The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

July 15, 2024 • 7:18 AM

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි තිලක්ට ගුරුවරුන් උගන්වන විෂය කරුණු පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි විය.
  • එහෙත්, ඒ අධ්‍යාපන ක්‍රමයේ ඇති නීරස ඒකාකාරී බව ඔහුට නොරිසි විණි.
  • පරණ අම්බලම ප්‍රදේශයේ සිට මුහුදට ඇත්තේ මීටර් පනහකටත් වඩා අඩු දුරකි.
  • පාසල් කට් කර මිතුරන් සමඟ නුගපෙ හන්දිය, පමුණුගම, බෝපිටිය, පරණ අම්බලම, උස්වැටකෙයියාව වැනි ප්‍රදේශවලත්, එහි මුහුදු තීරයේත් ඇවිදිමින් සිටි තිලක් ඇතුළු මිතුරු පිරිසට වෙරළට ආසන්නයෙන් ගල් කණු කිහිපයකින් යුතු අමුතු ආකාරයේ ස්මාරකයක් දැකගන්නට ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි තිලක්ට ගුරුවරුන් උගන්වන විෂය කරුණු පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි විය. එහෙත්, ඒ අධ්‍යාපන ක්‍රමයේ ඇති නීරස ඒකාකාරී බව ඔහුට නොරිසි විණි. ඒ අතර තමන් ජීවත් වන පරිසරය, ඇසුරු කරන සමාජය මුල් කොට නිදහස් පාඩම් පෙළක් ස්වයංව උගෙනීමේ ආශාව ඔහු තුළ ලියලා වැඩෙන්නට විය.
 
ඒ සඳහා සිත්සේ ඉබාගාතේ මෙන් ඇවිද යාමට තිලක් තුළ තිබුණේ නොතිත් ආශාවකි. තිලක් ඒ අවස්ථාව උදා කර ගත්තේ අඩුම තරමින් මාසයකට දවසක්වත් පාසල් කට් කර තම නිදහස් අධ්‍යාපන තක්සලාව වන මුතුරාජවෙලට ඇවිදින්නට යාමෙනි. මෙහි දී ඔහු හා මෙවන් ගමන්වලට එක් වූ මිතුරෙක් දෙදෙනෙක් ද වූහ. නමුදු ඔවුන් එසේ පාසල් කට් කොට තිබුණේ පාසල් විෂය පරිමාව දරා ගත නොහැකිකම නිසා ය. " පරණ අම්බලම" උස්වැටකෙයියාවට අයත් ගම් ප්‍රදේශයකි. බෝපිටියේ සිට පිටකොටුව බලා යන බස් රථය ගමන් කරන්නේ මෙම පරණ අම්බලම හරහා ය. බෝපිටියේ සිට මුහුදට සමාන්තරව දිවෙන මෙම පාර ඔස්සේ පැමිණෙන මේ බස් රථය ඉන්පසු උස්වැටකෙයියාව මහ පාලම උඩින් ඇලකන්ද දෙසට හැරෙයි.
 
පරණ අම්බලම ප්‍රදේශයේ සිට මුහුදට ඇත්තේ මීටර් පනහකටත් වඩා අඩු දුරකි. පාසල් කට් කර මිතුරන් සමඟ නුගපෙ හන්දිය, පමුණුගම, බෝපිටිය, පරණ අම්බලම, උස්වැටකෙයියාව වැනි ප්‍රදේශවලත්, එහි මුහුදු තීරයේත් ඇවිදිමින් සිටි තිලක් ඇතුළු මිතුරු පිරිසට වෙරළට ආසන්නයෙන් ගල් කණු කිහිපයකින් යුතු අමුතු ආකාරයේ ස්මාරකයක් දැකගන්නට ලැබිණි. එහි ආසන්නයට ගොස් බැලූ විට ප්‍රධාන ගල් කණුවෙහි සිංහල සහ ඉංග්‍රීසි බසින් කොටන ලද මෙවැනි සඳහනක් දැක ගත හැකි විය.
 
nadhunana hevaya 03නාඳුනන හේවායාගේ ස්මාරකය
 
" නාඳුනන හේවායා සිහිවීම පිණිසයි " " In kind of remembrance, J. R. Holl, Canadian pilot officer who died on 1942, Plane no. DNV 439 (1942 වසරේ මියගිය ගුවන් යානා අංක DNV 439 හි කැනේඩියානු නියමු නිලධාරී ජේ. ආර්. හෝල් සිහිවීම පිණිසයි.)
 
1942 දී මියගිය බව සඳහන් වන හෙයින් එය දෙවෙනි ලෝක යුද්ධයට අදාළ සිදුවීමක් වනු නිසැක ය. මොහු කවුද ? මෙවැනි තැනක ඔහු අප්‍රකට ව මිහිදන් කරන ලද්දේ ද ? එසේ නම් ඒ ඇයි? මෙය ඉතිහාසයේ ලියැවී ඇති කරුණක් නොවේ.  
 
සිත තුළින් ඇතිවූ බලවත් කුතුහලය නිසාම තිලක් මේ පිළිබඳව සොයන්නට පටන් ගත්තේය. අවසානයේ ඔහුට නාඳුනන හේවායා ගැන බොහෝ තොරතුරු සොයා ගැනීමට හැකිවිය.ඒ එම ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙනි. නාඳුනන හේවායාගේ සිහිවටනය පිළිබඳ බොහෝ තතු දත් උස්වැටකෙයියාවේ ස්ටැන්ලි රුද්‍රිගු හෙවත් "ස්ටැන්ලි මාස්ටර්" නම් පාසල් ගුරුවරයා ගැන දැන ගන්නට ලැබුණු තිලක් පසු දිනයෙක ගොස් ඔහු හමු විය. ඒ ස්ටැන්ලි මාස්ටර් මෑතක මිය යන තුරුම තිලක්ගේ සමීප හිතවතෙකු වීම ද විශේෂත්වයකි.
 
ස්ටැන්ලි මාස්ටර් ස්ටැන්ලි රුද් රිගු ස්ටැන්ලි මාස්ටර් (ස්ටැන්ලි රුද්‍රිගු )
 
දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ජපනුන් විසින් කවර මොහොතක හෝ අහසින් කොළඹට බෝම්බ හෙලාවියැයි යන ආරංචිය 1942 වසරේ මුල භාගයේ සිටම අපේ රට පුරා පැතිර ගියේ ය. මේ නිසාම එකල අගනුවර සහ ඒ ආශ්‍රිතව පදිංචි වී සිටි බොහෝ දෙනෙක් තම ගේ දොර පවා අතහැර පිට පළාත්වල පදිංචියට ගොස් තිබිණි. නමුත් බ්‍රිතාන්‍ය මුල්කොටගත් මිත්‍ර පාර්ශ්වික යුද සේනා කොයි මොහොතක හෝ එල්ලවිය හැකි ගුවන් බෝම්බ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු පිණිස තම ගුවන් යානා සීරුවෙන් තබා ගෙන සිට ඇත.
 
කෙසේ වුවද ජපන් ගුවන් ප්‍රහාරක බලඇණිය 1942 අප්‍රේල් 5 දා පෙරවරුවේ අගනුවරට කඩා වැදුණි. එය එම වසරේ පාස්කු ඉරිදා දිනයයි. එදින ජපනුන් විසින් අහසින් හෙළන ලද බෝම්බ අගනුවර හා ඒ අවට ස්ථාන කිහිපයකට සේම, අගනුවරින් උතුරු මුහුදු තීරයේ ස්ථාන කීපයකට ද පතිත වූ අතර මෙහිදී සිදුවූ වඩාත් ඛේදනීය සිදුවීමක් වූයේ අංගොඩ මානසික රෝහල මතට කඩාවැටුණු බෝම්බයකින් එහි නේවාසිකව සිටි මානසික රෝගීන් පනස් දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වීම ය. 
1942 මුතුරාජවෙලට බෝම්බයක් වැටුණු තැන පසුව ඉදි වූ කතෝලික දෙව් මැදුර 1942 දී මුතුරාජවෙලට බෝම්බය වැටුණු ස්ථානයේ ඉදිවුණු කතෝලික දෙව් මැදුර
 
මීට අමතරව කඳානේ නෑදුරුපිටිය සහ නුගපෙ හන්දිය අතර වූ මුතුරාජවෙල මැදට ද බෝම්බයක් වැටිණි. එම ස්ථානය අද පවා හඳුන්වන්නේ බෝම්බ පිට්ටනිය ලෙසිනි. පසු කාලයක පුබුදුගම ලෙසින් නම් ලද එම ස්ථානයෙහි කතෝලික දෙව් මැදුරක් මැඳුරක් ඉදි විය. ඊට මඳක් නොදුරින් පිහිටි කඳාන නාගොඩට ද බෝම්බයක් වැටී ඇති අතර එම ස්ථානය වර්තමානයේ ද බෝම්බ හන්දිය ලෙසින් හඳුන්වයි.
මෙම ජපන් බෝම්බ ප්‍රහාරයේ ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පිණිස ජේ. ආර්. හෝල් නම් වූ මෙකී තරුණ කැනේඩියානු ගුවන් නියමුවා එම බෝම්බ ප්‍රහාරකයන් ලුහුබැඳ ගිය මොහොතේදී එම ප්‍රතිවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් විය. ඉන්පසු ඔහු පැමිණි DNV 439 නැමැති ප්‍රහාරක ගුවන් යානය උස්වැටකෙයියාව පරණ අම්බලම මුහුදු වෙරළ ආසන්නයට කඩා වැටිණි. එයින් තරුණ ගුවන් නියමුවා බරපතළ ලෙස තුවාල ලද අතර මේ බිහිසුණු සිද්ධිය එම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් තම නිවෙස්වල සිටියදීම සියැසින් දැක ඇත.
 
වහා එම ස්ථානයට දිවගිය ගැමියන්ට දැක ගැනීමට ලැබුණේ ඒ වන විටත් දැඩි අසාධ්‍ය තත්ත්වයකින් පසුවූ ගුවන් නියමුවා ය. ඔවුන් අසීරුවෙන් නියමුවා යානයෙන් පිටතට ගෙන වතුර ස්වල්පයක් පොවා ඇත. ඒ මොහොතේ ඔහු බ්‍රැන්ඩි ස්වල්පයක් ඉල්ලා ඇති අතර ගුවන් නියමුවාට උපකාර කළ පිරිස අතර සිටි වාප්පු ලිපිකරුවකු වූ ජුවාම් නානායක්කාරට ඔහු ඉල්ලා සිටින දෙය වටහා ගැනීමට හැකි විය. ඒ ඔහු ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව දැන සිටි නිසා ය. වහා නිවසට ගිය ඔහු තමන්ගේ නිවසේ තිබූ බ්‍රැන්ඩි බෝතලයක් ගෙනවුත් පැමිණ සිටි සෙසු අයගේත් උපකාරයෙන් ගුවන් නියමුවාට ඉන් ස්වල්පයක් පෙවීය. ඉන්පසු දෙනෙත පියාගත් ගුවන් නියමුවා යළි නැවත ඒ පියවා ගත් දෙනෙත විවර කළේ නැත.
 
අනතුරට ලක්වූ මාදිලියේ ප් රහාරක ගුවන් යානාවක්අනතුරට ලක්වූ මාදිලියේ ප්‍රහාරක ගුවන් යානාවක්
 
අපේ රටින් සැතපුම් දහස් ගණනක් දුර සිට පැමිණ අප මව්බිම රැක දීමට දැරූ උත්සාහය අවසානයේ දී සිය ජීවිතය පිදූ මෙම තරුණ ගුවන් නියමුවා කෙරෙහි මහත් අනුකම්පාවෙන් එම දේහය සුදු රෙද්දක ඔතා එම ස්ථානයේම මිහිදන් කිරීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ. ජුවාම් නානායක්කාරගේ සිතට මෙම සිදුවීම කෙතරම් තදින් බලපා තිබුණේ දැයි කිවහොත් ඔහු තම පෞද්ගලික ධනයෙන් ඉහත කී සමරු සටහන ද සහිතව එතැන මෙකී ස්මාරකය ඉදිකොට තිබිණි.
 
මෙම ගුවන් නියමුවා පිළිබඳ කිසිදු පෞද්ගලික තොරතුරක් නොදන්නා බැවින් මුලින් මෙහි සටහන් වී ඇත්තේ " නාඳුනන හේවායා සිහිවීම පිණිසයි" යනුවෙන් කොටා තිබූ විස්තරය පමණක් බව තිලක්ට දැනගත හැකිවිය. කලකට පසු මෙම තරුණ ගුවන් නියමුවාගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් මෙම ගුවන් අනතුර පිළිබඳව අසා දැන ශ්‍රී ලංකාවට විත් එම ස්මාරකය දැක ගැනීමට පැමිණ තිබේ. එම ඥාතීන් අතර මෙම තරුණ ගුවන් නියමුවාගේ විවාහාපේක්ෂිත තරුණිය ද සිටි බව පැවසේ. මෙම ස්මාරකය දැක එම ඥාතීන් එය ඉදි කිරීමට පුරෝගාමී වූ කෘතවේදී ජුවාම් නානායක්කාරට ස්තුති කර තුටු පඬුරුද ප්‍රදානය කොට ඇත. ඉන්පසු ජුවාම් නානායක්කාර වසර ගණනාවක් යනතුරුම නොකඩවා සෑම වසරකම අප්‍රේල් 5 වැනි දින එම තරුණ ගුවන් නියමුවාට පින් පිණිස ස්මාරකය අවට ජීවත්වන දිළිඳු පවුල්වලට ආහාර බෙදා දීමක් සිදු කර තිබේ.
 
එසේම ගුවන් නියමුවාගේ ඥාතිමිත්‍රාදීන් ද පරම්පරා දෙක තුනක් දක්වාම සෑම වසරකම ශ්‍රී ලංකාවට පැමිණ මෙම ස්මාරකය ඉදිරියේ තම රණවිරු ඥාතියාට උපහාර පුදා ඇත.
 
" ඔන්න ඕක තමයි ළමයෝ වුණේ "
 
 
එදා උස්වැටකෙයියාවේ දී හමුවූ ස්ටැන්ලි මාස්ටර් තිලක්ට කතාව කියා අවසන් කළේ එලෙසිනි. ජුවාම් නානායක්කාර යනු ස්ටැන්ලි මාස්ටර් ගේ බිරිඳගේ පියා ය. 1972, 73 කාලයේ එදා එලෙස පැවති ස්මාරකය අද කැඩී බිඳී ගොසිනි. එදා මෙම ස්මාරකය තනා තිබී ඇත්තේ වෙරළ සීමාවේ සිට අඩි තිහ හතලිහක් දුරිනි. නමුත් වරින් වර සිදුවන වෙරළ ඛාදනය නිසා එය කෙමෙන් මුහුදට සමීප විය. විශේෂයෙන් 2014 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද කොළඹ වරාය නගරය නිසා මෙම ප්‍රදේශයේ වෙරළ ඛාදනය අතිශයින් දරුණු තත්ත්වයකට පත්ව ඇති අතර මේ වන විට නාඳුනන හේවායාගේ සිහිවටනය කැඩී බිඳී ගිය කුළුණු කිහිපයක් වශයෙන් පැත්තක දමා තිබෙන අන්දම දැක ගත හැකිය . අද වනවිට එය කුමක්දැයි හඳුනන්නන් පවා විරල ය. ඒ අපේ රටේ ස්වභාවය යි.
 
nadhunana hevaya 01මෙම ස්මාරකය තනා තිබී ඇත්තේ වෙරළ සීමාවේ සිට අඩි තිහ හතලිහක් දුරිනි. නමුත් වරින් වර සිදුවන වෙරළ ඛාදනය නිසා එය කෙමෙන් මුහුදට සමීප විය.
 
බොහෝ යහපත් මිනිසුන්, කළ ගුණ දන්නවුන් අයිති වන්නේ අතීතයට ය. ඒ වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ අදහස් උදහස්වලින් මළ කෑ සිතුවිලි සහිත මිනිසුන්ගෙන් පිරි සමාජයක් වර්තමානය තුළ මෙරට බිහිවී තිබේ. ඒ ශ්‍රී ලංකාව නම් වූ මෙම කුඩා රට මුහුණ දී සිටින ප්‍රබල ඛේදවාචකයකි. නාඳුනන හේවායා තිලක්ගේ මනසින් කවදාවත් බැහැර වූයේ නැත. ඔහු සේම ජුවාම් නානායක්කාරත් ඔහුට සහාය වූ ගමේ සෙසු පිරිසත් තිලක් ගේ මතකය තුළ ජීවත් වෙයි. ඔවුන් අතීතයට අයිති මිනිසුන් ය. වර්තමානයට ඔවුන්ගේ නෑදෑකමක්වත් ඇති බවක් නොපෙනේ. අතීතයට අයිති තවත් සැබෑ මිනිසුන් බොහෝ ‍ය. ඔවුහු තම ගුණ කඳ සමගම මහපොළොව යට නිදති. තිලක් ට සිහිපත් වන්නේ තම පාසැල් වියේ සිටි එවන් උතුම් ගුරුවරුන් කිහිප දෙනෙකි.
 
තිලක් පස්වන ශ්‍රේණියේ සිටියදී පමණ මියගිය තම බළලා වෙනුවෙන් ලියූ ශෝක ප්‍රකාශය පන්තියටම ඇසෙන්නට කියවා " කවදාහරි තිබ්බටුගොඩින් හොඳ කවියෙක් බිහිවෙනවා" යි කියමින් ඔහුගේ හැකියාවන් හඳුන්වා දී ඔහු දිරිමත් කළ ඩී.ඒ සමරවීර ගුරුතුමිය මින් එක් අයෙකි.
 
D.A. Samarweeraඩී.ඒ. සමරවීර ගුරුමාතාව
 
දෙවැන්නී සිල්වා නම් වූ තිලක් 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී සිටි පන්ති භාර ගුරුතුමිය යි. ඇය තම සිසුන්ට "මට තාම මතකයි"යන මාතෘකාව යටතේ රචනාවක් ලියාගෙන එන ලෙස නියම කර තිබිණි. තිලක් එම රචනාව සඳහා යොදා ගත්තේ ඊට වසර දෙකකට පමණ ඉහතදී ගණේමුල්ලේ ඔහු උගත් එලිසබෙත් හෝල් නම් ටියුෂන් පන්තියකින් සහභාගී වූ දඹුලු විනෝද චාරිකාවක් පිළිබඳ කතාවකි. එම විනෝද චාරිකාවට පවුලේ අයද සහභාගි කරවා ගැනීමට සිසුන්ට අවසර දී තිබිණි. ඒ අනුව තිලක්ගේ දෙමාපියන් සහ නැගණිය ද ඊට සහභාගි වූවාය. ගමන සඳහා යොදා ගැනුණේ පෞද්ගලික චාරිකා සඳහා වාහන පහසුකම් සපයා දෙන "යක්කල සංචාරකයෝ" නම් ආයතනයක බස් රථයකි.
 
ආපසු එන ගමනේදී සවස් යාමයේ දඹුල්ල පසු කර මඳ දුරක් එනවිට රථය නොසිතූ ලෙස කාර්මික දෝෂයකට ලක් විය. ඒ කුමන ප්‍රදේශය ද යන්න තිලක්ට අද වන විට මතකයක් නොමැත. එකල අද මෙන් පුළුල් සහ පහසුකම් සහිත දියුණු මාර්ග පද්ධතියක් එම ප්‍රදේශයේ පැවතියේ නැත. වාහන ගමන් කළේ ද අඩුවෙනි. ඒ අසල මහපාරට ආසන්නයෙන් වෙල්යායක තිබූ ගලක් මත කුඩා පන්සලක් පිහිටා තිබිණි. බස්රථය නැවත සාදා ගෙන පණගන්වන තුරු බසයේ සිටි සෑහෙන පිරිසක් ඉන් බැස ඒ මේ අත ඇවිදිමින් කතාබහේ යෙදී සිටි අතර තිලක් සහ නැගණිය ද සමඟින් ඔහුගේ දෙමාපියෝ එම කුඩා පන්සල පිහිටි ගල්කුල දෙසට ඇවිද ගියහ. බොහෝ වේලාවක් එතැන නතර වී සිටි තිලක්ට එම සන්ධ්‍යාවෙහි අපූරු සිසිලසක් දැනෙන්නට විය. මළ හිරු රත් පැහැයෙන් ගස් අතරින් දිලිසිණි. එය සුන්දර වුවද ඉඟි බසින් පවසා සිටියේ තව මොහොතකින් අඳුර එළඹෙන බව ය.එහි දී සොබා සෞන්දර්යයේ චමත්කාරය සමඟ ඒ වනගත පරිසරය තුළ රැයක් ගත කිරීමට සිදුවේද යන බිය ඔහු ගේ සිත තුළට තදින්ම කා වැදී තිබිණ.
 
nadhunana hevaya 1972 නාඳුනන හේවායාගේ ස්මාරකය
 
ඔහු "මට තාම මතකයි" රචනාවට පාදක කරගත්තේ තමන් මුහුණ දුන් එම අකරතැබ්බය හා අවට පරිසරයෙන් ඒ මොහොතේ දුටු සුන්දරත්වයත්, එමගින් ලද ආශ්වාදය සහ ඒ සමඟම සිත තුළ ජනිත වූ බියත් ය.
 
රචනාව කියවූ සිල්වා නම් ගුරුතුමිය පසුදා තිලක් ව කැඳවූවාය. ඉන්පසු ඔහුගෙන් පවුලේ විස්තර ද අසා රචනාව ඉතාමත් අලංකාර ලෙස ලියා ඇති බවත්, තමා කීප වතාවක් එය කියවා පසුව නිවසේ අය සමඟ ද එය රස විඳි බවත් පවසා ඔහුට ලේඛන කලාව සම්බන්ධයෙන් ඉතා හොඳ අනාගතයක් ඇති බවට අනාවැකියක් ද පළ කළාය. එපමණක් නොව සියලුම ළමුන් ඉදිරියේ එම රචනාව කියවන්නට ද සැලැස්වූවාය.
 
 
" ඔයා තව තව ලියන්න. එතකොට ඔයාගේ හැකියාව තව මුවහත් වෙනවා. අනිවාර්යෙනම ඔයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා" සිල්වා ගුරුතුමිය පැවසුවේ තිලක්ව තවත් දිරිගන්වමිනි. තමන් පිළිබඳව තිලක් තුළ දැඩි ආත්ම විශ්වාසයක් සහ කිසියම් තක්සේරුවක් ඇති කළ දෙවෙනි සිදුවීම එය විය. එසේම ඔහුට තව තවත් අත්දැකීම් සොයා යාමේ අවශ්‍යතාවයක් ඇති කරවන්නට ද ගුරුතුමියගේ ඒ අවවාදය සමත් වී තිබිණි. නිවස සහ පන්ති කාමරය යන ස්ථාන දෙකෙන් පරිබාහිර වූ සමාජය සහ ඒ තුළ ජීවත් වූ අනේකවිධ මිනිසුන් සේම, ගහකොළ සහ සතුන් ද සොයා යන්නට ඔහු පෙළඹුණේ මෙවැනි දිරිමත් කිරීම් පාදක කර ගනිමිනි.
ගුරුකම වෘත්තියකට වඩා සේවයක් ලෙස සිතා සිසු දරුවන් ගේ අනාගතය පැහැබර කරන්නට කැප වූ ගුරුවරුන් අද ද සිටිනු ඇත. නමුත් විරල ය. සිල්වා ගුරුතුමිය රාගම ප්‍රදේශයේ සිට පාසල් පැමිණි බව තිලක්ට මතක ය.
 
nadhunana hevaya 02නාඳුනන හේවායාගේ ස්මාරකය
 
අතීතයට අයත් සුන්දර මිනිසකු ලෙස තිලක් ගේ සිතෙහි සදාකල් සනිටුහන් වී ඇති තවත් ගුරුවරයකු සිටියි. ඒ, තිලක් 9 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී පන්තිභාර ගුරුවරයා ව සිටි සුගතදාස ගුරුතුමා ය.
 
තිලක්ගේ පන්තියේ සිටි සහෝදර ශිෂ්‍යයකු වූ කරුණාරත්න පාසලට පැමිණියේ සතියකට දින දෙක තුනකි. මේ පිළිබඳව පන්තිභාර ගුරුතුමා නිතර නිතර ඔහුට චෝදනා කළත් කරුණාරත්න ඊට නිහඬ ප්‍රතිචාරයක් දැක්වීය.
 
" මේ විදිහට යලට මහට ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් කමක් නෑ ළමයො. ඔය ළමයට දවස ගාණේ ඉස්කෝලේ එන්න බැරි නම් ඔය ළමයා ගෙදර නවතින්න" දිනක් සුගතදාස ගුරුතුමා පවසා තිබිණි. කරුණාරත්න තමන්ගේ දුක් ගැනවිලි කීවේ තිලක්ට ය.
 
" අපේ අම්මා හැමදාම වෙලවල් ගාණේ ඇවිදලා පලා ජාති කොහිල වගේ දේවල් හොයාගෙන මිටි බඳිනවා. හවසට ඒවා ගණේමුල්ලේ ටවුමෙ පේමන්ට් එකේ තියාගෙන විකුණනවා. නිවාඩු දවස්වලට මමත් අම්මත් එක්ක යනවා ඒවා හොයන්න උදව් කරන්න. මාව ඉස්කෝලේ එවන්නවත් අපේ අම්මට සල්ලි නෑ බං " කරුණාරත්නගේ දුක් ගැනවිල්ල තිලක් අසා සිටියේ මහත් කම්පාවෙනි. ඔහුට තිබූ ලොකුම දුක වූයේ මිතුරා වෙනුවෙන් උපකාරයක් කරන්නට තමාට නොහැකි වීම ගැන ය. පියෙකු පිළිබඳව කරුණාරත්න කවදාවත් කතා කළේ නැත. සහෝදරයකු පිළිබඳව සඳහනක් කළ බවක් ද තිලක්ගේ මතකයේ නොමැත. නිතරම කතා කළේ තම මව ගැන පමණි.
 
තිලක් සේනාසිංහතිලක් සේනාසිංහ
 
" ඊයෙ ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට කන්න කිසිම දෙයක් නෑ. අම්මා එළියට වෙලා ඉඳගෙන කල්පනා කර කර ඉන්නවා. කරන්න දෙයක් නැතුව මම මිදුලේ පොල් ගහට නැගලා කුරුම්බා ගෙඩි දෙකක් කඩා ගත්තා. ඒක තමයි අම්මගෙයි මගෙයි ඊයේ දවල් වේල " තවත් දවසක කරුණාරත්න තිලක් ට කීවේ රහසින් වගේ ය.
 
දවස් ගණනාවක් හොඳින් පවසා බැරිම තැන කරුණාරත්නගේ නොසැලකිලිමත් පාසල් ගමන සම්බන්ධයෙන් සුගතදාස ගුරුතුමා තදින් ඔහුට දොස් නැගුවේය.
 
" මට එක කලිසමයි එක කමිසයයි බං තියෙන්නේ. දවස ගාණෙම ඉස්කෝලේ ඇරිලා ගිහින් කලිසමයි කමිසෙයි හෝදලා වනනවා. ඒවා වේලිලා තිබුණේ නැතිදාට ඉස්කෝලේ එන්න වෙන්නෙ නෑ මට. අම්මා හැමදාම කියනව කොහොම හරි අලුතෙන් කලිසමකුයි, කමිසෙකුයි මස්සලා දෙන්නම් කියල . ඒත් එහෙම වුණොත් අපි දෙන්නම බඩගින්නෙ"
 
ගුරුතුමාගේ දෝෂාරෝපණයට ලක් වූ කරුණාරත්න එලෙස කීයේ ගුරුතුමාට නොව තිලක්ට ය. ඔහුගේ එවදන් තම ළය පසාරු කරගෙන ඇට, ඇටමිදුළු දක්වාම ගමන් කරන ආකාරයක් තිලක්ට දැනිණි.
 
" ඔය විස්තරය තමුසෙ ගිහින් සර්ට කියනවකො . එතකොට ආයෙ බනින එකක් නෑ. " තිලක් , එලෙස කරුණාරත්න ට උපදෙස් දුන්නේය.
 
" මට බයයි බං"
 
" බය වෙන්න එපා. සුගතදාස සර් ඔහොම බනින්නෙ තමුසෙට තියෙන ආදරේට මිසක් නපුරුකමට නෙමෙයි. අඩු ගාණේ මීට පස්සේ බැනුම් අහන්න වෙන එක හරි නවතීනේ"
 
තිලක් ගේ බලවත් ඇවිටිල්ල නිසාම දිනක් පන්තියේ කිසිවෙකු නොමැති වේලාවක් බලා කරුණාරත්න , පන්ති භාර ගුරුතුමා වෙත ගියේය.
"මොකද ඔය ළමයා?" සුගතදාස ගුරුතුමා ඇසීය.
 
" සර්, අපේ අම්මා පේමන්ට් එකේ පලා විකුණනවා. ඒකෙන් තමයි මමයි අම්මයි ජීවත් වෙන්නේ. මට තියෙන්නෙ එක කලිසමයි එක කමිසයයි. තව කලිසමකුයි කමිසෙකුයි මස්සලා දෙන්න අපේ අම්මට සල්ලි නෑ. එක දවසක් ඇඳල කලිසමයි කමිසෙයි හේදුවට පස්සේ ඒක එදාට වේල ගන්න බැරිවුණොත් ඊළඟ දවසේ මට ඉස්කෝලේ එන්න විදිහක් නෑ සර්. ඒකයි මට සමහර දවස්වලට ඉස්කෝලේ එන්න බැරි වෙන්නේ"  කරුණාරත්නගේ දෑසේ දිලිසෙන කඳුළු බිංදු දෙකක් ගුරුතුමාගේ නෙත ගැටිණි. ගුරුතුමා මඳක් කල්පනා කළේය.
 
main qimg 773a485a94f5c1cc59e641606880d468 lq" මේ විදිහට යලට මහට ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් කමක් නෑ ළමයො. ඔය ළමයට දවස ගාණේ ඉස්කෝලේ එන්න බැරි නම් ඔය ළමයා ගෙදර නවතින්න"
 
" තමුසෙ හෙට ඉස්කෝලේ ඇරිලා යන ගමන් ටවුමෙ හන්දියෙම තියන ටේලර් සාප්පුවට ගිහින් කලිසමකටයි කමිසෙකටයි මිමි දෙන්න ඕනේ තේරුණාද ? සල්ලි ගැන මම බලාගන්නම්. හැබැයි තමුසේ ඔය ගැන පන්තියේ කාටවත් කටක් හොල්ලන්නෙ නෑ හරිද? " කරුණාරත්න හිස වනා එය පිළිගත්තේය. නමුත් කාට නොකිව්වත් තමන්ට මෙම උපදෙස දුන් තිලක් සමග ඔහු මෙම විස්තරය රහසේම පැවසුවේය. තිලක් තුළ ඇතිවූයේ අසමාන සතුටකි.
 
පසුදා පාසල නිමවී ගණේමුල්ල නගරයේ තිබූ ටේලර් සාප්පුවට ගිය කරුණාරත්න තමන්ගේ මිමි ලබා දුන්නේය. දින කිහිපයකට පසු කරුණාරත්න අලුත් සුදු කමිසයක් සහ සුදු කලිසමක් හැඳ පාසලට පැමිණියේ මහත් උජාරුවෙනි. රටක් රාජ්‍යයක් ජයගත්තාක් වැනි උදාරම් පෙනුමක් ඔහු තුළ විය. ගුරුතුමා කිසිවක් කීවේ නැත. නමුත් ඔහු කරුණාරත්න ගේ අලුත් ඇඳුම දෙස බලා රහසේම සැනසුම් සුවයක් විඳින්නට ඇත.
 
එම ගුරුතුමා පාසලට ඇන්දේ ජාතික ඇඳුමයි. අත ඔසවා කළුලෑල්ලේ අකුරු ලියන ගුරුතුමාගේ කමිසයේ කිහිල්ල කොටස ඉරී යාම නිසා , කණපිට හැරවූ ඉංග්‍රීසි "එල්" අකුරක් සේ බැලූ බැල්මට දිස්වන අල්ලකින් බාගයක තරමේ අණ්ඩයක් දමා එලලා ඇති අයුරු තිලක් දුටුවේ හදිසියේම වාගේ ය. එදා කරුණාරත්න කෙරෙහි ඇති වූ වේදනාවට සමාන වේදනාවක් තිලක්ගේ ළයෙහි සිය පංති භාර සුගතදාස ගුරුතුමා වෙනුවෙන් ද උපන්නේය. එම වේදනාව තවමත් තම හදවතේ කොණක ලැගුම් ගෙන ඇති වගක් තිලක් ට දැනේ. ඒ අතීතයට අයත් මිනිසුන් ය. ඔවුන් වර්තමානයේ මුණ නොගැසෙනු ඇත. මුණ ගැසුණත් ඒ ඉතා දුලබ සිදුවීමක් වනු නියත ය.
 
ජැක්සන් ඇන්තනි සමග උසස් පෙළ එකම පන්තියේ උගත් අයුරු ඊළඟ කොටසින් කියවමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...