1200 x 80 DMirror
 
 

ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක ඉංජිනේරුවරයකු යයි
සඳහන් වෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන රජයේ නිලධාරිනියකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වයිරල් වෙලා. 
 
එම වීඩියෝව පහත දැක්වෙනවා.
 

මේ හා සමානම සිද්ධියක් සති කිහිපයකට කලින්ද වාර්තා වුණා. 
 
එහිදී කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාගරිකා දිලුක්ෂණී සේනානායක විසින් පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහි රෝහල් බලධාරීන්ට හා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරනු ලැබුවා. 
 
එහිදී ඇය පැවසුවේ එම වෛද්‍යවරයා ඇයට ශාරීරිකවත්, මානසිකවත් හිරිහැර කරන බවයි.
 
ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ විමර්ශනයක් සිදුකිරීමයි. 
 
එහෙත්, ඊටත් පෙර, චූදිත වෛද්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇතැම් ප්‍රබල මාධ්‍ය හා වෙනත් පුද්ගලයන් කටයුතු කරන ආකාරයෙන් එවැනි විමර්ශනයකට බාධා සිදුවන බව හා පැමිණිලිකාරියටත්, විමර්ශන නිලධාරීන්ටත් බලපෑමක් සිදු වන බවත් පෙනේ.
 
වෛද්‍යවරයාගේ මිතුරකු පමණක් වන නිකම්ම නිකම් පුද්ගලයකු හා මාධ්‍ය සම්බන්ධකම් යොදවා පවත්වා රූපවාහිනී නාලිකා මගින් විකාශය කරවාගත් පහත දැක්වෙන වීඩියෝව බලන්න.
 

පහත දැක්වෙන්නේ තවත් අමුතු මාධ්‍ය වාර්තාවකි. නමක්, ගමක් නොමැති පුද්ගලයකු යොදවා වෛද්‍යවරයා විසින් තමන් නිදොස් කරගැනීමට උත්සාහ දරණ බවක් එයින් පෙනේ.
 
“පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා සර් යටතේ මම වසර ගණනක් සේවය කළා. එතුමා එංගලන්තයේ විශේෂඥ පුහුණුව ලද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්. අවුරුදු විසිඑකක් එතුමා කරාපිටිය රෝහලේ සේවය කරන්නේ. වචනයෙන් කියන්න බැරි තරම් විශාල සේවයක් සර් කරන්නේ. 
 
ඒ රෝහලට විතරක් නෙවෙයි දකුණු පළාතටම එතුමා සේවයක් කරනවා. සර් ඉතාම දක්ෂ වෛද්‍යවරයෙක්. පිළිකා රෝගීන් දහස් ගණනක් සුවපත් කළ වෛද්‍යවරයෙක්. සුව කළ නොහැකියැයි සිතූ  රෝගීන් පවා සර් සුවකරලා තියෙනවා.
 
 දානපතියන්, ශ්‍රී ලංකා පිළිකා සංගමය, හිතවතුන් එකතු කරගෙන සර් මිලියන 60ක වියදමින් කරාපිටිය රෝහලේ සහන පිළිකා සත්කාරක ඒකකයක් පිහිටෙව්වා. සුවකළ නොහැකි පිළිකා රෝගීන්ට ගෞරව පූර්ව මරණයක් හිමිකරදීම තමා සර්ගේ අපේක්ෂාව.
 
“උදේ 6.30 වෙද්දී සර් රෝහලට එනවා. හවස 4.00 විතර වෙනකම් රෝහලේ ඉන්නවා. රෝගීන් ගැන හරි උනන්දුවෙන් බලනවා. සලකනවා. සර්ට චෝදනාව එල්ල කරන වෛද්‍යවරිය කැපවීමෙන් රාජකාරි කළ වෛද්‍යවරියක් ලෙස අපි පිළිගන්නේ නෑ. 
 
18 ඉරිදා ඇය ඔය කියන දවසේ වකුගඩුවක් ඉවත්කරපු සංකූලතා රැසකින් පෙළුණු රෝගියෙක් හිටියා. සර් හැමවිටම ඒ රෝගියා ඉතා පරිස්සමින් බලාගන්න කීවේ ඔහු සංකූලතා රැසකින් පෙළුණු නිසා. සර් එද්දී රෝගියා කිරි බොනවා. සර් ඒ වෙලාවේත් කියලා තියෙනවා මෙයාව බලාගන්න පරිස්සමින් කියලා. 
 
සර් ආයෙත් උඩට ගිහින් එද්දිත් ඒ රෝගියා ආයේ වතුර බොනවා. සර්ට ඒ වෙලාවේ හොඳටම තරහා ගිහින් තියෙනවා. එදා වාට්ටුවේ ඉඳලා තියෙන්නේ ඩොක්ටර් සාගරිකා දිලුක්ෂණී සේනානායක. සර් ඒ වෙලාවේ බැනලා තියෙනවා. 
 
සර් තරහ ගන්න මනුස්සයෙක් වගේම හරිම සංවේදී මනුස්සයෙක්. රෝහල් අධ්‍යක්ෂකතුමාටත් සර් ඉතා තදින් හා ඍජුව රෝහලේ දුර්වලතා පෙන්වලා දෙනවා. පරිපාලනය සමඟ වුණත් සාධාරණ ප්‍රශ්න මත ගැටුම් ඇති කර ගන්නවා. 
 
සර් හැමදාම රෝගීන්ගේ අයිතිය සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් බයනැතුව කතාකරපු මනුස්සයෙක්.  ඒ නිසාම රෝහලේ අධ්‍යක්ෂතුමා සර්ට තරහයි. ඒ නිසා ඇය පැමිණිල්ල කළ වහාම විමසා බැලීමකින් තොරව සර්ට එරෙහිව ඒ පැමිණිල්ල දඩමීමා කරගත්තා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එය වාසියට පෙරළා ගත්තා. 
 
ඇය කාන්තා හා ළමා කාර්යාංශයට ගිහින් පැමිණිල්ල දැම්මා. ඒත් කාර්ය මණ්ඩලය හෝ රෝගීන් කිසිවෙක් සාක්කි දෙන්නේ නෑ ඇය කියන ආකාරයේ සිදුවීමක් වූ බවට.
 
“ඇයට එල්.ආර්.ටී. සැත්කමක් කරගන්න කීව වෙලාවේ මමත් එතන හිටියා. ඒ ඇය පැමිණි පළමු දවස. එදා සර් කුරුණෑගල ඉඳන් ඇය ආ බව දන්න නිසා සාෆි විරෝධියෙක්ද අහලා ළමයි ඉන්නවා නම් එල්.ආර්.ටී. සැත්කමක් කරගන්න කියලා කීවේ විහිළුවට. ඒ බව මම වගකීමෙන් කියනවා. 
 
සර්ගේ බිරිඳ නීතිඥවරියක්. දුව වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇය රෝහලට එනවා. ඇයටත් නීතිය එකයි. ඇය එන වෙලාව පහුවුණත් සර් දුව කියලා ඇයට සමාව දෙන්නේ නෑ. ඒ වගේම සර් ගාව හිටපු හුඟක් අය විශේෂඥ වෛද්‍යවරු ලෙස සේවයට සුදුසුකම් ලැබුණේ සර් නිසා. විභාග කරද්දී පාඩම් කරන්න මාසයක් විතර නිවාඩු දෙනවා. දිරිගන්වනවා. සර් අපිට සැලකුවේ දරුවන්ට වගේ.”
 
සේවා ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ ඉතා සුලබ සංසිද්ධියක්. සමාජයේ පවත්නා පීතෘමූලික ආකල්ප හේතුවෙන් හිංසනයට එරෙහිව හඬ අවදිකිරීම කාන්තාවන්ට කෙතරම් දුෂ්කර වී තිබෙනවාද යන්න ඉහත දැක්වෙන උදාහරණයෙන් පෙනෙනවා. 
 
හිංසක පිරිමින් තම ප්‍රචණ්ඩ චර්යාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම හා වින්දිතයන්ට යුක්තිය ඉටුවීම වළක්වා ගැනීමට කටයුතු කරන ආකාරය කෙතරම් ප්‍රචණ්ඩද යන්න කිසිදු සමාජ නායකයකු බව නොපෙනෙන මැරවරයකු විය හැකි පුද්ගලයකු ලවා මාධ්‍යවලට ප්‍රකාශයක් කරවාගැනීමට පවා ඉහත කී විශේෂඥ වෛද්‍යවරයා කටයුතු කිරීමෙන් පෙනී යනවා.
 
අලුත්ම සිදුවීමත් සමග සේවා ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් රජයේ, සමාජයේ හා මාධ්‍යවල අවධානය යොමු විය යුතුව තිබෙනවා.
 
2019 ජුනි 21දා ජිනීවාහිදී, ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108වන සැසියේදී, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතියක් හා නිර්දේශයක් සම්මත කරගනු ලැබූ බවද, සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඒ හා අනුගත විය යුතු බවද මතක තබාගත යුතුයි.
 
Ajith PJ(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(praja.lk) 

subscribeYT

subscribeYT

නවතම පුවත්