අප මේ කතා කරනු ලබන 1972 වැනි කාලයක අපේ රටේ මේ තරම් ජනගහනයක් නොසිටි නිසාත්, විශේෂයෙන් පිටපළාත්වලින් අගනුවරට රැකියා පිණිස පැමිණෙන අය මෙතරම් බහුල නොවූ නිසාත් බස්වල සහ දුම්රියවල උදේ සවස පොල් පැටෙව්වාක් මෙන් යන එන අධික ජනකායක් එකල දක්නට ලැබුණේ නැත. අපේ රටේ මිනිසුන් අදට සාපේක්ෂව බලන කල එකල ගෙවූයේ සරල දිවි පෙවෙතකි.
ඒ කාලයේ කඳානේ සිට ගණේමුල්ල දක්වා දිනපතා උදේට පැමිණෙන තනි දොරේ ලංගම බස් රථයක් තිබිණි." පාන් බාගය' නමින් හැඳින්වූ මොඩලයකට අයත් ඒ බස් රථය ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටින් ධාවනය වූයේ උදේ හතහමාරට පෙර ය. එකල " ස්කූල් බස්" නමින් හැඳින්වූ වෙනම පාසල් බස් රථ සේවාවක් නගරබදව මිස නගරයෙන් එපිට දක්නට ලැබුණේ නැත. නමුත් ඒ ඒ මාර්ගවල ධාවනය වූ ලංගම බස් රථ පාසල් විවෘත කරන සහ නිමවන වේලාවන් ඉලක්ක කර හරියටම එම වේලාවන් වලට පාසල් අසලින් ධාවනය වීම සිදුවිය. කඳානේ සිට ධාවනය වූ "පාන් බාගය"ත් එවැන්නකි.
තනි දොරේ ලංගම බස් රථයක් තිබිණි." පාන් බාගය' නමින් හැඳින්වූ මොඩලයමෙලෙස උදේට ගණේමුල්ලට පැමිණෙන "පාන් බාගය" යළි 7.45ට ගණේමුල්ලෙන් ගමන ආරම්භ කරන්නේ බෝපිටිය බලා යන්නට ය. මෙය කඳාන පාර ඔස්සේ පැමිණ කඳානෙන් ශාන්ත සෙබස්තියන් සුරුවම ළඟදී නෑදුරුපිටිය දෙසට හැරෙයි. නෑදුරුපිටිය පසුකර ජයසූරිය වේල්ල ඔස්සේ ගොස් නුගපේ හන්දියට පැමිණෙන " පාන් බාගය " එතැනින් පමුණුගම හරහා බෝපිටියට පැමිණ සිය ගමන නිමා කරයි. ඉන්පසු වෙනත් මාර්ගයක ධාවනය වන මෙම බස් රථය නැවත ආපසු ගමන් ආරම්භ කරන්නේ බෝපිටියෙන් නොව කඳානෙනි. එලෙස කඳානෙන් ගමනාරම්භ කර "පාන් බාගය" ගණේමුල්ලට පැමිණෙන්නේ පාසල් නිම වන වේලාව ආසන්න වන විට ය.
මේ බස් රථය උදේට බෝපිටිය දක්වා යන ගමනාන්තයට යන්නට පන්ති කට් කරන තිලක්ගේ මිතුරන් කිහිප දෙනෙක් අතර යෝජනාවක් තිබිණි.
මුතුරාජවෙල " අපි මුතුරාජවෙල පැත්තෙ රවුමක් ගහන්න යන්නෙ. ප්‍රියන්ත තමුසෙත් එනවද ? "
මුතුරාජවෙල පිළිබඳව යම් යම් තොරතුරු තිලක් මීට පෙර අසා තිබුණත් කවදාවත් ඔහු එම ප්‍රදේශයට ගොස් තිබුණේ නැත. එය මිනිස් වාසයෙන් තොර අක්කර දහස් ගණනක් පුරා එක යායට පැතිර තිබූ වගුරුබිම් ප්‍රදේශයකි. කඩොලාන සහ වගුරුබිම්වලට ආවේණික වෙල් ආත්තා, දිය කදුරු ආදී තවත් නොයෙකුත් ශාක සහ සත්ව විශේෂ මේවායෙහි නිරුපද්‍රිතව එකල දිවි ගෙවූහ. පොතපතින් ලබන අධ්‍යාපනයට පමණක් කොටු නොවී පරිසරය සහ සොබාදහම තුළින් ලද හැකි දැනුම තිලක් ගේ ජීවිතයට අදටත් දැනෙන්නේ සදා නොසංසිඳෙන සාපිපාසාවක් ලෙසිනි. එනිසා ලකුණු ලුහුබඳින අධ්‍යාපනයක් නො ව දැනුම ලුහුබඳින අධ්‍යාපනයක් කෙරෙහි බලවත් කැමැත්තක් තිබූ තිලක් මෙවැනි ගමන් වෙත ඇදුණේ නිරායාසයෙන්ම ය.කොටින්ම පාසලේ කොන්ක්‍රිට් පන්ති කාමර අධ්‍යාපනයට වඩා මෙවැනි එළිමහන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් අප රටේ නොතිබීම පිළිබඳව ඔහු ගේ සිත තුළ සියුම් දුකක්; වේදනාවක් ඇති වී තිබිණ. පසුදින උදේ 7.45ට ගණේමුල්ලෙන් පිටත් වන "පාන් බාගය" ට මිතුරන් සමඟ තිලක් ද ගොඩ වූයේ පාසල "කට් කරමිනි.
කඳානේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය බස් රථය ගණේමුල්ලෙන් කඳානට ගොස් සුපුරුදු පරිදි ශාන්ත සෙබස්තියන් සුරුවම ළඟින් දකුණු පැත්තට හැරුණි. ශාන්ත සෙබස්තියන් පල්ලිය සහ පාසල ද පිහිටා තිබුණේ මේ පාරේ ය. ඉන්පසු නෑදුරුපිටියෙන් පැරණි ඕලන්ද ඇලේ කුඩා පාලමෙන් එගොඩ විය. මෙම ඕලන්ද ඇල ට සමගාමීව වර්තමානයේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදි කර ඇති බැවින් මේ වන විට එම පාරේ අධිවේගී මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් තනා තිබේ. දැන් මේ පාරේ යන එන වාහන පමණක් නොව මගීන් ද ගමන් කරන්නේ එම ගුවන් පාලම හරහා ය. ඕලන්ද ඇලට උඩින් වැටී තිබූ යකඩ ගරාදි සහිත කුඩා පාලම දැන් දක්නට නැත.
ජයසූරිය වේල්ලඕලන්ද ඇලෙන් පසු එම පාර වැටෙන්නේ මුතුරාජවෙල මැදින් පිහිටා තිබූ ජයසූරිය වේල්ලට ය. මෙම ජයසූරිය වේල්ල කිලෝ මීටර් හතරක් එපිටින් ඇති නුගපෙ හන්දියෙන් කෙළවර වේ.
මෙය වේල්ල ලෙසින් හැඳින්වූවාට මෙය වේල්ලක් නොවේ. වැව් කණ්ඩියක් තරමටම උස නොවූවත් තරමක් උස්ව නැගී තිබූ එම තාර පාර දෙපසින් වූයේ මුතුරාජවෙල පහත් බිම් ය.
" මේක පාරක් මිසක් වේල්ලක් නෙමේනේ. ඇයි දන්නෙ නෑ මේකට වේල්ල කියන්නේ"
දහවල් කාලයට ආපසු එන ගමනේ දී බෝපිටියේ සිට ආපසු එන්නට බස් රථයක් නොවූ නිසා කඳාන දක්වා වූ කිලෝමීටර් පහක් ඉක්ම වූ දුර ගිනි ගහන අව්වේ දෙපයින් ම ඇවිද එන අතරේ තිලක් මිතුරන්ගෙන් ඇසීය. නමුත් තිලක් සේම ඔවුන් ද ඊට පිළිතුරු දැන සිටියේ නැත.
" කවුද බං ඕව දන්නෙ; අනික අපිට මොකටද ඒවා" ඒ එක් මිතුරකු දුන් පිළිතුරයි.
" අනේ බං ඕවයෙ අල ගිය තැන් මුල ගිය තැන් හොයන්න පිස්සුද උඹට "
උස්වැටකෙයියාව සහ ඒ ආසන්නයේ මුහුදු වෙරළනමුත් ඇත්තටම තිලක්ට වුවමනා වූයේත් එයයි. එනිසා අතරමගදී හමුවන ගම්මුන්ගෙන් හෝ මේ දේවල් විමසා බලන්නට ලොකු උනන්දුවක් ඔහු තුළ ඇති විය.
ඉන්පසු "ස්කූල් කට් කර" ගිය විවිධ ගමන් බිමන්වලට මෙම මුතුරාජවෙල සහ ඒ අවට, ඕලන්ද ඇල, නුගපෙ, උස්වැටකෙයියාව සහ ඒ ආසන්නයේ මුහුදු වෙරළ වැනි බොහෝ ස්ථාන ඇතුළත් වූ අතර අනෙක් කොල්ලන් දඟලමින් දුව පැන ඇවිදිමින් එම කාලය ගත කරන විට තිලක් කළේ වැඩිහිටියන් ගේ කතාබහට සවන් දීම සහ ඔවුන්ගෙන් මේ පරිසරයට අදාළ විවිධ තොරතුරු ඇසීම ය.ඉන් ලබන නොවිධිමත් අධ්‍යාපනයට ඔහු බෙහෙවින් ඇළුම් කළේ ය.
" ඉස්සර ළමයෝ ඔය නුගපෙ ඉඳලා ඕලන්ද ඇල හරියට එනකම්ම හරිහමන් පාරක් තිබුණේ නෑනෙ"
පමුණුගම ප්‍රදේශයේ රා තැබෑරුමක් අසල බිම ඇන තබාගෙන වාඩි වී නිස්කලංකව බීඩියක් උරමින් සිටි වැඩිහිටියකු තිලක් ගේ පැනයට පිළිතුරු දෙමින් කතාවට මුල පිරුවේ එලෙසිනි. සරමක් පමණක් හැඳ උඩුකය නිරුවත් ව සිටි ඒ වැඩිහිටියා රා පොල් කටුවක් හිස් කර බීඩිය දල්වා ගෙන බිම ඇන තබාගෙන වාඩි වූයේ ඊට මොහොතකට පෙර ය.
" මට මතකයි ඉස්සර අපේ තාත්තලා බඩු ගෝනි පිටේ තියන් කඳානට ගියේ ඔය මුතුරාජවෙල නියරක් දිගේ. වැහි කාලෙට මඩේ එරෙනව. අපි දැන් ඔය කඳාන කිව්වට අපේ තාත්තලගෙ කාලෙ ඔහාට කිව්වෙ අම්බලන් දෙක කියලා "
තිලක් සේනාසිංහ " අම්බලන් දෙක ? ඒ ඇයි මාමෙ එහෙම කිව්වෙ? "
වැඩිහිටියා ඉවතට කෙළ පිඬක් ගසා ගණනකට නැතිව කී දෙය තිලක් තුළ ඇති කළේ මහත් විස්මයකි. ඔහුගේ කුතුහලය තව තවත් වැඩෙන්නට විය. නිස්කලංකව බීඩි උගුරක් ඇද උඩ බලාගෙන දුම සුළඟට පා කළ වැඩිහිටියා තිලක්ගේ මුහුණ බැලුවේය. ඔහු දිගු කතාවකට මුල පුරන්නට සැරසෙන සෙයකි. තිලක් මහත් උනන්දුවෙන් ඔහුගේ මුහුණ බලා සිටියේය.
"ළමයො ඔය කඳාන කියන්නේ ඉස්සර පොඩි කඩමණ්ඩියක්. මීට අවුරුදු තිහකට විතර කලින් අපේ වැඩිහිටියෝ එක්ක අපිත් පයින් අම්බලම් යනවා බඩු ගේන්න.....". එම වැඩිහිටි තැනැත්තා පැවසූ අන්දමට ගම්මුන් මෙසේ පැවසීමට පුරුදුව සිටියේ කඳාන නගරයේ පිහිටා තිබූ අම්බලම් දෙකක් නිසා ය.මේ අම්බලම් දෙකෙන් එකක් තිබී ඇත්තේ කඳාන පොලිසිය ඉදිරිපිට පාර අනෙක් පැත්තේ ය. ඒ, පාර අයිනට වන්නට තිබූ අමරතුංග නම් පුද්ගලයකුට අයත් ඉඩමක ය. ඒ අසල එකල පාර අයිනේ දැවැන්ත මාර ගසක් තිබී ඇත. සිංහල උළු සෙවිලි කර අඩි දෙකක් පමණ උසට කොට බිත්ති දමා තනා තිබූ එම අම්බලම අඩි 20 / 20 හරි හතරැස් එකකි. අම්බලමට පහළින් ලොකු හතරැස් ළිඳක් තිබී ඇති අතර එතැනින් එහාට වූයේ වන බූටෑවකි.
අනෙක් අම්බලම තිබී ඇත්තේ පරණ ඩී ආර් ඕ පාරට හැරෙන ආසන්නයේ රා තැබෑරුමක් ළඟ ය. කඳාන කඩමණ්ඩියට යාම අම්බලම් යාම ලෙස ගම්මුන් හඳුන්වා තිබී ඇත්තේ මේ අම්බලම් දෙක නිසා ය. අපේ රටේ බොහෝ ප්‍රදේශවල පිහිටා තිබෙන අම්බලම්වලින් බොහොමයක් පුරාවිද්‍යා ස්මාරක ලෙසින් සංරක්ෂණය කෙරුණ ද මේ අම්බලම් දෙක කඳානෙන් ගිලිහී ගොස් බොහෝ කල් ය.
අපේ රටේ බොහෝ ප්‍රදේශවල පිහිටා තිබෙන අම්බලම්වලින් බොහොමයක් පුරාවිද්‍යා ස්මාරක ලෙසින් සංරක්ෂණය කිරිම" එතකොට මේ පාරට වේල්ල කියලා කියන්නේ ඇයි මාමෙ " තිලක් තුළ මහත් කුතුහලයක් ව පැවැති පැනය ඔහු ඊළඟට වැඩිහිටියාට ඉදිරිපත් කළේය.
" ළමයො නමසිය හතලිස් දෙකට කලින් කඳානෙ ඔය සෙබස්තියන් සුරුවම ළඟ ඉඳලා නෑදුරුපිටියේ ඕලන්ද ඇල ගාවට එනකල් තිබුණේ පොඩි කරත්ත පාරක් නේ. අපි නියර දිගේ ආවෙ ඒ හින්දනේ. මේ පාර හැදුවෙ ජයසූරිය කියලා මහත්තයෙක්. ඒ මහත්තයාට ගම්මු හැමෝම කිව්වේ පන්ති මහත්තයා කියලා.
" එහෙම කිව්වෙ එයා ගුරුවරයෙක්ද? "
වැඩිහිටියා යළිත් දුම් උගුරක් උඩු සුළඟට පා කළේය.
" අපොයි නෑ. උන්නැහේ මන්ත්‍රී කෙනෙක්. පන්ති මහත්තයා කිව්වේ එයාගේ නම පන්තිනියස් ජයසූරිය හින්දා "
මෙහි වාඩි වී හිඳිනුයේ පන්තිනියස් ජයසූරිය (පන්ති මහත්තයා)ය.1922 කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ පැවැති වාසප්පුව නම් කිතුණු ජන රංගනයට එක් වූ පන්ති මහත්තයාගේ මෙම අතිශය දුලබ සේයාරුව සපයන ලද්දේ කඳානේ චමිලා නිශා කුමාරප්පෙරුම මහත්මිය ව්සිනිදොන් පන්තිනියස් ජයසූරිය නිදහස ලැබීමට පෙර 1931- 1946 දක්වා අපේ රටේ පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගම්පහ ආසනයේ මන්ත්‍රීවරයෙකි. "පන්ති මහත්තයා" ලෙසින් ගම්මුන් විසින් හඳුන්වන ලද අඩි පහක් තරම්වත් උස නොවූ, කඩියෙකු මෙන් වේගයෙන් ගමන් බිමන් ඇති ඔහු දේශපාලඥයකු ලෙස ජාඇල, කඳාන ප්‍රදේශවල ජීවත් වූ ධීවරයන්, රා මදින්නන්, කම්කරුවන්, කම්හල්වල සේවකයන් යනාදී ඕනෑම කෙනෙකුගේ තරාතිරමක් නොබලාම කරට අත දමා ගෙන කතා කරන අවංක හිත හොඳ මිනිසෙකු විය. මේ නිසාම සමහරුන් පන්ති මහත්තයාව "පන්ති නොතකන පන්ති මහත්තයා" යනුවෙන් ද හඳුන්වා තිබිණි. එපමණටම ඔහු මිනිසුන්ගේ සිත දිනාගෙන සිටියේය.
නවසිය හතළිස් ගණන්වල මුල් කාලයේ පන්ති මහත්තයා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරඟ කරන අවස්ථාවකදී මඩේ එරෙමින් නුගපේ දක්වා ගොස් ඒ ප්‍රදේශවල ගැමියන්ට එක් පොරොන්දුවක් දී තිබිණි.
" මම දන්නවා උඹලා මෙහාට එන්න පාරක් නැතුව විඳින දුක. මෙදා පාර උඹලා මාව පත් කර ගත්තොත් මම මෙහාට එන්න මුතුරාජවෙල පාර හදනවා හදනවාමයි. මම පාර හදලා දුන්නේ නැත්නම් උඹලා මට ජුහ් ජුහ් කියලා කතා කරපල්ලා" වැඩිහිටියා ගේ මුව`ගට සිනාවක් නැංවී තිබිණි.
" අපේ තාත්තලා ඒ කාලෙ පන්ති මහත්තයා ගැන බොහොම රස රස කතා කියනවා. ඔයා මනුස්සයා කොයි තරං මේ පැත්තෙ මිනිස්සුන්ගෙ හිත දිනාගෙන හිටිය ද කිව්වොත් කවදාවත් ඡන්දවලින් පැරදිලා නෑ. ඒ විතරක් නෙමෙයි එයත් එක්ක තරඟ කරපු ලොකු ලොක්කො හැමෝටම වැඩියෙන් මෙයාට ඡන්දත් හම්බ වුණා. කොහොම හරි උන්නැහේ ඔය ඡන්දයක් දිනපු වෙලාවෙ පොරොන්දු වෙච්ච විදිහටම මේ පාර හදන්න පටන් අරන් තියෙනවා."
අපේ රටේ නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍ය රජය යටතේ පළමු ජාතික මැතිවරණය පවත්වනු ලැබුවේ 1947 වසරේ ය.අපේ රටේ නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍ය රජය යටතේ පළමු ජාතික මැතිවරණය පවත්වනු ලැබුවේ 1947 වසරේ ය. එකල ජාඇල නමින් මැතිවරණ කොට්ඨාශයක් පැවතියේ නැත. අති විශාල මැතිවරණ කොට්ඨාශයක් වූ ගම්පහ ආසනයෙන් ජාඇල කඳාන ඇතුළු ප්‍රදේශයක් වෙන් කර ජාඇල නමින් මැතිවරණ කොට්ඨාශයක් 1947 මැතිවරණයට පෙර පිහිටුවනු ලැබිණි. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටියදී ගම්පහ ආසනයෙන් තරග කළ පන්ති මහත්තයා මෙම මැතිවරණයේදී අලුත්ම ඡන්ද කොට්ඨාශය වූ ජාඇලින් තරග බිමට පිවිසියේය.
එම මැතිවරණයෙන් ද ඉහළින්ම ඡයග්‍රහණය කිරීමට පන්ති මහත්තයා සමත් විය. පොරොන්දු වූ පරිදිම පන්ති මහත්තයා පාර හැදුවේය. ඒ පාරට මාර්ගගත සැලසුම් කිසිවක් නොවිණි. නෑදුරුපිටියේ ඕලන්ද ඇල අසල සිට නුගපෙ හන්දිය දක්වා පැවති නියර වඩාත් පුළුල් කර වේදිකාවක් මෙන් උස්ව සිටින පරිදි පස් පුරවා මුතුරාජවෙල හරහා පාර ඉදිකරනු ලැබීය. මේ සඳහා පස් ගෙනැවිත් ඇත්තේ යුද්ධයට ගෙනෙන ලද මිලිටරි වැගන් රථවලින් බව පැවසේ. මෙම පාරෙහි ස්වභාවය අනුව මිනිස්සු ජයසූරිය වේල්ල ලෙස එය හඳුන්වන්නට පුරුදු වූහ. එසේම දෙපසින් පහත් වගුරුබිම් පිහිටා තිබූ බැවින් සමහරු ජයසූරිය බැම්ම ලෙස ද එය හඳුන්වා තිබිණි. මේ ගොඩ කිරීම් සඳහා පස් කියුබ් හැට හැත්තෑ දාහක්වත් යොදා ගන්නට ඇතැයි එම වැඩිහිටි පුද්ගලයා තිලක් සමග පවසා තිබිණි.
මෙම පාර විවෘත කරන ලද්දේ 1947 මැතිවරණයෙන් පසුව බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ රජයේ කර්මාන්ත සහ වැඩ ඇමැති ධූරය දැරූ සර් ජෝන් කොතලාවල ය.
එක්සත් ජාතික පක්ෂ රජයේ කර්මාන්ත සහ වැඩ ඇමැති ධූරය දැරූ සර් ජෝන් කොතලාවල ය. " සර් ජෝන් නෑදුරුපිටියේ ඉඳන් ඇවිත් තියෙන්නෙ නිකන් එහෙම නෙවේ අලියෙකුගේ පිටේ. ඇයි ඉතින් උන්නැහැලා කොහොමත් අලිනේ"
වැඩිහිටියා සිනාසෙමින් නොකියා කීවේ සර් ජෝන් කොතලාවල එක්සත් ජාතික පාක්ෂිකයකු බව ය. එම පාර විවෘත කළ අවස්ථාවේ පැවති ජන හමුව ඇමතූ සර් ජෝන් අපූරු කතාවක් කීය."මම යෝදයන් ගෙ වැඩ ඕනෙ තරම් දැකලා තියනවා.ඒත් කවදාවත් ඒ වැඩ කරපු යෝදයෙක් දැකලා තිබුණේ නෑ. නමුත් අද මට තමුන්නාන්සෙලාගේ ගමේ දී ඒ වගේ යෝදයෙක් දැක ගන්න ලැබුණා. වැඩේ තියෙන්නෙ මේ යෝදයාගේ උස අඩි හතරයි". සර් ජෝන් ගේ ඒ රස කතාවෙන් පසුව එම ප්‍රදේශයේ ජනතාව අතර "අඩි හතරේ යෝධයා" ලෙසින් පන්ති මහත්තයාව ප්‍රකට විය.
එදා පන්ති මහත්තයා පාර හැදුවේ නිසි මාර්ගගත සැලසුමක් අනුව නොවුවත් එය ස්ථිර පාරක් බවට පත් වූ අතර ඉන්පසු නුගපෙ සහ කඳාන අතර ජනයා පහසුවෙන් ගමන් බිමන් ගියහ. පසු කාලයක වෙනත් පාරවල්වලට මෙන් එම පාරට ද තාර ආදිය දමා සකස් කරනු ලැබිණි.
තිලක් සිය මිතුරන් සමග මුතුරාජවෙල ප්‍රදේශයේ ඇවිදින්නට යන විටත් ජයසූරිය වේල්ල දෙපසින් වූයේ මුතුරාජවෙල තෙත් බිම ය. කඩොලාන කැලෑව සහ වෙල් ආත්තා, මුහුදු කදුරු වැනි ගස් එලෙසින්ම තිබිණි. අද වනවිට ජයසූරිය වේල්ල අවට පවුල් දහස් ගණනක් පදිංචි වී සිටිති. ඒ ප්‍රදේශය අද හඳුන්වන්නේ පුබුදුගම ලෙස ය. ජයසූරිය වේල්ලේ සිට දෙපැත්තට පස් පුරවා සකස් කරන ලද පටුමං පනහක් පමණ මේ වන විට තිබේ. පසුකලෙක වරින් වර සිදු වූ මේ පස් පිරවීම් නිසා ජයසූරිය වේල්ලේ මුල් ස්වරූපය වෙනස් වී එය සාමාන්‍ය පොළොව මට්ටමටම පැමිණ ඇත. එපමණක් නොව නොවිධිමත් මානව ජනාවාස සහ විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් උදෙසා මුතුරාජවෙල අක්කර සිය දහස් ගණනක් පස් පුරවා ගොඩ කිරීම මත මේ වන විට සුළු වැස්සක දී පවා ඒ යෝද නිමැවුම වාරිමාර්ගයක් බවට පත් ව තිබේ. නමුත් අදටත් එම පාර ප්‍රදේශවාසීන්ට නම් ජයසූරිය වේල්ල ම ය. එහෙත් එය තැනූ පන්තිනියස් ජයසූරිය යන නම අද වනවිට මුළුමනින්ම යටපත් වී ගොසිනි.
එම පාර ප්‍රදේශවාසීන්ට නම් ජයසූරිය වේල්ල ම ය.එහෙත් එය තැනූ පන්තිනියස් ජයසූරිය යන නම අද වනවිට මුළුමනින්ම යටපත් වී ගොසිනි.මේ විස්තර එකින් එක වැඩිහිටි ගැමියන් වෙතින් විමසන විට එක් තැනැත්තකු පුදුමයෙන් මෙන් තිලක් ලෙස බැලීය.
" ඔය ළමයා මොකටද ඔය තරම් විස්තර හොයන්නේ?" ඔහු තිලක්ගෙන් විමසා තිබිණි.
" නිකම් දැනගන්න මාමෙ "
" කමක් නෑ ඉතින් ඔය ළමයට ඕන දෙයක් අහන්න. දන්න දෙයක් නම් කියන්නම්. හුඟ දෙනෙක් ඕව ගැන හොයන්නේ නෑ. කවද හරි ඉතින් අපෙන් පස්සේ මේවා මිනිස්සුන්ට මතක ම නැති වෙලා යයි . එතකොට ඒවා සදහටම පොළවේ වැළලෙයි"
බෝපිටිය නගරයේ අද තත්ත්වය ඒ තැනැත්තා එලෙස හැඟීම්බරව පවසන විට තිලක් නිරුත්තරව බලා සිටියේ ය. නමුත් ඔහුගේ වදන් තිලක් තුළ ඇති කළේ දැඩි ප්‍රසාදයකි. එමෙන්ම ඒවා කාලයේ වැලි තලා වලින් යට වන්නට හැරීම අපරාදයකැයි ද ඔහු සිතන්නට විය.
මේ හැම තැනම කරක් ගසා කිලෝමීටර් හය හතක දුරක් කඳානට පයින්ම පැමිණ එතැනින් බසයේ නැගී පාසල වැසීමට නියමිත වෙලාවට තිලක් සහ ඔහුගේ මිතුරෝ ද නිවෙස්වලට ගියහ.
" මොකද ළමයෝ මේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන කට්ට කළු වෙලා ?"
පළමු දිනයේදී තිලක් ගේ මව ඇසුවේ විමතියෙනි.
" ටිකක් සෙල්ලම් කළා"
තිලක් කෙටි පිළිතුරක් දී මව ගෙන් ගැලවී ගියේය. ඉන්පසු නැවත ගිය එවැනි ගමන් බිමන්වලදී මෙලෙස කළු වීම ගැන හෝ ඉහින් කනින් දාඩිය පෙරාගෙන පැමිණීම ගැන මව හේතු අසන්නට ආවේ නැත. ඒ මාසයකට දිනක් දෙකක් පමණ අව්වේ ක්‍රීඩා කිරීමේ වරදක් ඇය නොදුටු නිසා විය හැකි ය.
තිලක්ට නාඳුනන හේවායා හමු වූයේ මෙලෙස උස්වැටකෙයියාවට ගිය ගමනකදී ය.
නැවත හමුවෙමු.
සටහන - ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
තිලක මතක : තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම (පළමු කොටස)
තිලක මතක (2): බළලා ගේ මළගම වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් (ඉන්දු පෙරේරා ලියයි)



