තිලක් සේනාසිංහගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයේ තිලක්ලාගේ අටවෙනි ශ්‍රේණියේ පන්ති කාමර පිහිටා තිබුණේ වටේටම ආවරණය වී තිබූ උස් බිත්ති සහිත ගොඩනැගිල්ලක ය. මෙය තුළ ඔහුට දැනුණේ සිරවී සිටින්නාක් බඳු මහත් අසහනකාරී හැඟීමකි. මීට පෙර කෙටි බිත්ති තිබූ පන්ති කාමරවල සිටියදී අවට ගස්වල කුරුල්ලන්, ලේනුන් වැනි සතුන් නාද කරන ආකාරය, ඔවුන් ගස්වල අතුපතර මත ඒ මේ අත දුවමින් පනිමින් යන ආකාරය පන්තියේ ඉගැන්වීම් කරන අතරතුර දී පවා තිලක් බොහෝ කැමැත්තෙන් යුතුව බලා සිටියේය.
" ඔය ළමයා කොයි ලෝකෙද ඉන්නෙ ඔය?"
එවැනි බොහෝ අවස්ථාවල ගුරුවරුන් ඔහුගෙන් විමසා තිබිණි. නමුත් තිලක්ට සිතුණේම පන්ති කාමරයේ පොත් අතර සිර වී හිඳිමින් ලබන මෙම ඒකාකාරී අධ්‍යාපනයේ කුමක් හෝ බරපතල අඩුවක් ඇති බවයි. එනිසා පන්ති කාමරයෙන් එපිට ඇති ලෝකය සොයා යන්නට එමඟින් ද යමක් ඉගෙන ගන්නට ඔහුට බලවත් වුවමනාවක් ඇති විය.
ඒ කාලයේ හේමමාලියේ වැසිකිළි පේළිය ළඟින් කම්බි වැට පැන්න විට අඩි පාරක් තිබිණි. එම අඩිපාර ඔස්සේ මීටර තුන්සීයක් පමණ ගිය කල ගෙවල් මණ්ඩියක් හමුවෙයි. මෙම නිවසක වෙසෙන සිසුවකුට පණිවිඩයක් කියන්නට දිනක් තිලක්ට අනපේක්ෂිත ලෙස එහි යාමට සිදුවිය.
කම්බි වැට පැන්න විට අඩි පාරක් තිබිණි. එම අඩිපාර ඔස්සේ මීටර තුන්සීයක් පමණ ගිය කල ගෙවල් මණ්ඩියක් හමුවෙයි.
" දැන් ඔය දරුවා ආපු පාරෙන්ම ආපහු යන්න ගියොත් ගොඩක් දුර යන්න වෙනවා. ඔයාට තිබ්බටුගොඩට යන්න බොහොම ලේසියි මේ පැත්තෙන් ගිහාම..... " එම වැඩිහිටි කාන්තාව අත දිගුකර විරුද්ධ පැත්තේ ඉසව්ව දක්වමින් තිලක්ට පාර කියන්නට වූවාය.
ඇය පැවසූ ආකාරයට එම අඩි පාරේ මඳ දුරක් ගිය විට ගම්සභා පාරක් හමුවෙයි. දැන් එම පාර හඳුන්වන්නේ ආරියතිලක මාවත ලෙසිනි. එකල ගම් සභා පාරවල් ලෙසින් හඳුන්වන ඒවා දැන් ප්‍රාදේශීය සභාවන්ට අයත් පාරවල් ය. එම පාරේ මීටර් විස්සක් පමණ යනවිට වම් අත පැත්තට දෙවැට පාරක් වෙයි. එම දෙවැට පාරේ ටිකක් දුර යනවිට හමුවන විශාල වෙරළු ගස ළඟින් දකුණට හැරුණු විට හමුවන්නේ බඩවැටියක් හා කජු ගස් මණ්ඩියකි. එම කජු ගස් මණ්ඩිය ළඟින් තව ටිකක් දුර ගිය විට තවත් ගම්සභා පාරකට වැටෙයි. ඒ තිලක්ගේ නිවස පිහිටි පාර ය. එම ගම්සභා පාර දැන් වෛද්‍ය පත්මපෙරුම මාවත ලෙසින් හඳුන්වයි.
ගණේමුල්ල ප්‍රදේශයේ අද දක්නට නැති බෝල වටුවෙක්
එම මං සලකුණු ඔස්සේ ගිය තිලක්ට දැනුණේ පුදුමාකාර ආශ්වාදනීය හැඟීමකි. විශේෂයෙන් දෙවැට පාරවල් දෙපැත්තේම වූයේ ලඳු කැලෑව ය. එහි තිබුණේ ගුප්ත නිහැඬියාවකි. එම නිහඬ බව බින්දේ කුරුල්ලන්, ලේනුන් වැනි කැලෑවේ වෙසෙන සතුන් ය. ඒ අතර බෝල වටුවන් බහුලව දැකගත හැකි විය. තම පැටවුන් පිරිවරාගෙන ඔවුහු කැලෑවේ ඒ මේ අත ගියහ. බෝල වටුවන්ට අඩි දහයකට දොළහකට වඩා දුරක් ඉගිලිය නොහැකි ය. කලබලයක් වූ විට එසේ ඉගිලීගොස් වෙනත් තැනක වැසීම ඔවුන්ගේ සිරිතයි. පැටවු නම් කොහේ හෝ තැනක සැඟවෙති. බෝල වටු මවක් පැටවුන් සමග සිටිනු දුරදීම දැක තිලක් ගසකට මුවාවී සැඟවී බලා සිටියේ ඔවුන් කුමක් කරන්නේද? යන්න දැක ගැනීමට ය. නමුත් කොළයක් සුළඟට වැටෙන ශබ්දයට පවා බියවී දිව යාම මේ බෝල වටු කුරුල්ලන් ගේ ස්වභාවය විය. මෙවැනි සුන්දර අත්දැකීම් මහ පාරෙන් එන විට ලද නොහැකි නිසා තිලක් ඉන්පසු හේමමාලියට ගියේත්, ආපසු ආවේත් එම කැලෑ පාරෙනි. නමුත් ඒ කැලෑවල්, දෙවැට පාරවල්, බඩවැටි ආදී කිසිවක් දැන් ගණේමුල්ලේ මේ කියන ප්‍රදේශවල නැත. බෝල වටුවන් ද ආගිය අතක් නැතිව, නැවත නොඑන්නටම යන්න ගොසිනි.
සෙල්ලප්පෙරුම ගේ සමන් පියසිරි ප්‍රනාන්දු හේමමාලියේම 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලද ශිෂ්‍යයෙකි.තිලක් 1958 වසරේ මාර්තු 22 වන දා උපත ලබා තිබූ අතර සමන් උපත ලබා තුබුණේ ඒ වසරේම මාර්තු 23 වන දා ය. ඔහු පදිංචිව සිටි නිවස පිහිටියේ තිබ්බටුගොඩ පන්සලවත්ත නමින් හඳුන්වන ප්‍රදේශයේ ය. එහි එවකට යකාකන්ද නමින් කොටසක් තිබිණි. අද වනවිට එම යකාකන්ද නම භාවිත නොවේ. සමන් පියසිරිලා තදින් ජීව සිටියේ මෙය මෙම යකා කන්දේ කුලී නිවසක ය.
සමන් පියසිරිලා එකල විසූ කුලී නිවස පිහිටි ප්‍රදේශය අද
සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහු වැඩි උසක් නැති මුත් පුෂ්ටිමත් සිරුරකට හිමිකම් කී බෝලයක් බඳු වූ සමන් කිසිවකු සමගවත් වැඩි කතා බහක් නැති නිහඬ, සාමකාමී චරිතයක් විය. ඔහුගේ දකුණු කන් පෙත්තේ ජිල් බෝලයක් තරමේ කුඩා ගෙඩියක් තිබිණි. වම් අතේ කළු පැහැති ලපයක් විය. තිලක් මෙම කැලෑ පාර ගැන සමන්ට කී කල එම පාරෙන් පාසලට යාමට ඒමට සමන් එක පයින් කැමැත්ත පළ කළේය. ඊට පසුදින හරියටම උදේ 06.55 වන විට සමන්, තිලක්ගේ නිවස ඉදිරිපිට පාර අයිනේ නතර වූයේ තිලක් එනතුරු ය. කොතරම් නිවස ඇතුළට කැඳෙව්වත් සමන් එම ආරාධනාව මඳ සිනාවකින් බැහැර කළා මිස පිළිගත්තේ නැත. මේ නිසා තිලක් ඉන්පසු හරියටම 06:55 වන විට සූදානම් වී සමන් එනතුරු බලා සිටීම පුරුද්දක් කර ගත්තේය. ඉන්පසු දෙදෙනාම එක්ව එම කැලෑ පාර දිගේ පාසැල් ගියහ. සියලුම පාසල් සිසුන් නියමිත පාරේ පාසලට යද්දී කිසිවකුත් නොයන කැලෑ පාරකින් මෙලෙස ගමන් කළේ ඔවුන් දෙදෙනා පමණි. සොබාදහමට, පරිසරයට ආදරය කළ ඔවුන් දෙදෙනා මෙයින් ලද සහන් සුවය අපමණ විය.
සමන් දුම්රිය එන්ජින් වැනි කාර්මික චිත්‍ර, ත්‍රිමාන චිත්‍ර ආදිය ඇඳීමට මහත් දක්ෂතාවයක් පළ කළ අයෙකි. ඔවුන් පාසලට යන එන අතරතුර දී එවැනි මාතෘකාවක් පිළිබඳව කතා කළහොත් පසුදින උදේට පාසලට එන විට එම කතාවට අදාළ චිත්‍රයක් ඇඳ ගෙන ඒමට සමන් අමතක කළේ නැත. එපමණටම ඔහු ඒවාට ලැදි විය. එම චිත්‍ර ඉල්ලා ගත් තිලක් ඒවා බොහෝ ප්‍රවේශම් කළේය.
සමන් දුම්රිය එන්ජින් වැනි කාර්මික චිත්‍ර, ත්‍රිමාන චිත්‍ර ආදිය ඇඳීමට මහත් දක්ෂතාවයක් පළ කළ අයෙකි. එකල සාමාන්‍ය පෙළ ශ්‍රේණි නම් කර තිබුණේ 9, 10 -1 සහ 10 - 2 ලෙසිනි. 11 ,12 ශ්‍රේණි උසස් පෙළට අයත් වූ අතර 13 නමින් ශ්‍රේණියක් පාසල්වල පැවතියේ නැත. ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලද්දේ 7 වෙනි ශ්‍රේණියේ දී ය. ශිෂ්‍යත්ව විභාගයෙන් පාසලක් හිමිකර ගැනීමට නොහැකි වූ ඕනෑම දරුවකුට සාමාන්‍ය පෙළ සඳහා මහා විද්‍යාල සහ මධ්‍ය මහා විද්‍යාල ආදියට ඇතුළත් වීම පිණිස 8වෙනි ශ්‍රේණියේ දී ඉල්ලුම්පත් යොමු කළ හැකිය. ඒ අනුව එම එක් එක් පාසල්වලින් තරඟ විභාගයක් පවත්වා සිසුන් තෝරා ගැනීම සිදු කෙරිණි. මෙලෙස තිලක්ට මෙන්ම සමන්ට ද ගණේමුල්ලේ, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට සාමාන්‍ය පෙළ සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලැබිණි.
වර්තමානයේ පාසල් සිසුන්ට තමන් කැමති විෂයධාරාව තෝරා ගැනීමට ලැබෙන්නේ උසස් පෙළ දී ය. නමුත් ඒ කාලයේ එය සාමාන්‍ය පෙළ දී ම තෝරා ගත යුතු ය. විද්‍යා, කලා, වාණිජ වශයෙන් පැවති එම විෂය ධාරාවේදී විද්‍යා විෂය ධාරාව ජීව විද්‍යා සහ ගණිතය වශයෙන් කොටස් දෙකකට බෙදිණ. ජීව විද්‍යා විෂය ධාරාව හදාරන්නේ කෙදිනක හෝ වෛද්‍ය වෘත්තියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටි සිසුන් ය. අනාගතයේ ඉංජිනේරු වෘත්තියට පිවිසෙන අරමුණින් සිටි සිසුහු ගණිතය විෂය ධාරාවට යොමු වූහ. ඇතුළත් වීමේ තරඟ විභාගයෙන් වැඩිම ලකුණු සහිත සිසුන් විද්‍යා විෂය ධාරාවන්වලට ද, ඊළඟ ලකුණු මට්ටම අනුව වාණිජ විෂය ධාරාවටද , ලකුණු අඩු සිසුන් කලා විෂය ධාරාවට ද තෝරා ගැනීම සාමාන්‍යයෙන් එකල බොහෝ පාසල් විසින් අනුගමනය කරන ලද ක්‍රමයයි.
ගලහිටියාව මධ්‍ය මහා විද්යාලයවිල්සන් කරුණාරත්න මහතා තම පාසලට සාමාන්‍ය පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අනුගමනය කළේ ඉහත කී ක්‍රමවේදය නොවේ. සිසුන් වැඩියෙන්ම ඉහළ ලකුණු ලබාගෙන ඇති විෂයයන් පිළිබඳ එතුමා මුලින්ම අවධානය යොමු කළේය. එම විෂය ඇතුළත් විෂය ධාරාවට ඒ ඒ සිසුවන් යොමු කිරීම තුළින් ඔවුන්ට තමන් කැමති සහ වැඩි දක්ෂතාවයක් දක්වන විෂය ඔස්සේ ඉහළට යාමට මාවතක් තනාගත හැකි බව මෙම විදුහල්පතිවරයා විශ්වාස කළේය. ඒ අනුව ඇතුළත් වීමේ තරඟ විභාගයෙන් පොදුවේ ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් සිසුවකු වුවද, වැඩිම ලකුණු ලබා ගෙන ඇත්තේ සිංහල විෂයට නම් එම සිසුවා විද්‍යා විෂය ධාරාවට යොමු කිරීම නොගැළපේ යැයි විදුහල්පතිවරයාගේ විශ්වාසය විණි. ඉන්පසු එතුමා අලුතින් තෝරා ගන්නා ලද සිසුන් එක් එක් පන්තිවලට යොමු කිරීමට පෙර පවත්වන ලද දෙමාපිය රැස්වීමේ දී තමන්ගේ අදහස දෙමාපියන් ඉදිරියේ ප්‍රකාශ කළේ ඔවුන්ගේ විරුද්ධත්වයක් තිබේදැයි දැන ගැනීමට ය. මෙයට දෙමාපියන් පොදුවේ කවර ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වූයේදැයි තිලක් හරි හැටි දැන සිටියේ නැත. කෙසේ හෝ සිංහල විෂයට ඉහළම ලකුණු ලබා ගෙන තිබූ තිලක් කලා විෂය ධාරාව සඳහා ඇතුළත් කෙරිණි. දෙමාපියන් නිවසට පැමිණ මේ පිළිබඳව ඔහුගෙන් විමසද්දී ඔහු ඊට ඉත සිතින් කැමැත්ත පළ කළේය. සාහිත්‍යයට සේම පරිසරයට ද අප්‍රමාණ ලොල් බවක් දැක්වූ ඔහු තුළ විද්‍යා සහ වාණිජ විෂයයන් කෙරෙහි කිසිදු උනන්දුවක්වත්, කැමැත්තක්වත් තිබුණේ නැත. මෙලෙස තිලක් කලා විෂයන් තෝරා ගනිද්දී සමන්ව තේරී තිබුණේ වාණිජ විෂය ධාරාවට ය. ඉන්පසු තිලක්ට සමන්ව මග හැරිණි.
සමන් උසස්පෙළ සමත්ව කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ මුලින්ම අපේ රටේ කැරැල්ලක් ඇති කළේ 1971 වසරේදී ය. ඒ තිලක් සහ සමන් කැලේ පාරෙන් හේමමාලියට ආ ගිය වසර යි. සමන් සහ තිලක් ගේ වයස මේ වන විට අවුරුදු දහතුනකි. 71 කැරැල්ල පිළිබඳ ව ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණු ප්‍රවෘත්ති සහ වැඩිහිටියන් කතා වෙන දේවල් මිස ඊට වඩා දෙයක් ඔවුන්ට දැනගත හැකි වූයේ නැත. හැරත් ඔවුන් දෙදෙනාම සිටියේ කැරැල්ලක් පිළිබඳව හෝ ජනතා විමුක්ති පෙරමුණ නැමැති එවකට රාජ්‍ය විරෝධී දේශපාලන පක්ෂයක් ලෙස සැලකූ පක්ෂය පිළිබඳව හෝ වැටහීමක් ඇතිකර ගත හැකි වයසක නොවේ.
එකල මෙරට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් රජය විසින් 71 කැරැල්ල මැඩලූවද, එම පක්ෂය හෝ තරුණයන්ගේ නැගිටීම සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන්නට එම රජයට හැකිවූයේ නැත.
මෙරට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් රජය විසින් 71 කැරැල්ල මැඩලිම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ව සිටි සමන්, වේයන්ගොඩ නගරයේ දී පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ රැළියකට මුලින්ම සහභාගී වී තිබුණේ 1978 වසරේදී ය. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ව සිටි උපතිස්ස ගමනායක විසින් පවත්වන ලද දේශනයකට සවන් දුන් සමන්, ජනතා විමුක්ති පෙරමුණට එක් වීමට ඒකමතිකව තීරණය කළේය. ඔහු කෙතරම් එම පක්ෂය තුළ කැපවීමෙන් ක්‍රියා කළේ ද යත්, මද කලෙකින්ම ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වශයෙන් පැවැති දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා බවට පත්වීමට හැකි විය. ජනතා විමුක්ති පෙරමුණට එක් වීමෙන් පසුව ඔහුගේ නම බොහෝ විට භාවිතා වූයේ කීර්ති විජයබාහු යනුවෙනි. ඒ හැරුණු විට කබ්රාල්, මෙන්ඩිස්, බාප්පා, මුදියන්සේ, ධම්මික, මහින්ද, ජනක යන නම්වලින් ද පක්ෂය තුළ දී ඔහු හඳුන්වා ඇත. මේ කාලය වන විට සමන්, ඔහුගේ පවුලේ අය සමග ගණේමුල්ලේ පදිංචිය අතහැර වෙනත් ප්‍රදේශයකට ගොස් සිටියේය. ඔහු කොහේ සිටින්නේ ද යන්න හෝ ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් තිලක්ට ලැබුණේ නැත.
නමුත් එක්තරා දිනයක හදිසියේම ඔහු තිලක් සොයාගෙන ගණේමුල්ලේ නිවසට පැමිණ තිබිණි. ඒ සිත්තර, කුමරි වැනි පත්තර ටිකක් ඉල්ලා ගන්නට ය. විශේෂයෙන් එවැනි පත්තර එකතු කිරීමක් නොකළත් නිවසේ තිබූ පත්තර ටික සොයා තිලක් සමන්ගේ අතට පත් කළ පසු ඔහු එහි පිට කවරය දෙස බලා මඳක් කල්පනා කරන්නට විය.
" මේවයෙ ස්ටාෆ් කොපි, නොට් ෆෝ සේල් කියලා සීල් ගහල නේද ?" සමන් කීවේ දෙ බැම රැලි කරගෙන ය.
" මොකටද මේවා?"
එවර තිලක් ඇසීය.
උන්ගෙ පොත් අස්සෙ මේ වගේ පත්තර තියෙනකොට පොලිසියයි ආමි එකයි අපිව සැක කරන්නේ නෑ. මල් පත්තර කියවන මානසිකත්වයක් තියෙන උන් මේ විදිහේ දේශපාලනයක් කරන්න එන්නෙ නෑ කියලා උන් හිතන්නෙ" අපේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ පොත් අස්සට දාන්න. උන්ගෙ පොත් අස්සෙ මේ වගේ පත්තර තියෙනකොට පොලිසියයි ආමි එකයි අපිව සැක කරන්නේ නෑ. මල් පත්තර කියවන මානසිකත්වයක් තියෙන උන් මේ විදිහේ දේශපාලනයක් කරන්න එන්නෙ නෑ කියලා උන් හිතන්නෙ. කමක් නෑ මේ ටික දෙන්න මම අරන් යන්නම්"
එසේ කී සමන් පත්තර ටික සිය බෑගයේ දමාගෙන පිටවී ගියේය. ඉන්පසු තිලක්ට නැවත කවදාවත් සිය පාසල් මිතුරා දෑසින් දැක ගැනීමට අවස්ථාව නොලැබිණි. නමුත් ඔහු ගැන ආරංචි වරින්වර නොලැබුණාම නොවේ.
හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලට එල්ලකරන ලද ප්‍රධාන ප්‍රහාර පහක දී ම සිය කණ්ඩායම මෙහෙයවා තිබුණේ සමන් ය.ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා විශාල කැපවීමක් කළ සමන් හෙවත් කීර්ති විජයබාහු 1985 දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට ද පත් කර ගෙන තිබිණි. ජවිපෙ යුද අංශයේ නායකයා වූ සමන් ගේ මෙහෙයවීම මත රට පුරා ජවිපෙ අවි පුහුණු කඳවුරු ආරම්භ කරනු ලැබීය. ඒවා ඉතා රහසේ විධිමත්ව පවත්වාගෙන යමින් විශාල වශයෙන් තරුණ තරුණියන් තම සංවිධානය වෙත එක් රැස් කර ගැනීමට ඔවුහු සමත් වූහ. හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලට එල්ලකරන ලද ප්‍රධාන ප්‍රහාර පහක දී ම සිය කණ්ඩායම මෙහෙයවා තිබුණේ සමන් ය.
88 - 89 යනු මෙරට භීෂණ සමය පැවති යුගයයි. ජනතා විමුක්ති පෙරමුණෙහි දෙවන කැරැල්ල පැවැති මේ සමයේදී මෙරට සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් ඝාතනය වන අතරේ, හමුදාව අතින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සාමාජිකාවෝ විශාල ප්‍රමාණයක් මැරුම් කෑහ. විශේෂයෙන් 89 අගෝස්තු මාසයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ගන්නා ලද තීරණයකට අනුව හමුදා සහ පොලිස් භටයන්ට සිය සේවාවන්ගෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නද, ඔවුන් එසේ නොකිරීම නිසා ඔවුන්ගේ පවුල්වල අය ඝාතනයට ලක් කිරීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කටයුතු කර තිබුණි. මේ නිසාම ආරක්ෂක අංශ විසින් කැරලිකරුවන්ට එරෙහිව අනුකම්පා විරහිත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. දෙපාර්ශවයේම අය සේම ඒ අයගේ පවුල්වල අය පවා විශාල වශයෙන් ඝාතනයට ලක්වන්නට බලපෑවේ එවැනි තීරණයි.
1989 නොවැම්බර් 13 වෙනිදා ආරක්ෂක අංශ මගින් ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනය කෙරිණි1989 නොවැම්බර් 13 වෙනිදා ආරක්ෂක අංශ මගින් ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනය කෙරිණි. ඉන්පසු නොවැම්බර් 28 වෙනි දින ජවිපෙ නායකත්වයට කීර්ති විජයබාහුව පත්කරනු ලැබීය. නමුත් ලිඛිතව ජවිපෙ නායකයන් ලෙස කටයුතු කළේ එහි දේශපාලන මණ්ඩලයෙහි ජ්‍යෙෂ්ඨයන් වූ සෝමවංශ අමරසිංහ සහ ශාන්ත බණ්ඩාර යි.
ඒ, සෝමවංශ අමරසිංහ, ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහු, ගාමිණී ගුණසේකර සහ උපාලි ජයවීර යන අය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් ඔවුන් පිළිබඳ තොරතුරු සපයන අයට වටිනා ත්‍යාග පිරිනමන බව ය.
මේ අතර රෝහණ විජේවීර ඝාතනය කර මසක් පිරුණු 89 දෙසැම්බර් 13 වැනිදා රට පුරා විවිධ ස්ථානවලට පහරදීමට ජවිපෙ තීරණය කර තිබිණි. එයින් සිදු වූයේ රඳවාගෙන සිටි ජවිපෙ කැරලිකරුවන් ඇතුළු තවත් බොහෝ දෙනෙක් ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක් වීම ය.
පක්ෂයේම කෙනෙකු විසින් දී තිබූ ඔත්තුවක් අනුව එම වසරේ දෙසැම්බර් 27 දා කීර්ති විජයබාහු ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ නාවල කොස්වත්තේ ඔහු සැඟවී සිටි නිවෙසක් තුළ දී ය. එම නිවසේ ඔහු සමග සිටි ඔහුගේ මවත්, නැගණියත්, ඔහු විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි ජවිපෙ හිටපු ලේකම් දයා වන්නිආරච්චිගේ නැගණිය වන ඉන්ද්‍රානිත්, ඇගේ බාල සොයුරා වූ සමන් බන්දුලත් ආරක්ෂක අංශයේ අත්අඩංගුවට පත්විය.
මාස කිහිපයක් අත් අඩංගුවේ තබා ගෙන සිටි සමන් ගේ මව පසුව ඉන් නිදහස් කරන ලද අතර ඔහුගේ නැගණිය රංජනී සහ පෙම්වතිය ඉන්ද්‍රානි ස්ථාන කිහිපයකදීම විවිධ ප්‍රශ්න කිරීම්වලට ලක් කර අවසානයේ රන්මුතුගල නිවාසයේ වසර දෙකක් පුනරුත්ථාපනය කර පසුව නිදහස් කර තිබිණි. ඉන්ද්‍රානි ගේ බාල සොහොයුරා වන එවකට 18 වැනි වියේ පසු වූ සමන් බන්දුල අත්අඩංගුවට පත්වී දෙදිනකට පසු ඝාතනයට ලක්විය.
සමන්ගේ මව හා සමන්ගේ කනිටු නැගණිය අත්අඩංගුවට පත් සමන් පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානයට ගෙන ගොස් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබිණි. නමුත් ඔහු කිසිවක් හෙළි කළේ නැත. ඉන්පසු ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දීර්ඝ ලෙස ප්‍රශ්න කළත් ඔහු කිසිවකට හෝ පිළිතුරු නොදී නිහඬව සිටියේය. පසුව විවිධාකාර වූ වධ බන්ධනවලට ලක් කළත් ඔහුගෙන් කිසිදු තොරතුරක් ආරක්ෂක අංශවලට අනාවරණය කරගත නොහැකි විණි. අවසානයේ අත්අඩංගුවට ගෙන දෙදිනකට පසු එනම්, 1989 දෙසැම්බර් 29 වෙනිදා කීර්ති විජයබාහු හෙවත් තිලක්ගේ ළමා වියේ හිතමිතුරු සමන් මත්තෙගොඩ දී ආරක්ෂක අංශ මගින් ඝාතනය කරනු ලැබීය. ඔහුගේ සිරුර පොල් අතු ගොඩක් මත දමා ගොස් තිබිණ. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගෙන් පසු එම පක්ෂයේ නායකත්වයට පත් කරන ලද කීර්ති විජයබාහු ඝාතනයට ලක් වන විට එම පක්ෂයේ නායකයා ලෙස දින තිස් දෙකක් කටයුතු කර තිබිණි.
තිලක් හා කැළෑ පාරෙන් එකට පාසල් ගිය, බොහෝ දුක් ගැහැටවලින් පිරි ළමා වියක් ගත කළ, එනිසාම බෙහෙවින් නිහඬ චරිතයක් වූ සමන් නොකල්හි ජීවිතය හැර ගොස් තිබුණේ එලෙසිනි.
නැවත හමුවෙමු.
සටහන - ඉන්දු පෙරේරා
තිලක මතක : තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම (පළමු කොටස)
තිලක මතක (2): බළලා ගේ මළගම වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් (ඉන්දු පෙරේරා ලියයි)



