ඇත්තටම රටේ රාළ අද කතා කරන්න හිටියේ ටිකක් වෙනස් මාතෘකාවක්. ඒත් අදත් ලොහාන් ළග නතර වෙන්න වෙලා.
ඒකට හේතුවක් තියනවා. ලොහාන්ගේ ප්රශ්නය පාදක කරගෙන රටේ රාළ පැති ගනනාවකින් දේශපාලනය විග්රහ කළා.
ඒත් රටේ රාළට මඟහැරුණු තව කොටසක් තියනවා. ඒ බව දැනුනේ ඊයේ රටේ රාළ දැකපු පෝස්ට් එකකින්. ඒකේ ලොහාන් දෙමළ සිරකරුවන් දණ ගැස්සවීම ගැන මෙහෙම තිබුණා.
" කොහොමත් කොටි දැක්කම සිංහයින්ට කේන්ති යනවා " කියලා.
ඇත්තටම ඒ වචන ඇතුළේ සියුම් ජාතිවාදයක් තියනවා. ඒ හා සමාන පෝස්ට් ඔයාලත් දකින්න ඇති. ඒක නිසා පළවෙනි මොහොතේම ඒවට කුඩු වෙන්න ගහන්න ඕනි. එතන තියෙන්නේ කොටි, සිංහ කතාවක් නෙවෙයි. අහිංසක මිනිහෙක් ඉස්සරහා කරපු අමන මරි මෝඩ දේශපාලන තක්කඩිකමක්. නිවට බියගුළුකමක්. ම්ලේච්ඡ ජාතිවාදී ප්‍රවේශයක්. මේවට වීරත්වය ආරෝපණය කරන්න පුළුවන් නිවට දේශපාලන වහල්ලුන්ට විතරයි.
කාටහරි කියන්න පුළුවන් ඔය වගේ පෝස්ට් එකක් කියන්නේ සුළු සිද්ධියක් කියලා. ඕව් ඒක ඇත්ත. හැබැයි මතක තියාගන්න ජාතිවාදය පටන් ගන්නේ බොහොම සුළු සිද්ධියකින් තමයි .හැබැයි ඊළඟ මොහොතේම ඒකට තටු ලැබෙනවා. එක ගිනි කූරකින් පුළුවන් මුළු රටක් ගිනි තියන්න.
ඒක නිසා රටේ රාළට හිතුනා මේ ප්රශ්නය හරියට ලෙහලා යන්න ඕනි කියලා. ලොහාන්ගේ හැසිරීම හුදු ඩෝප් සීන් එකක්ද? නැත්නම් ඒක ජාතිවාදී ප්රවේශයක්ද?
මේ වගේ ප්‍රශ්නයක් විග්‍රහය කිරීමේදී ප්රශ්නය හරියටම තේරුම් ගන්න ඕනි. ප්‍රශ්නයක් හරියට තේරුම් ගන්න ඒ ප්රශ්නය දිහා බලන්න ඕනි ක්‍රමයක් තියනවා.
ඕනිම ප්‍රශ්නයක් ඓතිහාසිකව, විෂය මූලිකව, අන්තර් සම්බන්ධිතව විග්රහ කර ගත්තොත් හරියට ප්රශ්නය තේරුම් ගන්න පුළුවන්. එතකොට උත්තරය හරියට ගන්නත් පුලුවන්. රටේ රාළට ඒ ඥානය දුන්න ගුරු රෝහණ විජේවීර සහෝදරයත් සිහිපත් කරගෙනම ප්‍රශ්නයට බහිනවා.
මෙතනදී අර නඩුවකදී අහනවා වගේ බලන්න ඕනි විත්තිකරුගේ පෙර වැරදි තියනවද කියලා. රත්වත්තලා කිව්ව ගමන් ඒ එක්කම කියවෙන්නේ උඩතලවින්න මිනිස් ඝාතනය ගැන. එකේ චෝදනා එල්ල උනේ ලොහාන්ගේ අප්පච්චිට. ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේට. එතන ලොහානුත් ඉන්නවා. ඒ සිද්ධියේ කවුද හරි කවුද වැරදි කියන ප්රශ්නය ගැන නෙවෙයි රටේ රාළ මෙතනදී කතා කරන්නේ.
කොහොම හරි ඒක ජාතිවාදී ගැටුමක්. මුස්ලිම් ජාතිකයන් ගණනාවක් එතනදී මැරුණා. ඝාතනය සිද්ධ වුණේ එයාලගේ ප්‍රදේශයට ගිහින්. මේ විග්රහයට ඒ ඉතිහාසගත සිද්ධිය අදාළ නැතත් ලොහාන්ගේ මානසිකත්වය වටහා ගන්න ඒ සිද්ධිය හොදටම ප්‍රමානවත්.
මෙතනදී ලොහාන් දෙමළ සිරකරුවන්ව තෝරගන්නේ ඒ මානසිකත්වයෙන් කියලා උපකල්පනය කීරීම 100% ක් සාධාරණයි. මොකද හිරේ වැඩිය ඉන්නේ සිංහල සිරකරුවෝ. එයාලා මඟහැරගෙන දෙමළ සිරකරුවන් හොයාගෙන යෑම අහම්බයක් වෙන්න බෑ. ඒක අහම්බයක් කියලා හිතන්න තරම් රටේ රාළ දාර්ශනිකව දුප්පත් නෑ.
ලොහාන් දෙමළ සිරකරුවන් එළියට ගන්නවා. ඒ අයගෙන් දෙන්නෙක් දණ ගස්සනවා.ඒ දෙන්නගේ ඔළුවට අර සරත් වීරසේකර කියන බලපත්‍ර සහිත පිස්තෝලේ තියනවා.තියලා කියන්නේ උඹලා විනාඩියක් ඇතුළට බල්ලෝ වගේ මරලා දානවා කියලා.
මේ සියලු දෙනාම L.T.T.E සැකකරුවෝ.අපට අනුව මීට ඉස්සෙල්ලා කොටි ත්රස්තවාදීන්. සමහරවිට එයාලට චෝදනා ඇති. ඒවට අච්චු කරලත් ඇති. චෝදනා නැතිවත් L.T.T.E සැකකාරයෝ ටිකක් ඔතන ඉන්නවා. කොහොම උනත් එයාලා මිට අවුරුදු 15 විතර උඩදී කොටි සංවිධානයට සම්බන්ධ අය. ඒත් දැන් තත්වය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්
.අද කොටි සංවිධානයක් කියලා එකක් නෑ. එදා හිටිය කොටි සාමාජිකයෝ දහ පහලොස් දාහක් උතුරු හා නැගෙනහිර පලාත්වල ඉන්නවා. රටේ රාළටත් එයාලා හම්බ වෙලා තියනවා. එයාලා තවදුරත් ත්‍රස්තවාදියෝ නෙවෙයි. අපි වගේම, ලේ, මස්, ඇට, නහර වලින් හැදුනු මිනිස්සු. අපි වගේම අසාධාරණට ලක්වෙන මිනිස්සු.
එදා කොටි නායකයෝ විදිහට හිටපු K.P ලා, කරුණා අම්මන්ලා, පිල්ලෙයාන්ලා අද ඉන්නේ ආණ්ඩුවත් එක්ක. මහින්ද ගියපාර ඡන්දෙදී පිල්ලෙයාන් බලන්න මඩකලපුව බන්ධනාගාරයට ගියා. ගිහිල්ලා කිව්වේ මහින්දලා බලය ගත්ත ගමන් පිල්ලෙයාන් නිදහස් කරනවා කියලා. මහින්ද ඒක කළා.
එහෙම කරපු මහින්දගේ ගෝලයෙක් ගිහින් අර අහිංසක දෙමළ හිරකාරයෝ මරාගෙන කන්න හදනවා. ඕනිම නරියෙකුට පුළුවන් සිංහයෙකුට අදින්න. ඒත් හූ කිව්ව ගමන් සතා මොකාද කියලා අහුවෙනවා.
පිල්ලෙයාන්ලා සිංහල මිනිස්සු විතරක් නෙවෙයි දෙමළ, මුස්ලිම් මිනිසුන් ඝාතනය කළා. පිල්ලෙයාන් බන්ධනාගාරයේ හිටියේ දෙමළ සන්ධාන මන්ත්‍රී ජෝෂප් පර රාජසිංහම්ව මරලා. ඒ අය අද රාජපක්ෂලාගේ ආණ්ඩුවේ වගේම පක්ෂයේත් ඉහළ තනතුරු දරනවා.
එතකොට මේ හිරේ ඉන්න එකා විතරක් කොටියෙක් වෙන්නේ කොහොමද? ඇත්තටම දැන් එයාලා දේශපාලන සිරකරුවෝ පිරිසක් විතරයි. කොහොම හරි තමන්ට හිතුන, හිතුන වෙලාවට ජාතිවාදය උඩට ගන්න එක රාජපක්ෂලාගේ දේශපාලන Point එකක්. ඒකට අවශ්‍ය මිනිස්සු තමයි ඔය. ඊට අමතරව එළියෙත් නොනිල විදිහට නඩත්තු කරන බලවේගත් ඇති.
ඇත්තටම මේ ජාතිවාදය වපුරවන්නේ බලය වෙනුවෙන්. බලය ලබා ගැනීම වෙනුවෙන්. නැත්නම් බලය රැක ගැනීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඕනිම ජාතිකත්වයක් වෙතට ප්රචණ්ඩත්වය ගෙනියන්න එයාලා සූදානම්. අපේ සමාජයේ තියන පසුගාමීත්වය ඒකට ලොකු රුකුලක්.
ඒ කියන්නේ අපේ රටේ ධනවාදය ඇතුළේ ජාතිකත්වයන් අතර ස්වීකරණය හරියට සිද්ධ උනේ නෑ. සිද්ධ වෙලා තනී ශ්‍රි ලාංකීය ජාතියක් හැදුනේ නෑ. ඒ ස්වීකරණ ක්‍රියාවලිය වෙන්න හිතා මතාම සුද්දා ඉඩ දුන්නේ නෑ. ඒ පව්කාරකම අපි තවමත් කරතියාගෙන යනවා.
උතුරේ දෙමළ මිනිස්සු එක්ක තවමත් අපට හරි සන්නිවේදනයක් කරගන්න බෑ. අපි දෙමළ දන්නේ නෑ. එයාලා සිංහල දන්නේ නෑ. ගොඩක් වෙලාවට දෙගොල්ලොම ඉංග්‍රීසි දන්නේ නෑ.
ඔයාලට මතක ඇති මීට මාස හයකට විතර උඩදී රටේ රාළ ලිපියක් ලිව්වා " යාපනයේ දෙමළුන් අතර සිට ලියමි " කියලා. ඒ ලිපියේ රටේ රාළ දෙමළ මිනිස්සු ගැන කතා කළා. ඇත්තටම රටේ රාළට හොඳම මිනිස්සු හම්බ උනේ යාපනේදී. දෙමළ මිනිස්සු සිංහල අපට ගොඩක් ආදරෙයි. ඊළඟට දෙමළා කියන්නේ හරි සංවේදී මිනිහෙක්. ඕනි මිනිහෙකුට උදව්වක් කරන්න දෙපාරක් හිතන්නේ නෑ.
ඒ මිනිස්සු තවදුරටත් තලා පෙලා දාන්ඩ ඉඩ දෙන්න සිංහල අපට කිසිම අයිතියක් නෑ. හැකි පමණින් රටේ රාළ මේ දරන්නේ ඒ උත්සාහය. මේ වගේ නිවට වැඩ අනුමත කරනවා නම් අපි මිනිස්සු නෙවෙයි. තමන්ගේ ජාතිවාදී ඡන්ද පදනම චූන් කරන්න ලොහාන්ලා කරන මේ තිරිසන් වැඩ හෙළා දකින්න ඕනි. ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්න පාලකයින්ට බලකරන්න ඕනි. මේ රටේ අවුරුදු දහස් ගානක් අපිත් එක්ක ජීවත් උනු දෙමළ මිනිහෙක් අපට ඉන්නවා. එයත් ශ්‍රී ලාංකිකයෙක්.
ඒක නිසා ජාතිවාදය ආයෙත් මේ රටට ඕනි නෑ. ජාතිවාදය පතුරවන එකෙක් ඉන්නවා නම් ඌට ගහන්න ඕනි කුඩු වෙන්න. ඒ ලොහාන්ද, මහින්දද, විමල්ද, රිෂාඩ්ද කරුණාද වෙන කවුරුත්ද කියලා අදාළ නෑ. මොකද ජාතිවාදින් අපිට ගෙනත් දුන්න විමුක්තියක් නෑ.
රටේ රාළට නම් ඔය කිසිම ජාතිවාදියෙක් අදාළ නෑ. ජාතිවාදය සිංහල, දෙමළ,මුස්ලිම් මොන වේශයෙන් ආවත් භයානකයි.
එදා ලොහාන් කරපු තුට්ටු දෙකේ නිවට වැඩෙන් දෙමළ ජනතාවගේ හිත ගොඩක් පෑරෙන්න ඇති. ඒත් දෙමළ ජනතාවගේ හිත හැදෙන එක වචනයක් කියන්න මේ රටේ එක නිවට පාලකයෙකුට බැරි උනා. ඒක නිසා රටේ රාළ දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලනවා.
ඒ වගේම ලොහාන්ගේ නිවට ක්‍රියාව හුදු ඩෝප් සීන් එකක් නෙවෙයි, සංවිධානාත්මක ජාතිවාදී දේශපාලන අපරාධයක් කියලා රටේ රාළ නම් කරනවා. රටේ රාළ දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලලා නතර නොවී දෙමළ ජනතාවට යෝජනාවකුත් කරනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදිලා හොයාගන්න පුළුවන් විමුක්තියක් අපට තවත් ඉතුරුවෙලා නෑ. ඒක නිසා සිංහල, දෙමළ, මුස්ලිම්, කවුරුත් එකතු උන ජාතික ව්‍යාපාරයක් ඇතුළේ තමයි අපට විමුක්ති තියෙන්නේ. හැම සංස්කෘතිකට ගරු කරන මිනිස්සු. කවුරුත් රටට ආදරය කරන මිනිස්සු. කවුරුත් එකතුවෙලා ඒක කරමු.
දැන් ඒකට කාලය හරි.
එහෙනම් ගිහින් එන්නම්.
වනක්කම්.
බුදු සරණයි,
ජයවේවා.
මීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
THE LEADER TV
PCR සජීත්ට පරස්පර කතාවක් කියලා !
ලොක්කෝ මෙච්චර ලොහාන්ට බය ඇයි?