The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

June 10, 2024 • 9:29 AM

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටට ජපන් වාහන පැමිණෙන්නට පෙර පැවති, ඉංග්‍රීසි කාර් යනුවෙන් හඳුන්වනු ලැබූ මොරිස් මයිනර්, හිල්මන් වැනි මෝටර් රථ පිළිබඳව මීට පෙර විස්තර කළෙමි.
  • එකල ටැක්සිය යන වදන ගම්බද ප්‍රදේශවල භාවිතා නොවූ අතර මෙවැනි මෝටර් රථ ගම්මුන් හැඳින්වූයේ කුලී කාර් ලෙසිනි.
  • තාත්තා කවුරුන් අතේ හෝ පණිවිඩයක් යවන්නට ඇත.
  • වටපිට බලමින් සතුටින් පාරේ යනවිට තමන් බොරුවක් කළ බවට අම්මා සැක කරන්නට පුළුවන.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
අපේ රටට ජපන් වාහන පැමිණෙන්නට පෙර පැවති, ඉංග්‍රීසි කාර් යනුවෙන් හඳුන්වනු ලැබූ  මොරිස් මයිනර්, හිල්මන් වැනි මෝටර් රථ පිළිබඳව මීට පෙර විස්තර කළෙමි. දැන් මෙන් වාහන බහුලව දකින්නට නොතිබූ එම යුගයේ ගම්බද පාරක මෝටර් රථයක් ගියහොත් අසල්වැසියන් ඒ පිළිබඳ විශේෂයෙන් විපරම් කිරීම සිරිතක්ව පැවතිණ. 
 
එසේම ගමක විසූ කුඩා දරුවකුට නම් මෝටර් රථයක් දැකීමත් ආශ්චර්යයක් බඳු විය. ඔවුන්ගේ ළමා සිතිවිලිවලට අනුව රියැදුරකු යනු මහා හපන්කමක් කරන වීරයෙකි.
 
 
තිලක් ගේ ළමා වියේදී ලෝරං ගේ කාර් එක ගණේමුල්ලේ බෙහෙවින් ප්‍රසිද්ධ කුලී කාරයකි. එකල ටැක්සිය යන වදන ගම්බද ප්‍රදේශවල භාවිතා නොවූ අතර මෙවැනි මෝටර් රථ ගම්මුන් හැඳින්වූයේ කුලී කාර් ලෙසිනි. ලා නිලට හුරු කොළ පැහැයකින් යුතු එය හිල්මන් මින්ස් වර්ගයට අයත් මෝටර් රථයක් විය. මීට "ලෝරං ගේ කුලී කාරෙක" යැයි කීවේ එහි හිමිකරු  ලෝරන්ස් ද සිල්වා නමැත්තකු වූ නිසා ය.
 
ලෝරන්ගේ කාරයට සියලු අතින්ම සමාන මෝටර් රථයක්
 
තිලක්ට සහ ඔහුගේ නැගනිය දීප්තිට යම් අසනීපයක් වැළඳුනහොත් ගම්පහ පෞද්ගලික ඩිස්පෙන්සරියක් පවත්වාගෙන ගිය වෛද්‍ය එච්. බී. පෙරේරා ළඟට එක්කරගෙන ගියේ ලෝරංගේ කාර් එකෙනි. තිබ්බටුගොඩ සිට ගණේමුල්ලට ගොස් ආපසු එන්නට ලෝරං ගේ ගාස්තුව රුපියල් දෙකකි. ගම්පහට රුපියල් පහක් වේ.
 
කුමක් හෝ හිස කැක්කුමක්, බඩේ අමාරුවක් හැදණත් තිලක් වැඩිපුර කෙඳිරි ගෑම සිරිතකි. ඒ, වේදනාව නිසාම නොවේ. කෙඳිරිගාමින් ඔහු සෝදිසියෙන් සිටින්නේ අම්මා සහ තාත්තා තමන් ගැන කතා කරන දේ කෙරෙහි ය. විශේෂයෙන් තාත්තා ඔහු ළඟට ඇවිත් නළලට අත තබා බලනවිට නම් ලෙඩේ හොඳටම උත්සන්න වෙයි. තාත්තා කාමරයෙන් පිටව ගිය පසු කෙඳිරිය අඩු කර ගන්නේ එවිට තාත්තා, අම්මා සමග පවසන දේවල් නෑසී යා හැකි නිසා ය. 
 
"ලෝරන්ටවත් එන්න කියමු ද?"
 
තිලක් සේනාසිංහ
 
තාත්තා සුපුරුදු විදිහට ශබ්ද නොනගා අම්මා ට යෝජනා කරන හඬ කුඩා තිලක්ට කාමරයේ සිටිය දී ම ඇසෙයි.
 
" තව ටිකක් බලමු" යනුවෙන් අම්මා කියනු ඇසුණහොත් කෙඳිරිය උත්සන්න වෙයි. අන්තිමේ බෙහෙත් ගන්නට නොයා සිටින්නට අම්මාටත් නොහැකි වෙයි.
 
" එහෙනම් යංකො " 
 
අම්මා කියනු ඒ සමගම ඇසෙන විට තිලක් පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි.
 
තාත්තා කවුරුන් අතේ හෝ පණිවිඩයක් යවන්නට ඇත. වැඩි වේලාවක් යන්නට මත්තෙන් ලෝරං ගේ කාරය මිදුලේ ය.
 
තුවායකුත් පොරවා තිලක්ව සමග නංගිව ද කැටුව අම්මා කාරයෙහි පසුපස අසුනට නගින්නීය. තාත්තා ඉදිරිපස ය. කාර් එකේ යන ගමන් වටපිට බලන්නට බැරි එක නම් සිතට බොහෝ දුකකි. වටපිට බලමින් සතුටින් පාරේ යනවිට තමන් බොරුවක් කළ බවට අම්මා සැක කරන්නට පුළුවන. එය ඇය උදහසට ලක් වන කාරණයකි.
 
ගම්පහ රෝහල ආසන්නයේ පිහිටා තිබූ වෛද්‍ය එච්. බී. පෙරේරාගේ පෞද්ගලික ඩිස්පැන්සරිය
 
එවකට ගම්පහ රෝහල ආසන්නයේ පිහිටා තිබූ වෛද්‍ය එච්. බී. පෙරේරාගේ පෞද්ගලික ඩිස්පැන්සරිය ළඟ වාහනය නතර වෙයි. එකල එම වෛද්‍යවරයා ගම්පහ මෙන් ම අවට ජනතාවගේ ද ප්‍රසාදය දිනා සිටියේය. ඒ නිසා වෙනත් තැන්වලට වඩා රෝගීන් ගේ පැමිණීම ද වැඩි ය. 
 
"පෙරේරා මහත්තයගෙන් එක බේත් බෝතලයක් ගත්තත් ඇති" කියන්නෝ බොහෝ වූහ. ඒ හේතුවෙන්ම දෝ වෙනත් වෛද්‍යවරුන්ට වඩා ඔහු තරමක් වැඩි මිලක් ද අය කළේය. එක් වරකට වෙනත් වෛද්‍යවරුන් රුපියල් දෙකක් හෝ තුනක් අය කරද්දී පෙරේරා දොස්තර මහත්තයා රුපියල් පහක්ම අය කළේය. 
 
1000 F 191335065 hq89feEoyhHKyXpxUD98eMH22wA62Q1a මාකිලංගමුව පාර දෙපැත්තේ කුඹුරුවල වසා සිටින කොක්කුන්, කොරවක්කන්, දියකාවන් මෙන්ම මීහරක් වැනි සතුන්
 
 
කෙසේ හෝ වෛද්‍යවරයා නලාව පපුවට තබා ලෙඩ බලා බෙහෙත් නියම කළාට පසු තිලක් ට බොහෝ ගුණ ය. ඔහු ආපසු එන්නේ ලෝරං ගේ කාරයේ ඉදිරිපස අසුනේ ය. දැන් මාකිලංගමුව පාර දෙපැත්තේ කුඹුරුවල වසා සිටින කොක්කුන්, කොරවක්කන්, දියකාවන් මෙන්ම මීහරක් වැනි  සතුන් ද හිතේ හැටියට බලාගන්නට හැකි වෙයි. කාරයෙන් ගමනක් යාමේ ආසාව හා සමානම ආසාවක් මෙවැනි දේවල් නරඹන්නට ද තිලක් තුළ විය. ඒ දෙකම එකවර ඉටුකර ගන්නට හැකි වන්නේ අසනීපයක් වැළඳුනහොත් පමණි. ඒ නිසා ඉඳහිට හෝ අසනීපයක් වැළදීම පිළිබඳවද කුඩා ඔහු තුළ සියුම් කැමැත්තක් තිබිණි.
 
IMG 20240607 WA0017 භික්ෂූන් වහන්සේ නමක තුළ ස්වභාවයෙන් ම පැවතිය යුතුයැයි අප විශ්වාස කරන සන්සුන් ස්වභාවය ඉක්මවා ගිය හැඩි දැඩි පෙනුමක් සේම, ඊටම සරිලන ගැඹුරු කටහඬකින්ද යුතු වූ අමරවංශ හිමියන්
 
ගණේමුල්ල  සිරි මහින්දාරාමයෙහි අධිපති ධුරය හොබවමින් සිටි පූජ්‍ය දැවමොට්ටාවේ ධම්මවංශ හිමියන් කලක් රෝගාතුරව හිඳ 1968 වසරේදී අපවත් වූහ.  ඉන්පසු එහි විහාරාධිපති ධූරයට පත් වූයේ පූජ්‍ය දැවමොට්ටාවේ අමරවංශ හිමිපාණන් ය. භික්ෂූන් වහන්සේ නමක තුළ ස්වභාවයෙන් ම පැවතිය යුතුයැයි අප විශ්වාස කරන සන්සුන් ස්වභාවය ඉක්මවා ගිය හැඩි දැඩි පෙනුමක් සේම, ඊටම සරිලන ගැඹුරු කටහඬකින්ද යුතු වූ අමරවංශ හිමියන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපී පෙනෙන භූමිකාවක් කළ හිමිනමකි. 1956 මහ මැතිවරණයෙන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ජයග්‍රහණය හිමි කර ගත්තේ එක්සත් ජාතික පක්ෂය ආසන අටකට බස්සවමිනි. මෙහි දී එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ජනතාවගේ ප්‍රසාදය නැවත ලබා ගැනීම සඳහා දැඩි කැපවීමක් කළ සහ එම පක්ෂයේ වේදිකාවට ගොඩවූ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනා අතර දැවමොට්ටාවේ අමරවංශ, මාලේවන ඤාණිස්සර, මීටියාගොඩ ගුණරතන වැනි හිමිවරු ප්‍රමුඛ වූහ.   
  
amarvansaඅමරවංශ හිමියන්ගේ මුද්දරයක්
 
අමරවංශ හිමියන් විහාරාධිපති ධූරයට පත්වූ පළමු වසරේදීම  වෙසක් පෝය නිමිත්තෙන් විශාල ශීල ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබිණි. එවකට තිලක්ගේ පියා මහින්දාරාම විහාරස්ථාන දායක සභාවේ භාණ්ඩාගාරික තනතුර දැරීය. මෙම ශීල ව්‍යාපාරය සඳහා දහම් පාසල් දරුවන් ඇතුළු වැඩිහිටියෝ විශාල පිරිසක් සහභාගි වූහ. වයස අවුරුදු දහයක් පමණ වූ තිලක්ව ද ශීල ව්‍යාපාරයට සම්බන්ධ කිරීමට ඔහුගේ පියාට අවශ්‍ය විය. 
 
templeගණේමුල්ල සිරි මහින්දාරාම විහාරස්ථානය
 
" අනේ මේ පොඩි එකාට ඕව තේරෙනවද? තව ටිකක් ලොකු වුණාම බැරියැ සිල් ගන්න. '
 
අම්මා ඊට විරෝධය පා තිබුණේ එලෙසිනි.
 
" තේරෙන්නේ නැති නිසා තමයි එක්ක යන්න ඕනේ. එතකොට ඒ ළමයා ඒව තේරුම් ගනී"
 
තාත්තා එසේ පැවසූ පසු අම්මා තම අදහස අත්හැර ගෙන තිබේ. සුදු පාට සරම්පොඩිය අන්දවා එය තදට සිටින සේ සුදු පාට රෙදි පටියක් ඉනට තබා බැඳ ගැට ගැසුවේ අම්මා ය. ඊට උඩින් සුදු නැෂනල් කමිසය අන්දවා උතුරු සළුවක් ද දමා අම්මා විසින්ම සූදානම් කර වූ පසු තිලක්ගේ  අතින් අල්ලා ගත් තාත්තා වටින් ගොඩින් එළිය වැටී ගෙන එන හිමිදිරි පාන්දරම පාරට බැස්සේය.
 
හාමුදුරුවන් විසින් සිල් සමාදන් වීමට පැමිණි පිරිස ශීලයෙහි පිහිටුවා ඒ කටයුතු සියල්ල අවසන් වූ පසු සිල් ඇත්තන්ට දානය පිරිනමන අවස්ථාව යෙදිණි. සිල් සමාදන් වූ පිරිසට දානය ගැනීම සඳහා වාඩිවීමට සකස් කර තිබුණේ ළමයින් වෙනමත්, වැඩිහිටියන් වෙනමත් මුහුණට මුහුණ ලා සිටින සේ ය.
 
vajiraramayaදැවමොට්ටාවේ අමරවංශ හිමියෝ සිවුරු පොට උරහිසට උඩින් නැවත නැවත සකස් කර දමා ගනිමින් අභිමානවත් ගමනින් ශාලාව තුළට වැඩියහ.
 
දානය බෙදීම ආරම්භ කිරීමට පෙර දැවමොට්ටාවේ අමරවංශ හිමියෝ සිවුරු පොට උරහිසට උඩින් නැවත නැවත සකස් කර දමා ගනිමින් අභිමානවත් ගමනින් ශාලාව තුළට වැඩියහ. ඉන්පසු ශාලාව සිසාරා බැල්මක් හෙලා ඒ මැද්දෙන් ගමන් කරන්නට පටන් ගත්හ.
 
" ආ.....මේ පොඩි  උපාසකම්මල උපාසක මහත්තුරු දැන් මෙතනට ආවෙ මොකටද කියලා දන්නවද? "
 
හාමුදුරුවන්ගේ ගාම්භීර කටහඬ ශාලාව පුරා පැතිර ගියේය. කුඩා දරුවෝ ශාලාව තුළ බිම වාඩිවී මීයට පිම්බාක් මෙන් නිහඬව බලා සිටිති.
 
" මෙතනට ආවෙ මොකටද ? දානෙ වළඳන්න." උන්වහන්සේ ප්‍රශ්නය අසා උන්වහන්සේම හොඳින් ඇද පැද පිළිතුරු ද දෙයි.
 
piliruwaගණේමුල්ල දුම්රිය ස්ථානයේ ඉදිකර ඇති අමරවංශ හිමියන්ගේ පිළිරුව
 
 
" වෙනදට කෑම කනවා. අද මොකද කරන්නේ ? අද දානේ වළඳනවා. ඒක තමයි සීලය කියන්නේ. මේ පොඩි උපාසකම්මලා උපාසක මහත්තුරු දානේ වළඳන  වෙලාවට වටපිට බලන්න බෑ. කතා කරන්න බෑ. අනික් අයගේ පිඟන් දිහා බලන්න බෑ. කෑම ඉතුරු කරන්නත් බෑ. තමුන්ට කෑම එපා නම්, කන්න බැරි කෑම තියෙනව නම් එපා කියලා කටින් කියන්න බෑ. ඒ වෙලාවට පිඟාන අල්ලෙන් වහගන්න  ඕනේ. තේරුණාද ? " 
 
අමරවංශ හිමියන් ගාම්භීර හඬින් පැවසූ දේශනය කුඩා තිලක් ද හිස් මුදුනින් පිළි ගත්තේය.
 
දානය බෙදීම ආරම්භ විය.
 
111 1 newsදානය බෙදීම
 
මුලින්ම ආවෙ ඉඳිආප්ප ය.
 
එක් වැඩිහිටි කාන්තාවක් ඉඳිආප්ප හතරක් පහක් වැනි ප්‍රමාණයක් සෑම පිඟානකට ම බෙදා ගෙන යද්දී ඊට පිටුපසින් පැමිණි වැඩිහිටි කාන්තාවක් පොල් සම්බෝල ස්වල්පය බැගින් ඉඳිආප්ප උඩට දමාගෙන ගියාය.
 
" අය්යෝ මේ පොඩ්ඩ විතරක් ඇතියැ" කුඩා දරුවා තුළ ඇති වූයේ සියුම් නොසතුටකි.
 
නමුත් ඊළඟට පාන් පෙත්තක් ලැබිණි. තවත් වැඩිහිටි කාන්තාවක් කිරිහොදි ස්වල්පයක් බැගින් පිඟානට බෙදා ගෙන යන්නට වූවාය. 
 
පාන් කන්නට වැඩි ආශාවක් නොතිබුණත් ඉඳිආප්ප පමණක් මදි නිසා තිලක් පිඟාන අතින් වැසුවේ නැත.
 
තවත් කාන්තාවක් දන් බෙදන පෝලිමට එකතු වූවාය. ඇය අතින් සියලු දෙනාගේ පිඟන්වලට ආප්පය බැගින් ලැබෙන්නට විය. ලැබුණේ එක ආප්පයක් වුවත් කුඩා තිලක්ගේ අඳුරු වී තිබූ මුහුණට එළියක් වැටිණි. ආප්පයට උඩින් සීනි සම්බෝල ටිකක් ද ලැබුණේය. ඊළඟට ආවේ තම්බපු කඩල ටිකකි. දැන්නම් ඇතියැයි තිලක් ගේ සිතට සතුටක් ඇති විය. නමුත් පෝලිමේ ඊළඟට පැමිණි වැඩිහිටි කාන්තාව දන් පිඟාන මතට කිරිබත් ගුලිය බැගින් තියාගෙන තියාගෙන ගියාය. මීට කලින් තිලක් මෙවැනි කිරිබත් ගුලි දැක නැත. ඒ නිසා පිඟානට ලැබී තිබූ කෑම ප්‍රමාණවත් වුවත් කිරිබත් ගුලිය ප්‍රතික්ෂේප කරන්නට මේ කුඩා දරුවාට නොසිතිනි. අමරවංශ හිමියන් අනුන්ගේ පිඟන් දිහා බලන්නට එපා කීවත් යාන්තමට ඇස් දෙක පමණක් හරවා තිලක් අසල සිටි අනෙක් ළමයාගේ පිඟාන දෙස බැලුවේය. ඔහු කිරිබත් ගුලිය ඇඟිල්ලෙන් හාරා පලා තිබේ.  ඒ තුළින් එළියට ඇවිත්  තිබුණේ පැණිපොල් ය. කුඩා තිලක් ගේ සිතේ සතුට පිරී ඉතිරී ගියේය.
 
තම ජීවිතේ ඉඹුල් කිරිබත් කෑ පළමු දවස ලෙස එය තිලක්ගේ මතකයේ සදානුස්මරණීය අයුරින් තැන්පත්ව තිබේ.
 
6පිඟාන පිරෙන්නට කෑම ය. අතක් තියන්නවත් පිඟානේ ඉඩක් නැත
 
 
පිඟාන පිරෙන්නට කෑම ය. අතක් තියන්නවත් පිඟානේ ඉඩක් නැත. මුලින් ඉඳිආප්ප හතරක් පහක් ලැබුණු වෙලාවේ 'මේ ටික කාලා කොහොම බඩගින්න නිවාගන්න දැ' යි සාංකාවෙන් සිතුවත් දැන් වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත ය. ලොකු හාමුදුරුවන් කීවේ කෑම  පොඩ්ඩක්වත් පිඟානේ ඉතුරු කරන්න එපා කියාය. කෑම එපා නම් පිඟාන  අල්ලෙන් වසාගන්න යැයි කීවත් රසවත් ආහාර ලැබුණේ අන්තිමට ය. එනිසා පිඟාන අතින් වසන්නට සිතුණේ නැත. පාන් පෙත්ත අන්තිමට ලැබුණා නම් ඒක කරන්නට හොඳටම ඉඩකඩ තිබිණි. දැන් ඉතින් මොන අමාරුවකින් හෝ මේ සියල්ල බඩට දා ගත යුතුය.  
 
 
කුඩා දරුවා එකින් එක කෑම වර්ග කන්නට පටන් ගත්තේය. මුලින්ම කෑවේ පැණිපොල් පිරවූ ඉඹුල් කිරිබත් ගුලියයි. ඉන්පසු ආප්පය කෑවේය. කඩලවලටත් ආසාව ඇත. එනිසා කඩල ටිකත් අපහසුවෙන් තොරව කෑමට හැකි විය. දැන් නම් බඩ පිරී ඇති බව දැනේ. නමුත් ඉඳිආප්ප ටිකත් පාන් පෙත්තත් එහෙමම ය. අමාරුව නොතකා ඉඳිආප්ප කීපයත් කෙසේ හෝ කා ගත හැකි විය. දැන් නම් උගුර කිට්ටුවටම කෑම ඇවිත් තිබෙනු දැනේ. නමුත් පිඟානේ පාන් පෙත්ත ඉතුරුව ඇත. මෙයත් කෙසේ හෝ කෑ යුතුය. නැත්නම් ලොකු හාමුදුරුවන්ට හිස් පිඟාන පෙන්වන්නේ කෙසේද ? පාන් පෙත්ත තුනට හතරට නවා කුඩා දරුවා එය උගුරටම ඔබා ගත්තේය. 
උස්මුරුත්තාව යන වචනය  තිලක් ඒ වන විට දැන සිටියේ නැත. නමුත් අත්දැකීමෙන්ම එදා එය ලබා ගත් බව ඔහු දැනුම් තේරුම් වයසට එන විට වටහා ගත්තේය.
 
ළමයින් කෑම ඉතුරු කර තිබෙන්නේ දැයි බලන්නට පිඟන් පරික්ෂා කිරීම සඳහා ලොකු හාමුදුරුවන් පැමිණෙතැයි මේ කුඩා දරුවා සිතා සිටියේය. අර තරම් අමාරුවෙන් සියල්ල ගිල දැමුවේ ඒ නිසා ය. නමුත් හාමුදුරුවන් ගියා ගියාමය, නැවත දාන ශාලාව අහලකටවත්  පැමිණියේ නැත. එසේම දානය ගෙන අවසන් වී අනික් ළමයින්ගේ පිඟන් දෙස බැලූ තිලක්ට අදහාගත නොහැකි විය. ඒ කිසිදු දරුවකු ලොකු හාමුදුරුවන්ගේ උපදෙස පිළිපැද නොතිබිණ. උගුර ළඟට එනතුරු දානය වැළඳීම නිසා ඇතිවූ අපහසුතාවයෙන් ඔහු පමණක් තනිව පීඩා විඳිමින් සිටියේය.
 
 
image068දානය ගෙන අවසන් වී අනික් ළමයින්ගේ පිඟන් දෙස බැලූ තිලක්ට අදහාගත නොහැකි විය. ඒ කිසිදු දරුවකු ලොකු හාමුදුරුවන්ගේ උපදෙස පිළිපැද නොතිබිණ
            
පාසැලෙන් කට්ටි පැන ඉහළ පන්තියක සිසුන් සමග කොළඹ ගිය හැටි ඊළඟට කියවමු.
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...