රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වගෙන යෑම වෙනුවෙන් දැන් රට ඇතුළේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා.

 
පහුගිය දවස්වල අත්‍යවශ්‍ය භාණ්ඩ හංගගෙන ඉන්න වෙළෙන්දන් හා ස්ථාන හොයමින් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඒ වෙනුවෙන් සියලු බලතල සහිතව විශ්‍රාමික මේජර් ජෙනරාල්ලා දෙන්නෙක් සීරුවෙන් තියාලා තියෙන්නේ.
 
මුල් දවස්වල මේ මෙහෙයුමේ මූලික ඉලක්කය උනේ සීනී. ආණ්ඩුව කළ ඒ මෙහෙයුමෙන් පස්සේ විශාල සීනි තොගක් රජයේ බාරයට ගත්තා. ඊයෙත් කිලෝ ලක්ෂ 40 ක සීනි ගබඩාවක් රජයේ බාරයට අරගෙන තිබ්බා. 
 
  
ඇත්තටම මේ තරම් විශාල සීනි තොග හම්බ වෙන්නේ ආනයනකරුවන් වැඩිපුර තොග ගෙන්වීම හින්දයි. ඒකට හේතුව එයාලට හම්බ උන අනපේක්ෂිත අසීමිත බදු සහනය. ඒ හරහා අසීමිත ලාභයක් ගන්න සිනි තොග මාස 17 ක් ඉස්සරහටත් එක්ක ගෙනාවා. දැන් ආණ්ඩුව කරන්නේ එයාලා ගෙනාපු ගානට වඩා තවත් රුපියල් 40 ක 50 ක ලාභයක් දීලා අරන් පාරිභෝගික අපට විකුණන එක. 
  
ඒකෙන් පාරිභෝගිකයට බැලූ බැල්මට ලාභයක් තියනවා. 220 ට ගිය සිනි දැන් 125 ට වඩා පහලට ඇවිත්. ඒත් තවම සීනී හිගය නැති වෙලා නෑ. ගොඩක් වෙලාවකට ඔය සහනය දෙන්නේ සතොසෙන්. ඒක නිසා එතන සීනි පෝලිමකුත් හැදිලා.
 
ඊළඟට ආණ්ඩුව අත ගැහුවේ හාල්වලට. ඊයේ තමයි ඒ මෙහෙයුම කළේ. ඒක ලොකු මෙහෙයුමක්. ඊයේ පොලොන්නරුව දිස්ත්‍රික්යේ මහා පරිමාණ හාල් මෝල් පරීක්ෂා කරලා තිබුනා. අරලිය. නිපුන. නිව් රත්න. ලත්පදුර. හිරු, සූරිය ඇතුළු සියල්ල.
 
ඒවා අසල සංවිධානාත්මක විරෝධතා සංවිධානය කරලා තිබුනා කියලත් ආණ්ඩුව කිව්වා. ඒ හරහා තමන්ගේ රාජකාරියට බාධා කලා කියලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා පොලීසියත් කැදවලා තිබුණා.
 
රටේ රාළත් පිලිගන්නවා ඒක දැනුවත් විරෝධයක් වෙන්න ඕනි. පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ගලවනකොට හාමුදුරුවරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් උනා කියලා හිතුවට හාල් මෝල් පරීක්ෂා කරනකොට හාමුදුරුවරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි කියලා හිතන්න බෑ. 
 
රටේ රාළට නං කොහොමත් එහෙම හිතන්න බෑ. ඒ වගේම තරමක ජන රාශීයකුත් එතන තිබුනා..
 
කොහොම උනත් හාල් කිලෝ ලක්ෂ 10/12 ක් එතනදී රජයේ බාරයට අරන්. පොලොන්නරුවෙන් රටේ රාළට ආපු ආරංචිවලිනුත් ඒක තහවුරු කළා. 
 
ආණ්ඩුවේ සහතික මිලට වඩා අඩුවෙන් ගත්ත හාල් තොගවලට, දවස් දහයක් ඇතුළත සල්ලි දෙන්න පොරොන්දු උන බවත් ආරංචියි. හාල් මෝල් හිමියෝ මෙතෙන්දී හදිසි නීතියට යටත් උනා මිසක් එයාලගේ වැඩේ ගැන නං තියෙන්නේ දැඩි විරෝධයක්.
 
සමහරු කිව්වා ඉතිරි වී ටිකක් කොටලා මෝල වහලා දානවා කියලා. එයාලගේ තර්කය තමයි ආණ්ඩුව කියන මිලට හාල් දෙන්න බෑ. පාඩුයි කියන එක. එහෙම උනොත් මෝල් වහන්න වෙනවා කියලා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර නං කියන්නේ ආණ්ඩුවේ තිරණයට හාල් මෝල් හිමියෝ එකඟ නැත්නම් ඒවා රජයට පවරා ගන්න පුළුවන් කියලා. ඒ තිරණ ගන්න සාකච්ඡාවක් දැන් සිද්ධවෙමින් තියෙනවා කියලා.
 
ඇත්තටම ආණ්ඩුව ඊයේ ගෙනාපු හාල් තොග මේ රටට ඇති වෙන්නේ දවස් දෙක තුනකට විතරයි. වෙළඳ පොළ ඇතුළේ තව සතියකට හාල් තියනවා කියලා හිතුවත්. ආණ්ඩුවට තව සති දෙකෙන් ආයෙත් ප්‍රශ්නය එනවා. හැබැයි ආණ්ඩුව එච්චර දුර හිතලද මේ තීරණ ගන්නේ කියන ප්‍රශ්නය රටේ රාළට නං තියනවා.
 
ලෝක ආර්ථික අර්බුදයක් ඉස්සරහා, ආණ්ඩුව ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තියෙද්දි. අපට ඩොලර් සංචිත නැතිව තියෙද්දී ආණ්ඩුව කරන මේ වැඩේ හරිද? රටේ රාළට හිතෙන්නේ මේක ඇතුළේ තියෙන්නේ කෙටි කාලීන වාසියක් විතරයි. සමහරුන්ට පොඩි දේශපාලන ත්‍රිල් එකකුත් ඇති. තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා හාල් හිගයක් එන්න තියන ඉඩ ගොඩක් වැඩී. 
අද වෙනකොටත් ඒ බලපෑම වෙලදපොලට දැනිලා. දිගුකාලීන ලොකු අර්බුදයකට තමයි ආණ්ඩුව මේ පාර කපන්නේ. මොකද ආණ්ඩුව තවම තමන්ගේ තරම හරියට තක්සේරු කරගෙන නෑ. 
විශේෂයෙන් රටේ ආර්ථික තත්වය ගැන රටේ රාළට තියෙන අවබෝධය ආණ්ඩුවට නෑ. ආණ්ඩුව තවමත් දුවන්නේ මවාගත්ත බොරු උද්දච්චකමකින්. ඇත්තටම අර්බුදයකටත් වඩා ආණ්ඩුව මේ අත වනන්නේ විනාශයකට.
 
සීනි හංගපු සමාගම්කාරයින්ටයි, හාල් මෝල් හිමියන්ටයි එක විදිහට සළකන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රටේ රාළ නං අනුමත කරන්නේ නෑ. 
 
මොකද ඔය ආනයනික සමාගම්කාරයෝ කියන්නේ ගොඩක් අතරමැදියෝ. පිටරටින් බඩු ගෙනත් අධික ලාභ තියාගෙන අපට විකුණන අය. හැබැයි ඉතින් හාල් මෝල් හිමියා කියන්නේ දේශීය නිෂ්පාදකයෙක්. 
 
එයාලා මේ මහපොළොවට සම්බන්ධ පිරිසක්. ගොවියාගේ වී ටික ගන්නේ එයාලා. ආණ්ඩුවට සම්පුර්ණයෙන් ගොවියගේ වී අස්වැන්න ගන්න බෑ. ආණ්ඩුව ගන්නේ බොහොම සුළු ප්‍රතිශතයක්.
 
ඊළඟට එයාලා ආණ්ඩුවේ මිලට වඩා වැඩි මිලක් ගොවියට දෙනවා. මතක ඇති ආණ්ඩුව වීවලට සහතික මිලක් දාලා ගොවියට කිව්වා වී තොග ආණ්ඩුවට දෙන්න කියලා. කවුරුත් ආණ්ඩුවට වී දුන්නේ නෑ. හැබැයි මෝල් හිමියන් වී ආණ්ඩුවේ මිලට හරි ඊට වැඩි ගානට හරි ගත්තා. එතකොට ගොවියගේ වීවලට වැඩිපුර කීයක් හරි හම්බ උනා. ඒක ගොවියටත් හොදයි ආණ්ඩුවටත් හොදයි. ආණ්ඩුවේ බර ගොඩක් අඩුවෙනවා.
 
 ඒ වී හාල් කරනකොට එන ප්‍රශ්නයක් මේක.
 
මෙතනදී හාල් මෝල් හිමියෝ කියන්නේ ආණ්ඩුව කියන ගානට හාල් දෙන්න බෑ පාඩුයි කියලා. ආණ්ඩුව කියනවා පුළුවන් කියලා. ඇත්තටම කුඩා වී මෝල් හිමියෙකුට හාල් කිලෝ එකක් හදන්න යන වියදමට වඩා වැඩි මුදලක් මහා පරිමාණ වී මෝල් හිමියෙකුට හාල් කිලෝ එකක් හදන්න යනවා.ඒකට හේතුව තමයි හාල්වල ප්‍රමිතිය පවත්වගෙන යන්න එයාලා අමතර යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම.
 
මේක නිසා එයාලගේ මිල හා රජයේ පාලන මිල අතර ගැටුමක් එනවා. එතනදී මේ දේශීය ව්‍යාපාරිකයා ත්‍රස්තවාදියෙක් විදිහට හදුනාගෙන එයාට ගහනවා නම් ඒ ප්‍රතිපත්තිය වැරදී. එහෙම උනොත් මේකේ අවසාන ප්‍රතිථලය තමයි හාල් මෝල් වැසී යාම. 
 
එතකොට වෙන්නේ මහ පොළොවට යනකං යන අර මෙහෙයුම අකර්මන්‍ය වෙන එක. ඒ බර ආය වැටෙන්නේ ආණ්ඩුවට. එකක් ගොවියාගේ බර. අනික මෝල් වැහිලා රස්සා නැතිවෙන මිනිස්සුන්ගේ බර. ඒ බර ගන්න ආණ්ඩුවට පුළුවන්ද?
 
 
image a972b05792 දවසකට ආසාදනය වෙන කොරෝනා ලෙඩ්ඩු ගානයි, මැරෙන ගානයි හරියට ගණන් කරගන්න බැරි මේ ආණ්ඩුවට ඔය වගේ සංකීර්ණ දෙයක් කරන්න තව දෙපාරක් බලය ගත්තත් බෑ .
 
 
අපේ රටේ ගොවියා ගොවිතැනින් අයින්වීමේ සීමාවටම දැන් ඇවිත් ඉන්නේ. වි ගොවිතැන ආශ්‍රිත කර්මාන්ත පද්ධතියට මෙහෙම ගැහුවහම ඒක තවත් ඉක්මන් වෙන්න පුළුවන්. එතකොට අපේ රටේ සම්පූර්ණ ආහාර සුරක්ෂිතතාවය බාරගන්න කියනේ චීනෙටද?
 
මෙතනදි කාට හරි හිතෙන්න පුළුවන් ඒකට උත්තරය අර ජගත් කුමාර කියන එක කියලා. ඒ කියන්නේ හාල් මෝල් රජයට පවරා ගැනීම කියලා. එතනදී රටේ රාළට නං අහන්න තියෙන්නේ ජගත් කුමාරගේ ඇගේ හැටියට මොලෙත් තිබුණා නං කියලා විතරයි. 
 
ප්‍රශ්නයක් දිහා අන්තර් සම්බන්ධිතව බලන්න බැරි නායකයෝ ඉන්න ආණ්ඩුවක ජගත් කුමාරලා මොන ජීවිතද අනේ?ඇත්තම ආණ්ඩුව කරන්න ඕනි ගොවියා, ව්‍යාපාරිකයා හා ආණ්ඩුව අතර හොද චෙන් එකක් හදා ගැනීම.
 
ඒක පවත්වාගෙන යෑම සදහා මේ ත්‍රිත්වය එකිනෙකා පරයා නොවන විදිහට එකගතා හදා ගැනීම. එතකොට ආණ්ඩුවට පුළුවන් ගොවියා, ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයාත් ආරක්ෂා කරන්න.
 
කොහොම හරි ආණ්ඩුව මේක ඇතුලේ දේශපාලන මෙහෙයුමක් කරනවද කියන සැකයත් මතුවෙනවා. 
 
පොලොන්නරුවේ සමහර දේශපාලන චරිත උඩපනින විදිහට එහෙමත් හිතෙනවා. ඒක එහෙම නෙවෙයි කියලා ආණ්ඩුව දැන් තමන්ගේ සද්භාවය ඔප්පු කරලා පෙන්නන්න ඕනි.
 
සීනිවලට. හාල්වලට වගේම පාරිභෝගිකයා ගසාකන හැම තැනකටම පහර දෙන්න ඕනි. අත්පත් කරගන්න ඕනි. අර වාසු කිව්වා වගේ දැන් යාලුවටත් කඩුව උස්සන ඕනි. නැත්තං සීනිවලට මුවාවෙලා හාල්වලට විතරක් ගහලා නවත්න්න බෑ. 
 
වාසුගේ සමාජවාදයට අනුව ඔක්කොටෝම ගහන්න ඕනි. හරි එහෙනම් කොරෝනා උවදුරෙන් පීඩා විදින ජනතාව ගසාගෙන කන ඖෂධ මාපියාවට. ඇන්ටිජන් මාපියාවට. PCR මාපියාවට ඇතුළු සියලු මාපියාවන්ට කඩුව උස්සන ඕනි. ජනතාව බේරගන්න ඕනි. ඒ දිහා රටේ රාළ බලාගෙන ඉන්නවා.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
මීට
රටේ රාළ.
 
Priyant 2021 1
 
 
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 

 

 


 

THE LEADER TV 
 
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්!
 
 

 

ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්