අපි අහලා තියෙන්නේ ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වැඩිය ලොකුයි කියලා. දැන් ඒ ප්‍රස්ථා පිරුළු යල් පැනලා. ආය කියන්න ලෑස්ති වෙන්න එපා.
 
ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකු බව පෙන්වන සිද්ධියක් ඊයේ සිද්ධ උනා. ඒ කබ්රාල් ආයෙත් මහ බැංකු අධිපතිකමට පත් කිරීම හරහා.  
 
කබ්රාල් කොහොමත් පහුගිය කාලය පුරාම නැටුවේ රෙදි නැතිව. අන්තිමට මේ හාදයා සර්ගෙත් රෙදි ගැලෙව්වා.
 
ඊයේ උදේ වරුවේ කබ්රාල් තමන්ගේ මුදල් රාජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා ඊළඟට පාර්ලිමේන්තුව මන්ත්‍රී ධූරයෙනුත් ඉල්ලා අස්වුණා. 
 
ඉල්ලා අස්වීමේ ලියුමත් පාර්ලිමේන්තු ලේකම්ට බාර දෙනවා රටේ රාළත් දැක්කා. උදේ වරුවේ ඉල්ලා අස්වුණ කබ්රාල් හවස් වරුවේ මහ බැංකු අධිපතිකමට පත් කළා. ජනාධිපති මාධ්‍ය ඒකකය ඒක Announce කළා. 15 වෙනිදා ඉදන් කබ්රාල් මහ බැංකු අධිපති කියලා. 
 
හැබැයි දැනට ඉන්න මහ බැංකු අධිපති W.D ලක්ෂ්මන්ගේ විශ්‍රාම ගැනීම බලාත්මක වෙන්නේ අද ඉදන්. ඒ කියන්නේ ඒ මනුස්සයා විශ්‍රාම ගන්නත් ඉස්සෙල්ලා අලුත් කෙනා පත් කරලා ඉවරයි.
 
රටේ රාළට මතක් වෙන්නේ අර හිටපු අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායකට කළා වගේ වැඩක් තමයි මහාචාර්ය ලක්ෂ්මන්ටත් උනේ. ඇත්තටම මහ බැංකු අධිපති පත්කරන්න ජනාධිපතිට තියෙන මෙච්චර හදිස්සිය මොකද්ද?මොකද ඒක නොකලොත් මේ රටේ ආර්ථිකය හෙට කඩා වැටෙනවද? එහෙම කඩාගෙන වැඩෙන්න දෙයක් අපට ඉතුරු වෙලා තියනවද?
 
අනිත් ඒක ඔය පොඩි වෙලාවට කරගන්න තියෙන මූල්‍ය කළමණාකරණය මොකද්ද?
 
කොහොම උනත් කබ්රාල්ගේ පත්කිරීම ගැන ආණ්ඩු පක්ෂය ඇතුළෙත් ලොකුවට පෙනී සිටීමක් නැති බව හොඳට පේනවා. රාජපක්ෂලයි, එයාලගේ සුවච කීකරු සේවකයෝ ටිකයි විතරක් ඒ වෙනුවෙන් තදට පෙනී ඉන්නවා.
 
ඔය සේමසිංහලා, ගොඩහේවලා, ජගත් කුමාරලා ඇතුළු දේශපාලන අනාතයෝ ටිකක්. 
 
 
ඇත්තටම කබ්රාල් වෙනුවෙන් කෙලින් පෙනී ඉන්නේ කබ්රාල් විතරයි. කබ්රාල් කියන්නේ එයාගේ පැමිණීමට විපක්ෂය බය වෙලාලු. විපක්ෂය ගැන නං රටේ රාළ දන්නේ නෑ. රටේ රාළ නං බයවෙලා ඉන්නේ. මොකද මොකක් හරි දෙයක් ඉතිරිවෙලා තිබුණා නං ඒකත් ඉවරයි කියලා.  මේක දේශපාලන පත්වීමක් නෙවෙයි කියලා කියන්නේ කබ්රාල් ඇතුළු ආණ්ඩුවේ කීපදෙනෙක් විතරයි.
 
 
කබ්රාල් කියන්නේ මේ පීඩනය දරාගෙන ආර්ථිකය ගොඩ දාගන්න එයාට පුළුවන් කියලා. හැබැයි එයා කිව්වේ නෑ ඒ රටේ ආර්ථිකයමයි කියලා. ඒක නිසා රටේ රාළට නං සැකයක් තියනවා ඔය කිව්වේ ගෙදර ආර්ථිකය ගැනවත්ද කියලත්.
 
අනික මේ ලැජ්ජා නැති පත්කිරීම සාධාරණීකරණය කරන්න කබ්රාල් දැන් බණත් කියන්නත් පටන් අරන්.
 
මහාචාර්ය ලක්ෂ්මන්ගේ ඉල්ලලා විශ්‍රාම ගැනීම ගැන කබ්රාල් කියන්නේ කොයි මොහොතේ හරි ජීවිතේ අත්හරින්න සිද්ධ වෙන අපි ඔය හැමදේම අත්හරින්න පුරුදු වෙන්න ඕනිලු.
 
එතකොට අත්හැරීම වලංගු ලක්ෂ්මන්ට විතරයි. කබ්රාල්ට අත්හැරීම අකැපයිද? එයා කරන්නේ අල්ලා ගැනීම. බදාගෙන අල්ලාගෙන උලා කෑම. අර බුදු බණේ කියන කුම්භාණ්ඩයෝ වගේ. 
 
ඔය වගේ කියන හාමුදුරුවරු සෙට් එකතුත් දැන් ඉන්නවා. උන් වහන්සේලා V8 එකෙන් වැඩම කරලා අපට අතහැරීම ගැන බණ කියනවා.
 
ඇත්තටම මේ පත්කිරීමෙන් ලොකුම Damage එක කර ගත්තේ ගෝඨාභය. එකක් තමයි මහ බැංකුව වගේ ස්වාධීන ආයතනයකට මේ වගේ අමුම අමු දේශපාලන පත්වීමක් කිරීම. කබ්රාල් කියන්නේ මේ පත් කිරීම කරන්න පැය කීපයකට ඉස්සෙල්ලා ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් .
 
රටේ රාළ නං කියන්නේ රාජ්‍ය සේවයේ පත්වීම් ලබාදීමේ පටිපාටිය ජනාධිපති අමු අමුවේ උල්ලංගණය කරලා. ලෝකය පිලිගත්ත මූල්‍ය චර්යා ධර්ම බලු බල්ලටම දාලා.
 
මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් තියනවා. ඒක නිසා රටේ රාළට හිතෙන්නේ රටේ පුරවැසියෙකුට මේ පත්කිරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නත් බැරිකමක් නෑ. එකක් මේක දේපාලන පත්වීමක් කියලා ඔප්පු කරන්න පුළුවන්.
 
අනික මේකෙන් මහ බැංකුවේ මූල්‍ය ස්වාධීනතාවය නැති වෙනවා කියලත් ඔප්පු කරන්න පුළුවන්. රටේ මූල්‍ය සංසරණ ක්‍රියාවලිය එක්ක හැම පුරවැසියම ගැට ගැහිලා ඉන්නේ. විශේෂයෙන්ම බඳු ගෙවීම හරහා. ඒක නිසා මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියන තර්කයක් ගොඩනගන්න මෙතනදී පුළුවන්.
 
අනික තමයි මේ පත්කිරීම මොන පදනමින් විග්‍රහ කරන්න හැදුවත් මේක සදාචාරාත්මක නෑ. ගෝඨාභය කබ්රාල් කියන රත්තරන් පිහිය අරන් පපුවටම ඇණගෙන කිව්වොත් ඒක දේශපාලන වශයෙන් හරියටම හරි. 
 
 
  
ගෝඨාභය මේ රටේ ජනතාවට කිව්ව එක කතාවක් තමයි දූෂිතයෝ කිසිදු රාජ්‍ය ආයතනයකට පත් කරන්නේ නෑ කියලා. රාජ්‍ය ආයතනවලට හැකියාව, දක්ෂතාවය තියෙන අදූෂිතයන් පත් කරනවා කියලා. ඒවට විද්වත් කමිටු පවා දැම්මා. අද ඒ සියල්ල තූ තූ කරලා දාලා ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා උඩින් තියෙන බව ගෝඨාභයම ඔප්පු කළා.
 
 
කබ්රාල් කියන්නේ පැහැදිලිවම දූෂිතයෙක්. ඒක කට ඉරලා ලුණු දැම්මත් රටේ රාළ කියනවා. කබ්රාල් මහ බැංකු අධිපතිකම් කරපු 2008/2015 කියන්නේ මහ බැංකුවේ වැඩීම දූෂිත කාල පරිච්ඡේදය. ඒ කාලේ සිද්ධ උන මහ බැංකුව බැදුම්කර වංචාව, ග්‍රීක බැඳුම්කර වංචාව, හෙජින් ගිවිසුම වගේ අන්ත දූෂිත ගනුදෙනු ඒවාට හොඳම උදාහරණ.
 
ඊළඟට කබ්රාල් කරපු ඥාති සංග්‍රහය ඉතාමත් නින්දිත එකක්. මහ බැංකු බැදුම්කර මිලදී ගත්ත ප්‍රාථමික ගැනුම්කාර සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩලවලට තමන්ගේ සහෝදර සහෝදරියෝ, ඥාති සහෝදරයෝ රිංගෙව්වා. 
 
මේ ගැන හොඳටම කියලා තියෙන්නේ මහ බැංකු බැදුම්කර වංචාව ගැන ජාත්‍යන්තර සමාගමක් හරහා මහ බැංකුවම කළ වෝහාරික විගණන වාර්තාවෙන්. 
 
ඉතින් ගෝඨාභය කර ගැහුවේ මේ වගේ අස්ප මාරාලයකට නෙවෙයිද? ඒකෙන් පැහැදිලි වෙන්නේ එයාට මේ කිසිම දෙයක් සම්බන්ධව දැක්මක්, දැනීමක් නෑ කියන එක. අඩූම ගානේ තමන් රටට කියපු දේවල් තමන් අතින්ම කඩ වෙනකොට දැනෙන්න ඕනි ලැජ්ජාව එයාට දැනෙන්නේ නැත්තේ ඇයි?
 
අද ජනාධිපති කියන්නේ තනිකරම අනුන් මත යැපෙන කෙනෙක්. ඇත්තටම රටේ රාළට මෙතනදී මතු කර ගන්න ඕනි මේ සිද්ධවලට වඩා මේවා ඇතුළේ තියන දේශපාලනය.ඒකට ඉතින් සිදිධි තමයි පාදක කරගන්න වෙන්නේ. 
 
දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නෑ කියලා රටේ රාළ හැමදාම කියනවා. එතකොට කවුරු හරි අහයි එහෙනම් මේ පත්වීම් දේශපාලනික උනාට ප්‍රශ්නයක් නෑ නේද කියලා? නෑ මෙතන තියෙන්න ඕනි දේශපාලනය ඒක නෙවෙයි. ගෝඨාභය ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න ඕනි ආයතනමය ස්වාධීනතාවය ආරක්ෂා කරදීම. ඒක තමයි මෙතන තියෙන දේශපාලනය. ඒක තමයි ගෝඨාභයගේ දේශපාලන වගකීම.
 
එහෙම නැතිව මේ ආයතන දූෂිතයන්ගෙන් පිරවීම නෙවෙයි. ඒක කරන්න පුළුවන්න අවංක නිළධාරින් තවමත් අපේ රාජ්‍ය සේවයේ ඉන්නවා. කොහොම උනත් අද අපේ රටේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕනි කිසිම ආයතනයක ස්වාධීනතාවය නෑ. 
 
මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම, පොළිස් කොමිසම, මානව හිමිකම් කොමිසම. විගණන කොමිෂම, රාජ්‍ය සේවය මේ කිසිවක් ස්වාධීන නෑ. හැම එකම දේශපාලනීකරනය වෙලා. නැත්නම් මිල්ටරීකරණය වෙමින් තියනවා.
 
ඒක නිසා අද අපි ඉතිහාසයේ කවදාත් නැති තීරණාත්මක තැනකට ඇවිල්ලා. අපට තවදුරටත් මෙතන නතර වෙලා ඉන්න බෑ. අපි දැන් තීරණය කරන්න ඕනි අපි ඉතිහාසයේ ඉස්සරහට යනවාද? නැත්නම් පස්සට යනවද කියලා?
 
සමාජ විද්‍යාව අනුව හා මානව සංවර්ධන අනුව හිතුවොත් ඉස්සරහට යන එක තමයි හරි. ඒ කියන්නේ ශිෂ්ටත්වය කරා යන එක. හැබැයි රටේ රාළ කියන්නේ අද අපි මේ යමින් තියෙන්නේ ඉතිහාසයේ ආපස්සට. අපි අශිෂ්ඨත්වය දක්වා පල්ලම් බහිනවා. 
 
අපි සමාජයක් විදිහට ආයෙත් වැඩවසම් ක්‍රමයට පහු බහිනවා. එතන වැඩවසම් රජෙක් ඉන්නවා. රජ පවුලක් තියනවා. රාජ සභාවක් තියනවා. යටත් වැසියෝ ඉන්නවා. රටේ නීතිය රජාගේ කැමැත්ත. රටේ පාලනය රජාට ඕනි විදිහට. යුක්තියේ මූලධර්ම එතන නෑ. රජාට උපදෙස් දෙන්නේ කබ්රාල්ලා වගේ පුරෝහිතයෝ. අද අපි ඉන්නේ එතන නෙවෙයිද?
 
තේරුම් ගන්නවා නම් හරිම සරළයි. හිතන්න.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.ජයවේවා.
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
THE LEADER TV 
 
හංසමාලිගේ ජීවිතය අනතුරේ : කොරෝනා බෝ කළේ ආණ්ඩුව ? 
 
 
දැන් ආණ්ඩුවට කවුද ඉන්නේ ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්