මම මේ සටහන තබන්නේ 'සිරස' රාත්‍රී 7 ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹා ආපු ගමන්මයි. මේ සටහන තබන්න මට සිතුනේ එම ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ

 විකාශනය වුණු ශ්‍රීලoකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් අපේක්ෂක සහ එහි උප සභාපතිවරයකුද වන කරුණා අම්මාන් විසින් කල ප්‍රකාශයක් දැකීමෙනුයි. ඔහු මේ ප්‍රකාශය කරන්නේ අම්පාරේ දෙමල ඡන්ද දායකයන්ට.

"කාරතිව් ප්‍රාදේශීය සභාවෙ සභාපති කියා තිබෙනවා කරුණා කොරෝනාවලටත් වඩා දරුණු මිනිහෙක් කියල...... මම කියනවා ඔව් මම හුඟාක් දරුණු මිනිහෙක් තමයි..... එහෙම දරුණු නිසා තමයි මට එක රාත්‍රියකින් අලිමංකඩ යුද හමුදාවෙ දෙතුන් දාහක් මරා දමන්න පුළුවන් වුනේ..... කිලිනොච්චියෙත් ඊටත් වඩා ගනනක් එක රාත්‍රියකින් මරා දැමුවා .... ඔව් මම ඉතාමත් දරුනු මිනිහෙක්"

"ඔව් මම හුඟාක් දරුණු මිනිහෙක් තමයි... එහෙම දරුණු නිසා තමයි මට එක රාත්‍රියකින් අලිමංකඩ යුද හමුදාවෙ දෙතුන් දාහක් මරා දමන්න පුළුවන් වුණේ... කිලිනොච්චියෙත් ඊටත් වඩා ගනනක් එක රාත්‍රියකින් මරා දැමුවා... ඔව් මම ඉතාමත් දරුණු මිනිහෙක්" -කරුණා අම්මාන්

 

''දැන් සැපද ආ....'' ඇහුවා ඇති!

ඉතින් මම මේ කතාව මෙතෙන්ට ඇද්දෙ මේ රටට ඇත්තටම ආදරෙ කරන සැබෑ දේශප්‍රේමීන්ට ඉතාමත්ම වැදගත් කාරණයක් දෙන්න. එහෙම නැතුව මේ ප්‍රකාශය ඔබට ඉදිරිපත් කරල "දැන් සැපදාආආආආඅ ........." වගේ එකක් අහල කරුණට ඔබ ලවා කුනුහරප කියවල කාලකන්නි වින්දනයක් ලබන්න නම් නෙවෙයි.

ඒ කාරණය තමයි අපේ රටේ මේ ජාතීන් අතර විරසකය පවත්වාගෙන යන්නෙ උතුරේත් දකුණේත් බල දේශපාලන ව්‍යාපෘතියේ බලවත්ම සාධකය මේ ජාතිවාදී හැඟීම් ඇවිස්සීම නිසායි. මේක දැනට දශක දෙකකට ආසන්න කාලයක් පුරාවටම ශ්‍රීලංකා දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව බවට බලහත්කාරයෙන්ම හරවාගෙන තිබෙනවා. රටට ඇත්තටම ආදරේ දේශප්‍රේමීන් ඒක තේරුම් ගන්න.

 

ජනවාර්ගික වෛරය මාර්කට් කිරීම

දැන් දකුණෙත් කවුරුහරි අපේ හමුදාවක උසස් නිලධාරියෙක් ජනතාව ඉදිරියට ගිහින් කරුණා අම්මාන් ඔය ගැලරියේ විසිල් එකට අද කරල තියෙන ප්‍රකාශය කලා නම් ඔහුටත් සෑහෙන ජාතිවාදී ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන්. ඔවුන් පාර්ලිමේන්තු යයි, ඩියුටි ෆ්‍රී පර්මිට් ඇතුලු වරප්‍රසාද ගනියි.

හැබැයි රටේ මේ අවුලවන ජාතිවාදය, ජනවාර්ගික අවිශ්වාසය සහ වෛරය දිගටම රට විනාශ කරයි.

Karuna Amman

 

කරුණා තවම පුනරුත්තාපනය වෙලා නෑ

ලෝකෙ මේ වගේ ගැටුම් අවසන් කරපු සිදුවීම්වලදි ඒ ගැටුම් වලට නායකත්වය දීපු නායකයො මෙහෙම හැසිරුනේ නෑ. කරුණා අම්මාන් හරියට පුනරුත්ථාපනය වෙලා නෑ කියල මම කියන්නෙ ඒ නිසායි.

කොහොම වුණත් මට මේ කතාව අහල විශාල වේදනාවක් ඇතිවුණා. තව සෑහෙන කාලයක් උතුරේත් දකුණේත් යුද්දෙ අලෙවි කරල සිල්ලර දේශපාලනය දිගටම සිදුවෙයි. මට ඒගැන දුකයි.

ඒ වෙන කිසිවක්ම නිසා නෙවෙයි එමගින් රටේ සැබෑ ප්‍රශ්න වෙතින් ජනතාවගෙ අවධානය වෙනතකට යොමුකරල තියාගන්න කූඨ දේශපාලනඥයින්ට පුලුවන් වන නිසා.

 

යුද්ධයක් නොකළා සේ සලකනවා...

Abraham Lincoln USAඇමරිකා එක්සත් ජනපදය 1862 සැප්තැම්බර් 22 දින වහල් මෙහෙය අවසන් කිරීම සඳහා ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් අත්සන් තැබූ විමුක්ති ප්‍රකාශයට විරුද්ධව එක්සත් ජනපදයේ දකුණු ප්‍රාන්ත 11ක් සිවිල් යුද්ධයක් ආරම්භකලා එක්සත් ජනපදයෙන් වෙන්ව යාමට.

ඉතින් ඔය යුද්දෙ ජයග්‍රහණය කලායින් පස්සෙ උද්දාමයට පත්වෙච්චි ජනාධිපති ලින්කන්ගෙ ආධාරකාරයෙක් අහනව 'ජනාධිපති තුමනි. යුද්ධය අවසන් වූ පසුව ඔබ දකුණේ වැසියන්ට සලකන්නේ කෙසේදැයි? කියල..... ලින්කන්ගේ පිළිතුර වූයේ 'ඔවුන් කිසිදිනෙක යුද්ධයක් නොකලාසේ අප ඔවුන්ට සලකනවා.........'

තවත් ඒ වගේම දකුණු විරෝධී ජාතිවාදියෙක් ලින්කන්ට කියනවා, "ජෙෆර්සන් ඩේවිස් එල්ලා මරා දැමිය යුතුයයි" කියා. ජනාධිපති ලින්කන් ඊට දැක්වූ ප්‍රතිචාරය වූයේ "ඔබවද කිසියම් දිනෙක ඔබ ජීවත්ව සිටියදී කල කී දෑ වෙනුවෙන් විනිශ්චයට භාජනය වන බව සිහියේ තබාගන්න". අපට දකුණ සමග එක්සත්ව ක්‍රියා කරන්නට අවශ්‍ය නම් "අපගේ අමනාපය මේ යුද්ධය සමගම අවසන් කලයුත්තෙමු" යන්නයි.

 

සිල්ලර දේශපාලකයන්ට අලුත් පාඩමක්...

ඉතින් වරදවා තේරුම් අරගෙන මට බනින්න එපා ලින්කන්ව කරුණා එක්ක සoසන්දනය කලේ ඇයි කියල. ලින්කන්ල එක්ක සංසන්දනය කරන්න පුලුවන් නායකයො අපේ රටවල බිහිවුනා නම් අපට මෙහෙම වෙන්නෙ නෑ.

අපේ රටවල ඉන්නෙ ඡන්දෙ දිනන්න ජාතිවාදය හරි මොකක් හරි ඕනෑම කසල ගොඩක් අවුස්සල ජනයාගේ ඔළුවට කිසියම් මානසික අල්ලසක් දීල පාර්ලිමේන්තුවෙ හරි විධායකයෙ හරි බලය ගන්න බලන් ඉන්න සිල්ලර දේශපාලනඥයො. අඩුම තරමෙ ඔය මිනිස්සු ලින්කන්ල වගේ අය ගැන කියවලවත්, චිත්‍රපටයක් බලලවත් නැතුව ඇති.

 

ඉතාම නරක හැඟීම් දැල්ල....

NM1955 දි කොළඹ නගර සභා ශාලා භූමියේදී පවත්වපු ත්‍රී සිංහල පෙරමුණේ රැස්වීමක් සම්බන්දයෙන් 1955 ඔක්තෝබර් 19 දා ඒකාලෙ විපක්ශෙ මන්ත්‍රී වරයෙක් වෙලා හිටපු ආචාර්‍ය ඇන්. ඇම් පෙරේරා මහතා පාර්ලිමේන්තුව අමතා කල ප්‍රකාශයකින් මේ සටහන නවත්වන්නම්.

"ඔබ පවන් ගසන්නේ ඉතාම නරක හැඟීම් දැල්ලකටය . අපට දේශපාලන දෘෂ්ඨිවාදය සමග සටන් කළ හැකිය , ආර්ථික මූලධර්ම ගැන සටන් කළ හැකිය . එහෙත් භාෂාව, ආගම හා වර්ගය වැනි කරුණු සම්බන්දයෙන් මිනිසුන් මහා උමතු තත්වයට පත් වීමේදී එය කොතනින් කෙළවර වේදැයි කිව නොහේ......

ඉරිදා නගර ශාලා භූමියේදී මා දුටු දර්ශණය මේ ගරු සාමාජිකයන් දුටුවේ නම් ඔවුන් තමන් ගැනම ලැජ්ජාවනු ඇත; මේ රටේ අනාගතය ගැන ඔවුන්ට කණගාටු සිතෙනු ඇත . බහුතර ප්‍රජාවගෙන් සුළුතර ප්‍රජාවට බිය වීමට කරුණක් නැති බවත් අතීතයේදී අපි දෙගෝල්ල හොඳින් සිටි බවත් ඒ ලෙසින්ම අපි අනාගතයේදී සිටින බවත් හොඳින් හැඟවීමට කටට ආවට කීම ප්‍රමාණවත් නොවේ....... අද දින එය ප්‍රමාණවත් නැත .

අද අප එන්න එන්නම වර්ධනය වන මේ භීතීන් නැති කිරීමට සාධනීය කිසිවක් කළ යුතු වෙමු. අප සාධනීය ස්ථාවරයක් නොගත හොත් අපි සිංහල උත්තමවාදීන් හට තමාට හැකි අන්දමේ විනාශයක් කිරීම සඳහා දිගින් දිගටම ඉඩ දෙන්නෙමු ."

 

"ඔබ පවන් ගසන්නේ ඉතාම නරක හැඟීම් දැල්ලකටය.
අපට දේශපාලන දෘෂ්ඨිවාදය සමග සටන් කළ හැකිය.
ආර්ථික මූලධර්ම ගැන සටන් කළ හැකිය.
එහෙත් භාෂාව, ආගම හා වර්ගය වැනි කරුණු සම්බන්දයෙන්
මිනිසුන් මහා උමතු තත්වයට පත් වීමේදී
එය කොතනින් කෙළවර වේදැයි කිව නොහේ......
අද අප එන්න එන්නම වර්ධනය වන මේ භීතීන් නැති කිරීමට
සාධනීය කිසිවක් කළ යුතු වෙමු.
අප සාධනීය ස්ථාවරයක් නොගත හොත්
අපි සිංහල උත්තමවාදීන් හට
තමාට හැකි අන්දමේ විනාශයක් කිරීම සඳහා
දිගින් දිගටම ඉඩ දෙන්නෙමු ."
- ඇන්. ඇම් පෙරේරා 

(චන්න කරුණාරත්න FB පිටුවෙන්)

(අවධාරණය කිරීම් සංස්කාරක විසිනි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්