ඇය ‘‘හම්ම්ම්...’’ යැයි පවසමින් හිස වනා ඇගේ ශ්වෙත වර්ණැති දසන් විදා ආදරණීය ස්මිතයක් පෑවා ය.
ඒ සමග ම ඇගේ දෙනෙත් තුළ ආයාචනයක් මුසු ආරාධනයක් ද සටහන් වී තිබිණ. ඒ ආරාධනය ද ආයාචනය ද වෙන් වෙන්ව හඳුනාගන්නට ප්‍රතිෂ්ඨ සමත් විය. ඔහු එම ආරාධනාවත්, ආයාචනයත් පිළිගත්තේ ‘‘හම්ම්ම්’’ යැයි කොඳුරමිනි.
ඒ ආරාධනයට අනුව යළිත් වරක් රස සාගරයට බට ප්‍රතිෂ්ඨ සහ සචේති අඩ හෝරාවක් ද ඉක්ම වූ කාලයක් එහි: පිහිනා, කිමිදී, දියබුං ගසා තුටු පහටු වූහ. අවසන දෙදෙනාගේ ම වෙහෙස නිවාගනු වස් සාගර වෙරළේ ම වැතිරුණහ: පළමුව යළිත් පියවි ලෝකයට පිවිසියේ ප්‍රතිෂ්ඨ ය. ඔහු දෙනෙත් විවර කර බලන විට සචේති ඔහුගේ දකුණතට ඇගේ සිරුරේ බර එක් කරමින් ඇගේ දකුණත ඔහුගේ බඳ වටා දවටාගෙන ගැඹුරු නින්දක ගිලී සිටියා ය. සයනයෙන් ඉවත්ව පසෙකට වී ඔවුන් දෙදෙනා දෙස සිනාමුසු බැල්මක් හෙළමින් සිටින සාළු යුවළ ගෙන එක් සාළුවකින් තම සිරුරේ නිරුවත ආවරණය කරමින් අනෙක් සාළුවෙන් සචේතනීගේ නිරුවත් සිරුර ආවරණය කිරීමේ වුවමනාව ඔහුට දැඩි ලෙස දැනී තිබිණ. මන්ද ඇය මීට හෝරාවකට පමණ පෙර කුමනාකාරයෙන් ක්‍රියා කළ ද නින්දෙන් පිබිදුණු සැණින් ඇගේ හිරි කොවන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. එහෙත් ඔහුට සියත පිටතට ගන්නට සිත් නොදිණ; ඒ, ඇය ඇහැරෙතැයි යන සැකය හේතුවෙනි. ඔහුට අවශ්‍යව තිබුණේ ඇයට රිසි කාලයක් නිදන්නට ඉඩ හැරීම ය.
තත්ත්පර කිහිපයක් ඇය දෙස බලා සිටි ප්‍රවිෂ්ඨගේ සිතට ඇය කෙරෙහි ආදරණීය හැඟීමක් මෙන් ම අනුකම්පාසහගත භාවයක් ද ජනිත විය.
‘ඇත්තට ම තමන්ගෙ අත්‍යවශ්‍ය ශාරීරික අවශ්‍යතා මේ විදියට දරාගෙන ඉන්න ගෑනු තව කොච්චර ඇද්ද... මං උනත් මෙයා දැකපු, ඇසුරු කරපු මුල් කාලෙ මේ මනුස්සය මේ තරම් පීඩාවකින් ඉන්නව කියල හිතුවෙ නැහැ නෙ... එයා ඇට් කරෙත් මහත්තය ඉන්නව වගේ නෙ... එහෙම කරන්න ඇත්තෙත් එයා කියපු විදියට ම මහත්තය එයා දාල ගියා කියල දැනගත්තම මම උනත් එයාගෙං වෙනත් දෙයක් බලාපොරොත්තු වෙයි කියල හිතල වෙන්නැති. හැබැයි එයා නිකමටවත් හිතල නෑ මං එයාට කිට්ටු උණේ ම එයාගෙ ඇඟටයි රූපෙටයි වශි වෙලා කියල. කොහොම උනත් මේ වෙච්ච විදිය හුඟක් ම හොඳයි. දැන් තියෙන ප්‍රශ්නෙ තමයි...’
ප්‍රතිෂ්ඨගේ සිතුවිලි දැහැන බිඳී ගියේ සචේතනී සිහින් කෙඳිරුමක් පිට කරමින් ඔහුගේ බඳවටා දවටා තිබූ අත පසෙකට ගන්නා අතර ම ඇගේ සිරුරේ බර දරා සිටි දකුණත ද ඉතා කුඩා නිදහසක් ලැබූ බැවිනි. ලද අවස්ථාවෙන් ක්ෂණිකව ඵල නෙළාගත් ඔහු සිය දකුණත ඇගේ බරෙන් නිදහස් කර තමා දෙසට ඇද එහි හිරි මගහැරෙන්නට ඉඩ හැරී ය. ඇය සිරුරේ හැඩය වෙනස් කළ ද තවමත් තද නින්දේ ය. ඔහු ඇයට මතු නොව සයනයට හෝ නොදැනෙන පරිදි ඉන් ඉවත්ව සෙමින් සෙමින් පා තබා සචේතනිගේ දෙපා කෙළවරට වී එතෙක් මුනිවත රැකි සාළු යුවළ අතට ගෙන, ඔහුගේ සාළුව ඉණ වටා දවටාගෙන අනෙක් සාළුවෙන් ඇගේ: ලාලිත්‍ය, කාන්තිමත් නිරුවත් සිරුර ආවරණය කළේ ය.
‘හම්ම්ම්... මාර තිබහයි. මෙයා මෙහෙම් ම හිටපුවාවෙ. බලමු කුස්සියට ගිහින්...’
ඇඳුම් එල්ලනය වෙත පැමිණි ප්‍රතිෂ්ඨ ඉණ වටා දවටාගෙන සිටි සාළුව ඉවත් කර එය ඇදුම් එල්ලනයේ රඳවා එහි තිබූ කොට කලිසම සහ ටී කමිසය ඇඟලාගෙන අත්ඔරලෝසුව අතට ගත්තේ එය පැලඳීමට වඩා මේ වන විට කාලය ඔවුන් පසු කර කොපමණ දුරක ගොස් ඇතිදැයි දැනගැනීමේ අටියෙනි. ඒ වන විට හෝරා කටුව දෙකේ ඉලක්කම මඳක් පසු කර තිබු අතර මිනිත්තු කටුව පහේ ඉලක්කම අතර රැඳී තිබිණ.
‘අම්මට සිරි... දෙකහමාරටත් කිට්ටුයි... දැන්නං බඩගිනියිත් එක්ක. ඒත් සචේතිව අවදි කරවන්න ඕනෙ නෑ. එයා තව ටිකක් වෙලා ඔහොම හිටපුවාවෙ. සමහර විට මේ ඉන්නෙ බොරුවට වෙන්නත් පුළුවන්.’
ප්‍රතිෂ්ඨ එසේ සිතුවේ අත් දැකීමෙන් ලද පළපුරුද්දෙන් ම ය. මෙවන් අවස්ථාවල දී කාන්තා පාර්ශවය මඳ ලජ්ජාශීලිත්වයෙන් පෙළෙන අතර තම සහකරුගේ උවන දෙස ඍජුව බැලීමට පවා පැකිළේ. පිරිමි පාර්ශ්වය කළ යුත්තේ ඒ යථාර්ථය වටහා ගෙන තම සහකාරියට අවස්ථාව උදා කර දීම ය. ඉක්බිති තනි වූ සැණින් ඇය යළි ප්‍රකෘතියට පැමිණේ. අවශ්‍ය වන්නේ ඇඳුමක් ඇඟලා ගැනීමට අවැසි කාලය පමණි. එහෙයින් ඇයට රිසි පරිදි නිදන්නට හෝ අවදිවන්නට අවකාශ සැලසූ ප්‍රතිෂ්ඨ ඇයට නොදැනෙන, නොඇසෙන පරිදි කාමරයෙන් පිටවූයේ කිසිදු හඬක් නොනැගෙන සේ දොර ද වසාගෙන ය. ඒ, ඔහු ආපසු එන විට ඇය අවදි වී සිටින බව හෙට දිනයේ හිරු පායනවා සේ විශ්වාස බැවිනි.
* * * * * *
‘ම්ම්ම්... එයා ගියා නේද...? මං බොරුවට ඉන්නව කියල දැනගෙන ම ද ගියේ... නෑ... එහෙම වෙන්න බෑ... බලමු... එයා එනකං මාත් එළියට යන්නෑ. නැගිටල ටක් ගාල වොෂ් එකක් දාගෙන ඇඳුමක් දාගන්නෝන...’
කඩිනමින් ම සයනයෙන් නැගී සිටි සචේතනී නාන කාමරයට වැද වැඩි කාලයක් ගත නොකර ම යළි පැමිණ ඇය පෙර ඇඟලා සිටි ඇඳුම ඇඟලාගත්තී ය.
‘ඇත්තට ම ඇයි මට ප්‍රතිෂ්ඨ මීට කලින් හම්බ උණේ නැත්තෙ... එහෙම උනා නං මගේ හැම දුකක් ම, වේදනාවක් ම එයත් එක්ක බෙදාගන්න තිබුණ. මගේ අවශ්‍යතා එයාට කියන්න තිබුණ; කියල එයාගෙන් පිහිටක් පතන්න තිබුණ. එයා හම්බ උණ දවස්වල නං මං කවදාවත් හිතුවෙ නෑ අපි අතරෙ මෙහෙම සම්බන්ධයක් ඇති වෙයි කියල. ඇයි ඉතිං එයා හැම වෙලාවෙම කිව්වෙ ‘හස්බන්ඩ්ට කියල එන්න... හස්බන්ඩ් දන්නව ද... හස්බන්ඩ් මොකද කිව්වෙ...’ කියල නෙ... ඒ දවස්වල ඉතිං මට කියන්න පුළුවංකමක් තිබුණෙ නෑනෙ මට හස්බන්ඩෙක් නෑ කියල. කමක් නෑ... එහෙම වෙච්ච එකත් හොඳයි. කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියනව නෙ...’
‘‘ටක් ටක් ටක්...’’
කාමරයේ දොර විනිවිද ආ හඬ සවන වැකුණු සැණින් සයනයේ වැතිර කල්පනා ලොවක සැරිසරමින් සිටි සචේතනී තිගැස්සිණ. එසැණින් ම පිටත සිටින්නේ අන් කිසිවකු නොව ප්‍රතිෂ්ඨ බව සිහියට නැගිණ. මඳ ලජ්ජාශීලි බවකින් යුක්තව වුව ද ඇය සයනයෙන් බැස දොර අබියසට ගොස් ‘‘මටත් නොකිය ම ගියානං තව ටිකක් ඔහොම්ම ම ඉන්න...’’ යැයි පැවසුවේ දොරගුළ ද ඇගේ දකුණතේ ඇගිලි අතර සිරකරගෙන ම ය.
‘‘මේ අහන්නකො... මට මේකත් අතේ තියාගෙන මෙතන හිටගෙන ඉන්න බෑ. එහෙනං මං සාලෙට යනව. ඔයා එන්න.’’
දොර විනිවිද කාමරයට ඇතුළු වූ ප්‍රතිෂ්ඨගේ හඬ සචේති ප්‍රහර්ෂයට පත් කළේ ය. ඇය, ඔහු සාලයට යැතැයි සැක සිතී ‘‘එපා එපා...’’ යැයි හඬ නගමින් ම දොරගුළ කරකවා, දොර විවර කළා ය. එසැණින් ඇය, ඇගේ දෙනෙත් විශ්වාස කළ නොහැකි තරමට ම විස්මයටත් ප්‍රහර්ෂයටත් පත්වූවා ය. ඒ, තේ බඳුනක තැබූ, දුම් රොටු ඉහළ නගින තරමට ම උණුසුම් කෝපි කෝප්ප දෙකක් ද සමග ඇය ඉදිරියේ සිටගෙන සිටින ප්‍රතිෂ්ඨගේ රුව දැකීමෙනි.
‘‘ප්‍රතිෂ්ඨ ඔයා...!’’
ඇය, ඇගේ කාන්තිමත් දෙනෙත් විසල් කරන’තර ම විමසුවා ය.
‘‘ඔවු... මං තමයි... ඇයි පුදුම ද...? පුදුම වෙන්නෙපා... මේව මට පුරුදු දේවල්...’’
ඔහු ඉතා සරල ස්මිතයක් පානාතර ම පැවසී ය.
‘‘පුරුදුයි කිව්වෙ...! ගෑනුන්ට කෝපි හදල දෙනේක ද...?’’
ඇය විමසුවේ කිසිදු බරසාර හඬකින් හෝ ස්වරයකින් නොවුණ ද ඒ වදන් ප්‍රතිෂ්ඨගේ මනසෙහි ගැටුණේ සියුම් රිදුමක් ඇති කරමිනි. ඒ, ඔහු දුන් පිළිවදන වැරැදි ආකාරයකින් සචේතනීගේ මනසෙහි ලැගුම් ගත්තා ද යන සැකයෙනි. කිසිවක් ම නොපැවසූ ඔහු නිහඬව කාමරය තුළට පැමිණ බන්දේසිය සමග ම කෝපි කෝප්ප දෙක මේසය මත තබා පසෙක තිබූ අසුනෙහි අසුන් ගන්නා අතර ම ‘‘ඔන්න ඔය නිසා ම තමයි සචේති මම ගෑනුන්ට ඕනවට වඩා සලකන්න අකමැති. අපි එයාලට අපේ ගෞරවය ප්‍රදානය කරද්දි එයාල හිතන්නෙ ඒක අපේ දුර්වලකමක් කියල. එහෙම නැත්නම් ඒ පිරිමිය හැම ගෑනියෙකුට ම ඒ විදියට සලකනව කියල. හිතල හෝ නොහිත දැන් ඔයාගෙ කටින් පිටඋණ වචනවලත් තිබුණෙ එහෙම තේරුමක්,’’ යැයි පවසා ඔහු දෙස අසරණ ලෙස බලා සිටින සචේතනීගේ උවන දෙස තත්ත්පර කිහිපයක් ඔහුගේ දෙනෙත් අලවාගෙන සිටියේ ය. එක් වර ම ඔහු කිසිදු අයුරකින් නොසිතු ලෙස සචේතනී ඔහුගේ උකුළ මත අසුන් ගත්තේ ඇගේ දකුණත ඔහුගේ ගෙල වටා යවමින් ඔහුගේ උවන ඇගේ උවන වෙත ආසන්න කරගනිමිනි.
‘‘අනේ පැටියො... මං ඒක එහෙම අදහසකිං කිව්වෙ නෑ... ඇත්තට ම ඔයා එහෙම කරේ මට තියෙන බැඳීම නිසා කියල මං දන්නව... මට තියෙන ගෞරවේ නිසා කියල මං දන්නව. මං එහෙම කිව්වෙ ඒ සතුට පිට කරගන්න ම විතරයි...’’
ඇගේ මුවෙන් එම වදන් වැල ගිලිහී අවසන් වන විටත් ඇය කිහිප වතාවක් ම ප්‍රතිෂ්ඨගේ දෙකොපුල මත මාරුවෙන් මාරුවට හාදු කිහිපයක් ම තවරා අවසන්ව තිබිණ.
‘‘ආ හරි හරි... දැං අපි ඒක අමතක කරමුකො... මෙහ්... ඔයාට මොකුත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නෙ නේද...?’’ යැයි පූර්ණ ස්මිතයක් පෑ ප්‍රතිෂ්ඨ විමසුවේ සචේතනී බලාපොරොත්තු නොවූ පැනයකි. තරමක් විමතියට පත් ඈ ඔහුගේ උකුළ මත සිටිමින් ම ‘‘ඒ කිව්වෙ...! මට තේරුන්නෑ...?’’ යැයි විමසුවේ ගිනිය නොහැකි තරමේ ප්‍රණාර්ථ ලකුණු ගොන්නක් දෙනෙත් තුළින් විහිදුවමිනි.
‘‘නෑ මං කිව්වෙ පැටියෝ...’’ යැයි පවසන අතර ම ඇය ඔහුගේ සිරුරට තෙරපාගත් හෙතෙම ‘‘නෑ මං කිව්වෙ... අපි පරිස්සම් උණේ නැහැ නෙ... අද මෙහෙම දෙයක් වෙයි කියල හිතුණ නිසා ම මං නං සුදානමෙං ආවෙ... ඒත්... කෝ... ඔයා ඒ මොහකටවත් ඉඩක් දුන්නෑ නෙ... පුදුම හදිසියක්නෙ තිබුණෙ...’’ යැයි පවසුවේ ඇගේ දෙකොපුල් සිපගන්නා අතර ය.
‘‘ආ... හරි හරි... මට තේරුණා... ඒ ගැන බයවෙන්නෙපා... දුවගෙන් පස්සෙ ආයෙ ළමයි හදන්නැහැ කියල අපි දෙන්නම තීරණේ කරා. ඒ නිසා මං ඒකට ඕනෙ කරන දේවල් ඒ දවස්වල ම කරගත්ත...’’
සචේතනී පිළිවදන් සැපවූයේ ඇය, ප්‍රතිෂ්ඨගේ පැනය නිවැරැදිව ම වටහාගත් බව පසක් කරමිනි.
‘‘දැං ඒ ප්‍රශ්නෙත් ඉවර නෙ... එහෙනං අපි කෝපි බීල තව ටිකකිං බත් කමු. දැන් තුනත් වෙලා...’’ යැයි පැවසූ සචේතනී ප්‍රතිෂ්ඨගේ උකුළ මත තබා තිබු ඇගේ බර ඉවත්කර මේසය වෙත ගොස් කෝපි කෝප්ප දෙක ම රැගෙන විත් එක් කෝපි කෝප්පයක් ප්‍රතිෂ්ඨ අත තබා අනෙක ද රැගෙන අනෙක් පස තිබූ අසුනේ අසුන් ගත්තා ය.
* * * * * *
පොරොන්දු වූ ආකාරයට ම සවස පහමාර පමණ වන විට සඛී පැමිණියා ය; ඇය පැමිණියේ පිටස්තර පුද්ගලයෙකු පැමිණෙන ලෙසිනි. ගේට්ටුව විවර කරගෙන වත්තට ඇතුළු වූ ඇය නිවස වෙත මඳ දුරක් පැමිණ, සචේතනි වෙත ඇමතුමක් ලබාගෙන, ඇය නිවස ආසන්නයේ සිටින බවත්, සන්සුන්ව පැමිණ දොර විවර කරන ලෙසත් පවසා ඇත. ඒ, ඔවුන් දෙදෙනාගේ නිදහසට බාධාවක් වෙතැයි යන අදහසිනි.
ඇය නිවසට ඇතුළු වු සැණින් ම ‘‘ආ... කොහොමද මනාල යුවළ... කතා කරගන්න තියෙන දේවල් කතා කරගත්ත ද...? තව මේ...’’ යැයි විමසන්නට සැරසෙත් ම ඇයට බාධා කළ සචේතනී ‘‘ආ... හරි හරි... ඒ ඔක්කොම හරි... දැං ඉති උඹ ගිහින් වොෂ් එකක් දාගෙන වරෙංකො. මං තේ ලේස්ති කරන්නං,’’ යැයි පැවසුවේ ඇගේ මුවෙන් විසිවන්නට යන වදන් පෙළ පිළිබඳ ඇය අනුමාන කළ බැවිනි. ඒ නිමේෂයේ ප්‍රතිෂ්ඨ ද කිසියම් ලජ්ජාශීලී බවකින් පෙළිණ.
ඔවුන් තිදෙනා පසු කර තවත් හොරාවක් පමණ ඉක්ම ගිය මොහොතේ තිදෙනාගේ ම ලජ්ජාශීලී භාවය කෙමෙන් කෙමෙන් පහව ගියේ උදෑසන මෝදු වන ප්‍රභාකරට බියෙන් පලා යන මිදුම් වලා රොදක් සේ ය.
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/08/ 11
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්