(චින්තාගේ ෆේස්බුක් සටහනක්)


ලකා කියන්නෙ ම‍ගේ ආදරණීය යාලුවෙක්. අපි එකට චිත්‍රපටිවල හැපිච්ච එවුන්.

මෑතක මගේ වෙනස්වීම් ගැන ලකා කමෙන්ට් කීපයක් ලියනවා. ඒ කමෙන්ට් හරහා මතුවෙන සංවාදය පුද්ගලික දේකට වඩා නිර්මාණ කරන ඕන කෙනෙකුට වැදගත් කියල හිතන නිසා නැවත පෝස්ට් එකක් ලියන්න කල්පනා කළා.

නිර්මාණකරුවෙකුගේ ඉහල හෝ පහල යාම පිරිසක් සාකච්ඡා කිරීම කියන්නෙ නිර්මාණකරුවෙකුට ලැබෙන ඉහළම ප්‍රතිලාභයක්.

අපිට අපේ ස්ථානගතවීම් වෙනස්වෙන හැටි දැනගන්න ඒක වැදගත්.

ඊටත් වඩා අපි එකම විදිහකට ගතවෙනවද නැත්නම් වෙනස්- අලුත් වෙනවද කියන එක දැනෙන්නෙ ඒ ප්‍රතිචාරවලින්.



මට පුද්ගලිකව වැදගත් වෙන්නෙ වෙනස්වීම විතරයි. ඒක ඉහළද පහලද කියන එක ඒ තරම් අදාල නෑ. මං හිතන්නෙ ඒක ප්‍රතිචාර දක්වන්නාට වගේම කාලයට සාපේක්ෂ කාරණාවක්. ලෝකයේ එක්තරා කාලයක බොහෝ පහළ යැයි සම්මත ආර්ටිස්ට්ලා තමයි මගේ ලෝකයේ වීරයෝ වෙලා ඉන්නෙ.

 

ලකා මගේ උල්කාපාතයක් සිංදුව උදාහරණයක් කරලා අරගෙන මේ චින්තා දැන් කොහෙද කියල මගෙන් අහනවා. 

 

මං ඔය ප්‍රශ්නෙ ආර්ට් කරන හැම කෙනෙකුගෙන්ම කවුරු හරි අහනවා දැකලා තියෙනවා.

අනන්තයට යන පාර දිගේ කරපු කසුන් කෝ කියල කල්හාර ගෙන් අහනවා.

හඳයාගේ අඩි සද්දෙ කෝ කියල එකපාරක් බූපති හඳගමගෙන් ඇහුවා.

සංසාරාරාණයේ දඩයක්කාරයා ලියපු සයිමන් කෝ කියල එයාගෙ පසුකාලීන නවකතා කියවන පාඨකයො ඇහුවා.

රට බේරගත්ත මහින්ද කෝ කියල මහින්ද රාජපක්ෂගෙන් ඇහුවා.

මේ විදිහට අපි කාගෙ හරි ඇලුම් කරන තැනක නැවතිලා ඉඳිද්දි ඒ මනුස්සයා එතනින් වෙන තැනකට ගමන් කිරීම අපි ප්‍රශ්න කරනවා.

පෙම්වතියක් වුනත් පෙම්වතෙක්ගෙන් නැවත නැවත අහන ප්‍රශ්නයක් මේක. ඉස්සර හිටපු ‍ඔයා කොහෙද?

මේකට හැමදාම මං මතක් කරන්නෙ හෙරක්ලීටස්.
යමෙකුට එක ගගක් දැකිය නොහැකිය දෙවරක්- හෙරක්ලීටස් කියනවා.
දකින්නට දෙවරක් එසේ ජීවත් නොවේ කිසිවෙක්- බුදුන් කියනවා.



කලාවෙ විතරක් නෙමෙයි ජීවිතේ වැදගත්ම දේ වෙනස්වීම.

තමන් අත්පත් කරගත්තා යැයි ලෝකය කියන මහා දේ අත්හැරීම.

සමහර විට පල්ලම් බැසීම.

මං මේ දවස්වල හරිම ආසාවෙන් ෆලෝ කරන නවාල් රවිකාන්ත් මේ ගැන ලස්සන පැහැදිලි කිරීමක් කරනවා.



'අපි යම් කන්දක් මුදුනට නගිනවා. ඒ මුදුනෙ ඉඳන් බලද්දි අපිට ඊට වඩා ලොකු කඳු මුදුනක් පේනවා. හැබැයි ඒ මුදුනට නගින්න නම් අපි මේ කන්දෙන් බැහැලා ආපහු නගින්න වෙනවා. ගොඩක් අය ජීවිතේ තමන් නැගපු කඳු මුදුනෙන් ආපහු බහින්න බයයි. ඒ නිසා ඒ අය නතර වෙනවා. ඒත් අලුත් කඳු මුදුනකට යන්න නම් කෙනෙක් තමන් නැගපු කන්දෙන් බිමට බහින්නම වෙනවා.'



දවසක ලකාගෙන් මිනිස්සු අහවි ‍කෝ අර කූඹියෝ කරපු ලකා කෝ කියල.

එදාට මචං බය නැතුව මේ පෝස්ට් එක උන්ට ෂෙයාර් කරපං.

උඹ කූඹියෝ අතෑරලා අලුත් ගමනක් යන එක ගැන ආඩම්බරෙන්.

නැත්තං උන් උඹව කූඹියෙක් කරනවා ....


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -
Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්