මහියංගණ තොටමුණ අසල තුරඟ සල්පිලය. නා නා විද තුරඟුන්ය. එක එක පාට එක එක වංශ අශ්වයන් සේමය. අස්රියද නා නා විදය. නා නා  විද

තුරඟුන්ද නා නා අස්රියද බලමින් තිදෙනාම සැල් වටා ගමනේය.

මිතුරන් තිදෙනාගේ තුන්කොන් ආශාව පැහැර ගන්නේ දුඹුරු තුරඟුන් බැඳි රක්ත තුරඟ රියටය. තුරඟ රිය මිලදී ගත් තිදෙනා රියට නැඟී වට පිට බැලීය. අස්රියට නැඟුණු විට තිදෙනාටම තමතමන් ගැන අමුතු එඩියක් නැඟුණා වැනිය. එම එඩිය හිතට ගෙනා සවිය කුල්මත්ය.

හේෂාරාවයක් නැඟී හාත්පස විහිද යත්ම තොටමුණ වටා සිටි පිරිසම ඒ දෙස බැලීය. තුරඟ රියේ සිටින තරුණයන් තිදෙනා රජුන් වැනියැයි ඔවුනට සිතුනේය. වටපිට සැල් වල ජනයාද වෙළෙන්දන් බලන බැල්මට තු‍ටු සිතක්ම උපන්නේය. තිදෙනාම තිදෙනාගේ මුහුණ බලා සිනැහි යලි අහස බැලීය. වලා යායවල් සේල වගේය.

පාවි පාවි ඇඳී යන්නේය. වළා සේල අහසින් නෙත් ගත් තිදෙනාගේත් නෙත් එකට හමු වුනේ නිතැතින්මය.

''කවර දෙසට ගමන් අරඹමුද ?

අගනුවර අනුර නුවරටම මිස වෙන කවර දිශාවටද ? ''

තිස්ස විමසූ පැනයට පිළිතුරු පෑවේ අභයය.  බෝධි දෙදෙනාගේ පැන පිළිතුරු සිතමින් හිනැහුනා මිස කිසිත් නොකීවේය. කිසිවක් නොකියන මිතුරා දෙස මිතුරන් දෙදෙනාම බලා හිඳියේය. මිතුරා නිහඬ සිනාවේය. කිසිත් නොදොඩාම සිනහාවේමය.

සැළවි කුරුල්ලෙකු අහසින් පියඹා මහියංගණ මහාසෑය දෙසට පියා සැලුවේ මේ අතරය. සැලවි කුරුල්ලා මියුගුණ සෑයට පියඹා ගියේ ඇසිල්ලේමය. මියුගුණ මහා සෑයේ ඝංඨා නාදය හාත්පස දෙදරවා හඬ නැඟුවේය.

සැනෙකින් මහියංගණ තොටමුණ සැල් පුරාද ජනී ජනයාද පුවත දැනගත්තේය.

 

7152xප්‍රසන්න වීරක්කොඩි සිතුවමකි පුවත තුරඟ රියේ සිටින මිතුරන් තිදෙනාගේ දෙසවන් පත් වූයේ මොහොතකිනි. දෙවැනි සිරිනාග රජතුමා මිය ගිය පුවතය. වෝහාරික තිස්ස රජතුමාගේ පුත්‍රයා වූ සිරිනාග ලක් කිරුළ දැරුවේ යාන්තම් දෙවසරකි. දෙවසරක් ඇවෑමෙන් ඔහු කිරුළද දිවියද අතහැර යන මොහොතය. ඒ මොහොතේම අස් රියක් මිළට ගෙන එයට නැඟී අනුර නුවරට පැමිණෙන මේ මිතුරන් සිදුවීම ගැන බොහෝ දේ සිතුවේය.

 

මනරම් අනුරාධනුවරට පිවිසි විට ඔවුහූ තිසා වැව් අන්තයෙන් නුවරට පා තැබූහ. තිදෙනා අස්රිය තිසා වැව් ගිමන් සංහිද හි නවතාලීය. සිත්කළු නුවර සිරි දු‍ටුමින් පා ගමනින් ඇවිද යන්නට වූහ. දෙවන සිරිනාග මිය ගිය විට එතුමාගෙන් කිරුළ ඔහු පුතු විජයදු හෙවත් විජය කුමාරයාගේ හිස මත ප්‍රාප්ත වන මොහොතය.

තිසා වැව් අගින් නුවර පා නඟන මේ මිතුරන් තිදෙනාගේ පා හඬ සවන් පත් අන්ධ දේහනාද පණ්ඩිතයා මවිත විය. ඔහුගේ ශාස්ත්‍ර  ඥාණයේ අවදිය සඟවා තබා ගත නොහැකි විය. දේහනාද පණ්ඩිතයා ගේ මුවින් ස්වංසිද්ධව වදන් පිටවිය.

'' මේ පොළො හිමියන් තුන් දෙනා පෘථිවි තොමෝව උසුලන්නේමය...''

දේහනාද පණ්ඩිතගේ වදන් ඇසුමෙන් තිදෙනා තවත් කුල්මත් විය. එය මහියංගණ තොටමුණින් නැඟුණ හේෂාරාවයටත් වඩා උණුසුම් පුවතකී. අනුරාධ නුවරට පා තබන්න සිතන විටම සිරිනාග රජු මළ පුවත ලද විට ලද උණුසුමටත් වඩා උණුසුම්ය. උණුසුමෙන් තිදෙනා විත් නතර වූයේ රාජාංගණය පාමුලය. බිහිදොර විවර විය.

මහියංගණයෙන් සැපැත්ව ඇති අයස්කාන්තයන් තිදෙනාම වහා කැඳවන්නැයි රජු විජය කුමාර අණ දුන්නේය. රාජකීය අණ අකුරටම ක්‍රියාවට නැංවීය. බිහිදොර රාජ ද්වාරය අසලට කැඳවා ගෙන පැමිණි මිතුරන් තිදෙනා එහි සිට රාජ මණ්ඩපයට කැඳවා ලීය. විජය කුමාර රජු එක එල්ලේම නෙත දී බලා සිටියේය. තිස්ස, බෝධි සහ අභයද නෙත් රජුට දී බලා හිඳ වැඳ වැටී ආචාර සමාචාර දැක්වූවේය.

'' තොප තිදෙනා දු‍ටු පමණින් බැඳී ගියෙමි. ''

විජය කුමාර රජතුමා ප්‍රීතියෙන් යුතුව කීවෙය. රජුගේ ප්‍රීතිය කෙතරම්ද යත් මිතුරන් තිදෙනාම තම සමීපයට ගන්න තරම් මනාප සිතක් පහළ විය. විජය කුමාර රජතුමා තුන්දෙනාවම තම රාජෝපස්ථානයට පත්කර ගනිමින් රාජ ගෘහයේම වාසි කොට ගත්තේය.

 

මේ ක්‍රිස්තු වසරින් දෙසිය හතළිස් එක්වැනි වසරේය. ලක් ඉතිහාසයේ මේ ගෙවී යමින් තිබුණේ විටෙක පටලැවිලි සහිත කාල සමයක්ය. එයට තුඩු දී තිබූ ප්‍රබල හේතුව වූයේ මහා විහාරය සමඟ තරඟකාරීව අභයගිරිය නැඟී ඒමත් එයට ප්‍රතිවිරෝධීව මහා විහාරය නැඟී සිටීමේ ව්‍යායාමයත්ය. එය පෙරළා ථෙරවාදය සහ මහායානය අතර දාර්ශණික භේදයේ ප්‍රායෝගිකත්වය වූවේය.

 

දර්ශණවාදයන් ප්‍රායෝගී වූයේද තම දැක්මට අවනත දේශපාලන බලය තනා ගැනීමට උත්සුක වීමෙන්ය. ඒ අනුව එම අරගලයෙන් ථෙරවාදය ජය ලබන්නේ විජය කුමාර රජතුමාගේ මුත්තනුවන් වූ වෝහාරික තිස්ස රජුගේ රාජ්‍ය පද උදානය සමඟය.

ඒ සමඟ අභයගිරියෙන් වෙන්වී සිටි වෛතුල්‍යවාදීන් රාජ්‍ය මර්දනයට ලක්විය. වෛතුල්‍යවාදීන්ගේ පරාජය සමඟ අභයගිරි භික්ෂු ප්‍රවාහයද පසුපසට විසිවී ගියේය. ඒ වාතාවරණය සමඟ ථෙරවාද සංඝයා වහන්සේලා රාජ්‍ය බලය තම රිසි පරිදි හැසිරවීමේ තත්වය උද්ගත වන්නේය.

මෙම තත්වය රාජ්‍ය බලය සඳහා රජු හා රජුගේ සහෝදරයන් අතර ගැ‍ටුම දක්වා දුර දිග ගියේය. එහි දුර දිග පැටලීමේ කලබලය උනඋනුන් මරාගන්නා වසර ගණනාවක දීර්ඝ ලේ ගලන ගැ‍ටුමක් විය.  එහි ප්‍රතිඵලය ලෙස වෝහාරික තිස්ස රජු මරා දමා ඔහු සොයුරු බලයට ඒමට මාන බැලීමය.

 The Kelaniya Great Temple of Sanctity, Sri Lanka

වෝහාරික තිස්ස රජුගේ මල්ල වූ අභයනාග ඒ සඳහා සිදුකලේ අයියාගේ බිසව සමඟ සංසර්ග රාගයේ වෙලීමය. සංසර්ග රාගී අගබිසව මාර්ගයෙන් අයියා මරා රජවීමය. මේ සංසර්ග රාගී කුමන්ත්‍රණය යට සිටියේ බලකාමී අභයගිරියේ දේශපාලන භික්ෂූන් වහන්සේලාය. අවසානයේ වෝහාරික තිස්ස මරණයට පත් වී අභයනාග රජ වූවේය.

 

අභයනාගගේ රාජ්‍යය ඔහු ඇවෑමෙන් ඔහු පුතුට අත්පත් වීමට ඉඩ දීමට බැරිය. එය මා ගත යුතුයැයි සිතූ වෝහාරික තිස්ස රජු පුත් සිරිනාග සුළුපියාද පුතුද මරා මහා විහාරයේ දේශපාලන සංඝයා වහන්සේලාගේ ආධාරයෙන් බලය ලබා ගන්තේය.

මෙසේ රජ වූ සිරිනාග දෙවන සිරිනාග ලෙස රජවී මිය ගියේ විජය කුමාර නම් ඔහුගේ පුතුට රාජ්‍ය ලබා දීමෙන්ය. විජය කුමාරගේ පසඟ උපස්ථායකයන් ලෙස මෙලෙස පත්වූ මිතුරන් දැන් හැමෝගේම මිතුරන්ය.

තිදෙනාට හැම කල්හි සිහිපත් වූයේ අනුරනුවර පා තබන දා වූ සිදුවීමය. ඒ සැනින් හදවත් දෝංකාර නංවන්නට  පටන් ගත්තේ දේහ නාද පණ්ඩිතගේ වදන්ය. දු‍ටු මතින්ම තමන් තිදෙනා රජුගේ මනාප රිසියන් වූයේ පෙර පිනටය. එය උදාකර ගත යුතුමය. තිදෙනා කාටත් රහසින් කතිකා කොට ගත්තේය.

තිස්ස, බෝධි සහ අභය කල් යල් බලමින් සිටියේය. රජෙකු රාජෝපස්ථානයෙන් සතපොවමින්ම සිට ඵලක් නැත. රජ සුව අපම ගත යුතුය. ඒ සඳහා තිදෙනා දෙකට බෙදී වාදභිමුඛ පසමිතුරන් සේ හැසිරෙමින් සංඝ භේදයද භාවිත කලේය. දෙපිළේම දේශපාලන සංඝයාගේ ප්‍රාර්ථනා ඉෂ්ටාර්ථ කරන්නන් බවට මේ තිදෙනා කෙමෙන් පත් විය.

කාලය තමන් තිදෙනාට මොහොත දී ඇති බව වැටහී ගියේය. මේ මොහොතය. තවත් කල් බලා සිටීමට හේතුවක් නොවීය. විජය කුමාර රජු සමහන් මැඳුරට පෙරදා සේම පැමිණියේය. මිතුරන් තිදෙනා මී තෙල් පහන් යාය දල්වමින් පැමිණියේය. පොකුණ තලය පහන් සිළු එළි පතිතව තඹුරු මල හිනහේ. රජු විජය කුමාර පෙර පරිදිම මනස්කාන්ත දිය සිත්තමහි දෑස ඔබා මනමත්ව සිටියේය. මිතුරන් තිදෙනාම රජු වට කොට ගෙන ගෙල සිඳ දැමුවේය. විජය කුමාර රජුගේ හිස හිනැහෙන තඹුරු විලේ පතිත වී පාවි ගිලී ගියේය.

''වහා දුව යනු. ගොස් නුඹ කිරුළ හිස පළඳා රාජාසන මස්තකවනු !

මම !

ඔව්. නුඹ මා මිතුර නුඹ. පළමුව නුඹ රජ විය යුත්තේය....’’

ක්‍රිස්තු වර්ෂ දෙසිය හතළිස් දෙකේදී තම එක් අවුරුදු පාලනය නිමා කරගත් විජය කුමාර රජු සමහන් කුටියේම ඝාතනය විය. තිස්ස ලක් කිරුළ දරමින් සංඝතිස්ස නමින් රජ වූයේ රටවැසියා මවිතයෙන් මවිතයට පත් කරවමිනි. එය හරියටම යසලාලකතිස්ස රජතුමා ඝාතනය වී සුභ රජ වූ රාත්‍රිය වගේය.

මේ හරියටම ඉන් වසර එකසිය අසු අටක් ගෙවී ගිය දවසකය. සංඝතිස්ස ලක් රජය තම උරුමව ලද වාසනාවෙන් උදම්ව තු‍ටු ප්‍රීතියේ රට ගිල්වාලූයේ රට වැසියාට ජම්බු බෙදමින්ය. එබැවින් එතැන් පටන් රට වැසියා සංඝතිස්සට කීවේ ජම්බු තිස්ස කියාය. රජුට තිබුණේ පුදුම සහගත ජම්බු ලෝලයකී. සංඝතිස්ස   රජතුමා ජම්බු අනුභවයට කෙතරම් ප්‍රිය වූයේද යත් ඔහුගේ ආශාව රජ වූවිට රාජකීය බලය සමඟ ඔද වැඩී ගියේය.

 

ඒ නිසා මේ කාලය තුළ ලක්දිව හැම තැනම ජම්බු වවන්න රජු ක්‍රියා කලේ ''දඹ උයන් දිවි උයන්'' නමින් දඹ ( ජම්බු ) උයන් හැම අත පතල කලේ සංඝතිස්ස රජුය. සැබැවින්ම රජුගේ ජම්බු ලෝලය කෙළවරක් නොවීය. ඔහු රාජකීය සේවයට පවා දඹලේනා නමින් ධූරයක්ද ස්ථාපිත කලේය. එනම් ජම්බු කටයුතු භාර ලේකම්වරයාය. ඔහුට පැවරුණු කාර්ය වූයේ රට සතර අත ජම්බු ප්‍රචලිත කිරීමය.

 

ඒවගේම රජුගේ අනුභවය සඳහා ප්‍රණීත හා විවිධ දුර්ලබ ජම්බු ඇති ස්ථාන සොයා දැන්වීමය. දැන්වූ විගස රජු රටේ කවර දෙසක තිබුණද ඒ ගමට දඹ චාරිකා නමින් චාරිකා චාරිත්‍රයක් පටන් ගත්තේය. ජම්බු චාරිකාවට වඩින රජු පිළිගන්න ගම්මු සැදී පැහැදි සිටියහ. තම ගමට පැමිණ තම ගසින් ජම්බු රස බලන රජු ගැන පුදුම ගෞර ආලයකින් හුදී ජන සිත් ආශ්වාද වූවේය.

හන්දියක් මංසන්ධියක් ගානේ ජම්බු තුරු සි‍ටුවා රට පුරා ජම්බුය. බැලූ බැලූ අත ජම්බු උයන්ය. සංඝතිස්ස රජුටද වෙන වැඩක් නොවීය. රසවත් ජම්බු ඇති ගමක් ගෙවත්තක් ගැන දඹලේනා දැන්වූ විගස එහි යන්නේය. රජෙකුගේ රාජකීය කාර්ය කවරක් තිබුණද ඒ සියල්ල අහෝසි කර එහි යෑම ඔහු ප්‍රමුඛත්වයේම තැබුවේය.

 

මිතුරු ඇසුරක් සුරා පානයක් හෝ දා කෙලියක් ගැන රජුට වුවමනාවක් නොවිනි. අඩුම තරමේ රාජකීයත්වය සමඟ රජුට උරුම වූ සුරූපී අන්තංපුර ළඳුන් වේවා රජු භාවිත කලේ ජම්බු කෑමටය. පසුකල් යත්ම රජු ජම්බු චාරිකාවට ගියේ අන්තංපුර ළඳුන් පිරිවරාය. අසීමිත ධනයක් වැය වූ මේ ජම්බු චාරිකා රට වැසියා කුල්මත් කල තරම්ය. නමුත් කල් යත්ම එය ජනතාවට හිසරදයක් වන තරම් විය.

 

දැනුමැති ජනයාගේ ඉවසීමේ සීමාවටම පැමිණේ. නමුත් රජු රසවත් ජම්බුම සොයයි. විවිධ රසයන් විවිධ පැහැයෙන් විවිධ හැඩයෙන් ජම්බු සොයා ගෙනැවිත් රජුගේ භාණ්ඩාගාරයෙන් වස්තු ලබා ගැනීමේ රැවටිලිකාරයන් බිහිවිය. ජනතාවට තිබුණේ රජුට ජම්බු සොය සොයා දීමය. වෙනත් වැඩක් නොවීය. සැබැවින්ම රජුගේ සිතැඟි අනුව ජම්බු ඵල දරන්නේ නැත. ජම්බු වුවද ඵලදරන කාලයක් වේලාවක් ඇත.

කල්යත්ම රජුට බලකාමය ජම්බුකාමය එක්වූ අමුතු කාමයක් බවට ඔහුගේ ජම්බුකාමය පත්විය. විනෝදයත් සතුටක් දැනවූ අහිංසා ලෝලත්වයක් වුවද රජෙකුසේම උමතුව රටට  මහ බරක් වන්නට කල් නොගියේය.

රජුගේ අසීමිත ජම්බුකාමය පිනවීමට මං නැති විට කල හැකි එකම මඟ ජම්බු ආනයනයය. ඒ අනුව යාබද රට රටවල් වලින් අමුතු ජම්බු ගෙන්වීමද සිදුවේ. සංඝතිස්ස රජතුමා ඒ තරම්ම ජම්බු උමතුවේ  උමතුවෙකු විය.

දඹලේනාටද දැන් ජම්බු සොයා දෙන්නට බැරි තරම්ය. සංඝතිස්ස දැන් වසර හතරක රජකම දරාය. මේ වසර හතර තුළම ඔහු සිරිලක දන්නා හැම ගමකම ගොස් ජම්බු කෑවේය. දිනෙක ජම්බු ලේනාට අමුතු ආරංචියක් ගෙන ''වන්නි දණ්ඩා'' පැමිණේ.

 

jambu  

වන්නි දණ්ඩා යනු වන්නි මහවනයේ දණ්ඩ නායක වන්නියා හෙවත් දණ්ඩ පුරුෂයාය. ඒ අනුව වන්නි දණ්ඩා අපූරුම ජම්බු වර්ගයක් ඇති තැනක තතු විත්තියක් රජුට ඔප්පු කලේය. රජු පස්වනක් ප්‍රීති ප්‍රමෝදයේ ඉපිලී ඒ අමුතුම අමුතු ජම්බු සොයා චාරිකාවට පිවිසෙන්නට අණ කලේය. වන්නි දණ්ඩා කී ජම්බු තිබුණේ මන්නාරම් දූපතකය. මන්නාරම් දූපත් ජම්බු රසවිඳ සංඝතිස්ස රජතුමා සතුටේ ඉපලුනේය.

 

මෙතුවක් මෙතරම් රසබර ජම්බු ඔහුට කිසි කලෙක බුදින්නට නොලැබිණි. ඔහු දැන් මන්නාරම් ජම්බුම සොයා සතිපතා මන්නාරම් දූපතට යයි. තනිවම නොව අන්තංපුර ළඳුන් පිරිවරාය. මන්නාරම් දූපත් වාසීන් සතුටේ කිමිදුනේ දන්නා ඉතිහාසයේ පළමු වතාවට රජ උතුමෙකු තම දූපතට පය තිබූ සතුටටය. කල්යත්ම රජතුමා මිතුරෙකු තරම් ළබැඳිය. දූපතට සතිපතාම පැමිණේ. රසට රස රතට රතේ සුවඳ බේරෙන ජම්බු සුරතින්ම නෙළමින් බුදි.

රජෙකු පැමිණි විට පළාතම පිපිදේ. මෙසේ වුවද කල් යත්ම මන්නාරම් දූපත් වාසින්ට මේ ජම්බු රජතුමාව වදයක් වූයේය. කෙතරම් අගයක් ගෞරවයක් වුවද රජෙකුගේ රාජකීය බර ජනතාවට වදයක් වන්නේය. රජෙකුට අනුව තම පුරුදු පිළිවෙත් වෙනස් කරගෙන පැවතීම ජනතාවට හිසරදයක් තරම්ය. ඒවගේම ජම්බුලෝලී  රජෙකු සිංහාසනයේම නංවාගෙනම රටම විපතක වැටී ඇතැයි වැටහුණේය.

අහඹු සිදුවීමකින් ලක් රජ කිරුළ උරුම කරගත් මිත්‍රයන් තිදෙනාගෙන් පළමු කුමරු මේසා ජම්බු ප්‍රේමයෙන් උමතුව සිටියේය. රජතුමා ප්‍රමුදිත කරමින් මන්නාරමේ ජම්බු ඇති තරමට හැදී වැඩුනේය. කවි මාලකයෙන් ගී නාදකයන් නෘත්‍යචාරයන් ජම්බු ගැනම නිර්මාණ ගොතා රජුට ගැයුවේය. වැයුවේය. නැ‍ටුවේය. රාජ්‍ය නිළධාරීන් ජම්බු ගැනම පුවත් මවමින් රජු තු‍ටු සතුටේ කිමිදෙව්වේය.

 මන්නාරම් ජම්බු සොයා ගෙන රජු ඒමෙන්ම මන්නාරම් තොට වෙළඳාමට බාධා විය. මන්නාරම් කෙවුල් ජනයාටද වද කරදර විය. මුතුපර කිමිදෙන්නන්ටද වදයකී. සියළු වැඩ නවතා රජුගේ ජම්බු චාරිකාවට පැහැදී සිටිය යුතු විය.

 

මුලදී ජනයා විදි රාජ සම්මත ගෞරවය කෙතරම් උමතු වදයක් බවට පත් වුවාද කියන්නේ නම් ජම්බු රජ්ජුරුවන්ට ජම්බු පිස්සා යැයි ජනතාව කියන්නට පටන් ගත්තේය. මේ ජම්බු පිස්සා පළවා හැරීමට මඟක් නැතිව ළතවූවේය.

 

ඒත් සංඝතිස්ස  රජුට මේ ගැන වනේ වගක් නැත. ඔහු රිසිය ජම්බුය. ඔහු පැතුම් ජම්බුය. ඔහු ප්‍රීතිය ජම්බුය. ජම්බුම සොයා ජම්බුම වෙනුවෙන් ඔහු රජ පදවිය භාවිත කරයි.


ලක් කිරුළේ රාග උමතූන් ගැන ලියවී ඇත. සුරා ලෝලීන්ද ඇත. ස්ත්‍රී ලෝලීන්ද කලා ලෝලීන්ද වේ. ඒ අතර පරිසර ලෝලීන්ද මෙන්ම යුධ ලෝලීන්ද වන්නේය. ඒත් ජම්බු ලෝලියෙකු වන්නේ සංඝතිස්ස රජතුමාය. මේ ජම්බු උමතුව කෙතරම් ජනප්‍රිය වුවද කාලයකදී එය ජනතා වෛරයට පාත්‍ර විය.

සිදුවූයේ මන්නාරම් දූපතේ ජම්බු වලට වස කවා තැබීමය. සංඝතිස්ස රජතුමා පෙර පරිදිම විත් තු‍ටු ප්‍රීතියෙන් පිබිද තම සුරතින් නෙලා ජම්බු බුදින්නට විය. මොහොතකින් ජම්බු තුරු වදුලේම ජම්බු තිස්ස ජීවිතක්ෂයට පත්විය.

ඒ ලක් කිරුළ ජම්බු වෙනුවෙන් පුද දුන් සංඝතිස්ස රජතුමාගේ අවසානයය.



ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



වායාම පසුගිය ලිපි 35 මෙතනින්


 
 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්