සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා පොහොට්ටු පක්ෂයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේම්නාත් සී දොළවත්ත විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ''දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත'' කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකිරීමට පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක කාරක සභාව තීන්දුකර තිබේ. 

පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත විසින් 2023 අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දණ්ඩනීති සංග්‍රහයේ (සංශෝධන) නමැති පනත් කෙටුම්පත පිළිබඳව 2024 අප්‍රේල් 26 වන දින පාර්ලිමේන්තු කාරක සභා අංක 08 හිදී පැවති ව්‍යවස්ථාදායක කාරක සභා රැස්වීමේදී 
සැලකිල්ලට භාජනය කර ඇත. 

එහිදී, මෙම පනත් කෙටුම්පත පළමුවරට 2023 අප්‍රේල් 04 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (01) ව්‍යවස්ථාවට ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකරන ලද පෙත්සමේ සඳහන් කරුණු සලකා බලා එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවටත් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මත කල හැකි බවටත් දැනුම්දී තිබියදී, අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ 2024 අප්‍රේල් 22 දිනැති ලිපියක් මගින් පනත් කෙටුම්පතේ ඇති කරුණු දණ්ඩ නීති සංග්‍රහයේ අනෙකුත් වගන්ති සමග ගැලපෙන ආකාරය පිළිබඳව කමිටුවක් පිහිටුවා විමර්ශනයක් කල යුතු බව දැනුම් දී තිබීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබිණ.

 

පනත් කෙටුම්පතේ අනුග්‍රහක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත එහිදී යෝජනාව කර ඇත්තේ, ඇමතිවරයා මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දිගින් දිගටම කාලය ගන්නා බැවින් ඇමතිවරයාගේ ලිපිය වාර්තාවක් ලෙස සලකා මෙම පනත් කෙටුම්පත සෘජුවම කැබිනට් මණ්ඩලයට යොමුකර, එහි අනුමැතිය ගෙන මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමුකර සුදුසු තීරණයක් ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉඩ ලබාදෙන ලෙසයි. 

 

එම අවස්ථාවේදී ව්‍යවස්ථාදායක කාරක සභාවේ මන්ත්‍රීවරුන් එම යෝජනාව ඒකමතිකව පිළිගෙන ඇත. 

පාර්ලිමේන්තුව සතු නීති සම්පාදන කිරීමේ බලයට බලපෑම් කිරීමට විධායකයට නොහැකි බවට මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක්ව තිබේ.

විශේෂයෙන් මෙහිදී අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගේ පෞද්ගලික පනත් කෙටුම්පතක් මෙලෙස දිගින් දිගටම විධායකයේ බලපෑමට ලක්වීම සුදුසු නොවන බවයි.

ඒ අනුව ව්‍යවස්ථාදායක කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායකවරයාගේ හා අනෙකුත් කමිටු සාමාජිකයින් ගේ ඒකමතික තීරණය මත මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට තීන්දුකර ඇත. 

පනත් කෙටුම්පතින් යෝජනාකර තිබෙන කරුණු :

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පතින් පහත යෝජනාවන් සිදු කරන්න තිබේ.

ප්‍රධාන ප්‍රඥප්තිය 365 වගන්තියේ "යම් පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ යන වචන ඉවත් කර එම වගන්තිය මෙයින් සංශෝධනය කිරීම."

ප්‍රධාන ප්‍රඥප්තිය 365 අ වගන්තියේ " ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමඟ, " යන වචන වලට පසුව "පහත දැක්වෙන විස්තර අතුරින් යම් විස්තරයකට අයත් පරිවේශන යටතේ, එනම් : -

අ ). ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නොමැතිව :

ආ). අනෙක් තැනැත්තා වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව:

ඇ). ඒ අනෙක් තැනැත්තා නීත්‍යානුකූල හෝ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටියදී බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ රඳවා ගැනීමේ තර්ජනයෙන් හෝ ඒ අනෙක් තැනැත්තාට මරන බය හෝ තුවාල සිදු කිරීමේ බය ඇති කිරීමෙන් හෝ ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබා ගත් කැමැත්ත ඇතිව :

ඈ). අනෙක් තැනැත්තා සිහි විකලව සිටියදී හෝ මධ්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් තැනැත්තා සිටියදී ඒ තැනැත්තාගෙන් ලබා ගත් කැමැත්ත ඇතිව " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.

ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදනද සංශෝධනය කිරීමට මෙම පනත යෝජනා කරයි.

LGBTQ විශේෂ පුවත් බලන්න

 

Follow Us

Image
Image
Image
Image
Image
Image