වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවල නටපු පිස්සුවේ වගකීම බාර අරන් ලොහාන් බන්ධනාගාර රාජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා. 
 
එයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිත් අනුමත කරලා.ඒ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ඊයේ නිවේදනය කළා.
 
ගොඩක් අය දැන් ප්‍රශ්නය ඉවර කරලා. ලොහාන්ටයි, සර්ටයි දෙන්නටම Respect කරලා ආයෙත් පරණ විදිහටම වහල් සේවය පටන් අරන්.
 
හැබැයි මේ රටේ නීතිගරුක පුරවැසියෙක් විදිහට, යුක්තිගරුක මිනිහෙක් විදිහට රටේ රාළට එහෙම ප්‍රශ්නයෙන් පැනලා යන්න බෑ. මොකද ඇත්තටම ප්‍රශ්නය තවම ඉවර නෑ.
 
ඊයේ රටේ රාළගේ ලිපිය බලපු අය දන්නවා ඇති රටේ රාළගේ ප්‍රහාරයේ මූලික ඉළක්ක දෙකක් තිබුණා. එක්කෙනෙක් ලොහාන්. අනික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.
 
ඒ වගේම රටේ රාළ ලොහාන්ට ලොකු බරක් තිබිබෙම නෑ. මොකද එයා මෙතන චූදිතයා. චූදිතයාට ඕනි විදිහට ප්‍රශ්නය විසදන ක්‍රමයක් ලෝකේ කොහේවත් නෑ. 
 
හැබැයි ඒක තමයි ලංකාවේ ක්‍රමය. ඒත් ඒක නීතියේ හා යුක්තියේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනී. ඒක නිසා රටේ රාළ මේ ප්‍රශ්නයේදී වැඩි බරක් තිබ්බේ ජනාධිපතිවරයාට.
 
ජනාධිපති කියන්නේ ලොහාන්ගේ දේශපාලන නායකයා. දේශපාලන වශයෙන් එකඟ නැති වුණත් අපේ රටේ නායකයා. අපේ ජනාධිපති.
 
රටේ රාළට අනුව නම් ලොහාන්ගේ ඉල්ලා අස්වීම කියන්නේ තාවකාලික යටත් වීමක් විතරයි. ඒක හරියට විග්‍රහ කරගන්න බැරි නං රටේ රාළටත් තියෙන හොඳමදේ තමයි ජනතාව නොමඟ යවන්නේ නැතිව මේ කරන දේශපාලන විග්‍රහයන් නතර කරන එක.
 
රටේ රාළ මේ ජීවත් වෙන්නේ අමතර කාල පරිච්ඡේදයක්. ඇත්තටම ඒක බෝනස් එකක්. ඉතින් මේ ඉතිරි කෙටි කාලේ ඇත්ත කතා කිරීම රටේ රාළගේ වගකීමක්.
 
 

 
 
 
ලොහාන් ජනතාවගෙන් ආපු විරෝධය ඉස්සරහා අඩියක් පස්සට ගත්තා. ඒක මහා කැපවීමක් කියලා විග්‍රහ කරන අය තරහා උනත් කරන්න දෙයක් නෑ. එයාලට මෝඩයෝ කියලා නං කියන්න වෙනවා. ඇත්තටම මෝඩ වහල්ලු.
 
රටේ රාළ මේ පාවිචි කරන වචන කේන්තියෙන් පාව්ච්චි කරන ඒවා නෙවෙයි. ඒකත් කියන්න ඕනි. මේ කතාවට දේශපාලන අර්ථයක් දෙන්න නං ඒ වචන පාවිච්චි කරන්නම වෙනවා.
 
සමාවෙන්න. ලොහාන්ගේ ඉල්ලා අස්වීම තනි තීරණයක් වෙන්න බෑ. ඒකට එයාට ලොකු තැනකින් බලපෑමක් එන්නත් ඇති. ගොඩක් වෙලාවට මහින්දගෙන් වෙන්න පුළුවන්. මොකද ඊයේ උදෙත් එයයි, බන්ධනාගාර නිලධාරීනුයි හැදුවේ ප්‍රශ්නය වහන්න. 
 
හැබැයි රටේ රාළලා ඒකට ඉඩදුන්නේ නෑ.ප්‍රහාරය හරියට ඉළක්කයට අරන් ගියා. ඒ ආපු ජාතික හා ජාත්‍යන්තර පීඩනයට ලොහාන් තාවකාලිකව යටත් උනා.
 
 ලොහාන්ගේ රාජ්‍ය ඇමතිකම නැති උනේ නෑ. ලොහාන්ගේ ඇමති සැප නැති උනේ නෑ. ලොහාන් හිතාමාතා තමන්ගේ කෑල්ලක් ගලවලා පැත්තකින් තිබ්බා. පස්සේ ඒ වෙනුවට එයාට ඊට වඩා හොඳ කෑල්ලක් හම්බ වෙයි. ගහලා මැරුවත් කරන්න දෙයක් නෑ ඕක නෙවෙයිද ඇත්ත?
 
ඊයේ උදේ පාන්දරම රටේ රාළ ඔය හැම දෙයක් ගැනම අනතුරු ඇගෙව්වා. ජනාධිපතිතුමා නැතත් එතුමා ළග ඉන්න අය රටේ රාළගේ ලිපිය කියවන බව රටේ රාළ දන්නවා. අඩුම ගානේ එයාලට ඒ අනතුරු ඇගවීම ජනාධිපතිට කරන්න තිබ්බා.
 
මොකද රටේ රාළගේ දේශපාලන විග්‍රහය ඇතුළේ ප්‍රධාන කාරණය විදිහට කිව්වේ මේකට එන ජාත්‍යන්තර පීඩනය ගැන. ඒ වෙනකොටත් රටේ රාළ දැනගෙන හිටියේ නෑ ලොහාන් දණ ගස්සලා තියෙන්නේ දෙමළ සිරකරුවෙක් කියලා. රටේ රාළට එයාගේ සම්භවය නං අදාළම නෑ. මොකද රටේ රාළට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ විතරයි.
 
ඊළඟට ඒ මනුස්සයා හිරේ ඉන්න කරලා තියෙන වරදත් මෙතනට අදාළත් නෑ. මොකද ඒ වරදට දඩුවම් විදිමිනුයි එයා ඉන්නේ. ඉතින් මේ කොහේවත් යන ඇමති නාම්බන්ට පුළුවන්ද එහෙම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උදුරගන්න. හිරකාරයෙක්ගේ උනත්. මේක වහල් හිමි සමාජය නෙවෙයි. ඒක කවුරු කවුරුත් මතක තියාගන්න එක හොඳයි.
 
 
 
මේ දවස්වල ජීනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා. ඒකෙදී අපට තියන එක ප්‍රධාන චෝදනාවක් තමයි ඕක. අත්තඩංගුවේ ඉන්න සිරකරුවන්ට වද හිංසා කිරීම. ඒ චෝදනාව ඇත්ත එකක්. ඉතිහාසය පුරාම ඒක ඔප්පු වෙලා තියනවා.
 
ඒකට හිරකාරයන් ගැන අපේ රටේ මිනිස්සුන්ගේ තියන ආකල්පත් බලපානවා. රටේ රාළට නං රටේ නීතියට අනුව වැරදිකාරයෙක් එල්ලලා මැරුවත් කමක් නෑ. ඒත් ඒක වෙන්න ඕනි සාධාරණ නඩු විභාගයකින් පස්සේ. ඒ සීමාවන් පැනලා අපේ රටේ රැදවියන්නට වද දෙන එක දිගටම සිද්ද වුනා.
 
ඇත්තටම මහ ලොකු කුඩු මුදලාලිලා බේරගන්න කුඩු විකුණපු එකා මරලා දානවා. කුඩු විකනපු එකාට දඩුවමක් දෙන්න ඕනි තමයි. ඒත් මරලා දාන්න ඕනි ඌ නෙවෙයි. ලොහාන් දණ ගැස්සුවේ පරණ L.?.E සාමාජිකයෙක්. ඒ කියන්නේ ත්‍රස්තවාදියෙක්. එතකොට ලොහාන් කරලා තියෙන්නේ මහා දරුණු ත්‍රස්තවාදියෙක් ද්වන්ද සටනකින් පස්සේ යටත් කිරීමද?
 
ඇත්තටම එයා හරි හෝ වැරදි දේශපාලන අරමුණක් වෙන් සටන් කරපු කෙනෙක්. ඔය වෛරය දැන් ඉවර කරන්න ඕනි. ඔය වැඩෙන් දෙමළ සමාජයට යන පණිවිඩය මොකද්ද? දෙමළ මිනිස්සු කියන්නේ බොහෝම වැදගත් මිනිස්සු. ඒ මිනිස්සු කිට්ටු කරගන්නවා මිසක් ඈත් කරගන්න හොඳ නෑ.
 
ඊළගට අර මිනිස්සු දහස් ගණනක් මරපු කරුණලා, පිල්ලෙයාන්ලා ඉස්සරහා දණගහන ලොහාන්ලා, අර හයේ හතරේ කාමරය හිරකරලා ඉන්න තනි පරණ L.?.E කාරයෙක් අල්ලගෙන පාට් දානවා. මරු දේශප්‍රේමීයෝ. ලැජ්ජයි...ලොහාන්.කොහොම හරි ලොහාන්ගේ මේ නිවට වීර ක්‍රියාවෙන් එක දෙයක් උනා.
 
ජිනිවා මානව හිමිකම් කොමිසමට අලුත්ම සාක්කියක් හම්බවුනා. ඒක නිසා එයාලා මේ සාක්කිය චෝදනාවට Parallel ගන්නවා ගන්නවා මයි. ඒක ජනාධිපති වටේ ඉන්න ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ට නොදැනුනාට රටේ රාළට නම් දැනුනා.
 
රටේ රාළට ඒක කියලා කට ගන්න උනේ නෑ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මේ රටේ ඉන්න නිත්‍ය නියෝජිතයා වැඩේ හෙලා දැකලා නිවේදනයක් නිකුත් කළා. ඊට පස්සේ තමයි ඔය ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ ඇස් ඇරුණේ.
 
මහත්වරුනි ඕක ඔතනින් නතර වෙන්නේ නෑ. ජීනිවා මානව හිමිකම් සමුළුවටත් යනවා. දෙමළ සන්ධානය ඒක ගෙනියනවා.
 
ඇත්තටම ඒක එතෙන්ට ගෙනියන්න ඕනි. හැබැයි එතනදී ඒකෙන් ප්‍රයෝජන ගන්නේ දෙමළ බෙදුම්වාදීන්. දෙමළ බෙදුම්වාදීන්ට මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව හදලා දුන්නේ කවුද? ඒ චෝදනාවෙන් ගැලවෙන්න ජනාධිපතිවරයාට බෑ. 
 
ජනාධිපතිවරයා මේ ප්‍රශ්නනෙදී මැදිහත් වෙලා තියෙන්නේ ලොහාන් බේරා ගැනීමේ පටු පරමාර්ථයෙන්. එහෙම නැතිව රට බේරා ගැනීමේ හෝ යුක්තිය ඉටු කිරීමේ පරමාර්ථයෙන් නෙවෙයි. මේ මොහොත වෙනකම් ජනාධිපතිවරයා ඒ දැක්ම සහිතව කටයුතු කරලා නෑ.
 
මෙතනදී ලොහාන්ට තියන චෝදනා බරපතලයි. ඇත්තටම එයා මේ චෝදනාව යටතේ අත්තඩංගුවට ගන්න ඕනි. එයාට මානව හිමිකම් කඩ කිරීම හා අපරාධ චොදනා යටතේ නඩුදාන්න පුළුවන්. ඒක කළා නම් ජනාධිපති ලෝකය ඉස්සරහා එතුමාගේ පෞරුෂය වගේම රටේ පෞරුෂයත් රැක ගන්නවා.
 
ඊළඟට ජනාධිපතිට තිබුණා මේ සම්බන්ධව තමන්ට වාර්තාවක් ඉල්ලලා කම්ටුවක් පත්කරන්න. ඒකට මේ රටේ කීර්තිමත් නීතිඥයෙක් හා නිළධාරියෙක් පත් කරන්න. ඕනි නම් පාර්ලිමේන්තුව නියෝජිතයින් කීපදෙනෙකුත් පත් කරන්න.
 
ඒ වාර්තාව සතියක් ඇතුලත දෙන්න කියන්න. 
 
ඊළඟට ඒකට සමාන්තරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් කරන්න. එතකොට තමයි අපි හරි කියලා ලෝකයට පේන්නේ. මේක ඇමතිවරයෙක්ගේ තවත් එක පිස්සුවක් විතරයි. ශ්‍රී ලංකාව මූලධාර්මික වශයෙන් එහෙම ස්ථාවරය නෑ කියලා. 
 
දැන් වෙන්නේ ඕකේ අනිත් පැත්ත. ජනාධිපති ඇතුළු සමස්ථ රටම ලෝකය ඉස්සරහා බ්‍රැන්ඩි වෙන්නේ ම්ලේච්චයෝ කියලා. ජනාධිපතිතුමා විහින් තමන්ගේ පෞරුෂය නැති කරගත්තට රටේ රාළට කරන්න දෙයක් නෑ. ඒත් එතුමා මේ රටේ නායකයා විදිහට ඒක කර ගැනීම වැරදී.
 
 මොකද මෙතනදී එතුමා හිතන්න ඕනි මේ රටේ රාජ්‍ය නායකයා විදිහට මිසක් තනි ගෝඨාභය කෙනෙක් විදිහට නෙවෙයි. ජනාධිපතිට තවමත් ඒ පියවරට යන්න ඉඩ තියනවා. රටේ රාළට ජනාධිපතිව අපහසුතාවයට පත් කරන්න ඕනි නෑ. ඉතිහාසයේ රටේ රාළ කරපු දේශපාලන රෝල් එක ගැන ජනාධිපතිත් හොදට දන්නවා.
 
දැන් ලොහාන් ප්‍රශ්නයෙන් බොහෝ දුරට අයින්වෙලා තියෙන්නේ. දැනට මිනිහා තමයි තරගය දිනලා තියෙන්නේ. තවමත් එකට බිංදුවක් විදිහට ජනාධිපති ලොහාන්ට පැරදිලා ඉන්නේ.
 
බලමු Second Half එකේදීවත් ගෝල් එකක් ගහයිද කියලා. අඩුම ගානේ Match එක Draw කරගනීද කියලා?
 
එහෙනම් ගිහින් එන්නම්.
 
අන්තිමටත් කියන්නේ සර් තවමත් පොඩි වෙලාවක් තියනවා.
 
 
බුදු සරණයි.
ජයවේවා.
 
මීට
රටේ රාළ
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
රටවිරුවන් හූරංකන අලුත් විදිහ! ගුවන්තොටේ මගඩි එළියට! 
 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්