ප්‍රවීණ රංගනවේදී හේමසිරි ලියනගේ විසින් කලා ක්ෂේත්‍රය වෙනුවෙන් දශක හයකට නොඅඩු කාලයක් තුළ සිදු කරන ලද සේවාව ඇගයීමේ
උළෙලක් දෙසැම්බර් මස 16 දින සවස 5.00 ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සිදු කෙරේ.
මෙම උළෙලට සමගාමීව හේමසිරි ලියනගේ රංගනයෙන් දායක වූ චිත්‍රපට ත්‍රිත්වයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද මධුර චාරිකා සිනමා පටය පෙරවරු 10.30 ට ද, ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කරන ලද සංසාරණ්‍යයේ දඩයක්කාරයා පස්වරු 1.30 ට ද අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන ලද චන්ද කින්නරී සිනමා පටය සවස 7.00 ට ද ප්‍රදර්ශනය කෙරේ. මෙම චිත්‍රපට ත්‍රිත්වය නොමිලයේ නැරඹීමට මහජනතාවට අවකාශ සැලසේ.
එදින සවස 5.00 ට හේමසිරි ලියනගේ කලාකරුවාගේ නිර්මාණ දිවිය ඇගයීමේ කෙටි උත්සවයක් තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන අතර, එහිදී ඔහු විසින් රචනා කරන ලද නාට්‍ය කෘති ත්‍රිත්වයක් එක් වෙළුමක් ලෙස ප්‍රකාශයට පත්වේ. 1960 සහ 1970 දශකයේ දී හේමසිරි ලියනගේ විසින් රචනාකොට නිෂ්පාදනය කළ නාඩගම් හෙවත් සුදු ඇතා ආවාට පස්සේ (1965), චූලෝදර මහෝදර (1970) සහ 1975 ජාතික නාට්‍ය උළෙලේ විශිෂ්ටතම නාට්‍ය නිෂ්පාදනය ඇතුළු සම්මාන රැසක් හිමි කරගත් නරියා සහ කේජු (1975) යන නාට්‍ය පිටපත් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.
හේමසිරි ලියනගේ හැටේ දශකයේ සිට අසූවේ දශකය දක්වා නාට්‍ය රචනයේ සහ නිෂ්පාදනයේ නියැලුණු නූතන සිංහල නාට්‍ය කලාවේ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරයකු වන අතර ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද සෑම නාට්‍යයක්ම නිදහසෙන් පසු ලාංකේය දේශපාලනයේ සිදු වූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රකරණයේ සහ දේශපාලන විකාශනයේ පිළිබිඹුවකි.