The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

July 1, 2024 • 9:57 AM

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගලහිටියාව මැදි විදුහලේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටි තිලක් ට ඒ වන විට පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය පිළිබඳ ව තිබුණේ දැඩි නොසෑහීමකි.
  • එම පොතක මිල ශත 75 ක් විණි.
  • එවකට තිලක් සාමාන්‍ය පෙළ පන්තියේ සිටි නිසා ඉංග්‍රීසි සහ ගණිතය විෂයන් සඳහා අමතර පන්තියකට ඔහුගේ පියා විසින් ඔහු ඇතුළත් කර තිබිණි.
  • විශේෂයෙන් වෙහෙස මහන්සි වී පොතපත පාඩම් නොකළත් පන්තියේ දක්ෂ සිසුවකු ලෙස ගුරුවරුන් අතර ඔහුට පිළිගැනීමක් තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ගලහිටියාව මැදි විදුහලේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටි තිලක් ට ඒ වන විට පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය පිළිබඳ ව තිබුණේ දැඩි නොසෑහීමකි. පොත පතට පමණක් සීමා වූ අධ්‍යාපනය ඔහුට කොතරම් අමිහිරි වීද යත් පාසල් වේලාවෙන් බැහැරව ඔහු විෂය පොත් කට පාඩම් කරන්නට වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. නමුත් පන්ති කාමරය තුළ ගුරුවරයා උගන්වන විෂය කරුණු ඔහු මැනවින් ධාරණය කර ගත්තේය. ඔහු බොහෝ සෙයින් අමතර පොත පත කියවූ අතර ලෙනාඩ් වුල්ෆ් ගේ බැද්දෙගම, මායා රංජන් ගේ දිගාමඩුල්ලේ ආශ්චර්ය, ආර්. එල්. ස්පිට්ල් ගේ සුදු වැද්දා, සුදු ගෝනා වැනි පොත් කුඩා කල පටන් කොතරම් ආසාවෙන් කියෙව්වේ ද යත් එකම පොත දහ දොළොස් වතාව කියවා රස විඳ තිබිණි.  එසේම එකල තරුණ පිරිස අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබූ ඩීමන් ආනන්දගේ මාරක කතා සහ රහස් පරීක්ෂක කතා පොත් එකක් නෑර තිලක්  කියවූයේය. එම පොතක මිල ශත 75 ක් විණි. සතියකට දෙකකට වතාවක් අලුතින් පොතක් නිකුත් වෙයි. මේ හැර පාසැලේ විෂය පොත් අතරින් ඔහු නැවත නැවත කියවූ පොතක් වී නම් ඒ සිංහල සාහිත්‍යය විෂයට අයත් පොත්පත් ය. ක්‍රීඩා, කැඩෙට් වැනි පාසලේ බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි උනන්දුවක්  නොදැක්වූ තිලක් කොහේ හෝ ඇවිදින්නට නොගියොත් නිවසට වී කළ එකම දෙය වූයේ පොත්පත් කියවීම ය.
 
 
ඔහු බොහෝ සෙයින් අමතර පොත පත කියවූ අතර ලෙනාඩ් වුල්ෆ් ගේ බැද්දෙගම , මායා රංජන් ගේ දිගාමඩුල්ලේ ආශ්චර්ය,  ආර්. එල්. ස්පිට්ල් ගේ සුදු වැද්දා, සුදු ගෝනා වැනි පොත්  කුඩා කල පටන් කොතරම් ආසාවෙන් කියෙව්වේ ද යත් එකම පොත දහ දොළොස් වතාව කියවා  රස විඳ තිබිණි.
 
එවකට තිලක් සාමාන්‍ය පෙළ පන්තියේ සිටි නිසා ඉංග්‍රීසි සහ ගණිතය විෂයන් සඳහා අමතර පන්තියකට ඔහුගේ පියා විසින් ඔහු ඇතුළත් කර තිබිණි. විශේෂයෙන් වෙහෙස මහන්සි වී පොතපත පාඩම් නොකළත් පන්තියේ දක්ෂ සිසුවකු ලෙස ගුරුවරුන් අතර ඔහුට පිළිගැනීමක් තිබිණි.
 
තිලක් වඩාත් ප්‍රිය කළේ සොබා දහම ඇසුරු කරමින් එයින් බොහෝ දේ තනිව ඉගෙනීමට ය.ඔහු හඳුනා ගත් නිදහස් අධ්‍යාපනය එය විය. එනිසා තිලක් සතියකට දෙකකට වරක් පමණ පාසල් කාල පරිච්ඡේද මගහරිමින් මිතුරන් සමග ඇවිදින්නට ගියේය. ඒ සෑම ගමනකදී ම හමුවන විවිධ මිනිසුන් ඇසුරින් සහ පරිසරය තුළින් ඔහු බොහෝ දේ විමර්ශනය කරන්නටත්, ඉගෙන ගන්නටත් පෙළඹී තිබිණි.
 
අපේ රටේ ජන වාර්ගික යුද්ධයක් නොපැවතුන මේ කාලයේ තලේමන්නාරම සිට උදේට කොළඹ බලා පැමිණෙන දුම්රියක් තිබිණි. සීග්‍රගාමී දුම්රියක් වුවද කොළඹට යන ගමන් මාර්ගය තුළ  ප්‍රධාන දුම්රිය ස්ථානවල සේම අතරමැද තවත් බොහෝ දුම්රිය ස්ථානවල ද මෙය නතර කරනු ලැබීය . මෙහි විශේෂත්වයක් වූයේ දුම්රිය පුරා තැනින් තැන පැතිර තිබූ මාළු පිළී ගඳ යි. ඒ,පෙර දා රාත්‍රියේ තලේමන්නාරමෙන් ගමන් ආරම්භ කරන මෙම  දුම්රියට පේසාලෙන් මාළු පටවා උතුරේ සිට දකුණට මාළු ප්‍රවාහනය කළ නිසා ය. ප්‍රධාන දුම්රිය ස්ථානවල හැරුණු විට අතරමග බොහෝ දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නතර කරන්නට හේතු වූයේ මෙම මාළු ප්‍රවාහනයයි.
 
ගම්පහ දුම්රිය ස්ථානය
 
  
තිලක් නව වෙනි ශ්‍රේණියේ සිටියේ 1972 වසරේ දී ය. තලේමන්නාරම සිට  උදය කාලයේ පැමිණෙන  මෙකී දුම්රිය උදේ 7.30 ට ආසන්න වෙලාවක ගම්පහ දුම්රිය ස්ථානයට පැමිණෙයි. මෙම දුම්රිය බොහෝ දෙනෙක් හැදින්වූයේ "මාළු කෝච්චිය" නමිනි.
 
එකල ගම්පහ දුම්රිය ස්ථානය අද වැනි දියුණු තත්ත්වයක පැවතියේ නැත. එහි පළමුවෙනි වේදිකාවේ කෙළවරට ආසන්නයෙන් විශාල කපුටු බෝ ගසක් තිබිණි. දුම්රිය ස්ථානය හරහා මිනිවන්ගොඩ පාරට මාරුවීම සඳහා තනා තිබූ මගී පාලම තිබුණේ ද මේ බෝ ගසට ආසන්නයෙනි. දැන් එම බෝගස නොමැත.  
 
තලේමන්නාරම් මාළු දුම්රිය දාරළුව දුම්රිය ස්ථානය පසුකර ගම්පහට මඳක් ආසන්න වන විටම වාගේ මුළු ගම්පහ නගරයේ පමණක් නොව දුම්රියේ හඬ ඇසෙන හතර දිග් භාගයේම සිටින කපුටන් නොනවත්වා එක දිගට නාද කරමින් මේ කපුටු බෝ ගසට රොක්වන ආකාරය තිලක්ට බොහෝ විට නිරීක්ෂණය කරන්නට ලැබිණි. එසේ කළ හැකි වූයේ ඔහු සාමාන්‍ය පෙළ පන්තියේ සිටියදී  සෑම සෙනසුරාදාවකම ගම්පහ විද්‍යාරවින්ද විද්‍යාපීඨයේ ගණිතය ටියුෂන් පන්තියකට සහභාගී වූ නිසා ය.
 
තිලක් සේනාසිංහ
 
 
පන්තිය ආරම්භ වන්නේ  උදේ 8:30 ට වුවත්  හරියටම ඒ වෙලාවටම ගම්පහට යා හැකි දුම්රියක් නොතිබූ නිසා උදෙන්ම ගම්පහට යන තිලක් මිතුරන් සමග නගරයේ ඒ මේ අත ඇවිද්දේය. මාළු කෝච්චියේ හඬට කපුටන් එක්රොක් වෙන ආකාරය තිලක්ට නිරීක්ෂණය වූයේ මෙසේ ඇවිදින  අතරතුරදී ය. මෙය ප්‍රධාන දුම්රිය මාර්ගය වන බැවින් ගම්පහ දුම්රිය ස්ථානය හරහා  දිනකට එහා මෙහා යන දුම්රිය ප්‍රමාණය ඉතා විශාල ය.
 
මේ සියලු දුම්රියන් අතරින් තලේමන්නාරම සිට දිනපතා උදේට පැමිණෙන දුම්රියේ හඬට පමණක් කපුටන් එක්රොක් වන්නට හේතුව තිලක් ට ගැටලුවක්  විය. එනිසා ඔහු මෙය දින කිහිපයක් ම විශේෂයෙන් නිරීක්ෂණය කළේය. මෙම දුම්රියෙන් ගෙන එන මාළු වැගන් අතරින් එක් වැගන් එකකම ඇති අති විශාල මාළු පෙට්ටි ප්‍රමාණයක් දිනපතා ගම්පහ දුම්රිය ස්ථානයෙන් බෑම සිදු කරයි. කපුටන් කෑගසමින් එක්රොක් වූයේ මේ මාළු පෙට්ටි නිසා ය.
 
 
ඉන්පසු මෙම මාළු පෙට්ටි ඩක්කුවල පටවා දුම්රිය ස්ථානයෙන් පිටතට ගෙන යද්දීත්, යම් පෙට්ටි ප්‍රමාණයක් ගම්පහ මාළු වෙළෙඳසැල් වෙත ගෙන යද්දීත් කපුටෝ කෑගසමින් ඒ පසුපස ඉගිල ගියහ.  කපුටන්ගේ උත්සාහය වැරදුනේ  නැත. එහෙන් මෙහෙන් වැටෙන මාළු කෙසේ හෝ ඔවුහු අහුලා ගත්හ. පුදුමය එය නොවේ. තලේමන්නාරම  දුම්රියේ හඬ, අනෙකුත් දුම්රියන්වල හඬින් ඔවුන් වෙන්කර හඳුනා ගත්තේ කෙසේද? මේ දුම්රියට යොදවා තිබුණේ දුර ගමන් සඳහා යොදන M1 හෝ M2 දුම්රිය එන්ජිමකි. ඒ අනුව මෙම දුම්රිය නිතිපතා එකම එන්ජිමක් යොදවා ධාවනය වූයේ නැත. එන්ජිම මාරු වන විට නලා හඬ ද වෙනස් වෙයි.
 
628 2845316205 e2b8be1d5a zM2 එන්ජිම සහිත දුම්රියක්
 
 
නමුත් කපුටෝ තලේමන්නාරම දුම්රිය මොන එන්ජිමකින් ආවත් හඳුනා ගනිති. ඔවුන්ගේ කුඩා හිසෙහි දොඹ ගෙඩියක් තරම්වත් මොළගෙඩියක් තිබේ යැයි සිතිය නොහැකිය. නමුත් තම ආහාරය සපයා ගැනීම උදෙසා සොබාදහම ඔවුන්ට කාරුණික වී ඇති ආකාරය කෙතරම් අපූරු දැයි තිලක් කල්පනා කළේය.මෙවැනි කරුණු පොත්පත්වල නැත. කියා දෙන්නට කෙනෙකු ද නැත මේවා උගන්වන්නේ පරිසරයයි. එනිසා ඉබ්බෙකු දියට යන්නා සේ තිලක්  දවසින් දවසම සොබාදහම වෙත ඇදී ගියේ නිරායාසයෙන් ම ය.
 
ඇතැම් විෂය කාලපරිච්ඡේද මගහරිමින් "පන්ති කට් කරන" මිතුරෝ කිහිප දෙනෙක් තිලක් ට සිටියහ. නමුත් මෙම කණ්ඩායමෙන් අතරින් පතර එක්කෙනා දෙන්නා හැලී යාම සේම තව තව අය අලුතින් එකතු වීම ද නිරන්තරයෙන්  පාහේ සිදු විය. මුල් කාලයේ ඔවුන් වැඩිපුරම ගියේ ගම්පහ ජයන්තා හෝ පබ්ලික්හෝල් යන සිනමාහල්වලින් එකක පෙන්වන චිත්‍රපටය නැරඹීමටයි. ජයන්තා සිනමාහලේ උදය කාලයේ චිත්‍රපට දර්ශනය ආරම්භ වන්නේ පෙරවරු 10 ට ය. පබ්ලික්හෝල් සිනමාහලෙහි එය 10:30 ට ආරම්භ වෙයි. මේ වන විට ජයන්තා සිනමාහල වැසී බොහෝ කාලයක් ගතව ගොසිනි. එය තිබූ තැනක නටබුන්වත් දැන් නොමැත. එතැන දැන්  විශාල සාප්පු සංකීර්ණයක් ඉදිවී තිබේ.
 
image c3530b5670වසර ගණනාවකට ඉහතදී පොදු ස්ථානවල දුම්පානය තහනම් කරනු ලැබූ පසු  මිනිසුන් වෙතින් ඒ නොමනා පුරුද්ද ගිලිහී ගියද, ඒ කාලයේ සිනමාහල්වල මෙය නිරන්තරයෙන් සිදු වූ පොදු අත්දැකීමක් විය
 
 
අතීතයේ  අපේ රටේ චිත්‍රපටයක් නැරඹීම සඳහා සිනමා හලකට ගොඩ වැදෙන ඕනෑම කෙනෙකුට නොවැරදීම ලබන්නට සිදුවන පොදු අත්දැකීමක් වෙයි. ඒ, සිනමා ශාලාවෙන් පිටතට එන විට කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම තැවරී තිබෙන සිගරැට් දුම් ගඳයි. වසර ගණනාවකට ඉහතදී පොදු ස්ථානවල දුම්පානය තහනම් කරනු ලැබූ පසු මිනිසුන් වෙතින් ඒ නොමනා පුරුද්ද ගිලිහී ගියද, ඒ කාලයේ සිනමාහල්වල මෙය නිරන්තරයෙන් සිදු වූ පොදු අත්දැකීමක් විය. තිලක් සහ ඔහුගේ මිතුරන් ගෙදරට හොරා චිත්‍රපට බලන්නට යාම නතර කළේ ඇඳුමේ සිගරට් දුම් ගඳ තැවරී තිබෙන විට තමන් කළ හොරය සාක්ෂි සහිතවම ඔවුන්ගේ මව්වරුන් ට හසුවන නිසා ය.
 
 " හෙට යමුද අපි මරදානෙ එල්ෆින්ස්ටන් එකේ චිත්‍රපටියක් බලන්න? මොකද තමුසෙලා කියන්නෙ. හොඳයි නේද මගෙ යෝජනාව ?"
 
පන්ති කට් කර තමන් ඇවිදිය යුතු දිසාව වරින් වර වෙනස් කරන මේ කොලු රෑනේ නායකයා දිනක් තම මිතුරු කණ්ඩායමට යෝජනා කළේය.  තාත්තා සමග නොයෙක් වර කොළඹට ගොස් තිබුණත් තිලක් එතෙක්  ගෙදරට හොරා මිතුරන් සමග එතරම් දුරක ගොස් තිබුණේ නැත. මරදාන දුම්රියපළට ආසන්නයේ පිහිටි එල්ෆින්ස්ටන් සිනමාහල ඔහු නොයෙක් වර දැක තිබිණි. නමුත් ඊට පෙර එහි චිත්‍රපටයක් නරඹා තිබුණේ නැත. එනිසාම  මිතුරන් සමග එක්ව දුම්රියෙන් කොළඹට යාම සහ එල්ෆින්ස්ටන් සිනමාහලේ චිත්‍රපටයක් නැරඹීම යන මේ කාරණා දෙකම ඔහුගේ සිතට සුවදායී හැඟීමක් ඇති කළේය.
 
 
IMG 20240629 WA0002එකල මරදානේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව
 
 
" මාත් එන්නම් " තිලක් කණ්ඩායමේ නායකයාට කීය. " අපි චිත්‍රපටිය බලලා ඒ ළඟ තියෙන සයිවර් කඩෙන් තෝසෙත් කාලා එමු"
 
නායකයා අලුත් යෝජනාවක් ද තම සගයන්ට ඉදිරිපත් කළේය. එය ද තවත් නැවුම් අත්දැකීමක් සේම තමන් අපේක්ෂා කරන නිදහස් අධ්‍යාපනයේ කොටසක් ද වනු ඇත.
 
ඉන්පසු දුම්රියෙන් යාමට ඒමට ටිකට් පතකට යන මිලත්, තෝසෙ කෑමට වැය විය හැකි මිලත් කණ්ඩායම් නායකයා ගණන් හදා බැලුවේය.
 
 
" හරි මේ තියෙන්නෙ ඔක්කොටම වියදම් වෙයි කියලා හිතෙන ගාණ. අපි හතරදෙනයිනේ යන්නේ. එතකොට එක්කෙනෙක් රුපියල් දෙකක් ගෙනාව නං ඇති. හෙට උදේට එනකොට උඹලා රුපියල් දෙකක් අරන් වරෙල්ලා "
 2 rupees central bank of ceylon banknote swrd bandaranaike portrait series 1එතකොට එක්කෙනෙක් රුපියල් දෙකක් ගෙනාව නං ඇති. හෙට උදේට එනකොට උඹලා රුපියල් දෙකක් අරන් වරෙල්ලා "
 
නායකයා අවසන් තීන්දුව දුන්නේ ය. ගමන යාමට කැමැත්ත පළ කර සිටි තිලක් ඇතුළු තිදෙනා ම ඊට එකඟ වූහ.
 
මොන චිත්‍රපටය බැලුවත් ඔවුන් ගියේ ශාලාව ඉදිරියෙන්ම  අසුන් පනවා තිබූ ගැලරියට ය. එකල ගැලරියේ ගාස්තුව ශත පනස් පහකි. ගම්පහ සිට මරදානට දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල ද ශත ගණනක් විය. චිත්‍රපටය බලා අවසානයේ  එම සිනමාහලට  යාබද ව තිබූ සයිවර් කඩයෙන් තෝසෙ කෑම ද  ඇතුළු මේ සියල්ල වෙනුවෙන් එක් අයෙකුට වැය විය හැකි රුපියල් දෙකේ මුදල සපයා ගැනීම තිලක් ට වැඩි අසීරුවක් නොවූයේ ඒ වන විටත්  අම්මා විවිධ අවස්ථාවලදී දෙන ලද ශත විසිපහ, පනහ වැනි මුදල්වලින්  ඉතිරි වුණු කාසි කිහිපයක් ඔහු සතුව තිබූ නිසා ය. එම කාසි කිහිපයේ මුළු වටිනාකම රුපියල් දෙකට වඩා වැඩි විය. ඔහු එයින් රුපියල් දෙකක් පසුදින උදයේ ම කණ්ඩායමේ නායකයා අතට පත් කළේය.
 
 
මිතුරන් සිව්දෙන එදින  උදේ 8:30 වන්නට පෙර ගණේමුල්ල දුම්රිය ස්ථානයට එකතු වූහ. එල්ෆින්ස්ටන් සිනමාහලේ දී එදා නැරඹූ සිංහල චිත්‍රපටිය කුමක්ද යන්න ගැන තිලක්ට දැන් හරි හැටි මතකයක් නැත.
 
චිත්‍රපටය අවසන් වූ පසු සියලු දෙනාම ගියේ තෝසෙ කෑම සඳහා සයිවර් කඩේට ය.
 
 
IMG 20240629 WA0000චිත්‍රපටය අවසන් වූ පසු සියලු දෙනාම ගියේ තෝසෙ කෑම සඳහා සයිවර් කඩේට
 
 
හිස්ව තිබූ මේසයකට ගොස් සිව්දෙන ම වාඩි වූහ. කණ්ඩායමේ නායකයා තෝසෙ ඇණවුම් කළ පසු වේටර්වරයා ඇතුළට ගොස් මඳ වේලාවකින්  ආපසු පැමිණියේ කෙසෙල් කොළ ටිකක් අතැතිව ය. ඉන්පසු ඔහු එම කෙසෙල් කොළ එක් එක්කෙනා ඉදිරිපිට තියාගෙන තියාගෙන ගියේය.
 
 
තිලක් ට මෙය මහත් පුදුමයකි. ඔහු වේටර්වරයා ගේ මුහුණ  බැලුවේය. නමුත් වේටර්වරයා නම් කාගෙවත් මූණක් බැලුවේ නැත. යන්ත්‍රයක් මෙන් වේගයෙන් වැඩ කළ ඔහුගේ මුහුණේ වූයේ ද හැඟීම් විරහිත කෘත්‍රිම පෙනුමකි. ආහාර ගැනීම සඳහා පිඟන් වෙනුවට කෙසෙල් කොළ තැබීම තුළින් තිලක් ට සිහිපත් වූයේ වෙසක් කාලයට ගමේ  පිරිස එකතු වී දෙන බලුකපුටු දානය යි. බලු කපුටු දානය සඳහා කෙසෙල් කොළ යොදා නොගත්ත ද, ලොකු තේක්ක කොළ, හබරල කොළ වැනි දෑ බල්ලන් ඉදිරියේ තබා පොල්කටු හැන්දෙන් දානය බෙදා ගෙන යන ආකාරය තිලක් ගේ මනසේ ඇඳිනි.
 132590567 3519703678097844 4527375468316107966 nබලු කපුටු දානය සඳහා කෙසෙල් කොළ යොදා නොගත්ත ද, ලොකු තේක්ක කොළ, හබරල කොළ වැනි දෑ  බල්ලන් ඉදිරියේ තබා පොල්කටු හැන්දෙන් දානය බෙදා ගෙන යන ආකාරය
 
 
ඉන්පසු වේටර්වරයා හැම කෙසෙල් කොළයක් මතටම තෝසෙ දෙක බැගින් දමා ගෙන ගියේය. මීළඟට ඔහු  කුඩා ඇලුමිනියම් බාල්දියක්  ගෙනවුත් එහි වූ කලවම් හොද්දක් ලොකු හැන්දකින් තෝසෙ මතට බෙදා ගෙන යන්නට විය.
 
වේටර්වරයාගේ මෙම ක්‍රියාව තිලක්ගේ මනසෙහි මහත් නොසන්සුන් බවක් ඇති කළේය. ඔවුන්ගේ ගෙවත්තෙහි තණකොළ කෑමට අසල්වැසියන් හරකුන් ගෙනත් බඳින ආකාරය ඔහුට සිහිපත් විය. එම හරකුන් සවස් කාලයට උම්බෑ ‍යනුවෙන් හඬ තලද්දී  ඔවුන් එලෙස කෑගසන්නේ වතුර පිපාසයෙන් විය හැකි යැයි අනුමාන කළ තිලක් කුඩා වියේදී නංගි සමග එකතුව බාල්දියකට වතුර පුරවා ගෙන ගොස් ඔවුන්ට මඳක් ආසන්නයේ තබා ආපසු දිව එයි. වේටර්වරයාගේ මේ ක්‍රියාවත් එයට දෙවෙනි නෑ නොවේදැයි තිලක්ට සිතිනි. බාල්දියේ පැහැය සහ ප්‍රමාණයත්, එතුළ අඩංගුවී තිබෙන දෑත් පමණක් වෙනස් වී ඇත. මේ මොන නිග්‍රහයක් දැයි ඔහු ට සිතිණි. ඔවුන් සිය පාරිභෝගිකයන්ට හරකුන්ට, බල්ලන්ට, කපුටන්ට මෙන් සලකන්නේ ඇයි ? තිලක්  මිතුරන්ගේ මුහුණු බැලුවේය.  
 
 
ඒ මුහුණුවල නම් කිසි අමුත්තක් නැත.  මේ කිසිවක් ඔවුන් නියපොත්තෙන් ඉහළට ගණන් නොගන්නා නිසා විය හැකි යැයි තිලක් කල්පනා කළේය. ඒ මදිවාට කලවම් හොද්දෙහි වූයේ වම්බටු කැබලි, මුරුංගා කැබලි, වට්ටක්කා කැබලි  වැනි දෑ ය. මේ එළවළු වර්ග එකක්වත් තිලක්  ගෙදරදී ආහාරයට ගත්තේ නැත. දෙමාපියන්ට හොරා නොමනා ගමන් යාම වෙනුවෙන්  මෙය සොබාදහම දුන් දඬුවමක් විය හැකි යැයි සිතා අනතුරුව තිලක් හිත හදාගත්තේය. ඔහුට සිහිපත් වූයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන  පැරණි ගීතයක පද පේළියකි. " මස් කෑවට පෝය දවසෙ තොට පල දුන්නා" යන එම පද පේළියෙන් කියවෙන අරුතට යම්තාක් දුරකට සමාන අත්දැකීමක් තමා ද ලැබුවේ යැයි ඔහුට සිතිනි.  
 
 
කෙසේ වුවද මෙය ශෛවර් හෝටල්වල සම්ප්‍රදාය බව තිලක්  පසුව දැන ගත්තේය. මේ වන විට එම සම්ප්‍රදාය යම්තාක් දුරකට වෙනස් වී ඇත්තේ කෙසෙල් කොළ සොයා ගැනීමේ අපහසුව මත විය හැකිය. ඒ අනුව දැන් කෙසෙල් කොළ වෙනුවට බොහෝ විට භාවිතයට ගනු ලබන්නේ ඇලුමිනියම් පිඟන් ය.
 
නමුත් මුලින් සිතෙහි හටගත් ඒ සියලුම නොසතුටුකම්, අමනාපකම් ක්ෂණයෙන් දුරු වූයේ තෝසෙ රස බලන්නට ගත් පසුවය. තෝසෙ, සාම්බාරු හොද්ද සහ තරමක දියාරු ගතියෙන් යුතු සුදු පැහැති අමුමිරිස් සම්බෝලය මොන තරම් ප්‍රණීත රසයකින් යුතු දැයි ඔහුට සිතිණි. නමුත් ඒ මිහිරි හැඟීම ගෙදර පැමිණ නංගී සමග හෝ බෙදා හදා ගැනීමේ හැකියාවක් ඔහුට නොවීය. නංගීගේ මාර්ගයෙන් ඒ කතාව අම්මාගේ කනට යනු ඇත. එයින් නිසැකවම ලැබෙන්නේ අයහපත් ප්‍රතිචාරයකි. එනිසා කිසිවකු සමඟවත් මේ පිළිබඳව නොපවසා ඒ ප්‍රීතිමත් හැඟීම් ඔහු සිත තුළම සිර කර තබා ගත්තේය. එසේම එම සිදුවීමෙන් පසු ඔහු වට්ටක්කා, මුරුංගා, වම්බටු වැනි එළවළු වර්ග කෑමට ද ඉබේම වාගේ හුරු විය.
 
ජීවිතයේ මුල් වරට තෝසෙ කෑ අවස්ථාව ලෙස එය  තිලක් ගේ සිතේ ගැඹුරෙහි ම තැන්පත් වී පවතී. එය සුවිශේෂ මතකයක් වන්නේ  කෙසෙල් කොළය සහ හොදි බාල්දිය වැනි දෑ ඊට ඇතුළත් වන නිසා ය.
 
 
xx.078 වදන් කවි පොත, සිරිත් මල් දම වැනි ග්‍රන්ථවලින්  අතීත පඬිවරුන් කුමක් කීවත්, පන්ති කාමරය තුළ ලබන සාම්ප්‍රදායික අධ්‍යාපනය සේම , පන්ති කට් කර ඔහේ ඉබාගාතේ ඇවිදිමින් තමන් ජීවත් වන පරිසරය, සමාජය හා ලෝකය තුළින්  ලබන මේ හිතුවක්කාර අසම්මත එහෙත් නිදහස් අධ්‍යාපනය ද නරකම නැතැයි තිලක්ට සිතිණ.
 
 
එමෙන්ම වදන් කවි පොත, සිරිත් මල් දම වැනි ග්‍රන්ථවලින් අතීත පඬිවරුන් කුමක් කීවත්, පන්ති කාමරය තුළ ලබන සාම්ප්‍රදායික අධ්‍යාපනය සේම , පන්ති කට් කර ඔහේ ඉබාගාතේ ඇවිදිමින් තමන් ජීවත් වන පරිසරය, සමාජය හා ලෝකය තුළින්  ලබන මේ හිතුවක්කාර අසම්මත එහෙත් නිදහස් අධ්‍යාපනය ද නරකම නැතැයි තිලක්ට සිතිණ.
 
අඩි හතරෙ යෝධයාගේ දැවැන්ත වේල්ල ගැන ඊළඟ කොටසින් කියවමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි) | The Leader