියට අර මහින්දගේ සැලුන් දොර වගේ. ඒ දොරෙන් පහුගිය ඉතිහාසය පුරාම එක එක වර්ගයේ බඩු ඇතුළු උනා. ඒ වගේම අපේ අය ගෙනත් දාගත්ත අයත් ඉන්නවා. එයාලා ඇතුළු වෙලා නිකං හිටියෙත් නෑ මේක ඇතුළේ දාන්න පුළුවන් ඔක්කොම සෙල්ලං දැම්මා. තවත් දානවා. ඒ සෙල්ලංවලට නටන මෙහේ සෙල්ලං සේනලා ඕනි තරම් ඉන්නවා. කරුමේ කියන්නේ අපේ පාලකයොත් එයාලගේ පදයට නටන සෙල්ලං සේනලාවිමයි.

 

ජේ.ආර් මේකට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ගෙනැල්ලා මේක බටහිර කොළනියක් කළා. එදා ඉන්දියාව හිටියේ ඇමරිකාවට විරුද්ධව නිසා ජේආර්ගේ පාලනය සමයේ ඉන්දියාව අපට කරන්න ඕනි සියලු හතුරකම් කළා. බලෙන් අපිව ඉන්දියන් කොළනියක් කළා.

 

ඊට පස්සේ චන්ද්‍රිකා මේක යම් බැලන්ස් එකක් සහිතව ගෙනිච්වා. චන්ද්‍රිකා බටහිරට පක්ෂපාතී උනාට එකපාරටම ඒකේ අන්තයට ගියේ නෑ වගේම ලෝකේ වාමාංශික රටවල් නැති කර ගත්තේ නෑ. ඒකට අම්මාගෙන් තාත්තගෙන් ආපු උරුමයක් චන්ද්‍රිකාට තියෙන්න ඇති.

හැබැයි මහින්ද බලයට පත් උනාට පස්සේ මහින්ද වේගයෙන් චීනය පැත්තට නැඹුරු උනා. ඇත්තටම මහින්දලා චීනය එක්ක කළේ රාජ තාන්ත්‍රික ගනුදෙනුවක් නෙවෙයි. රාජ තාන්ත්‍රික සම්බන්ධකම් යොදවාගෙන කරන බිස්නස් එකක්. චීනා ලෝකයේ ඒ ඒ වෙළඳපොළවල් ඉළක්ක කරගෙන බඩු හදනවා වගේම තමයි ඒ ඒ රටවල රාජ්‍ය නායකයන් ඉල්ලන විදිහට දේශපාලන සැපයුම දෙනවා. genuine නං genuine. චොර නං. එයාලා genuine මෙයාලා චොර. ඒත් ගනුදෙනුව යනවා.

චීනා මහින්ද එන එන විදිහට පිත්ත හැසිරෙව්වා. චීන ආයෝජන හා ණයවලින් උපරිම ලාභය ගන්නේ රාජපක්ෂලා බව දැන දැනත් චීන උවමනාව සන්තෘප්ත කරගැනීම වෙනුවෙන් මහින්ද එක්ක කටයුතු කළා.

 

මහින්දගේ චීන පක්ෂපාතීත්වය නිසා බටහිර අපිට නැති උනා. ඉන්දියාවද අපෙන් වේගෙන් ඈත් උනා. චීනය පසුගිය කාලේ මෙහේ වේගයෙන් පැළපදියම් උනා. කට්ටිය කිව්වේ මහින්ද මේ රට චීන කොළනියක් කළා කියලා. හැබැයි බටහිර මේ වැඩේ ඉවසුවේ නෑ. බටහිර මහින්ද පාලනය පෙරලලා යහපාලනය ගෙනාවා.

 

හැබැයි යහපාලනය අස්සේ බටහිරටවත්, චීනයටවත් ඕනි විදිහටම මේ රට කරකවන්න බැරි උනා. රනිල් බටහිරට පක්ෂපාතී උනාට චීනය ඇවිත් තිබුණ දුරත් එක්ක ඇත්තටම බටහිරටවත්. චීනයටවත් සියට 100% ක් පක්ෂපාතී තැනකට මේක තල්ලු උනේ නෑ.

ඊළඟට මෛත්‍රී බටහිරවත්, ඉන්දියාවේවත්, චීනයේවත් ගැත්තෙක් වෙලා නොතිබීමත් ඒකට තදින් බලපාන්න ඇති. මෛත්‍රී ඔය කොයි ලෝක නායකයා හම්බ උනත් රටට මොකක් හරි ඉල්ලගන්න මානසිකත්වයක හිටියේ. ඒක නිසාම තමන්ටම කියලා එකක් හදාගන්න යහපාලන ආණ්ඩුව පෙරලන්න බටහිර වගේම චීනයත් රාජපක්ෂලා උදව් කලා.

බටහිර ඒජන්තයෝ උන ගෝඨාභය හා බැසිල් මේකේ ප්‍රධාන සාධක දෙකක්. ඒ වගේම චීන ඒජන්තයා උනු මහින්දත් ඒ ගොඩේ හිටියා. දෙගොල්ලොම දෙගොල්ලො ගැන බලාපොරොත්තු තියාගෙන උදව් කළා. බලයත් ගත්තා. හැබැයි මෙතනදී දිනුවේ බටහිර හා ඉන්දියාව. ඇත්තටම බැසිල් මුදල් ඇමති වීමත් එක්ක බටහිර උවමනාව සම්පුර්ණයෙන්ම සන්තෘප්ත උනා. අපේ රටේ පාලනය සම්පුර්ණයෙන්ම බටහිර හා ඉන්දියාවේ රූකඩ බවට බත් උනා.

දැන් දෙන්නා රට සම්පුර්ණයෙන්ම බටහිර පැත්තට රට හරවමින් ඉන්නවා. ඒක නිසා මහින්ද හරහා ඉටු කරගන්නට හිතාගෙන තිබුණ චීන බලාපොරොත්තූව බිද වැටිලා. ඇත්තටම මහින්ද අද ආණ්ඩුව ඇතුළේ අවලංගු කාසියක් වෙලා ඉවරයි. සියල්ල වෙන්නේ බැසිල්ට ඕනි විදිහට.

චීන ව්‍යාපෘති ප්‍රතික්ෂේප වෙමින් බටහිර හා ඉන්දියානු ව්‍යාපෘති එන්න පටන් ගත්තා. සමහර ගිවිසුම් ගත ව්‍යාපෘති පවා චීනය අකුලාගෙන ගියා.

හැබැයි එදා රටේ රාළ කිව්වා මතක ඇති චීනය මේ යන්නේ ආපහු එන්න බලාගෙන කියලා. ඇත්තටම චීනය දැන් ඇවිත්. දැන් චීනයට මේ ආණ්ඩුවට වට්ටන්න ඕනි. ඒකේ දෙකක් නෑ. ඒකට අණ්ඩුවේ ඇතුළ වගේම එළියත් පාවිච්චි කරගනිමින් ඉන්නවා.

 

දැන් ඉස්සර විපක්ෂය නියෝජනය කරපු චීන විරෝධය නෑ. දැන් සජිත්ගේ රටට හුස්මක් වැඩ සටහනටයි සක්වල වැඩ සටහනටයි චීනයත් උදව් කරන්න පටන් අරන්. චීන තානාපති මෛත්‍රී ගෙදෙට්ට ඇවිත් හම්බ වෙනවා. ඒ වගේම චීන තානාපති මහින්ද එක්කත් බොහොම කිට්ටු ගනුදෙනුවක් කරනවා.

 

වැඩේ කාට පැහැදිලි නැතත් රටේ රාළට නං වැඩේ පැහැදිලියි. මහින්ද හරහා දැන් චීන උවමනාව එලියට ගේන්න බෑ. චීනය මෙතනදී අවලස්සන ඇමරිකානුවා ටාගට් කරන බව පේනවා. ඒක එක එක විදිහට එළියට එන්න පටන් අරන්. මුළු රටම හරි මඟට ගන්න හදන Project එක එක විදිහක්, නැත්තං වෙන දේශපාලන Project තව ඇති වගේම තව එයි.

එතකොට ඒකට විරුද්ධ බටහිර හා ඉන්දියන් එක අනිත් පැත්තෙන් එලියට එනවා. ඒක එන්නේ ඉන්දියන් ආධාර පැකේජයක් විදිහට, බැසිල් දැන් අන්තවාදී නොවන ආණ්ඩුවක් හදන්න කට්ටියටම ආරාධනා කරන්නෙත් ඒ වැඩේටම තමයි. ඒක නිසා මේ ජාත්‍යන්තර උවමනා ඇතුළේ තමන්ගේ උවමනාව ගැටගහගන්න පාලකයෝ ටිකක් තමයි අපට ඉන්නේ.

 

මහින්දලා, ගෝඨාභයලා, බැසිල්ලා, විමල්ලා, ගම්මන්පිලලා ඉෂ්ඨ කරමින් ඉන්නේ ඒ කොයි රටක හරි උවමනාව. හැබැයි රටේ කරුමය කියන්නේ ඒ ජාත්‍යන්තර උවමනාවට නැටවෙන මේ රූකඩ හදුනා ගන්න තරම් අපේ රටේ පොදුජන මනස දේශපාලන වශයෙන් සවිඥානික නෑ.

 

තවමත් මේ රටේ අති බහුතර ජනතාව දේශප්‍රේමය තවරලා රටට ගිල්ලන ජාත්‍යන්තර ගුලිවලට අහුවෙනවා. රටේ රාළ ඒකෙන් කියන්නේ ඇමරිකාව, ඉන්දියාව, චීනය එක්ක ගනුදෙනු නොකර ඉන්න නෙවෙයි. ඒ ඕනිම රටක් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනි.

ඒව ඇතුළේ රෝ, සීඅයිඒ නෙවෙයි තව තව ඒවා තියෙයි. ඒත් අපට නිශ්චිත විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි. එතනදී රටේ රාළ චම්පික කිව්ව සම මිතුරු විදේශ ප්‍රතිපත්තිය කියන වාක්‍යයට කැමතියි. ඒක තමයි දැනට ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවලින් හොදම එක. ඒක නිසා හොදම දේ කාගේ උනත් ගන්න බය වෙන්න ඕනි නෑ.

ඒ වගේම තමන්ගේ බල උවමනාව වෙනුවෙන් කිසිම රටක ඉත්තෙක් වෙන්න කාටවත් අයිතියක් නෑ. බැසිල්ට නං ඒ චෝදනාව අදාළ නැතිව ඇති. මොකද එයා ඇමරිකන් ඉත්තෙක් නෙවෙයි. ඇමරිකන් යැංකියෙක්. දැන් මේ කැබිනට් මණ්ඩලය විදේශ බලවේග ආක්‍රමණය කරලා ඉවරයි. ඉන්දියාව, චීනය, ඇමරිකාවේ ඒජන්තයෝ තමයි ඒක ඇතුළේ ඉන්නේ.

අපේ අවාසනාවට ශ්‍රී ලංකාව නියෝජනය කරන නියෝජිතයෙක් ඕක ඇතුළේ නෑ. ඒක නිසා අපි කරන්න ඕනි දේශපාලන පක්ෂ පැත්තේ හිටගැනීම නෙවෙයි. රට පැත්තේ හිට ගැනීමයි.

රටට හතුරුයි නම් මොකාට උනත් විරුද්ධ වීමයි. ඒක මහින්ද, ගෝඨාභයද, බැසිල්ද, මෛත්‍රීද, විමල්ද, සජිත්ද, අනුරද, චම්පිකද කියලා අදාල නෑ. අදත් රටේ රාළ ආරාධනා කරන්නේ එන්න ඒ ගොඩට. ඒ ගොඩේ හිටගත් අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් වෙන්න කියලා.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharana

මීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 



 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්