The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

July 22, 2024 • 9:10 AM

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි තිලක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වී උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ 1975 වසරේ දී ය.
  • නමුත් විදුහලේ මුල සිටම අධ්‍යාපනය ලැබූ සිසුන් එම නවක සිසුන් දෙස බැලුවේ තමන්ගේ උරුමය ඇති තැනකට පිටරටකින් පැමිණ පදිංචියට ආ "කල්ලතෝනින්" දෙස බලන ආකාරයේ නොසතුටු බැල්මකිනි.
  • මෙලෙස උසස් පෙළ කලා විෂයන් හැදෑරීම සඳහා වෙනත් පාසල්වලින් පැමිණි සිසු සිසුවියන් කිහිප දෙනා අතරේ කැරළි ගැසුණු කෙස් කළඹක් සහිත සිහින් උස සිසුවෙක් ද විය.
  • එදින සාහිත්‍ය සංගමයේ මුලසුන හෙබවූයේ එවකට එම විදුහලේ ආචාර්ය පදවියක් හෙබවූ ශාස්ත්‍ර විශාරද පූජ්‍ය පණ්ඩිත පත්තඬුවන චන්ද්‍රසිරි හිමිපාණන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි තිලක්  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වී උසස් පෙළ  කලා අංශයෙන් අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ 1975  වසරේ දී ය. එහිදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සෑම සිසුවකුටම උසස් පෙළ හැදැරීමේ වරම නොලැබුණු හෙයින් එම ශිෂ්‍ය පුරප්පාඩු පිරවීම පිණිස අවට පාසල්වලින් සාමාන්‍ය පෙළ ඉහළින් සමත් සිසු සිසුවියන්  සීමිත පිරිසක් බඳවා ගැනිණි. නමුත් විදුහලේ මුල සිටම අධ්‍යාපනය ලැබූ සිසුන් එම නවක සිසුන් දෙස බැලුවේ තමන්ගේ උරුමය ඇති තැනකට පිටරටකින් පැමිණ පදිංචියට ආ "කල්ලතෝනින්" දෙස  බලන ආකාරයේ නොසතුටු බැල්මකිනි.        
 
එවක උසස් පෙළ පළමු වසර වූයේ එකොළොස් වන ශ්‍රේණියයි. මෙලෙස උසස් පෙළ කලා විෂයන් හැදෑරීම සඳහා වෙනත් පාසල්වලින් පැමිණි සිසු සිසුවියන් කිහිප දෙනා අතරේ කැරළි ගැසුණු කෙස් කළඹක් සහිත සිහින් උස සිසුවෙක් ද විය.
 
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ 
 
එවක සෑම මසකම අවසන් සිකුරාදාවේ දවල් දොළහයි තිහට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී විද්‍යාලයේ සාහිත්‍ය සංගමය රැස් වෙයි. ඉහළ පන්තිවල සිසුන් පමණක් එක්වන ඒ සංගම් රැස්වීමේ දී සිසුන්ගේ ගායන සහ නර්තන අංග ද ඉදිරිපත් කෙරේ. එදින සාහිත්‍ය සංගමයේ මුලසුන හෙබවූයේ එවකට එම විදුහලේ ආචාර්ය පදවියක් හෙබවූ ශාස්ත්‍ර විශාරද පූජ්‍ය පණ්ඩිත පත්තඬුවන චන්ද්‍රසිරි හිමිපාණන් ය. උන්වහන්සේ දෙපසින් උසස් පෙළ සිසුන් සඳහා සිංහල විෂය ඉගැන්වූ පී.සී. සෙනෙවිරත්න සහ භූගෝල  විද්‍යා විෂය ඉගැන් වූ පී. එච්. වීරසේන යන ගුරුවරු සිටියහ. පාසලේ සෙසු කටයුතු සේම මෙවන් කටයුතු ද නියාමනය කළ එවක විදුහල්පති විල්සන් කරුණාරත්න මහතා මේවාට සම්බන්ධ නොවුවද මේ සියලුම දේ ගැන මනා දැනුමක් හා අවබෝධයක් ඔහු සතුව තිබිණ."කොල්ලනේ පරිස්සමින් ප්‍රින්සිපල් සර්ට දිවැස් තියනවා"දඩම්බර මුරණ්ඩුකම් පෑ සිසුනට එසේ අවවාද දුන් ගුරුවරු ද එවක හිඟ නොවූහ.
විල්සන් කරුණාරත්න විදුහල්පතිතුමා
         
“අද මේ සමිතියට වෙනත් ඉස්කෝලවලින් ආපු ළමයින් සෑහෙන දෙනෙක් සහභාගී වෙනවා. දැන් ඒ ළමයින්ගෙන් කවුරු හරි ඉදිරිපත් වෙලා මේ සභාවේ රසාස්වාදනය සඳහා මොකක් හරි ගායනයක් නර්තනයක් වගේ දෙයක් ඉදිරිපත් කරන්න. මොකද අපි දන්නවා මේ ළමයි අතරෙත් බොහොම දක්ෂකම් නිපුණතා තියෙන ළමයි ඉන්න බව”
        
එම නවක සිසු පිරිස එක් වූ මුල්ම සාහිත්‍ය සංගම් රැස්වීමේදී පූජ්‍ය පත්තඬුවන චන්ද්‍රසිරි හිමියන් පැවසුවේ සභාව සිසාරා බැල්මක් හෙළමිනි.
        
එහිදී තිලක්ගේ පන්තියට අලුතින් පැමිණි, පැරණි සිසුන්ගේ නොතකා හැරීමට ලක්වූ සිසුන් අතරේ සිටි කැරළි ගැසුණු කෙස් කළඹක් සහිත සිහින් උස ශිෂ්‍යයා කිසිදු පැකිළීමකින් තොරව ඉදිරියට පැමිණියේ ය.
        
“මේ දණ්ඩා මොකාටද මේ එන්න හදන්නේ? යකෝ මූට තියෙන ඇම්ම ”
        
විද්‍යාලයේ "භූමි පුත්‍රයන්" සේ සිතා සිටි  පැරණි සිසුහු එකි’නෙකාට මුමුණා ගත්හ.
 
          
සභාව ඉදිරියට පැමිණි ඔහු අබේවර්ධන බාලසූරිය ගායකයාණන් ගැයූ ඒ දිනවල  නවතම ගීතයක් ලෙස ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වූ "පියාණෙනි  මා නැවත උපන්නොත්" ගීතය ගැයීම ඇරඹීය. ඔහු ඒ ගායනය අරඹා පළමු තත්පර කිහිපයේදීම සභාව බිරන්තට්ටු වූ බවක් පෙනිණි. මුලසුන හෙබවූ චන්ද්‍රසිරි හිමියන් ද ඒ ගැයුම සවනින් ඇසීමට අමතරව ඔහුගේ ගායනය කිනම් මහිමයකින් සිදුවන්නක් දැයි දැක ගැනීම පිණිස දෝ තම උපැස් යුවළට ඉහළින් ඒ සිසුවා දෙස ඇසිපිය නොහෙලා බලා හිඳිනු තිලක් දුටුවේය.         
“මගේ නම ජැක්සන් ඇන්තනි. කඳානේ හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන් ආවේ”
       
තම ගායනය අවසන් වී සිසුන් ගේ අත්පොලසන් හඬ නිමාවේ ඒ සිසුවා සභාවට  කීය.
        
“බොහොම හොඳයි; ඔන්න එහෙනම් දැන් අපේ විද්‍යාලය දීප්තිමත් කරන්න තවත් ආලෝක ධාරාවක් එකතු වෙලා තියනවා. ඒ ආලෝක ධාරාව  භාර ගන්න  සතුටු නම් තවත් අත්පොලසන් නාදයක් දෙන්න”    
         
පූජ්‍ය චන්ද්‍රසිරි හිමියන් එසේ පවසත්ම මුළු විද්‍යාලයීය ප්‍රධාන ශාලාවම අත්පොලසන් හඬින් ගිගුම් දුන් අතර පැරණි සිසුහු ද එතෙක්  ඔවුන්ගේ සිත් තුළ නංවාගෙන සිටි මහන්තත්තකම හකුලා ගෙන අත් පුපුරු ගැසෙන ලෙසින් අත්පොඩි තලන්නට පටන් ගත්හ.
 
උපතිස්ස බාලසූරිය
 
ඉන්පසු ජැක්සන්, තිලක් ඇතුළු සැමගේම සමීපතම මිතුරකු වූ අතර එම පන්තියේ ඉගෙනුම ලැබූ පාලිත සරත්චන්ද්‍ර සහ රංජිත් ජයසූරිය යන මිතුරන් ද සමග තිලක් සහ ජැක්සන් ද එකම මිතුරු කල්ලියක සාමාජිකයන් බවට පත්වූයේ වැඩිකලක් යන්නට මත්තෙන්ම ය. ඒ අතරේ ඔවුන්ට වඩා වසරක් පහළ පන්තියක සිටි සිසුවෙකු ද ඔවුන්ගේ මිතුරු කල්ලියේ එල්ලී අවුත් ඔවුන් ගේ කල්ලියට ම එකතු  විය. ඔහු පොලොන්නරුවේ පුලස්තිගම සිට පැමිණ ගලහිටියාවේම දන්නා කියන නිවසක නතර වී සිටි උපතිස්ස බාලසූරියයි. පසුව රාජ්‍ය දැව සංස්ථා නිලධාරියකුව දිගු කලක් සේවය කළ උපතිස්ස සතුව ද මනා රංගන හැකියාවක් තිබූ අතර ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු පූර්ණකාලීනවම රංගනයට එකතු වී වර්තමානය වනවිට ජනප්‍රිය නළුවෙකු ව සිටී.      
තිලක් උසස් පෙළ සඳහා  තෝරගත් විෂයන් වූයේ  සිංහල, බෞද්ධ සංස්කෘතිය, භූගෝලය සහ ආර්ථික විද්‍යාවයි. ආර්ථික විද්‍යාව විෂය වෙනුවට ඉතිහාසය තෝරාගැනීමේ තදබල කැමැත්තත් තිබූ මුත් කුමක් හෝ හේතුවක් මත ඉතිහාසය හැදෑරීමේ අවස්ථාව ඔහුට අහිමි ව ගියේය. ඒ අනුව අකැමැත්තෙන් ම වුවත් ආර්ථික විද්‍යාව තෝරා ගැනීමට සිදු විණි.
        
එම විෂය ඉගැන්වීමට පැමිණි කඩවසම් තරුණ ගුරුවරයා මුලින්ම ආර්ථික විද්‍යාව කුමක්ද ?යන්න සිසුන් ඉදිරියේ අර්ථ දක්වන්නට විය.
 
      
" මිනිසා කියන්නේ ආර්ථික සත්වයෙක්. සාමාන්‍යයෙන් තාපස සමාජයේ ජීවත්වන අය ඇරුණුකොට අනිත් අය මෙලෙස ආර්ථික සත්වයන් ලෙස හඳුන්වන්න පුළුවන්. එම ආර්ථික සත්වයාගේ අවශ්‍යතා අසීමිතයි. නමුත් මිනිසා වටා ගොනු වෙලා තියෙන සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත්වලින් අසීමිත ආශාවන් උපරිම ලෙස සංතෘප්ත කරගැනීම ආර්ථික විද්‍යාව ලෙස අර්ථ දක්වන්න පුළුවන්"
ගුරුවරයා පැවසූ  කාරණය තිලක්ගේ  සිත් ගත්තේ නැත. එක්වරම ඔහුගේ  සිහියට නැගුණේ ඉන් කලකට ඉහතදී  කියවා තිබූ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ එන බුදුරජාණන් වහන්සේ විසින් මාරයා වෙත කරන ලද දේශනාවකි.
          
මාරයා බුදුරජාණන් වහන්සේ හමුවී උන්වහන්සේට රජ වන ලෙස ආරාධනා කළේය.
           
එහිදී බුදුරජාණන් වහන්සේ මාරයා හට දේශනා කරන ලද "පබ්බතස්ස  සුවණ්ණස්ස" නම් ගාථාවෙහි අර්ථයට අනුව,
 
buddha 1
 
" මහමේරු පර්වතය තනි ඝන රත්තරන් වූවත් එය එක මිනිසකුගේවත් අවශ්‍යතා සංතෘප්ත කරන්නට ප්‍රමාණවත් නොවේ. මිනිසා එපමණටම තෘෂ්ණාබරිත සත්වයෙකි. එනිසා ප්‍රඥාවන්තයන් කළ යුත්තේ තෘෂ්ණාව පාලනය කර ගැනීමයි."
බුදුරජාණන් වහන්සේගේ මෙම දේශනාව සහ ආර්ථික විද්‍යාවේ සිද්ධාන්තය යන මේ කාරණා දෙක අතර තිලක්ගේ සිතෙහි ගැටුමක් ඇති විය. ඔහු අසුනෙන් නැගී සිටියේය.
         
" සර්, මට ප්‍රශ්නයක් තියෙනවා"
         
" මොකක්ද තමුසෙට තියන ප්‍රශ්නය? කියනවා බලන්න " ගුරුවරයා පැවසුවේ මඳ සිනා සහිතව ය.
         
" සර්, අවශ්‍යතා අසීමිතයි කියන එක හරි. සම්පත් සීමිතයි කියන එකත් හරි. එතකොට උපරිමය කියන්නේ කොතනද ? එක එක්කෙනාගෙ උපරිමය වෙනස්. විද්‍යාවක් නම් ඒකේ නිශ්චිත නිර්ණායක තියෙන්න ඕන නේද ?"  
ගුරුවරයා මොහොතක් තිලක් දෙස බලා සිටියේය. ඔහුගේ මුව මද සිනාවකින් විවර වී තිබිණි.
          
" තමුසෙට ඕන විදිහට ආර්ථික විද්‍යාව වෙනස් කරන්න බෑනේ හලෝ. ඒ හින්ද කැමති නම් මේ විද්‍යාව ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් පැත්තකට වෙලා ඉන්නවා"
          
ගුරුතුමා පැවසුවේ පණ්ඩිත දරුවෙකුට අවවාද කරන පියෙකු බඳු සෙනෙහස මුසු ස්වරයෙනි.
 
IMG 20240720 WA0003තිලක් සේනාසිංහ
         
එදායින් පසු ආර්ථික විද්‍යාව විෂය උගන්වන කාල පරිච්ඡේදයේ දී තිලක් පන්තියේ සිටියත් ඔහු කිසි දිනෙක එම විෂය ඉගෙන ගත්තේ නැත. ඔහු එසේ කළේ ඒ දක්ෂ ගුරුවරයාගේ වරදක් නිසා නොවේ. එම විෂයෙන් ලකුණු සහ දැනුම මිස අධ්‍යාපනය සිසාරා තමන් විසින් සොයනු ලබන ජීවිතාවබෝධය ලබා ගන්නට නොහැකි බවක් ඔහු ගේ හිතුවක්කාර මනැසට හැඟුණු නිසාවෙනි.
        
අනෙක් අතට ආර්ථික විද්‍යාව ඔය කියන ආකාරයේ ඵලදායි තත්වයෙන් යුතු  විෂයක් නම් ලෝකයේ ධනවත්ම පුද්ගලයන් විය යුත්තේ ආර්ථික විද්‍යාඥයින් යැයි තිලක් කල්පනා කළේය. නමුත් එහි න්‍යායන් සකස් කරන ඔවුන් ද වෙනත්  අයගෙන් වැටුප් ලබා සේවය කරන්නෝ වෙති. එසේ නම් මේ විෂය ජීවිතය හමුවේ ප්‍රයෝජනයට ගන්නේ කවර ආකාරයෙන් දැයි තිලක්ට  වටහාගත හැකි වූයේ නැත.
        
සිංහල, බෞද්ධ සංස්කෘතිය සහ භූගෝල යන උසස් පෙළ  සෙසු විෂයන් කිසිවක් වෙනුවෙන් තිලක් ටියුෂන් පන්තියකට ගියේ නැත. ජැක්සන් ඇතුළු තිලක්ගේ සෙසු මිතුරෝ ගම්පහ විද්‍යාරවින්ද විද්‍යාපීඨයේ පැවැත්වූ ආර්ථික විද්‍යා ටියුෂන් පන්තියකට සහභාගි වූහ. ආර්ථික විද්‍යාව සහමුලින්ම සිතින් අතහැර දමා තිබූ තිලක් එම පන්තියට සහභාගී වූයේ නැත.
        
" නියම සර් බං. මොකුත් නෑ, ආර්ථික විද්‍යාව උගන්නනවා නෙමෙයි කොටලා පොවනවා වගේ "
 
bandula gunawardeneඑවකට අපේ රටේ ටියුෂන් ගුරුවරුන් අතර දීප්තිමත් තරුවක් බවට පත්ව සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ය. එකල ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.
         
මිතුරු පිරිස තම  ආර්ථික විද්‍යා ටියුෂන්  ගුරුවරයා ගැන  බොහෝ සෙයින් වර්ණනා කළහ. ඔහු එවකට අපේ රටේ ටියුෂන් ගුරුවරුන් අතර දීප්තිමත් තරුවක් බවට පත්ව සිටි  අමාත්‍ය බන්දුල ගුණවර්ධන ය. එකල ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. බොහෝ විට අවසන් වසරේ පමණ විය හැකිය.
තිලක් උසස් පෙළ විභාගයේ දී ද ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය මග හැරියේය. ඔහු මුහුණ දී තිබුණේ සෙසු විෂයන් තුනට පමණි.
         
පාසලේ වැඩි කලක් යන්නට මත්තෙන් ම ජැක්සන් ගායකයකු මෙන්ම රංගන ශිල්පියකු ලෙස ද සහෝදර සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ද සිත දිනා ගන්නට සමත් විය.           
 
“මචං, අපේ ගමේ ඉස්කෝලෙ නම් අපිට සින්දු කියන්න, නටන්න මීට වඩා ඕන තරම් චාන්ස් තිබුණා. අපේ පල්ලියේ වුණත් ඒ වගේ චාන්ස් තියෙනවා; ඒත් මෙහේ කරන්නේ උගන්වන එක විතරමනේ ”      
ජැක්සන් වරින් වර  තිලක්ට කන් කෙඳිරි ගෑවේය.    
 
IMG 20240720 WA0005උපතිස්ස බාලසූරිය "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයේ එස්. කේ. සිරිසේන ලෙස
       
“මෙහෙත් ලබන අප්‍රියෙල් නිවාඩුවට කලින් කොන්සට් එකක් නම් තියනවා. ඒත්, අපි ඒකට ඉදිරිපත් වෙන්නේ නෑ. හිතුණොත් එදාට ෂේප් එකේ කොහෙට හරි මාරු වෙනවා.”  
         
තිලක් ඔවුන් ගේ සාමාන්‍ය චර්යාව ජැක්සන් හමුවේ පැවසීය.
         
" උඹලා මහ පුදුම මිනිස්සුනේ බං, ඇයි එහෙම කරන්නේ, අනේ මචං අපි මේ සැරේ කොන්සට් එකට මොකක් හරි ඩ්‍රාමා එකක් කරමු. උඹට ඔය එක එක බහුබූත හොඳට ලියන්නත් පුළුවන් එකේ උඹම පිටපත ලියපන්. මම මගේ වැඩේ දෙන්නම් නියමෙට”
         
ජැක්සන් කීය. පසුව තිලක් සහ ජැක්සන් දෙදෙනාම එකතුව තමන්ගේ ඒ සැලසුම පිළිබඳව ඔවුන් හා එකට උගත් පාලිත හා රංජිත් සමග පැවසූහ.
          
“ උඹලා දෙන්නා ඕන මඟුලක් නටා ගනිල්ලා; අනේ අපිට නම් බෑ ඔය නාඩගම් නටන්න”
       
රංජිත් සහ පාලිත කල් ඇතිවම ඉවත් වූයේ එලෙසිනි. ඒ වන විට එම විවිධ ප්‍රසංගය සඳහා කෙටි නාට්‍ය කිහිපයක් පුහුණු කෙරෙමින් තිබූ අතර උපතිස්ස ඒ වෙනත් නාට්‍යයකට සම්බන්ධ වී සිටියේය.
 
DIKTHALA KALAGOLA 1 කාලගෝල කතාව
        
“අපි එහෙනම් කාලගෝල කතාව කරමු. මොකද එතකොට උඹ කොහොමත් උස දණ්ඩෙක් හින්දා කෙලින්ම උඹව දික්පිටියාට ගන්න පුළුවන්නේ”
         
තිලක් ජැක්සන්ට කීය.        
 
“හැබැයි අපි කරන්නේ අර පරණ කාලගෝල කතාවම නෙවෙයි. මම ලියන පිටපතේ හැටියට මහෝෂධ පණ්ඩිතයෝ දික්තලාව දික්පිටියාගෙන් වෙන් කරලා කාලගෝලයට භාර දීම ගැන දික්පිටියයි දික්තලායි එකතු වෙලා තමන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදිනවා”            
තිලක් තමාගේ සිතේ මතු වී තිබූ අලුත් අදහස ජැක්සන් හමුවේ පවසත්ම ජැක්සන් ඊට ඉත සිතින් කැමති විය.
        
" නියමයිනෙ මචං "
        
පසුව එම නාටකයේ දික්තලාගේ චරිතයට තරමක් උස නිළියක ගැන විපරම් කරන විට වෙනත් පන්තියක සිටි චන්ද්‍රා ද මෙල් නම් ශිෂ්‍යාව ගැන ඔවුන්ගේ අවධානය යොමු විය. ජැක්සන් කීවේ පෙනුමින් පවා ඇය ජනකාන්ත නිළි ස්වර්ණා මල්ලවආරච්චිට සමාන බව ය. ඒ අනුව දික්තලාගේ චරිතයට ඇය තෝරා ගැනිණි. චන්ද්‍රා ද මෙල් මේ වන විට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකි.  
 
IMG 20240720 WA0002ජැක්සන් අතින් නීල ගෝලයකු වූ කාල ගෝලයා ජයන්ත පුෂ්පකුමාර
        
ඉන් අනතුරුව කාලගෝල ගේ චරිතයට වැඩි උසක් නොමැති පුෂ්ටිමත් නළුවකු සොයා ගත යුතු විය. ඒ සඳහා පාසලේ වෙනත් පන්තියක සිටි ජයන්ත පුෂ්පකුමාර නම් සිසුවා තෝරාගැනීමට තිලක් සහ ජැක්සන් කතිකා කරගත්හ. නමුත් පොඩි ගැටලුවක් තිබිණි.  කාලගෝල පැහැයෙන් කළු ය. ජයන්ත අතිශයින් පැහැපත් සිරුරකින් යුතු වූවෙකි. ඒ අනුව ඔහු කළු කර ගැනීම කෘත්‍රිමව කළ යුතු විය. අවසානයේ එම කාලගෝල කතාවේ මහෝෂධ පඬිතුමාගේ චරිතයට ඔවුන්  තෝරා ගත්තේ පැහැපත් ජවි වර්ණයකින් හා මනා ආරෝහ පරිනාහයකින් යුතු සිසුවෙකි. කෙසේ හෝ නාට්‍ය පුහුණුවීම් ඇරඹී දවසකින් දෙකකින් තිලක්  හුදෙක් පිටපත් රචකයා බවට පත් කළ ජැක්සන් බලහත්කාරයෙන් මෙන් එම නාට්‍යයේ නිෂ්පාදක ලෙස ද කටයුතු කරන්නට විය. ඔහුට මෙන් නාට්‍ය පිළිබඳ ‘ඇම්මක්’ නොතිබූ තිලක් ට එය එක්තරා සහනයක් වූයේ ජැක්සන් මේ නාට්‍ය හුටපටයට තිලක් ව ඇද ගත්තේ බලහත්කාරයෙන් බැවිනි.         
එහෙත්, මහෝෂධ පඬිතුමාට තෝරා ගත් නළුවා ගැන පසුව ජැක්සන් ගේ එතරම් කැමැත්තක් නොමැති බව තිලක් ට වැටහිණ.
       
“මේකා හොඳයි මහෝෂධ පණ්ඩිතයන් ගේ නැන්දම්මට. බලපන්කෝ මුගේ නැලවිල්ල විතරක්” ජැක්සන් තිලක් හමුවේ එම සිසුවා ගැන ආඩපාලි කියන්නට විය.
       
" මම මේ වැඩේ බාර ගත්තට මොකද මගේ මමියි ඩැඩියි මේකට තදින්ම විරුද්ධයි. ඒ දෙන්නම දේව සේවයේ යෙදෙන අය. දේව සේවය කරන අය වෙන වෙන ආගම්වලට සම්බන්ධ දේවල් කරන්නේ යක්ෂයාගේ බලපෑම හින්දලු. ඒ හින්දා මට යක්ෂයාගේ බලපෑමෙන් නිදහස් වෙන්න කියලමයි මමී ඩැඩියි කියන්නේ”
        
විවිධ ප්‍රසංගයට දින කිහිපයකට පෙර මහෝෂධ පඬිතුමා ගේ චරිතයට තෝරා ගත් සිසුවා ජැක්සන් නොමැති තැන තිලක්  හමුවේ කන් කෙඳිරි ගාන්නට විය.
         
“හොඳ වෙලාවට තමුසෙ ඕක මාත් එක්ක කිව්වේ. ජැකා එක්ක එහෙම ඔය කතාව කිව්ව නම් ඌ තමුසෙගේ බෙල්ල ගලවලා අතට දෙයි. අනික මේක ආගමකට අයිති ලබ්බක් නෙවෙයි ඕයි, මේක නාට්‍යයක්, ඔය බහු බූත අතඇරලා ඇවිත් මේක කරනවා. හැබැයි පුතෝ මේ අන්තිම මොහොතේ මේකෙන් කර අරින්න විතරක් හදන්න එපා හරිද?” තිලක් ද උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඔහුට තරවටුවක් කළේය.
        
“දැන් කොහොමද අපි කාලගෝලයව කළු කරන්නේ ? පාන්දැලි ටිකක් වත් හොයාගෙන මූණෙයි ඇඟපතෙයි අතුල්ලමු නේද?”  
          
විවිධ ප්‍රසංගයට දිනකට හමාරකට පෙර ජැක්සන් ඇසීය.
 
hair
          
"හැබැයි ඉතින් පෙරදිග සාහිත්‍ය කලාවල තද නිල්පාට තමයි කලු පාට හැටියට ගැනෙන්නේ.  ගෑනියකුගේ කොණ්ඩෙට වුණත් නිල් වරලස කියනවා මිසක් කළු වරලස කියන්නේ නෑනෙ. අනික අපි ඕකාගේ මූණේ පාන් දැලි ඇතිල්ලුවොත් කාලගෝලයා නෙවෙයි මහසෝනා වගේ වෙයිද දන්නෙ නෑ ”        
තිලක්, ජැක්සන් හමුවේ තම අදහස ඉදිරිපත් කළේය .  
          
"... ම්.... හරි මට ඒකට පොඩි අදහසක් ආවා; හිටපන්කො මම ඒකටත් මොකක් හරි කරන්න”  
         
ජැක්සන් කී බැවින් කාලගෝලයා කළු කිරීමේ වගකීමෙන් බැහැර වී තිලක් සිත සැහැල්ලු කර ගත්තේය.
          
වාරාවසාන විවිධ ප්‍රසංග දිනය උදා විය.                                   
 
IMG 20240720 WA0004ජැක්සන් රඟපෑමට පැමිණි මුල් යුගයේදී ටෙලි නාට්‍ය ජවනිකාවක        
සිසුහු තම තමන් ගේ නාට්‍ය වේදිකා ගත කිරීම පිණිස ලහි ලහියේ සැරසෙති. තිලක් ගේ මතකයට අනුව එක් නාට්‍යයක් සඳහා ලැබී තිබූ කාලය පැය භාගයක් විනාඩි හතලිහක් පමණ විය. එහෙත් එදින මඳින් මඳ දහවල් වන විට උදාවන හිරු අතුරින් තිලක් ට දවල් තරු පෙනෙන්නට වූයේ මහෝෂධ පඬිතුමාට රඟපාන නළුවා ඒ වන විටත් පැමිණ නොසිටි බැවිනි. සිත තුළ ඇතිවූ දැඩි නොසන්සුන් බව නිසාම දෙතුන් වරක් වැසිකිලියට ගොස් සුළු දිය පහ කළ තිලක් පාසලේ ප්‍රධාන ගේට්ටුව අසල මහ පාර අයිනට වී මහෝෂධ පඬිතුමා එනතුරු බලා සිටින්නට විය. එහෙත් ඔහු නැත. නාට්‍යයේ වේෂ නිරූපණ කටයුතු සඳහා වෙන්කොට තිබුණේ ගුරු විවේකාගාරය යි. සෑහෙන වෙලාවක් ගේට්ටුව අසල රැඳී සිටි තිලක් අවසානයේ මහෝෂධ පඬිතුමන් ආගිය අතක් නොමැති වීමේ සංවේගාත්මක පුවත පැවසීම පිණිස ගුරු විවේකාගාරය වෙත දිව ගියේය.
 
නාට්‍යයේ වෙස් ගැන්වීම් ශිල්පියාගේ කාර්යය ද ජැක්සන්ම භාරගෙන තිබිණ.
 
එහෙත්, ඒ වන විට ගුරු විවේකාගාරයේ කුඩා අසුනක වාඩි වී සිටි කාලගෝලයා වූ ජයන්තව දුටු තිලක්ට හීන් දාඩිය දැම්මේය. ඊට හේතුව ඔහුගේ සිරුරේ ඇඳුමෙන් ආවරණය වී නොතිබූ සෑම කොටසක්ම තද නිල් පැහැ ගැන්වී තිබූ නිසා ය.
        
“මොකද මේ නිල්පාට වෙලා, දැන් එතකොට මේ නාට්‍යයේ ඉන්නේ නීලගෝලයෙක් මිසක් කාලගෝලයෙක් නෙවෙයිනේ”
        
තිලක් අන්දමන්ද වී ජයන්ත වෙත හැරී පැවසීය.
 
paintනාට්‍යයේ වෙස් ගැන්වීම් ශිල්පියාගේ කාර්යය ද ජැක්සන්ම භාරගෙන තිබිණ   
“උඹ දැන් මට ඔහොම කියන්නේ, උඹමනේ මේ ලෙඩේ දාලා තියෙන්නේ; උඹ ජැකාට කිව්වද පාන්දැලි ගෑවාම මාව මහසෝනා වගේ පෙනෙයි කියලා නිල්පාට ගාන්න කියලා. බලපන්,  දැන් මේ එකෙක් මගේ ළඟට ඇවිත් අහනවා උඹ රඟපාන්නේ අර රෙදි නැන්දගේ නිල් බාල්දියේ වැටුණු නරියගේ චරිතයද  කියලා. චික් විතරක්"        
ජයන්ත ඉවත බලාගත්වනම කීයේ මහත් වූ නො සතුටකිනි. එකල ජැක්සන් අතින් නීලගෝලයකු වූ තිලක් ගේ නාටකයේ කාලගෝලයා ජයන්ත පුෂ්පකුමාර පසුව ලංකා බැංකුවේ සේවයට බැඳී මීට වසර කිහිපයකට පෙර විශ්‍රාම ගියේ එහි ශාඛා කලමණාකරුවකු ලෙසිනි.                  
 
එහෙත්, තමන්ගේම යෝජනාව අනුව ජැක්සන්, කාලගෝලයා නීලගෝලයකු කිරීම එතරම් වැදගත් දෙයක් සේ කිසිවකුටත් ඒ මොහොතේ නොහැඟුණේ ඔවුන්ගේ කාලගෝල කතාවේ මහෝෂධ පඬිතුමා ගේ අන්තර්ධානවීම ගැන තිලක් ඔවුනට පැවසූ විටදී ය.
     
"දැන් වෙන කරන්න කිසිම දෙයක් නෑ. මහෝෂධ පඬිතුමාගේ කොටස ඔයාම කරන්න. අනික ඔයාටත් දෙබස් එහෙමත් කට පාඩම් නේ”
      
ඒ වන විට මුහුණේ රෝස පුයර තවරා තොල් රතු කර කෙස් කළඹ හිස මුදුනට වන්නට බැඳ සිටි දික්තලා හෙවත් චන්ද්‍රා කීවාය.
       
“අනිවාර්යෙන් උඹ ඒක කරන්නම ඕනෙ"
       
ජැක්සන් කීයේ තම දබරැඟිල්ල තිලක් ගේ නාසයේ අග ස්පර්ෂ වන තරමට කිට්ටු කරමිනි.
       
“මම කොහොමද මචං රඟපාන්නේ. ඒක හරියට මේසෙන් බාස් කෙනෙක්ව මෝටර් මිකෑනික් වැඩේට දැම්මා වගේ වැඩක්නේ”  තිලක් ඇසෙන නෑසෙන තරමින් කන් කෙඳිරි ගෑවේය.
        
“හරි! .... එහෙම නම් අද මහෝෂධ පණ්ඩිතයා නිවාඩු කියලා කාලගෝලයයි දික්තලායි දික්පිටියයි ආපහු හැරිලා යන විදිහට මේ පිටපත වෙනස් කරලා දීපන්”
 
42836277 10205479163335719 958077195077550080 n
        
ජැක්සන් ඒ නාට්‍ය පිටපතින් තම මුහුණට දමා ගැසීමට සැරසෙන බව තිලක්ට වැටහිණි. අවසානයේ තම ආත්මාරක්ෂාව  පිණිස “හරි,හරි එහෙනම්;මම රඟපාන්නම්කො” යැයි තිලක් කීවේ වෙන කරන්නට දෙයක් නැතිකමට මිස නළුවකු වන්නට අබමල් රේණුවක තරමින්වත් ආශාවක් තිබූ නිසා නොවේ. එමෙන්ම නාට්‍යය වේදිකාගත වන විට වේදිකාවට එල්ල වූ රංගාලෝකයෙන් කාලගෝලයා නිල් පැහැයෙන් දැක්වීම අතිශය යෝග්‍ය බව කාටත් හැඟෙන්නට වූයේ එම පැහැය නිසා ඒ චරිතය වඩාත් විචිත්‍රවත් වූ බැවිනි. පසු කලෙක නාට්‍ය වේදිකාවේත්, සිනමාවේත්, රූපවාහිනියේත් තම මාහැඟි ප්‍රතිභා සම්භාරය ගෙනහැර දැක්වූ ජැක්සන් සමඟ එදා එකම වේදිකාවක තිලක් කළ අහඹු රඟපෑම සද්දන්ත කුලයේ නාඹර ඇත් පොව්වකු හා කරට කර පෙනී සිටින්නට මීයකු දැරූ වෑයමක් මෙනැයි අද තිලක් සිතයි. ඒ කෙසේ  වුවද නාට්‍ය පිටපත් රචනය, නිෂ්පාදනය සහ රඟපෑම යන විෂයන් සම්බන්ධයෙන් කිසිදු දක්ෂතාවයක් තබා උනන්දුවක් වත් නොතිබූ  තිලක් නාට්‍ය පිටපත් රචකයකු, නිෂ්පාදකවරයකු සේම ජීවිතයේ එකම අවස්ථාවක හෝ රඟපෑ නළුවෙකු කිරීමේ ගෞරවය, මේ වන විට තම දිවි සැරිය  නිම කර ඇති ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇත්නනීට හිමි වනු ඇත.   
නැවත හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...