නූතන තාක්ෂණය සමඟ මිනිසුන්ගේ සංක්‍රමණික අවශ්‍යතා, සංක්‍රමණික ක්‍රමවේද සහ උපක්‍රම ඉතා සංකීර්ණ අවස්ථාවකට එළඹී තිබේ. පැය කිහිපයක්

තුළ ලොව එක් අර්ධද්වීපයක සිට වෙනත් අර්ධද්වීපයක් වෙත ලඟා වන්නට තරම් හැකියාව සහිත ඉතා දියුණු ගුවන් තාක්ෂණයක් අත් පත් කරගන්නට මිනිසා සමත්ව සිටී. ඒ හරහා විවිධ ආර්ථික මට්ටම් සහිත පිරිස් වෙත සමාජ සහ පන්ති බිදයකින් තොරව ජාත්‍යන්තරව සංචරණයේ යෙදෙන්නට අවස්ථාව උදාවී තිබේ. එමෙන්ම පහළොස්වන සියවසේ සිට ඉතා සීඝ්‍රයෙන් සංවර්ධන කළ නාවුක තාක්ෂණයද ජාත්‍යන්තරව සිදුවන මිනිස් සංචරණය වඩා සුව පහසු සහ වේගවත් මට්ටමකට ගෙනැවිත් තිබේ.


සංචරණය මිනිසුන්ගේ අවශ්‍යතාවයක් මෙන්ම හිමිකමක් ලෙස මානව විද්‍යාඥයන් හඳුන්වා දී තිබේ. වසර මිලියන ගණනක පටන් සිදුවන මානව පරිණාමය හා සමගාමීව පෘතුවියේ නොයෙක් කලාප හරහා සංචරණයේ යෙදුන මානව වර්ගයා විවිධ නව ජනවර්ග බිහිකරමින්, නව භාෂාවන්, ඇදහිලි හා විශ්වාස නිර්මාණය කරමින් පෘතුවිය විචිත්‍ර ග්‍රහලොවක් බවට පත් කොට තිබේ. එතැනින් නොනැවතුන මානව වර්ගයාගේ සංචරණයට ඇති නොනිමි ආශාව ඔවුන් විශ්වය වෙත රැගෙන යන්නට තරම් ප්‍රබල එකක් විය.

 

proud american astronaut holding american flag picture id1043065600

 

ඒ වෙනුවෙන් වෙහෙසුන අපි, විසිවන සියවසේදී පෘතුවියෙන් ඉහළට එසවී අභ්‍යවකාශය වෙත එබී බැලුවෙමු. වර්ෂ 1961 දී මිනිසා ප්‍රායෝගිකව ගඟන ගාමියෙකු සහිත සිය ප්‍රථම අභ්‍යවකාශ ගමන අත්හදා බලන අතර,  වර්ෂ 1968 ජූලි මස 2 වන  දින, එතෙක් කලක් කවියන්ට සහ ප්‍රේමවන්තයින්ට නිමිත්තක් පමණක්ම වූ පෘතුවියේ සිට කිලෝමීටර් 38,4,400 දුරින් අභ්‍යවකාශයේ ස්ථානගතව තිබෙන  සඳ වෙත ලඟා වී  සිය දෙපා සටහන් එහි පෘෂ්ඨය මත  තබන්නට මිනිසා සමත්වේ. එදා මෙදා තුළ විශ්වයේ ඈත අහු මුළු සොයා දියත් කෙරුණ වැඩසටහන් සිය ගණනකි.

 

මේ ආකාරවූ සංචාරය සඳහා උපතින්ම මිනිසා සතු සා පිපාසාව, වසරකට බිලියන 1.442 ක් තරම් වූ පිරිසක් ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර සංචාරය කිරීමට පොළොබවා ඇති බව ලෝක බැංකුව විසින් නිකුත්කොට ඇති  වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. ඒ වර්ෂ 2018 ට අදාළවය. ලොව ජීවත් වන ජාතීන් අතරින් ජාත්‍යන්තර සංචාරකයන් ලෙස පෙරමුණේ සිටින පිරිස් අතර ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවල පුරවැසියෝ ඉදිරියෙන්  සිටිති.

 

සංචාරකයා (The Traveller) සහ සංක්‍රමණිකයා (The Migrant) යනු වෙන වෙනම අර්ථ දැක්වෙන සංචරණයේ අවස්ථා දෙකකි. මෙහිදී ලියුම්කරු විසින් අවධානය යොමු කරනු ලබන්නේ රටවල් තුළ අභ්‍යන්තර වශයෙන් සිදුවන සංචරණයන් නොවන අතර, ලියුම්කරුගේ උත්සාහය වන්නේ ජාත්‍යන්තරව සිදුවන සංචරණයන්, ඒවාගේ ස්වාභාවයන්, ඒ තුළ සිදුවන මාණුෂික ඛේදවාචකයන් පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීම බවද මූලිකව සඳහන් කළයුතුමය.

 

freedom world shutterstock 413831764


සංචරකයා ලෙස පුද්ගලයෙකුගේ සංචරණය ස්වාභාවය හදුන්වන විට ඒ සඳහා වූ ජාත්‍යන්තර අර්ථ දැක්වීම කියවා ගත යුතුය. සංචාරකයෙකු ලෙස පොදුවේ අර්ථ දැක්වෙන්නේ, ස්වකීය ජන්ම භූමියෙන් බැහැරව දේශ සීමා හරහා ගොස් වෙනත් රටක යම් කාලයක් ගත කරන, තමන්ගේ නිජබිමෙන් බැහැරව පිවිසි රට තුළ අවම තරමින් එක් රැයක් හෝ ඊට වඩා වැඩි රැය ගණනක් (මාස 12 ක් නොඉක්මවූ) පෞද්ගලික හෝ පොදු නවාතැන්පොළක් තුළ ගත කරනු ලබන පුද්ගලයෙකුය.  එම අර්ථ දැක්වීම අප උපුටා දක්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN - United Nations) සහ ලෝක සංචාරක සංවිධානය (WTO - World Tourism Organization) එක්ව 2004 වර්ෂයේ නිකුත් කළ වාර්තාවක් තුළිනි.  

      

සංචාරය සඳහා මිනිසුන් පොළොඹවන  විවිධ හේතු තිබෙන්නට පුළුවන. නව දේශයන්, සංස්කෘතීන් දැක ගැනීමට ඇති කැමැත්ත, කුතුහලය, කාලගුණික හේතු, මෙන්ම ලිංගික අවශ්‍යතා ආදී විවිධ හේතු පදනම්ව මිනිස්සු ලොව වටා සංචාරයේ යෙදෙති. යුරෝපයේ ශීත කාලගුණයෙන් මිදී හිරු එළියේ පහස විදින්නට ප්‍රිය කරන යුරෝපීයයෝ තම නිවාඩු කාලය ගත කිරීම සඳහා හොදින් හිරු එළිය වැටෙන සමකයට ආසන්න රටවලට සංචාරය කරති. කඳු නැගීම, හිම මත ක්‍රීඩා කිරීම, මුහුදු රළ මත ලිස්සා යාම, ගිනිකඳු පුපුරා යන අයුරු නැරඹීම ආදී විවිධ විනෝදාංශ සහිත පුද්ගලයෝ තම නිවාඩු කාලය තුළ ස්වකීය මන දොල සපුරාගනු වස් සුදුසු පරිසරක් සහිත රටවලට සංචාරය කරති. එසේම විවිධ අධ්‍යයන කටයුතු, සම්මන්ත්‍රණ, ව්‍යාපාරික අවශ්‍යතා ආදී හේතූන්ද බොහෝ පුද්ගලයන් පිරිසක් ජාත්‍යන්තර සංචාරකයන් බවට පත්කොට තිබේ.          

 

ලිංගිකත්වය මත පදනම් වූ සංචාරක ව්‍යාපාරයක්ද නූතන ලෝකය තුළ නිර්මාණය වී තිබේ. ලිංගික සේවා ලබා ගැනීම අරමුණු කරගත් ජාත්‍යන්තරව සංචාරයේ යෙදෙන පිරිසක් සිටින අතර, ඉල්ලුම සඳහා සැපයුම ලබා දීමේ අරමුණින් සංචාරයේ යෙදෙන ලිංගික ශ්‍රමිකයන්ද දැකගන්නට හැකිය. ලොව සෑම රටකම පාහේ වාණිජ්‍ය ලිංගික වෙළඳාම අඩු හෝ වැඩි වශයෙන් ක්‍රියාත්මකව ඇති නමුත්,  නම ගිය රටවල් කිහිපයක් තම රට තුළට ලැබෙන  ජාත්‍යන්තර සංචාරක ආකර්ශණය ඉහළ නැන්වීම සඳහා වාණිජ්‍ය ලිංගික වෙළෙඳාම නිදහසේ පවත්වාගෙන යන අයුරු දැක ගත හැකිය.        

 

මේ ආකාරයට ආසියානු කලාපය තුළ ඉතා කැපී පෙනෙන ජාත්‍යන්තර වාණිජ්‍ය ලිංගික වෙළඳපොළ තායිලන්තය තුළ ක්‍රියාත්මකව තිබි. රටේ ආර්ථිකය වෙත සංචාරක කර්මාන්තයෙන් ඉහළ දායකත්වයක් ලබාගන්නා තායිලන්තය තම රට තුළ වෙසෙන අලි ඇතුන්, ඉපැරැණි හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන, සොබා සෞන්දර්යය මෙන්ම ස්වකැමැත්තෙන් හෝ බල කිරීම මඟින් ලිංගික ශ්‍රමිකයන් ලෙස සංචාරක කර්මාන්තයට සේවා සපයන පිරිස් හරහා කලාපයේ ඉහළ ආකර්ෂණයක් ඇති ජාත්‍යන්තර සංචාරක නවාතැන්පොළක් බවට පත්ව ඇත. ලෝක සංචාරක සංවිධානයේ (WTO) වාර්තා උපුටා දක්වන ටුවරිසම් ටීචර් සඟරාව (tourismteacher.com) සිය වර්ෂ 2020 මැයි මස 21 වන දින සිදුකළ අන්තර්ජාල යාවාත්කාලීනය තුළ ජාත්‍යන්තර වශයෙන් වාණිජ්‍ය ලිංගික ව්‍යාපාරය සිදුකරන ප්‍රධාන රටවල් 10 ශේණි ගත කොට දක්වයි. එම ශේණිගත කිරීමට අනුව යුරෝපානූ, ඇමරිකානු, ආසියානු සහ අප්‍රිකනූ රටවල් අතරින් ජාත්‍යන්තර ශෙණි ගතකිරීම් තුළ 4 වන ස්ථානය සහ 8 වන ස්ථානයට අනුපිළිවෙළින් ආසියාවේ තායිලන්තය සහ පිලිපීනය පත්ව තිබේ.
  

kjahsja

 

තායිලන්තය තරමටම නොවූවද  සිංගපූරුව තුළ ක්‍රියාත්මක සාංචාරක කර්මාන්තයේදීද ලිංගික ශ්‍රම දායකත්වය ලබාගන්නා අයුරු පැහැදිළිව දැක ගන්නට හැකිය. සිංගපූරුව තුළ ගණිකා ව්‍යාපාරය සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත් වන්නේ යටත් විජිත යුගයේ පටන් ය. ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයෙ ආකර්ශණීය ඉසවුවක් වන ලිංගික සේවාව වඩා විධිමත් කරමින් සිංගපූරුවේ ගේලැන්ග් දිස්ත්‍රික්කය (Geylang) ලිංගික කර්මාන්තය සඳහා විවෘත රතු එළි කළාපයක් (Red Light Area)ලෙස එරට රජය විසින් නීති ගත කරනු ලැබ  තිබේ. රතු එළි කලාපයක් ලෙස හැදින්වෙන්නේ ලිංගික කර්මාන්තය නිදහසේ පවත්වාගෙන යාම සඳහා නගරයක නිශ්චිතව නම් කරන ලද කලාපයකි.   

 

sex workers in singapore red light district 900x643      

 

ගේලෑන්ග් හි පමණක් නොව සිංගපූරුව තුළ පිහිටා ඇති දිස්ත්‍රික්ක 28 පුරාම සංචාරකයන් ඉලක්ක කරගත් වාණිජ්‍ය ලිංගික වෙළදපොළ මෙම ලියුම් කරුගේ පෞද්ගලික නිරීක්ෂණයට ලක්විය. ඒ තුළ සේවා සපයමින් සිටින ඇතැම් විදේශීය තරුණියෝ පවසා සිටියේ තමන් වංචා සහගත ලෙස සිංගපූරුව වෙත රැගෙන විත් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවයි. ඔවුනට නීතියේ පිළිසරණ පතන්නට ඇති සෑම අවස්ථාවක්ම ජාවාරම් කරුවන් විසින් අවහිර කොට දමා තිබූහ. වියට්නාමය, පිලිපීනය, චීනය, තායිලන්තය සහ වෙනත් කලාපීය රටවල ගැහැණුන් සහ තරුණියන්, අප්‍රිකානු, දකුණු ආසියානු මෙන්ම රුසියානු සංක්‍රමණික ගැහැණුන් සහ තරුණියන් සිංගපූරූ ලිංගික වෙළඳ කර්මාන්තය තුළ බහුලව දැක ගත හැකිය.            

 

මෙලෙස ඕනෑම රටක් තුළට නීතිත්‍යානුකූල හෝ නීතිවිරෝධී ලෙස පිවිස දීර්ඝ කාලයක් රැදී සිටින විදේශීය පුද්ගලයකු සාමාන්‍ය අර්ථයෙන් “ජාත්‍යන්තර සංක්‍රමණිකයෙකු”  ලෙස හඳුනාගත හැකිය. නමුත් ඒ සඳහා වූ සම්මත නිර්වචනය කියවා ගැනීම වැදගත්වේ. සාම්ප්‍රදායික ලෙස ජාත්‍යන්තර සංක්‍රමණිකයෙකු ලෙස අර්ථ දැක්වෙන්නේ ස්වකීය තීරණය මත තම නිජබිමෙන් බැහැරව වෙනත් රාජ්‍යයක් වෙත දේශ සිමා හරහා පිවිස දිවිගෙවනු ලබන පුද්ගලයකුය. එලෙස ජාත්‍යන්තර වශයෙන් ඔහුට හෝ ඇයට සංක්‍රමණයේ යෙදීම සඳහා එම පුද්ගලයා පොළඹවනු ලබන විවිධ සාධක තිබෙන්නට පුළුවන. විදේශ ගතව දිවි ගෙවන තම නෑ හිතවතුන් සමඟ එක්වීමට, අධ්‍යාපනය ලැබීමට, රැකියාවක් කොට මුදල් උපයා වඩා හොද ජීවන තත්වයකට ලඟාවීම ආදි වූ විවිධ පුද්ගලානුබද්ධ හේතු මත මිනිස්සුන් ජාත්‍යන්තර වශයෙන් සංක්‍රමණයේ යෙදෙය.
           

rohingya refugees bangladesh 1 1600x772 1

 

වර්ෂ 2019 දී පමණක් සමස්ථ ලෝක ජනගහනයෙන් 3.5% ප්‍රථිශතයක ජනතාවක් ජාත්‍යන්තර සංක්‍රමණිකයන් ලෙස විවිධ රටවළ දේශසීමා හරහා හුවමාරූ වී තිබේ. සංඛ්‍යාත්මකව එය මිලියන 272 ක් වූ පුද්ගලයන් පිරිසකි. සංක්‍රමණිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM-International Organization for Migration) විසින් ප්‍රකාශයට පත්කොට ඇති වර්ෂ 2020 සදහා වූ ජාත්‍යන්තර සංක්‍රමණික වාර්තාව (World Migration Report 2020) පෙන්වා දෙන්නේ ලොව ජාත්‍යන්තර සංක්‍රමණිකයන් ඉහළම සංඛ්‍යාවක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාව වෙතින් බවයි. වර්ෂ 2019 වන විට ඉන්දියානු පුරවැසියෝ මිලියන 17.5 ක පිරිසක් විවිධ රටවළට සංක්‍රමණය වී සිටියහ. විදේශීය සංක්‍රමණිකයන් බහුළව වාසය කරන රට ලෙසට ඇමරිකා එක්සත් ජනපදය වාර්තා වන අතර එරට තුළ විදේශීය සංක්‍රමණිකයන් මිලියන 50.7 ක පිරිසක් රැදී සිටින බව කියැවෙයි.
         

මේසා දැවැන්ත ක්‍රියාවලියක් වන ජාත්‍යන්තර මිනිස් සංක්‍රමණය වාණිජ්‍යමය ආදායම් උපයන, ව්‍යාපාරයක් බවට පත්වීම නිසර්ගයෙන්ම සිදුවන්නකි. සංක්‍රමණිකයන් සඳහා සේවා සපයන දැවැන්ත කර්මාන්තයක් ලොව පුරා ගොඩ නැගී ඇත. සංක්‍රමණිකයන් සඳහා තොරතුරු සැපැයීම, වීසා ලබාගැනීම සඳහා පහසුකම් සැපයීම , ගුවන් හෝ වෙනත් බලපත්‍ර අළෙවිය, ප්‍රවාහන පහසුකම් සැපැයීම, නවාතැන් සැපයීම, විදේශයන් තුළ අධ්‍යාපන හෝ රැකියා අවස්ථා සොයා දීම ආදී පුළුල් පරාසයක විහිදුන සේවා ජාලයක් ජාත්‍යන්තර සංක්‍රමණික විෂය හා බැඳී තිබේ. එය නීත්‍යානුකූල මෙන්ම නීත්‍යානුකූල නොවන යන දෙයාකාරයෙන්ම සිදුවන ජාත්‍යන්තර සංක්‍රමණ සමඟ බැඳී තිබේ.

 

htra        

 

සංක්‍රමණිකයන් ජාවාරම (Migrant Smuggling), මිනිස් ජාවාරම (Human Trafficking) ආදී මාතෘකා ජාත්‍යන්තරය තුළ වැඩි පුර කතා බහට ලක්වන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට සිදුවන ජාත්‍යන්තර සංක්‍රමණ සම්බන්ධයෙනි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇතැම් සංක්‍රමණිකයෝ ජාවාරම් කරුවන්ගේ ක්‍රියා ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් විවිධ අතවර වලට ලක් වෙමින් සිටිති. වංචා වලට ලක් කිරීම, ඉතා අවදානම් ගමන් මාර්ග ඔස්සේ ගමන් ගැනීමට පෙළඹවීම, විවිධ තාඩන පීඩන වළට ශාරීරික සහ මානසික වශයෙන් ලක්කිරීම, ශ්‍රමය සූරා කෑමට ලක් කිරීම වැනි විවිධාකාර අතවරයන්ට අක්‍රමවත් මාර්ග හරහා සංක්‍රමණයේ යෙදෙන ජාත්‍යන්තර සංක්‍රමණිකයෝ මුහුණ දෙති.

 

mugslඅවිධිමත් මාර්ග ඔස්සේ සංක්‍රමණයේ යෙදෙන සංක්‍රමණිකයන් අර්ථ දක්වන සංක්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය (IOM) අක්‍රමවත් සංක්‍රමණය ලෙස හදුන්වා දෙන්නේ “සම්මත ප්‍රමිතීන්ට පටහැනිව යමින්, පිටත්වීම, හුවමාරු වීම, ලඟාවීම ආදිය නියාමනයකින් තොරව රටවල් අතර සිදුවන ව්‍යාපාරයක් ලෙසය. ඒ අනුව සංක්‍රමණිකයා අක්‍රමවත් ආකාරයකට රට තුළට පිවිසීම, අක්‍රමවත් ආකාරයට රට තුළ පදිංචිව සිටීම සහ සංක්‍රමණිකයා වෙත රට තුළ පදිංචි වී සිටීමට හිමිකම ඇතැත්, රැකියාවක කිරීමට හිමිකමක් නොමැති තත්වයන් යටතේ නීතිවිරෝධී ලෙස රැකියාවක  නියුතු වීම යන අවස්ථාව තුනටම හෝ අඩුම අතරමින් ඒ අතුරෙන් එක් අවස්ථාවකට ගැනෙන සංක්‍රමණික පුද්ගලයෙකු අක්‍රමවත් සංක්‍රමණිකයකු ලා සැළකෙන බවයි එම ආයතනය පැහැදිළි කොට දෙන්නේ.
           

සමස්ථයක් වශයෙන් ගත් කළ ක්‍රමවත් හෝ අක්‍රමවත් යන ඕනෑම ආකාරයකින් සිදුවන ජාත්‍යන්තර සංක්‍රමණයන් මානව ප්‍රජාවගේ වර්තමාන සහ අනාගත පැවැත්ම සහ දිශානතිය කෙරෙහි පැහැදිළි බලපෑමක් සිදුකරන බව පැහැදීය. ආර්ථිකමය හේතු, සමාජමය අවශ්‍යතා, අර්බුද ඇතුළු දේශපාලනික හේතු මෙන්ම ස්වාභාවික හේතු මත සිදුවන මිලියන ගණනක් වූ පුද්ගල සංක්‍රමණයන් වඩා ආරක්ෂාකාරී සහ විධිමත් බවට පත්කිරීම සදහා අදාළ විෂය පිළිබඳව පුදලයන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. ඒ හරහා මානව වර්ගයාට එරෙහිව සිදුවන සංක්‍රමණික ජාවරාම, මිනිස් ජාවාරම ආදී වූ අපරාධ මැඩපත්වා ගැනීමට හෝ අඩුම තරමින් අවම කරගැනීමට හැකිවනු ඇත. එය සමස්ථ පෘතුවි තළයේම හෙට උපදින්නට සිටින පරම්පරාව වෙනුවෙන් අද ජීවත්ව සිටින පරම්පරාව වෙතින් ඉටුවිය යුතු යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය.


ලබන සතියේ අපායේ කතාවෙන්, සේදමාවත ඔස්සේ සිංගපූරුවෙන් මැලේසියාවට පිවිසි අයුරු !

Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 
 
 
 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්