ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයෙන් අවුරුදු දෙකක් දැන් ඉවරයි. තව තියෙන්නේ අවුරුදු තුනයි. දාන සෙල්ලමක් දාන්න තියෙන්නේ මේ අවුරුදු
තුන ඇතුළේ. 
 
කොහොම උනත් මේ අවුරුදු දෙකම ගත උනේ කොරෝනා වසංගතයත් එක්ක. ඒක නිසා ආණ්ඩුවට තියෙන එකම උත්තරය තමයි මේ සියල්ල සිද්ධ උනේ කොරෝනා නිසා කියන එක. 
 
හැබැයි ඒක ඇතුළේ උනත් ආණ්ඩුවට කරන්න තිබුණු ගොඩක් දේ ආණ්ඩුව කළේ නෑ. අඩුම ගානේ ආණ්ඩුවේ ගජමිතුරන් කොරෝනා වසංගත ඉල්ලමක් කර ගන්න එක නවත්තන්න ආණ්ඩුවට බැරිවුණා. ඒ ගසාකෑම නතර කරන්න ආණ්ඩුව බැරි උනා වගේම ඒකට උවමනාවක් තිබුණෙත් නෑ.
 
ඒක නිසා සියල්ලට හේතුව කොරෝනා කියලා කිව්වට එහෙම කියනකොටම ආණ්ඩුවට ලොකු Guilty ගතියක් එනවා.
 
මේ දවස්වල ආණ්ඩුව කරන්න හදන්නේ ඒ Guilty ගතිය ජනතාවට පෙනෙන එක නවත්තගන්න උත්තරයක් හදාගන්න. 
 
ඒ උත්තරය හදන්න ගියහම මුළු කැබිනට් මණ්ඩලයම කෝපි කඩේ වගේ පේන්න පටන් ගන්නවා. ඔක්කොම අබිලිංලා වගේ පේනවා. අද රටේ රාළගේ බලාපොරොත්තුව එහෙම නොපෙනෙන අයටත් ඒක පෙන්වාදීම.
 
ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයටම රටේ රාළත් එකක් මල පනී. ඒත් කරන්න දෙයක් නෑ ඇත්ත කතා කරන්න ඕනි.  
 
ජනාධිපති කැබිනට් එකට ඇවිත් කියනවා මගේ අතිනුත් වැරදි සිද්ධ උනා. මට එච්චර දේශපාලන අද්දැකීම් නෑ. අගමැතිතුමා ටිකක් වැඩිපුර මැදිහත් වෙන්න කියලා. මම රටේ ජනතාවට වෙච්ච පොරොන්දුව මේ අවුරුදු තුන ඇතුළේවත් කොහොම හරි ඉෂ්ඨ කරන්න ඕනි කියලා.
 
ජනාධිපතිතුමා සම්පුර්ණයෙන්ම සංවේදී වෙනවා. ඒක පාපෝච්චාරණයක් කියලා කියන්නත් පුළුවන්. නැත්තං ස්වයංවිවේචනයක් කියන්නත් පුළුවන්. දැනට සමහරු එහෙම නිර්වචනය කරනවා. 
 
රටේ රාළ නං ඒ නිර්වචන පිලිගන්නේ නෑ. මොකද පාපෝච්චාරණයක් කෙසේ වෙතත් ස්වයංවිවේචනයක් කියන්නේ බොහොම වැදගත් වැඩක්. ඒක නිසා රටේ රාළගේ නිර්වචනය ඊට වෙනස් එකක්. මේකට ස්වයං වින්දනයක් කිව්වොත් ඒකේ නං ලොකු වරදක් නෑ. රටේ රාළගේ නිර්වචනය මොකද්ද කියලා ලිපිය අවසන් වෙනකොට තේරෙයි.
 
ජනාධිපතිතුමා එහෙම සංවේදී වෙලා ඉවර වෙනකොටම බැසිල් සංවේදී වෙන්න පටන් ගන්නවා.
 
' ඔව් ජනාධිපතිතුමා අපි කවුරුත් අතින් වැරදි සිද්ධ උනා. අපි කවුරුත් කැපකිරීම් කරලා හදපු ආණ්ඩුවක් මේක. අපි ඔක්කොම එකතු වෙලා ගමනක් යන්න ඕනි"  කියලා බැසිල් කියනවා. ඊළඟට විමල් සංවේදී වෙනවා. 
 
විමල් කියලා තියෙන්නේ, " ඔව් ජනාධිපතිතුමා මගේ අතිනුත් වැරදි වුණා. අපි කවුරුත් එකතුවෙලා හදාගත් ආණ්ඩුව මේක. මේ ආණ්ඩුව පරිස්සම් කරගෙන අපි එකතු වෙලා ගමනක් යන්න ඕනි " කියලා. හැබැයි විමල් පෙරේදා නිවේදනයක් නිකුත් කරලා කිව්වා එයා සංවේදී වුණේ එහෙම නෙවෙයි මෙහෙම කියලා. 
 
  
මේ ආණ්ඩුව ගැන ජනතාව කළකිරිලා තියෙන්නේ කරන්න ආපු වැඩ නොකරන නිසා නෙවෙයි. නොකරන්න ආපු වැඩ කරන නිසා කියලා.
 
 
විමල් ඒකේ ජනාධිපතිට යෝජනාවකුත් කරනවා. ජනාධිපති සක්‍රීය දේශපාලනයට එන්න ඕනි කියලා. එතකොට ජනාධිපති මේ කරන්නේ දේශපාලනය නෙවෙයිද? පොල් ගෑමක්ද? විමල් කිව්ව ඒ කතාව ජනාධිපතිට තේරුණා නම් ජනාධිපති අඩ අඩා තවත් සංවේදී වෙනවා.
 
ඒත් එතුමාම කියනවානේ එතුමාට දේශපාලනය එච්චර තේරෙන්නේ නෑ කියලා. ඒක නිසා විමල් දාපු නොන්ඩිය තේරෙන එකක් නෑ. 
 
ඊට පස්සේ මුළු කැබිනට් මණ්ඩලයම සංවේදී වෙලා. හෙට අනිද්දා වෙනකොට ඇමතිවරුත් කියන්න පටන් ගනී. අපි අතිනුත් වැරදි සිද්ධ වෙන්න ඇති. ඉතුරු අවුරුදු තුන ඇතුළේ අපි ඒ අඩුපාඩු හදාගෙන අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වෙන් රටට සෞභාග්‍යයට ගෙනියනවා කියලා. 
 
ඇත්තටම ආණ්ඩුව මේ අල්ලන්න හදන්නේ තවත් දියුණු Concept එකක්. මේ වෙලාවේ ජනතාව අන්දන්න  හොඳම Concept එක ඒක.
 
අපේ සමාජය ඇතුළේ තියන ලක්ෂණයක් තමයි වරදට සමාව දීමේ ගුණය. ඒ වගේම වැරදි පිලිගැනීම කියන එකට ලොකු තැනක් තියනවා. උසාවියක උනත් වරද පිලිගැනීමෙන් දඩුවම ලිහිල් වෙනවා. හැබැයි උසාවියේදී වරද පිලිගත්තට දඩුවම නැති වෙන්නේ නෑ. දඩුවම ලිහිල් වීමක් විතරයි වෙන්නේ.
 
අපේ සමාජයේ පොදු ස්වභාවය එහෙම නෙවෙයි. වරද පිලිගන්නවා නං දඩුවමක් නැතිව සමාව දෙන්න බරයි. වරද පිලි අරගෙන හැදෙයි කියලා හිතෙනවා. ඒක නිසා ආපහු අර පරණ භක්තියම ඇති කර ගන්නවා. නැත්තම් 2015 දී සියලු අපරාධ කරලා ගිය රාජපක්ෂලා 2019 දී මහා සුද්ධවන්තයෝ වගේ ආයෙත් බලයට ගේන්න පුළුවන් කමක් නෑනේ.
 
අද මේ කැබිනට් මණ්ඩලය පාවිච්චි කර ගන්නේ ඒ උපක්‍රමය. දැන් 69 ලක්ෂයේ ගොඩ දෙනෙකුට හිතිලා තියෙන්නේ බලන්න ජනාධිපතිතුමත් වැරදි පිලිගන්නවා, කැබිනට් මණ්ඩලයම වැරදි පිලි අරන්. කොච්චර හොඳද කියලා. මෙහෙම නිහතමානී පාලකයෝ මේ රටේ හිටියද? වරද දැකලා හදාගන්න එක කොච්චර හොද ගුණයක්ද? ඕක තමයි මෙයාට ඕනි මනස.
 
හැබැයි මතක තියාගන්න ඕනි දේ තමයි ජනාධිපතිතුමා මීට ඉස්සෙල්ලා හිටියේ එයාට කවදාවත් වරදින්නේ නෑ වගේ ස්ථාවරයක. මම තමයි හොදටම කළේ කිව්වේ ඒකයි. එදා හොදටම කලා කිව්ව ඒවා ගැන නේ දැන් ඔය තේරෙන්නේ නෑ කියලා කියන්නේ. 
 
ඊළඟට වැරදි පිලි අරගෙන හැදෙනවා නං මහින්ද මහත්තයා තරම් වැරදි පිලිගත්ත මිනිහෙක් මේ තුන් ලෝකෙම ඉන්නවද? කෝ හැදුනද? 
 
2010 - 2015 ආණ්ඩුව කරපුවයින් මොනවද දැන් නොකරන්නේ. හොරකම අඩුවෙලාද? හොරකම් සම්බන්ධව වැඩිම චෝදනා එල්ල වෙන්නේ කැබිනට් මණ්ඩලයට. නාස්තිය දුෂණය රජවෙලා. මහින්දත් කිසි ගානක් නැතිව රටේ ජාතික ධනය කාබාසිනියා කරනවා. මුළු කැබිනට් මණ්ඩලයම එහෙමයි.
 
 
හැබැයි ජනාධිපතිට තවමත් ඒ චෝදනාව එල්ල වෙලා නෑ.ඒකත් කියන්න ඕනි. ඔයාලා නිකං හිතන්න උසාවියකදී සමාව ගැනීමෙන් වරදින් නිදහස් වෙනවා නම්, අපේ රටේ හොරු, තක්කඩි. කුඩු ජාවාරම්කාරයෝ, මිනීමැරුවෝ තරම් වරද පිලිගන්න අය ලෝකේ කොහේවත් හිටීද? 
 
නමුත් අපේ රටේ ජනතාවගේ තියන සමහර වහල් මානසික ලක්ෂණ පවා දැන් මෙයාලාගේ බලය පවත්වා ගෙන යන්න යොදා ගන්නවා. වරද පිලිගැනීම හොද දෙයක් තමයි. ඒත් වරදට දඩුවම් නම් අනිවාර්යයි.
 
ඒක නිසා සමහරවිට දැන් ඔයාලට එයාලා වීරයෝ වගේ පේනවා ඇති. රටේ රාළට නං කැබිනට් එක දිහා බලනකොටම මතක් වෙන්නේ කෝපි කඩේ. තනි තනි පුද්ගලයෝ විදිහට ගත්තොත් ඔක්කොමලා පේන්නේ අබිලිංලා වගේ. කොහොම හරි කෝපි කඩේ අබිලිං කවුද කියලා රටම තේරුම් අරන් තියනවා.
 
ඒ චරිතට පණ දුන්න රංගන ශිල්පීයා අද අපි අතර නැති උනත් එයා දීලා ගිය දේශපාලන පනිවිඩය අති ප්‍රබල එකක්. ඉතින් කෝපි කඩේ අබිලිං තේරුම් ගත්ත ජනතාවට කැබිනට් කෝපි කඩේ අබිලිංලා තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනි.
 
මේ කරන්න හදන්නේ අලුත් Method එකකට ජනතාව රැවටීමක්. සති දෙකක් යන්න ඉස්සෙල්ලා ඒක ඔයාලට ඔප්පු නූනොත් මම රටේ රාළත් නෙවෙයි.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
ජයවේවා.
 
අහුවෙන්න එපා.
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 


THE LEADER TV 
 
ලොකු අනතුරක් අත ළග?
 
 
පවුලේ හොරුන්ට 'ස'ගෙන් කනේ පාරක්! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්