ස්පාඤ්ඤයේ පැරාලිම්පික් මලල ක්‍රීඩිකා එලේනා කොංග්මෝස්ට් (Elena Congost)ගේ කරුණාව නිසා ඇයට ලෝකඩ පදක්කමට වඩා බොහෝ දේවල් අහිමි වුනා.
පිරිහෙන දෘශ්‍ය දුබලතාවෙන් යුතුව උපත ලද මේ ක්‍රීඩිකාව පැරිස් පැරිලිම්පික් ක්‍රීඩා උළෙලේ T12/B2 මැරතන් තරගයේ නුසුදුසු තරගකාරියක් ලෙසින් ඉවත් කරනු ලැබුවේ තරගයේ අවසානයට මීටර් දහයක් පමණක් තිබියදී.
සිය හොඳම දක්ෂාවය වූ 3:00:48 කාලයක් සටහන් කළ ඇයට ලෝකඩ පදක්කම අහිමි කරනු ලැබුවේ ඇය සහ ඇගේ මාර්ගෝපදේශකයාව සම්බන්ධ කරන ලණුව කොංග්මෝස්ට් විසින් අතහැරීම නිසා.
ඇගේ මග පෙන්වන්නා වූ මියා කැරල් බ්රුගේඩා (Mia Carol Bruguera) සමග සම්බන්ධව සිටි ලණුව තරගයේ අවසන් රේඛාව අසලදී ඇය අතහැරියේ බ්රුගේඩා ට ඔහුගේ කෙණ්ඩා පෙරළීමත් සමග කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙමින්. එහෙත් මෙසේ උපකාර කිරීම පිණිස ඇය තුළ පහළ වූ ඒ ක්ෂණික කරුණාවන්තකම නිසා කොංග්මෝස්ට් ට පවුම් 25,000ක මුදලක් අහිමි වුනේ ඇය මේ ඉසව්ව වෙනුවෙන් පනවා තිබෙන දැඩි නීති උල්ලංඝනය කළ බැවින්.
එම නීතිවලට අනුව පෙනීමේ දුබලතාවෙන් පෙලෙන ක්‍රීඩිකාවන් වෙනුවෙන් තිබෙන T12 තරගයක් අවසන් වන තෙක්ම තරගකරුවන් ඔවුන්ගේ මග පෙන්වන්නන් සමග කඹයකින් බැඳී සිටිය යුතු වෙයි.
“කාරුණික චේතනාවෙන් මා කළ ඒ ක්‍රියාව නිසා මට පදක්කම වෙනුවෙන් තිබෙන යුරෝ 30,000ක තෑගි මුදල හා මගේ දරුවන්ගේ ආහාර සඳහා යන වියදම වන මගේ මාසික වැටුපත් මට නැතිවුනා” යනුවෙන් කොංග්මෝස්ට් ABC පුවත් සේවයට කියා සිටියා.
“මට වැඩියෙන්ම වේදනාව දැනුනේ ඒ නිසායි. මලල ක්‍රීඩාව මගේ ආශාවයි. නමුත් මම සෑම උත්සාහයක්ම ගන්නේ මගේ පවුල හා මගේ දරුවන් වෙනුවෙන් ආර්ථික ස්ථිරබවක් ඇතිකර ගන්නයි. මොකද, අවසානයේ එය මගේ රැකියාව නිසා.”
“සිවු වතාවක් අම්මෙක් වීමෙන් පසුව අවුරුද්දක් ඇතුළත මම දැවැන්ත උත්සාහයක් ගත්තේ වඩා හොඳ පවුල් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට සහ මගේ මහත් ආශාව මෙන්ම මට වරප්‍රසාදයක් වන මලල ක්‍රීඩාවේ රැකියාව කරන්න.”
“නමුත් ඒ සියල්ල මගේ ඇස් ඉදිරිපිට මගෙන් උදුරා ගනු මම දුටුවා. මම කළ සියළු දේවල් අද කිසිම වැඩකට නැති දෙයක් වෙලා.”
“මම මගේ පවුල වෙනුවෙන් ඉතාම ලොකු උත්සාහයක් දැරුවා. මම එහි ප්‍රතිඵලය ලබා ගත්තා. නමුත් මට පෙනි පෙනී ඔවුන් මගෙන් එය උදුරා ගත්තා.”
පදක්කම් පිරිනමන කුඩා වේදිකාවේ තමා නොසිටින බව දැනගත් මොහොතේ තමාගේ දරුවන්ගෙන් දෙදෙනෙකු ද එම ස්ථානයේ සිටීම නිසා කොංග්මෝස්ට්ගේ වේදනාව දෙගුණ තෙගුණ වුනා.
“මගේ දරුවන්ගෙන් අවුරුදු හයේ සහ හතරේ වැඩිමල් දරුවන් දෙන්නා එතන හිටියා” යැයි ඇය ඉතාමත් දුකින් පැවසුවා. “මම දුවනවා එයාලා දැක්කා. එයාලා මාව දිරිගැන්නුවා. මම පදක්කම දිනන හැටිත් මම ඒක නැතිකර ගන්න හැටිත් ඒගොල්ලෝ දැක්කා.”
“වෙන කරන්න කිසිම දෙයක් නැති බව ඔලිම්පික් බලධාරීන් මට කියපු ගමන්මයි මට මගේ දරුවන්ව මුණගැසුනේ. මම කෝපයෙන් සිටින හැටිත්, හදවත බිඳී සිටින හැටිත්, මම අඬන හැටිත් එයාලා දැක්කා.”
“හැමෝම හිටියේ හඬමින්. සාදයක් වෙනුවට එතන තිබුනේ දුක්බර තත්ත්වයක්. මම ඔවුන්ව සන්සුන් කර, කෙනෙකුට උදව් කරන්න ගියාට අපිට දඬුවම් කරල තියෙනවා කියල ඔවුන්ට තේරුම් කර දෙන්න උත්සාහ කළා. නමුත් ඒ දේවල් එයාලට තේරුම් ගන්න බැහැ.”
“කැඩිය යුතු නීති තිබෙනවා. නීතිය නීතිය ම යි. නමුත් ඉදිරියට යන්න නම් ඔබ ඒ නීති කැඩිය යුතුයි.”
බොහෝ දෙනා මෙන් කොංග්මෝස්ට්ගේ ද මතය වන්නේ ඇයව තරගයෙන් ඉවත් කිරීම පැරාලිම්පික් ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි බවයි.
“සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස හෝ පුද්ගලයන් වශයෙන් අපට ලෝකයට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන වටිනාකම් මේවා නෙවෙයි” ස්පාඤ්ඤ පැරා ක්‍රීඩිකාව සඳහන් කරනවා.
කොංග්මෝස්ට් ට ලැබීමට තිබූ ලෝකඩ පදක්කම අවසානයේ පිරිනැමුනේ ජපානයේ ක්‍රීඩිකාවකට.
තමාව තරගයෙන් ඉවත් කර ඇති බව දැනගත් විට තමා මහත් කම්පනයට පත්වූ බව කොංග්මෝස්ට් ස්පාඤ්ඤයේ ජාතික දිනපතා ක්‍රීඩා පුවත් පත වන Marca ට ප්‍රකාශ කළා..
“ඇත්තම කියනාව නම්, මට දැනෙන්නේ දැඩි ශෝකයක්. මොකද, මම ඒ පදක්කම දිනලයි තිබුනේ. ඔබ ළඟ සිටින කෙනෙක් බිම වැටෙන්න යද්දී ඔහුට උදව් කිරීම ඕනෑම මිනිසකු තුළ ඇතිවන ක්ෂණික ක්‍රියාවක්.”
“නමුත් ඔවුන් කියන්නේ මම තත්පරයකට ලණුව අතහැරපු නිසා වෙන කරන්න දෙයක් නැහැ කියල. මට ඒක තේරෙන්නෙ නැහැ. තරගයේ අවසානයට මීටර් 10ක් තිබියදී ඔවුන් මාව නුසුදුස්සෙක් කළේ මම තත්පරේකට ලණුව අතහැරිය නිසා.”
“එය වංචාවක් නෙවෙයි. ඒ දඬුවම ක්‍රීඩකයෙකුව ඇදගෙන ගිය නිසා නෙවෙයි. මට දැන් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒක හරිම අසාධාරණයි...විකාර රූපී යි.”
එලේනා කොංග්මෝස්ට් නුසුදුස්සකු ලෙස තරගයෙන් ඉවත් කිරීමේ ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටු තීරණයට අභියාචනය කිරීමට ස්පාඤ්ඤ පැරාලිම්පික් කමිටුව කටයුතු කරමින් සිටිය ද ඒ ගැන වැඩි බලාපොරොත්තුවක් මේ 36 හැවිරිදි ක්‍රීඩිකාවට නැහැ.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී