The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංගපූරුවේදී අත්විඳි තවත් අමුතු අත්දැකීම් - අපායේ කතාව 5 වැනි පරිච්ඡේදය

T

The Leader Desk

September 16, 2022 • 7:37 AM

සිංගපූරුවේදී අත්විඳි තවත් අමුතු අත්දැකීම් -  අපායේ කතාව 5 වැනි පරිච්ඡේදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සියලු දෙනාම කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් වැනි විය.
  • පසුව දැනගන්නට ලැබුණේ ඔහු සිංගප්පූරුවේ ප්‍රකටව සිටි හිටපු පාතාල නායකයෙකු බවයි.
  • ඇගේ කතාවේ අවසානය වූවෙ මා දැනට සිටින නවාතැනින් පිටව ඇය විසින් පවතාගෙන යන නවාතැනට පැමිණෙන ලෙස වූ ආරාධනයත් සමඟින් ය.
  • සුපිරි රාජ්‍යයක ඇතැමුන්ගේ ජීවිත එබඳු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මුණගැසින. ඒ සියලු දෙනාම කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් වැනි විය.  බෙහො පිරිස් වෙත වූයේ කුතුහලය දනවන හැසිරීමය.

 

මැදිවිය ඉක්මවමින් සිටි “ජෝජ්” මට මගේ මතකයේ රැඳුන එවැනි කුතුහලය දනවන චරිතයක් විය. ඉන්දියානු  සම්භවයක් සහිත සිංගප්පූරු ඡාතිකයෙකු වූ ඔහු නවාතැන් ගෙන සිටියේද හාමනි ඉන් හිය. ඔහු තමා රැඳී සිටි කාමරයේ සම්පූර්ණ වටිනාකමම නවාතැන්පොළේ අයිතිකරුට ගෙවා දමා එය තනිව භාවිතා කරමින් සිටි අතර , වෙනත් හවුල් කරුවන් එහි නවාතැන් ගන්නවාට කැමති වූයේ නැත. දහවල් කාලය පුරාම තම කාමර තුළට වී ගතකරන ඔහු  රාත්‍රිය එළඹි විට පිටතට පැමිණෙයි. එතැන් පටන් නවාතැන්පොළින් පිටත පුටුවකට බර දෙන ඔහුට රාත්‍රිය පුරාම කෑමෙන් බීමෙන් අඩුවක් නොවන්නේය. විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ඔහුව බැහැ දකින්නට පැමිණෙති. එසේ පැමිණෙන පිරිස් ඔහු වෙත දැක්වූයේ ගෞරවයෙන් යුතු හැසිරීමකි. ඔවුහු ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කළ අතර එළිවෙන තුරු එසේ ගත කළහ. හිරු නැගෙනවාත් සමග ඔවුහු විසිර  යති. ආගන්තුකයන් කිසිවෙකු දෙස කෙලින් මුහුණ නොබැලූ ජෝජ් උදෑසනින් නින්දට යයි.  පසුව දැනගන්නට ලැබුණේ ඔහු සිංගප්පූරුවේ ප්‍රකටව සිටි හිටපු පාතාල නායකයෙකු බවයි. ඔහු මේ වන විට සියලු ධාමරික ක්‍රියාවලින් ඉවත්ව සාමකාමි ජීවිතයක් ගෙවමින් සිටියි. ඔහු සිය දේපළ පෞද්ගලික ආයතනයක් වෙත බදු දී, මෙම අඩු වියදම් නවාතැන තුළ කාලයක් තිස්සෙ ජීවත්ව සිටියි.

 

දිනක් මම ඉන්දියානු අවන්හලක ආහාර ගනිමින් සිටියෙමි. මට ඉදිරියෙන් වූ අසුනට මැදිවියේ ගැහැනියක් පැමිණ අසුන් ගත්තාය. සාරියකින් සැරසී සිටි ඇය ඉන්දියනු ගැහැනියක් විය. පළමුව මා වෙත මද සිනා පෑ ඇය මා සමඟ කතාවට වැටුනාය.

 

ඔබ සංචාරයකට ආවා දැයි අසමින් කතා බහ ඇරැඹූ ඇය මා වෙතින් තවත් බොහෝ දෙ ප්‍රශ්න කරන්න්ට විය. ඇගේ කතාවේ අවසානය වූවෙ මා දැනට සිටින නවාතැනින් පිටව ඇය විසින් පවතාගෙන යන නවාතැනට පැමිණෙන ලෙස වූ ආරාධනයත් සමඟින් ය. ඒ සඳහා ඇය කදිම පැකේජයක් මා සදහා සූදානම් කොට තිබිණ. ඉතා සාධාරණ ඇඳ කුලී, ගමන් මලු සඳහා නොමිලයේ ලාච්චුවක් සහ අවශ්‍ය නම් අඩු මිලට තරුණ වියට්නාම් කෙල්ලන් ඇගේ පැකේජයේ විය. මම ඇගේ යෝජනාව ප්‍රතිකේෂ්ප කළෙමි. ඉන් පසු තවදුරටත් එ තැන කාලය කා දැමීමට ඇයට අවශ්‍ය නොවීය.

 

පසුව ගෙවී ගිය දින කීපයේම පාහේ මම නැවත නැවතත් එම ගැහැනිය විවිධ පිරිමින් සමඟ අවන්හල් තුළ හා මඟ තොටෙ දුටුවෙමි. සුපිරි රාජ්‍යයක ඇතැමුන්ගේ ජීවිත එබඳු විය.

 

සිංගපූරුව තුළ අඩු ආදායම් ලබන විදේශීය ශ්‍රමිකයන්හට රාත්‍රිය ඉතා ඛෙදජනක අත්දැකීමකි. දහවලට හැල්මේ දුවන ඇතැම් ගැහැනු, මිනිස්සු රාත්‍රිය ගත කළේ පදික විදිකා මතය. උද්‍යාන වල බංකු මතය. නැතිනම් අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන වල කුඩා කාමර තුළය. අතේ ඇති මුදලින් ඇඳක් ලබා ගැනීමට අපහසු හෝ ඒ සඳහා මුදල් වියදම් වෙනවාට අකමැති පිරිස් මෙලෙස ඉතා දුක සේ රාත්‍රිය ගෙවා දමති. නමුත් කිසි විටෙක් සොර සතුරු බියක් නම් එ නුවර නො තිබුණේය.

LIH 18

අලුයම වන්නට මං මාවත්, උද්‍යාන වලට එළිබසිනා  පිරිසක් ඇත. ඒ සන්ක්‍රාන්ති ලිංගිකයන් ය. පිලිපීන, චීන, මැලේසියානූ ආදී විවිද ජාතීන්ට අයත් මොවුහු කණ්ඩායම්  වශයෙන් පැමිණ දඩයම්  සොයති. පොලිසිය හමුවේ පලා යති. නැවතත් කොහෙන් හෝ මතු වෙති. සිංගපූරු පොලිසියට අලුයම දැනෙන ලොකුම හිසරදය මෙවැනි ලිංගිකව විෂම ක්‍රියා වළට  ඇබ්බැහි වූ පිරිස්ය. ලොව නන් දෙසින් පැමිණෙන පිරිස් බහුල බැවින් ඒ වැනි පිරිස් හට සේවය සැපයීම සඳහා සැකසුන විශාල ලිංගික වෙළඳපොළක් සිංගපූරු රාජ්‍යය තුළ නිර්මාණයවී තිබේ.

 

පස් වන දින උදෑසන මම සුපුරුදු ලෙස ඉන්දීය බොජුන්හල තුළ හිඳ තේ බොමින් සිටියෙමි. එතැනදී තවත් අනපේක්ෂිත ලෙස හමු වීමක් සිදු විය. ඒ ලංකාවෙ සිට සිංගපූරුවට පැමිණ නීතිවිරෝධී ලෙස රැකියාවක් කරමින් සිටි මුස්ලිම් ජාතික තරුණයෙකි. අවුරුදු 21 ක් පමණ  වූ ඔහු සිංගපූරුවේ ගත කරන කටුක ජීවිතයේ විස්තර මා සමග බෙදා ගන්නට මැලි නොවීය.

 

සිංගපූරුව  ආගමන විගමන නීති ඉතා තදින් ක්‍රියාත්මක කරන රටකි. එරට තුළ නීතිවිරෝධී ලෙස රැඳී සිටීම හෝ නීතිවිරෝධී ලෙස රැකියාවල නියුතුව සිටිම ශාරීරිකව පවා දඩුවම් ලැබිය හැකි වරදකි. මට මුණගැසුන තරුණයා සඳහන් කළ පරිදි ඔවුන් කිසි විටක ඔවුන්ගේ සංචාරක වීසා වලංගු කාලය වන දින 30 ඉක්මවා එ රට  රැඳී සිටින්නෙ නැත. වීසා වලංගු කාලය ඉක්ම යන්නට දින කිහිපයක් තිබියදී ඔවුහු ලංකාව බලා පිටත්ව යති. දින කීහිපයක් ලංකාවෙ ගත කොට නැවතත් සිංගපූරුව බලා පිත්ව යති. එලෙස දෙරට අතර යමින් එමින් කරණු ලබන රැකියාව බොහෝ විට පවිත්‍රතා රැකියාවන්ය. විශේෂයෙන්  එ රට තුළ  පිහිටි නිමක් නැති ලොකු කුඩා අවන්හල් තුළ ඉඳුල් භාජන  සේදීම වැනි “අනවසර රැකියා”  කරමින් ඔවුහු තම  අත මිට සරු කරගනිති.

royal indian restaurant 

නමුත් ඒ සඳහා ද අවස්ථාව ලබා ගැනීම සදහා සැකසුණු ක්‍රමවේදයක් ඇත. තමන්ට රිසි පරිදි කාගේ හෝ වලං සෝදා මුදල් ලබා ගත නොහැකිය. ඒ සඳහා අවස්ථාව ලබා ගැනීමට නම් තැරැව්කරුවෙකු සොයා ගත යුතුය. එ වැනි තැරුව්කරුවෝ සිංගපූරුවේ ඕනෑ තරම් සිටිති. ඔවුහු සිංගප්පූරුවේ ව්‍යාපාරික කටයුතු සිදු කරන විවිධ ආයතන වෙත  අඩු වියදම් සේවකයන් සපයා දෙන ජාවාරමක් පවත්වාගෙන යති. දවස අවසානයේ අදාල ආයතනය ගෙවීම් කරනු ලබන්නෙ අදාල තැරැව්කරු වෙතය. තම කොමිස් මුදල ඉතිරි කරගනිමින් තැරැව්කරු විසින් ඒ ඒ සේවකයන් වැඩ කළ පැය ගණන අනුව පඩි නඩි බෙදා දීම සිදුවේ. මට මුණගැසුන තරුණයාට අනුව එවැනි තැරැවුකරුවන් අතර ප්‍රධාන වශයෙන්  ලාංකිකයෝ, බංගලාදේශ ජාතිකයෝ සහ පාකිස්තාන් ජාතිකයෝ වෙති.  ඔවුහු  අඩු වියදම් නවාතැන්පොළ වල සිට මෙම ජාවාරම මෙහෙයවති. කිසියම් ආකාරයකින්  නීතිවිරෝධී  ලෙස සේවය කරමින් සිට, එ රට ආගම විගමන නිළධාරීන්ට හසු වුවහොත් තමන් පාවා නොදෙන බවට වූ වාචික සම්මුතියක් තැරැවුකරුවන් හා සේවකයන් අතර වෙති.

 

සිංග්පූරුවේ ලිට්ල් ඉන්දියා ප්‍රදේශය ඉතා ජනාකීර්ණ හා කාර්යබහුල ප්‍රදේශයකි. එහි පිහිටි කුඩා අඳුරු කාමර තුළ 15, 20 ආදී වශයෙන් රැදී සිටිමින් නීතිවිරෝධී ලෙස එරට සේවය කරන දකුණු ආසියාතිකයෝ ඉතා  බහුළය. අදාල කාමර කුලියට ගනු ලබන්නෙද ඉහත් කී තැරැව්කරුවන් විසින්මය. මාසය අවසානයේ සියලු පිරිස් එක්වී අදාළ කුලී මුදල් තැරැව්කරු වෙත පියවා දැමිය යුතුය.

 

FB IMG 1663269711078මම සිංගපූරුවෙන් පිටත් වන්නට දින දෙකට කලියෙන් හදීසියෙම ඉහත මා සඳහන් කළ  මුස්ලිම් ජාතික තරුණයා මා මුණ ගැසෙන්නට හාමනි ඉන් වෙත පැමිණ සිටියේය. ඔහු සතුව මා වෙත පණිවිඩක් විය.

 

“ අයියා ලංකාවට යන්න කලින් ප්‍රදීප් අයියාට මුණ ගැහෙන්න ඕන කිවුවා ! ”

 

ප්‍රදීප් යනු මෙලෙස නීති විරෝධී ලෙස සිංගපූරුවේ රැකියා ජාවරමෙහි නියතුවන පුද්ගලයකු විය. මුස්ලිම් තරුණයාගේ හාම්පුතාය.

 

එ දින සවස 4 ට පමණ ප්‍රදීප් සමඟ සුපුරුදු බොජුන් හළ තුළ තේ බොමින් කතාබහට  වන්නේමු.

 

මම හුදු සංචාරයක් සඳහා සිංගපූරුවට පැමිණි බව  ප්‍රදීප් කිසි විටෙක් විශ්වාස කළේ නැත. ඔහුගේ අනුමානය වූයේ  මා ද රැකියාවක් සොයා එ රටට ඇතුළු  වූ තවත් එකෙකු බවයි. ගොදුරක් අතහරින්නට ඔහුට වුවමනා වූයෙම නැත. නමුත්  සිංගපූරුව තුළ නීතිවිරෝධී ලෙස රැකියාවක් කිරීමට ඔහු ගෙනා යෝජනාව මම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළෙමි.  ඔහු  පසුබට වූයේ  නැත. මා කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ යෝජනාවක් අවසානයේ ඔහු මා හමුවේ තැබීය.

 

“ මැලේසියා යන්න කැමති නම් මම වීසා හදළ දෙන්නම් ... රුපියල් 50 000 ක් යනව වැඩේට ”

 

මට ඒ යෝජනාව පිළිබඳව සැබෑ උනන්දුවක් ඇති විය. මම ඔහුගෙන් ඒ පිළිබඳව දිගින් දිගටම  කරුණු විමසුවෙමි.

 

මැලෙසියාවට ඇතුළු විය යුත්තේ මාසයක් වළංගු සංචාරක වීසා මතය. ඉන් පසු  ප්‍රදීප්ලාගේ සම්බන්ධකම් අනුව එ රට වෙසෙන රැකියා තැරැවුකරුවන් සමඟ සම්බන්ධ විය යුතුය. එහි දී එරට තැරැවුකරුවන් විසින් රැකියා සොයා දීම සිදු කරන අතර රැකියා සඳහා විසා ලබා දීමක් සිදු නොවේ.

“මැලේසියා පොලිසිය එහෙම එලවලා අල්ලන්නෙ නෑ මෙහෙ වගේ. ඇල්ලුවත් කීයක් හරි දීල ශේප් වෙන්න පුලුවන් ”
 
“ මම කොල්ලෝ 80 ට වඩා මැලේසියා යවල තියෙනවා මල්ලී, මම කැට තියල කියන්නේ, ගියොත් ආයෙ එන්නෙ නෑ ... සුපිරිම රටක් මල්ලී .. කෑමද....බීමද .... අරක ද මේකද ..... ඕන එකක් ආයේ ....”
 
 
ඒ ප්‍රදීප්ලා තරුණයන්නෙ නිළ මිරිකා අල්ලන සැටිය. මට ඔහු වෙතින් මැලේසියා ගමන පිළිබඳව තවදුරටත් තොරතුරු වුවමනා විය. ඒ අනුව රාත්‍රී කෑම සදහා නුදුරින් පිහිටි “ඩෙක්කා මර්කට්” හි පිහිටා තිබූ ශ්‍රී ලාංකික බොජුන් හලේදී  මුණගැසෙන්නට මම ඔහුට ආරාධනා කලෙමි.
 
 
රාත්‍රී 7.30ට පමණ අපි “ඩෙකා මාර්කට්” හි්දී නැවත මුණ  ගැසුණෙමු. එතැන සිංගපූරුවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය “ගමේ කඩේ” නමින් වූ ශ්‍රී ලාංකික බොජුන් හළක් විය. ඒ තුළ හිඳ රාත්‍රී ආහාර ගනිමින් මම ප්‍රදීප් සමඟ කතාවට වන්නෙමි.
 
 
ඔහු සමඟ කළ කතා බහෙන් සංක්‍රමණික ජාවාරමෙ නව මානයක් සොයා යාමේ අවස්ථාව මට උදාවිය. ඒ අනුව ඔහු ලබා දුන් තොරතුරු හා උපදෙස් අනුව මැලේසියා වීසා ලබාගෙන එ රටට පිටත් වීමෙ බලාපොරොත්තුවෙන් පසු දින මම සිංගපූරුවෙන් නික්ම ලංකාව බලා පියාසර කළෙමි.
 
 
අපායේ කතාව ලබන සතියටත් ... ලොව අධිකම දෛනික ජීවන වියදම සහිත සිංගපූරු නගරය ගැන  ලබන සතියේ තවත් කියවමු.
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර

 

 
 

 

සිංගපූරූවෙ ඉතිහාසය - අපායේ කතාව 4 වැනි පරිච්ඡේදය


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...