අපේ ජනාධිපතිතුමාගේ නම "ශෝටාබය" කියලා මුද්‍රණ දෝෂයක් සහිතව පුවත්පතක ප්‍රකාශයට පත් කිරීමේ වරදට

ලේක්හවුසියේ මිහිර පත්‍රයේ කතුවරයා ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති පුවතක් අසන්නට ලැබුණා.

ඒ සිද්ධියට සමගාමීව මට වුණු ඇබැද්දියක් ගැන කතාවකුත් මතක් වුණා.

කතාව මේකයි.

මේ සිද්ධිය වුණේ 2001 විතර. මහ මැතිවරණ කාලේ.

එතකොට මං විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කරලා ආපහු ඇවිල්ලා ලේක් හවුසියේ සිළුමිණ කර්තෘ මණ්ඩලයේ උපකතුවරයෙක් විදිහට සේවය කරමින් හිටියේ.

සිද්ධිය වුණේ ඡන්දෙට කලිං අන්තිම සිකුරාදා අපි සිළුමිණේ ප්‍රාදේශීය මුද්‍රණය සකස් කරමින් ඉන්නකොටයි.  

එතකොට සිළුමිණ කර්තෘ වෙලා හිටියේ සුජීව දිසානායක.

එදා හරිම කාර්ය බහුල දිනයක්.

 ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ බොහෝ ආයතනවලින් අපට නොනැවතී පුවත් ගලා එමින් තිබුණා.

 ඒවා ටයිප් කරමින්, අලවමින්‍, ගලවමින්, අලුත් ඒවා අලවමින් ඉන්නකොට කාටත් නොදැනීම මධ්‍යම රාත්‍රියටත් ළං වෙමින් තිබුණා.

අපේ ප්‍රවෘත්ති ටයිප් කරපු ටයිප් සෙටර්ස්ලා දෙන්නා එතකොට හිටියේ හොඳටම හෙම්බත් වෙලා.

 කර්තෘ මණ්ඩලයේ හිටපු අය අතරින් ඒ වෙනකොට ටයිප් සෙටිං කරන්න පුළුවන් අයට හිටියේ මායි, තාරක වික්‍රමසේකරයි විතරයි.

ඉතිං කර්තෘ සුජීව අපි දෙන්න කතා කරලා කිව්වා ටයිප් සෙටර්ස්ලා දෙන්නට සපෝට් එකක් දෙන්න කියලා.

ඔන්න ඉතිං දැන් අපි හතර දෙනාම පණදාගෙන අලුතෙන් එන නිවුස් කොටනවා.

ඔය අතරේ ආවා සමීක්ෂණ වාර්තාවක්.

ඒකෙන් කියවුණේ දිස්ත්‍රික්ක හතරක් යූඇන්පියට වාසි දායකයි, අනෙක්වා පොදු පෙරමුණට වාසි දායකයි කියලා.

කර්තෘ සුජීව ඒකත් අරං මං ගාවට ඇවිත් කිව්වා "මල්ලී මෙන්න මේක ගහලා ගනිං" කියලා.

නිදිමරගාතේ මං කොටලා තියෙන්නේ දිස්ත්‍රික්ක හතරක් හැර සෙසු ඒවා යූඇන්පියට කියලා.

පහුවෙනිදා පත්තරේ ලීඩ් එකට ගියේ ඒ නිවුස් එක.

පන්තරේ මුද්‍රණයට යවලා පාන්දර යාමේ ගෙදර ගිහිං පහුවෙනිදා වැඩට එනකොට එක ගිනි විජ්ජුම්බරයයි.

 මට මගදිම පණිවුඩය ආවා ගෙදර යන්න ලෑස්තිවෙලා ඉන්න කියලා.

මං කෙලිංම ගියේ කර්තෘගේ කාමරයට.

එතකොටත් ජනාධිපතිනි චන්ද්‍රිකා, කර්තෘ සුජීවට කතා කරලා නිව්ස් එක ගැන අහලා.

ඒකට සුජීව චන්ද්‍රිකාට දීලා තිබුණේ මෙහෙම උත්තරයක්.

"මේක මේ නිදිමරගාතේ උදව්වට ටයිප් කරපු පොඩි කොල්ලෙකුගෙන් වෙච්ච අත් වැරැද්දක් මිසක් කඩාකප්පල්කාරී වැඩක් නෙමෙයි. අපි අගනුවර මුද්‍රණයෙදි වරද හරිගැස්සුවා."

චන්ද්‍රිකාත් ඒ උත්තරය පිළිගෙන නිකං හිටියා.

මගෙයි සුජීවගෙයි රස්සාත් බේරුණා.

චන්ද්‍රිකාලා ඇවිල්ලා ක්ලාසි මිනිස්සු කියලා මං හැමදාම කියන්නේ ඒකයි.

රාජපක්ෂලාගේ ගං කබර ගති ඉස්මතු වෙලා පේන්නේ උංව චන්ද්‍රිකාලා වගේ අයත් එක්ක සංසන්දනය කරලා බලනකොටයි.

වැඩ තහනමට ලක්ව සිටින මිහිර කර්තෘ ඇතුළු සිව් දෙනාට ඉක්මනින්ම යළිත් රැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

(තිලින මලලසේකර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්