පහුගිය දවස්වල බැසිල් මහත්තයා රට වටේ ගිහිල්ලා වදින්ඩ ඕනි හැම දේවාලයක්ම වැඳගෙන, ආශීර්වාද බලාගෙන ඇවිත් මාකට් කරපු අයවැය දැන් අපි ඉස්සරහා තියනවා.  



ඇත්තටම ඒක මාර අයවැයක්. ඇතුළේ මොකුත් නැති උනාට මොනවා හරි ඇති කියලා හිතෙනවා. ආය නෑ කියලා හිතෙනවා. දේව බැල්මක් සහිත අයවැයක් නිසා වෙන්න ඇති.

හැබැයි මේක හොඳයි කියලා හිතෙන ලොකු පිරිසක් 69 ලක්ෂය ඇතුළේ දැන් නෑ. එහෙම හිතන පිරිස ඉන්නේ ආණ්ඩුව ඇතුළේ විතරයි. දෙයියන්ගේ ඒ බැල්ම වැඩි හරියක් වැටිලා තියෙන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න අර සුළු පක්ෂ සන්ධානයට.

දැන් සමහරුන්ට යුගදනවි අමතක වෙලා බැසිල් සූර සරදියෙල් වෙලා. පහුගිය දවස්වල මහින්ද පිටට තට්ටුවක් දාලා තියාගත්ත කට්ටියට බැසිල් අයවැයෙන් හිතට ලොකු තට්ටුවක් දාලා.

කොහොම උනත් රෙද්දක් ඇදගෙන මේ අයවැය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් මට්ටම හදලා දුන්නා කියලා කට්ටිය බැසිල්ට පින් දෙනවා ඇති. ඒක තමයි රටේ රාළ කියන්නේ බැසිල් දක්ෂයා කියලා.

හැබැයි දක්ෂකම හැම වෙලේම හොඳ පැත්තටම විතරක් තියෙන්නේ නෑ. ඒක හොද නරක දෙවිදිහටම තියනවා. මෙතනදී බැසිල් කරලා තියෙන්නේ නරක දෙයක් හොඳ දෙයක් විදිහට පෙන්නන එක. මීට ඉස්සෙල්ලා ඒ හැකියාව තිබුණේ විමල්ට. කොහොම හරි කාලයාගේ ඇවෑමෙන් බැසිලුත් ඒ හැකියාව උකහාගෙන.

දැන් බැසිල් විමල් Follow කරලා අත්කරගත්ත ඒ හැකියාව පෙරලා විමල්ටම පෙන්නනවා.


ඇත්තටම නරක දෙයක් තේරුම් ගන්න ඕනි නරක දෙයක් විදිහට. හැබැයි නරක දෙයක් හොඳ දෙයක් විදිහට පෙන්වීමෙන් වෙන්නේ විනාශයක්. හිට්ලර් කියන්නේ දක්ෂයෙක්. හැබැයි එයා මැව්ව දේශප්‍රේමයෙන් උනේ ලෝක විනාශයක්. මේ ආණ්ඩුවත් එහෙමයි.


ඒක නිසා රටේ රාළට  හිතුනා ඒ තිත්ත ඇත්ත කතා කරන්න. ඇත්තටම මේ අයවැය ඉදිරිපත් කරන්නේ ලෝක ආර්ථිකයේ බරපතල කඩා වැටීමක් තියෙන වෙලාවක.

විජේවීර නං කිව්වේ ඇමරිකාවට හෙම්බිරිස්සාව හැදෙනකොට අපට නිව්මෝනියාව හැදෙනවා කියලා. ඒත් ඇමරිකාවට නිව්මෝනියාව හැදෙනකොට අප මොකද්ද වෙන්නේ කියලා විජේවීර කිව්වේ නෑ. ඒක අහගන්න අද විජේවීරත් නෑ. ඒක නිසා මේක අත්දැකීමෙන්ම තේරුම් ගන්න වෙලා. පව විදලාම ගෙවන්න වෙලා.

හැබැයි ඒ කතාව බැසිල්ට අදාළ නෑ.  මොකද බැසිල් මුදල් ඇමති වෙන්නේ වසංගතය අස්සේ. බැසිල් එන්නෙම වසංගතයෙන් රට බේරගෙන ජනතාවට සහන දෙන්න. ඒක නිසා බැසිල් මේ අයවැයෙන් ජනතාවට සහන දෙන්නම ඕනි. හැබැයි මේ අයවැයෙන් බැසිල් දුන්න සහනයක් නෑ. බැසිල් දුන්නේ තව තවත් අසහනය. හැබැයි අසහනයත් නිකං සහනයක් වගේ පෙන්නන්න හදලා තියනවා. අන්න ඒ බොරුව හෙලි කිරීම රටේ රාළගේ වගකීමක්.


ඇත්තටම කොහොමද බැසිල් ඒක කළේ. මෙතනදී බැසිල් කළේ අයවැය ලස්සන කරන එක නෙවෙයි අයවැයට ලස්සන දවටනයක් දාන එක. නිකං පුස් කේක් ගෙඩියකට අයිසිං දැම්මා වගේ වැඩක්. ඒකට බැසිල් මේ සමාජයේ තියෙන ජනප්‍රිය සටන් පාඨ ටිකක් ඇල්ලුවා. අර්ජුන් මහේන්ද්‍රන්ලා කරපු මහ බැංකු මංකොල්ලයට තියෙන ජනතා විරෝධය එකක්. ඔන්න දැන් බැසිල් අයවැයෙන් මහ බැංකුවේ අර්ජුන් මහේන්ද්‍රන්ලා තිබ්බ තැන්පතුව මහා භාණ්ඩාගාරයට අරගෙන. කොච්චර වැදගත් වැඩක්ද ඒක. ඒ ජනප්‍රිය සටන් පාඨයෙන් බැසිල් වැඩක් අරන්.

 

ඒකෙන් එකක් තේරෙනවා. බැසිල් ඕනි කොහොම හරි ලකුණු. හැබැයි රටේ රාළ දන්න විදිහට ඕක කරන්න බෑ. ඒක බැසිලුත් දන්නවා. ඒක තමයි නීතිපතිගේ සීමාවට යටත්ව කියන කෑල්ල දැම්මේ. ඒ ගැන අධිකරණයේ විභාග වෙන නඩුව නොසලකා එක ගන්න බෑ. එහෙනං දැන් මහජන බැංකුවට පුළුවන් වෙන්න ඕනි අපේ වාණිජ අධිකරණය දුන්න තීන්දුව නොසලකා චීන පෝර සමාගමට සල්ලි දෙන්න. ඒක නිසා මේවා Pending යෝජනා.

අනික තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වගේම ජනාධිපති, අගමැතිගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නේ. රටේ තිබුණේ අවුරුදු පහක කාලය දහය කරලා විශ්‍රාම වැටුපක් දෙන්න කියන කතාවක් නෙවෙයි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න කියන සටන් පාඨය. මහජන සේවය ගරු සේවකයෙක් කරන්න කියන යෝජනාව.

ඇත්තටම අවුරුදු පහක් මේ රටේ ජනාධිපතිකමක්, අගමැතිකමක්, ඇමතිකමක්, රාජ්ය ඇමතිකමක්, අධීක්ෂණ මන්ත්‍රී කමක් කරනවා නං ඒ මනුස්සයට ආය විශ්‍රාම වැටුප් දෙන්න ඕනි නෑ. පරම්පරාවක් ජීවත් කරන්න වැඩේ හදාගන්න හැටි එයා දන්නවා. හැබැයි බැසිල් මෙතනදී කළේ ඒ සටන් පාඨයේ අර්ථය කොල්ල කාලා වෙන විදිහක සටන්පාඨක් පැටවීම. හැබැයි දැන් ගොඩක් අයට හිතෙන්නේ අර මුල් සටන් පාඨය තමයි මේ වැඩ කරන්නේ කියලා.

ඇත්තටම මේවා වෙනම යෝජනා සම්මත කරගෙන කරන්න ඕනි දේවල්. ඊළඟට නාස්තිය පිටු දකින්න බැසිල් මේ අයවැයෙන් මාර වැඩක් කරපු බවට හැගීමක් හදන්න මාර උත්සාහයක් දරලා තියනවා.

පාර්ලිමෙන්තු, මන්ත්‍රීලට වගේම රාජ්‍ය නිලධාරීන්ට දෙන ඉන්දන දීමනාවෙන් ලීටර් පහක්ම අඩු කරලා, අම්මෝ....දුරකතන දීමනාවෙනුත් 25% ක් අඩුකරලා. මේ ටිකේ එකතුව ගත්තොත් අපේ රටේ ආර්ථිකයට බලපාන්නේ සියට දශම වලින් ගත්තත් සෘණ ගානක්.

අනික ඒක වෙන තැනකින් අරගෙන වැඩේ කරගන්නේ කොහොමද කියන Training එක එයාලට දීලා තියෙන්නේ. ඒක නං දුන්නේ මහින්ද මහත්තයා.

ඇත්තටම බැසිල් අයවැයෙන් කරන්න ඕනි ඔය වගේම සොච්චම් වැඩ නෙවෙයි. මේ රටේ මහා පරිමාණ බදු වංචාකාරයන්ගෙන් මුදල් අයකර ගන්න යෝජනා කිරීම. අර අල්ලස් කොමිසමට එන්න බැරුව හොදටම ලෙඩගාගේ ඉන්න නිරූපමාලා ගහපු Pandora Papers වලින් හෙලිවුණ ගිණුම් රාජසන්තක කිරීම. අධිකරණයේ නඩුවක් තියෙද්දී මහේන්ද්‍රන්ලගේ බැංකු තැන්පතුව ගන්න පුළුවන් නං අර මල්වානේ අයිතිකාරයෙක් නැති ගේ රාජසන්තක කරන්න බැරි වෙන්න බෑ.

ඊළඟට බැසිල්ට අයවැය කතාව මදි වෙලා ඒ වෙනුවෙන්ම මාධ්‍ය සාකච්ඡාවකුත් කළා. දැන් අයවැය ගැන youtube Campaign එකකුයි Facebook Campaign එකකුයි දෙකක් යනවා. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ.

රටේ රාළට නං හිතෙන්නේ අයවැය කතාවෙන් ඇණගත්ත එක නිවැරදි කරන්න තියපු මාධ්‍ය සාකච්ඡාවක් ඒක. ඒකෙන් හැබැයි බැසිල් තවත් ඇණ ගත්තා. එතනදී බැසිල් ලොකුවටම ඇණ ගත්තේ රාජ්‍ය සේවකයා රටට බරක් කියපු කතාවෙන්. ඉස්සෙල්ලාම රටේ රාළ බැසිල්ගේ ඒ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.


බැසිල් කියන විදිහට ත්‍රිවිධ හමුදාව රටට බරක්, පොලීසිය රටට බරක්, දිසාපතිගෙන් පටන් අරගෙන අපේ හැම අවශ්‍යතාවයක් වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙන රාජ්‍ය සේවය රටට බරක්. ඒ කතාවට හරි නං මේ රටේ රාජ්‍ය සේවකයා නැගිටින්න ඕනි. රාජ්‍ය සේවකයා කියන්නේ පිනට කන කෙනෙක් කියලා තමයි බැසිල්ලා හිතාගෙන ඉන්නේ. ඇත්තටම විදිමත් රාජ්‍ය සේවයක් කියන්නේ රටකට ආශීර්වාදයක්. ඒක විදිමත්ව කළමණාකරණය කරපු රටවල් තමයි ලෝකයේ වේගෙන් නැගිට්ටේ.

 

අපේ රටේ රාජ්‍ය සේවය දුෂිතයි කියලා දැන් කවුරු හරි කියයි. පාලකයන් අන්ත දූෂිතයන් වෙච්චි රටක පිරිසිදු රාජ්‍ය සේවයක් තියෙන්නේ කොහොමද? ඇත්තටම බැසිල් ඒ කතාව නිවැරදි කරන්න ඕනි. නිවැරදි කරලා මෙහෙම කියන්න. මේ රටේ රාජ්‍ය සේවය අපේ පවුල් පාලනයට බරක් කියලා. එහෙම කියනවා නං පිලිගන්නං. මොකද පවුලට ඕනි විදිහට රටේ ගස්, ගල්, වැලි, පස්, වනාන්තරය, මහ මුහුද, සුළග කළමණාකරණය කර ගන්න බැරි ඔය රාජ්‍ය සේවය ඔහොම හරි තියන හින්දා.

දැන් රටේ මහා විපතක් වෙලා. මිනිස්සු පීඩාවට පත්වෙලා. මේ වෙලාවේ මිනිස්සු ළගට මෙහෙම හරි එන්නේ රාජ්‍ය සේවකයා විතරයි. ඒක අයින් කරලා පවුලේ කට්ටිය එවන්නද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ.

ඇත්තටම රටේ රාළ දැක්ක ඉතිහාසයේ ෆේල්ම අයවැය කතාව මේක. ඇත්තටම කොච්චර උනත් සර් මෙච්චර ෆේල් උනේ නෑ. ලංකා ඉතිහාසයේ මුදල් ඇමතිවරු අයවැය කතාව කරන්නේ අයවෑය ගැන සම්පූර්ණ අවබෝධය හදාගෙන. ඉස්සර රොනීද මෙල් තේ බීබී දවස් ගනං අයවෑය කියවනවා. දේශපාලන වශයෙන් රොනිලාට රටේ රාළ එකඟ නෑ. ඒත් තමන් ඉදිරිපත් කරන අයවැය ගැන රොනීට පරිපූර්ණ අවබෝධයක් තිබුණා.

කොච්චර උනත් මංගලටත් එහෙම අවබෝධයක් තිබුණා. රනිල්ට ඔය අද්දැකීම හොදටම තියෙන මිනිහා. ඇත්තටම රනිල් හිනා උනේ කොතනින්ද කියලා කවුරු හරි අහලා දැනගෙන රටේ රාළටත් කියන්න.

අයවැය අහන්න විදෙස් රටවල තානාපතිවරු ඇවිත් හිටියා. ඇත්තටම මොකද්ද බැසිල් ඒයාලට දුන්න පණිවිඩය. ඒ මිනිස්සුන්ට තනාපති කාර්යාලයට වෙලා නිදාගත්තා නං ඔයිට වැඩිය හොදට නින්ද යනවා. ඇත්තටම අයවැය කතාවේ කියන එක නෙවෙයි රිපෝට් එකේ තියෙන්නේ. සමහර සංඛා ලේඛණ වැරදී. ඒ අයවැයේ අලුත් භාෂාවකුත් තිබුණා.


කොහොම හරි බැසිල්ට හිටගෙන අයවැය කියවා ගන්න බැරි උනා. ඒ ගැන රටේ රාළට විවේචනයක් නෑ. එහෙම අපහසුතා එන්න පුළුවන්. හැබැයි එතනදී රටේ රාළට වෙනම විවෙචනයක් තියනවා. බැසිල්ට අමාරු නං බැසිල් කතානායකගෙන් අවසරයක් අරගෙන ඉද ගෙන කතාව කරන්න  ඕනි. හැබැයි ඒක ඒ විදිහට වෙන්නේ නෑ. එතනදී කථානායක නිෂ්ක්‍රීය චරිතයක් වෙනවා. කතානායකටම බැසිල් ගැන ඇති උන දයානුකම්පාවෙන් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තියනවා.

ඇත්තටම මේ ආයවෑයෙන් බැසිල් විතරක් නෙවෙයි පාර්ලිමේන්තු සම්ප්‍රදායනුත් හෑල්ලු උනා.

කතානායක තව පාරක් ෆේල් උනා. ඇත්තටම රටේ රාළ අයවැය ගැන මේ කරන්නේ දේශපාලන විග්‍රහයක්. ළගදී සංඛාත්මකව විග්‍රහයක් කරන්නම්. එතකන් මේ ටික විතරක් කියන්නම්.

මේ අයවැයට අනුව 2022 අවුරුද්දේ රටේ ආදායම රුපියල් කෝටි 228,400 යි. වියදම 524,500 යි. අයවැය හිඟය රුපියල් කෝටි 296,100 යි. රුපියල් කෝටි 320,000 ක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ අපේ බදු ආදායම රුපියල් කෝටි 132,500 යි. ලබන අවුරුද්දේ ඒක රුපියල් කෝටි 198,700 දක්වා වැඩි කරන්න මෙයාලා බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ තවත් අමතර රුපියල් කෝටි 66,200 ක් ජනතාව මත පටවනවා. ඒ කියන්නේ ඇත්තටම උද්දමනය කොහොම ඉහල යයිද? බඩු බිල අහස උසට නෙවෙයි බ්‍රහස්පති කිට්ටුවට යනවා. ලෙව කන්න නෙවෙයි වහ කන්න තමයි වෙන්නේ.

අද මේ තියන තත්වයට තවත් කෝටි 66,200 ක් පැටෙව්වහම කොහොම තියෙයිද?

ඊළඟට මේකත් අහගන්න ලබන අවුරුද්දේ අපි පියවන්න ඕනි ණය හා පොළී ප්‍රමාණය රුපියල් කෝටි 269,600 ක්. හොදට බලන්න මේ ණය ප්‍රමාණය අපේ ආදායමට වඩා වැඩී. ආදායමට වඩා රුපියල් කෝටි 36,200 වැඩී. ඉතින් කවර කතාද.

කොහොම හරි අයවැය සම්බන්ධ රටේ රාළගේ සරළ විග්‍රහ මෙච්චරයි මේ අයවැයෙන් සාමාන්‍ය ජනතාවට සෙතක් නෑ. ගොවියට, කම්කරුවට, පීඩිතයට ලොදත් නෑ. සාමාන්‍ය ජනතාවට නිවන් සැපම තමයි. නැත්තං වෙන්නේ දෙව් මවි තුරුලේ සාමදානයෙන් සැතපෙන්න තමයි.

හැබැයි මෙතන එක දෙයක් තියනවා. බැසිල් වට වන්දනාවේ ගිහින් තිස්තුන් කොටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශීර්වාදයෙන් ගෙනාව අයවැය ෆේල්. වැඩේ කියන්නේ ඒක වෙනුවෙන් වෙහෙසවපු මොළ හතම ෆේල්. ඇත්තටම ජනාධිපති සිහිනය ඔළුවේ තියාගෙන ඉදිරිපත් කරපු මේ අයවැයෙන් බැසිලුත් ෆේල්. ජනාධිපති සිහිනයත් බොඳ උනා වගේ තමයි රටේ රාළට නං දැනෙන්නේ. අපරාධි.

 

එහෙනම් ගිහින් පණ පිටින් හිටියොත් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 


 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්