දිනය 2021 මැයි මස 09 ඉරිදාවකි. කොරෝනා වසංගතය රට පුරා ගම්දනව් සිසාරා මිනිස් ජීවිත එකින් එක බිලිගනිමින් අංක සටහන් ඉහළට ඔසවා ගෙන යමින් සිටියි.

 

අද මරණ 15යි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අංක 445/2021 යොදා වේලාව 22.00ට සිය සුපුරුදු මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

 

රජය විසින් නිකුත් කරනු ලැබූ එකී නිවේදනයේ සටහන් නොවූ තවත් එක කොරෝනා මරණයකි.


ඒ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කැබිනට් අමාත්‍යධූරය දරණ, වියත්මග වියතෙකු වූ නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යධුරය දරණ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය මුදල් කළමණාකාරියගේ මරණයයි.

 

මරණය සිදුවූයේ කරාපිටිය රෝහලේ දීය. ඇය සය මසක දරු ගැබක් දරා සිටි 42 හැවිරිදි මව්පදවිය දැරීමට සැදී පැහැදී සිටි කාන්තාවකි. විවාහයෙන් වසර 13ක් ඉක්ම යනතුරු දරු ඵල නොලද ඇය කුළුඳුළෙ සිය ගැබතුළ වැඩෙන දරු සිඟිත්තා ගැන මහමෙරක් බලාපොරොත්තු හදවතේ පුරවාගෙන සිටියාය. ඒ කෝවිඩ් මාරයා සිය ශරීරගත වී දින ගනනාවක් යනතුරුය. අවාසනාවකි.

 

නාගරික සංවර්ධන අධිකාරියේ සේවයේ නිරත වූ ඇය කොරෝනා වෛරසයට ගොදුරුව අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ ද පසුව කරාපිටිය රෝහලට මාරුකර යවා තිබිණි. එහිදී ඇගේ කුස තුළ වූ දරු පැටියා මෙලොව එළිය නොදැකම සිය ජීවිතය හැරගියාය. ඇගේ ජීවිතය බේරා ගැනීමට රෝහලේ වූ සෞඛ්‍ය අංශ මහත් වෙහෙසක් දැරුවාට සැක නැත. එහෙත් අවාසනාවට ඇය ද අද රජයේ සටහනට අදාළ නොවූ කෝවිඩ් මරණයක් බවට පත්වූවාය.

කොරෝනාව නිසා මෙවන් අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරුවූ මිනිස් ජීවිත පිළිබඳ තතු කොතෙකුත් ඔබගේ හදවත පාරවා ඇති බව දනිමු. එහෙත් හෙට දවසේ මා මෙන්ම ඔබද මේ ව්‍යසනයේ ගොදුරක් නොවෙතැයි කාටනම් කිව හැකිද?

උතුරෙද දකුණෙ ද කියා වෙනසක් නැත. සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියා වෙනසක් නැත. අවම වශයෙන් ගැහැණියක් ද පිරිමියෙක් ද කියා හෝ කිසිදු වෙනසක් නොමැතිව කොරෝනාව මිනිස් ජීවිත ගොදුරු කරගනිමින් සිටී.

 

මෙතෙක් කලක් අප ඇදහූ එකදු දෙවියෙකුට මේ මොහොතේ කළ හැක්කක් නොමැත. පිරිත් පැනට, නූලට, බෝධියට, දේවාලෙට, චෛත්‍යයට කළ හැක්කක් නොමැත. සුවඳ ගහන හඳුන් කූරට, කණට මිහිරි සෙත් කවියට, පොළොවෙ ගහන පොල් ගෙඩියට, ශාපකරන වස් කවියට, පූජකරන පළතුරුවලට, බිත්තියෙ එල්ලන කුරුසවලට කිසිවක් කළ නොහැක. මල් තියන මැටි පිළිම, පහන් දිලෙන ගල් පිළිම කොරෝනාව ඉදිරියේ බොල් බව මොනවට පසක් කර දී හමාරය. දොහොත් මුදුන් දී සද්ධාවෙන් හෝ භක්තියෙන් හිස නැමූ සියල්ලෙහිම හිස් බව වෛරසය ව්‍යසනයක් වනතුරු නොතේරුණ බව සහතිකය.

 

දෙනෝදාහක් දුප්පතුන් දෙලොව සැප පිණිස පිං කැටේට පුරවපු කාසි මලුවලින් වැඩක් ගන්නවා නම් දේපළ පතන, රකින පූජකයන්ට මෙන්න වෙලාව. ඔය දේවාල, පන්සල්, පල්ලි, කෝවිල්, පිළිම රකිනවාට වඩා පිං පිරෙණවා නිසැකය.

 

ඔව් අපි මුව, නාසා වසා ගනිමු.
දැත් පිරිසිදු කරමු.
අනෙකාට මුහු නොවන දුරකින් සිටිමු.
එපමණකින් නොනවතිමු.

 

හෙට දවසේ කොරෝනා ආසාධිතයන් මෙපමණයි, මරණ මෙපමණයි කියා ලියා එවීමට පමණක් ආණ්ඩුවක් අවැසි නොවන බවත්, මේ ලියැවෙන නොලියැවෙන සෑම කොරෝනා ගොදුරක් පිළිබඳවම ආණ්ඩුවට වගකීමක් ඇති බවත් සිහිපත් කරමු.

මේ ආණ්ඩුව පත්කරන්න සිය ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක් ජනතාව හැරණු කොට මේ රටේ තවත් එක් කෝටි හතලිස්පන් ලක්ෂයකට අධික හුස්ම ගන්නා මිනිසුන් ප්‍රමාණයක් ජීවත්වන බවද සිහිපත් කරමු.

කොරෝනාවෙන් ආර්ථිකයත් - ආර්ථිකයෙන් කොරෝනාවත් බැලන්ස් කරන්න යාම ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. දවසින් දවස මියැදෙන මිනිස් ජීවිත පිළිබඳ ප්‍රශ්නය ඊට අදාළ නැත.

 

‘‘කොරෝනා වසංගතය හමුවේත් රටේ සංවර්ධන වැඩ අපි කළා‘‘ යැයි හෙට දවසේ දේශපාලන වේදිකාවල කියන්නට අද දවසේ කටයුතු කිරීම මේ මොහොතේ තක්කඩිකමකි. අපරාධයකි.

 

අධිවේගී මාර්ග, රසායනික පොහොර, කහපැල වගාව, කන්ටේනර් ජිම්, සංචාරක ප්‍රවර්ධනය, චීනයේ පන්සල් හැදීම ආදී මෙකී නොකී කප්පරක් වැඩවලට මේ මොහොතේ වැයකරන කාලය, ශ්‍රමය, ධනය මේ රටේ හෙට දවසේ නිරපරාදේ මියැදීමට නියමිත කොරෝනා රෝගීන්ගේ සහ කොරොනා රෝගයට ගොදුරුවන්නන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් යෙදවිය යුතු යැයි ආණ්ඩුවේ කිසිවකුට හෝ සිහිපත් නොවනවා යැයි අපි නොසිතමු.

එහෙත් ‘සියල්ල තමන්ට කළ හැකියි‘ කියන දෘඪ මානසික චින්තනයෙන් කටයුතු කරන ආණ්ඩුවේ බලධරයන් කොරෝනාව ඉදිරියේ ඔවුන්ට කළ නොහැකි දේ ද ඇති බවට ප්‍රමාණවත් සාක්ෂියක් දෛනිකව ඔවුන් විසින් නිකුත් කරනු ලබන ආසාධිත සහ මරණ සටහන මගින් පෙන්නුම් කරමින් සිටියි.

ආණ්ඩුව ආකාරයට නම් ගමන යන්නේ, කොරෝනා ව්‍යසනය අවසානයේ අපේ ආණ්ඩුව නියමෙට කළා යැයි කියන්නට කිසිවකු සහ එය අසන්නට මේ රටේ මිනිස් පුලුටක් හෝ ඉතිරි වේවා යැයි ප්‍රාර්ථනා කරනවා හැර කුමක් කරමුද?

 

Kalendra Jayanath FB සටහනකි.


 

 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්