The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

July 30, 2024 • 7:03 AM

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව වෙනි ශ්‍රේණියේ සිටම පන්ති නායකයකු වශයෙන් කටයුතු කළ තිලක් උසස් පෙළට පිවිසි පසු ශිෂ්‍ය නායක තනතුරක් හිමි විය.
  • ඔහු උසස් පෙළ අවසන් වසරේ සිටියදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරේ පුරප්පාඩුවක් ඇති වූයේ සාමාන්‍ය පරිදි එතෙක් එම තනතුර දැරූ ශිෂ්‍යයා ඊට පෙර වසරේ උසස් පෙළ අවසන් වී පාසලෙන් නික්ම යාම නිසා ය.
  • ඒ නිසාම එබඳු කැඳවීමක් ලද ඕනෑම ශිෂ්‍යයකුගේ සිතට බියමුසු හැඟීමක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි.
  • තිලක් ශිෂ්‍ය නායකයකු ලෙස පත් වූ දා සිටම පන්ති කට් කිරීම මුළුමනින්ම අතහැර දැමුවේ ය .
අකුරු ප්‍රමාණය (Font Size):
 
නව වෙනි ශ්‍රේණියේ සිටම පන්ති නායකයකු වශයෙන් කටයුතු කළ තිලක් උසස් පෙළට පිවිසි පසු ශිෂ්‍ය නායක තනතුරක් හිමි විය. ඔහු උසස් පෙළ අවසන් වසරේ සිටියදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරේ පුරප්පාඩුවක් ඇති වූයේ සාමාන්‍ය පරිදි එතෙක් එම තනතුර දැරූ ශිෂ්‍යයා ඊට පෙර වසරේ උසස් පෙළ අවසන් වී පාසලෙන් නික්ම යාම නිසා ය.
        
දිනක් පාසලේ එවකට විදුහල්පතිවරයා ව සිටි විල්සන් කරුණාරත්න මහතාගෙන් තිලක්ට කැඳවීමක් ලැබිණි. සාමාන්‍යයෙන් විදුහල්පතිවරයකු විසින් තමන්ගේ කාර්යාලයට යම් සිසුවකු සෘජුවම කැඳවන්නේ නම් ඒ විශේෂ හේතුවකට ය. ඒ නිසාම එබඳු කැඳවීමක් ලද ඕනෑම ශිෂ්‍යයකුගේ සිතට බියමුසු හැඟීමක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. තිලක් ශිෂ්‍ය නායකයකු ලෙස පත් වූ දා සිටම පන්ති කට් කිරීම මුළුමනින්ම අතහැර දැමුවේ ය . ඒ එවැන්නක් කොට අසුවුණොත් මුළු සායමම යන බව දන්නා බැවිනි. තමා ශිෂ්‍ය නායක තනතුරෙන් බබළනු සේම, එම තනතුර තමා විසින්ද බැබළවිය යුතු බවට ඔහු විශ්වාස කළ නිසා ස්වයං විනයක් ඇති කර ගැනීමට නිතරම වගබලා ගත්තේය. එසේ වුවද විදුහල්පතිවරයා විසින් කරන ලද මේ හදිසි කැඳවීම නිසා තිලක් එම කාර්යාල කාමරයට ගියේ තරමක් සසල වූ සිතිනි.
 
විල්සන් කරුණාරත්න විදුහල්පතිතුමා (උපාධි ලෝගුව සහිත) හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ අයි.එම්. ආර්. ඊරියගොල්ල මැතිතුමා සමඟ
 
ඔහු එතැනට යන විට විදුහල්පතිවරයාත්, ඔහුගේ මේසය ඉදිරිපිට විනය භාර ආචාර්යවරයා ව සිටි පී.සී. සෙනෙවිරත්න සහ ජයකොඩිආරච්චි යන පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් දෙදෙනකුත් වාඩිවී සිටියහ.
 
" පොඩි ප්‍රශ්නයක් අහන්න එන්න කිව්වේ" විදුහල්පතිවරයා පවසන විට තිලක්ගේ සියොළඟ සීතල වී ගියේ ය .
 
" මොකෝ බං ඇඹරෙන්නේ? උඹට ගුල්ම ගාය තියෙනවද ? කෙළින් හිට ගනින්කෝ" විදුහල්පතිවරයා එවැනි ප්‍රශ්න අසන්නේ අමනාපයකින් නොවේ. නිතරම එතුමා තුළ පැවති සිනාව මුසු උපහාසය නිසා බව ශිෂ්‍ය නායකයෙකු ලෙස ද කටයුතු කරන තිලක් හොඳින් දනියි. විදුහල්පතිතුමාගේ එ වදන්වලින් තිලක්ගේ සිත සැහැල්ලු විය.
 
ගලහිටියාව මැදි මහ විදුහලේ සිසු දරුවෝ
 
" ප්‍රියන්ත කොයි කාලෙද ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණේ ?"
 
ඉන්පසු විදුහල්පතිවරයා යළිත් ප්‍රශ්නයක් නැගීය.
 
" 75 ඉඳලා සර්"
 
"එහෙනම් දැන් උඹ සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා නේද?"
 
" එහෙමයි සර්" තිලක් යටහත් පහත් ලෙස පවසත්ම විදුහල්පතිතුමා "අනේ පලයං බං යන්න"යනුවෙන් යළි පවසා සිනාසුණි.
 
" ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර පුරප්පාඩු වෙලා තියෙනවානෙ. ඒත් උඹට දෙන්න අදහසක් නෑ මගේ තවම. කියපංකො බලන්න ඉස්කෝලේ ශිෂ්‍යයන්ගේ තව හදන්න තියෙන අඩුපාඩු?"
 
p05m1g1zළමයි පාරෙ හැම තැනම යනකොට දකින අයගෙ වුණත් ඉස්කෝලේ ගැන පැහැදීම අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ළමයින්ට උදේට එනකොට වගේම හවසට යනකොටත් දකුණු පැත්තෙන්ම යන්න නියම කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා" 
 
ඉන් අනතුරුව විදුහල්පතිවරයා එලෙස පවසන විට ම වාගේ තිලක්ට සිහිපත් වූයේ සෑහෙන කලක පටන් ශිෂ්‍යයන්ගේ ඔහු දැක තිබූ අඩුපාඩුවකි.
 
" සර්, ළමයි උදේට එනකොටවත්, හවසට යනකොටවත් පාරේ දකුණු පැත්තෙන් යන්නෙ නෑ . මේ නිසා එක පැත්තකින් වාහන අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනික් අතට ඒක අශෝභනයි. ළමයි පාරෙ හැම තැනම යනකොට දකින අයගෙ වුණත් ඉස්කෝලේ ගැන පැහැදීම අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ළමයින්ට උදේට එනකොට වගේම හවසට යනකොටත් දකුණු පැත්තෙන්ම යන්න නියම කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා" 
සිතට තරමක් දිරි ගත් තිලක් කීය.එවැනි විශේෂිත හේතූන් මත තම සිතට අමුතු ධෛර්යක් ශක්තියක් එන බව තිලක් දනී.
 
IMG 20240727 WA0008ගලහිටියාව මැදි මහ විදුහලේ සිසු දරුවෝ
 
" උඹ එහෙම හිතනවද? බොහොම හොඳයි බොහොම හොඳයි"
 
තිලක් ගේ මුහුණේ ඉරියව් දෙස මඳක් විමසිලිමත් වූ විදුහල්පතිවරයා පිළිතුරු දුනි.
 
ශිෂ්‍ය නායක තනතුර සේම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර ද ශිෂ්‍යයෙකුට පිරිනමනු ලැබුවේ එක්තරා ලකුණු රටාවකට අනුව පිළිගත් පැහැදිලි ක්‍රමවේදයකිනි. පන්ති නායක සහ ශිෂ්‍ය නායක තනතුරු දැරීම, ජ්‍යෙෂ්ඨත්වය, විනය, කණ්ඩායමක් හැසිරවීමේ හැකියාව ආදී මේ සියල්ල ශිෂ්‍යයාගේ පෞද්ගලික ලිපි ගොනුවට එකතු වෙයි. මේ සියල්ලට ම ලකුණු ලබාදී එම ලකුණු අනුව ඉතා සාධාරණ හා විනිවිද බවකින් යුතු ක්‍රමවේදයකට එම තනතුරු ප්‍රදානය සිදුවේ. වාසනාවකට මෙන් තිලක් ගේ පන්ති කට් කිරීම් පිළිබඳ කිසිදු තොරතුරක් ඒ පෞද්ගලික ලිපි ගොනුවට එක් වී නොතිබිණ.
 
සඳුදා දිනයේ පාසලේ උදය රැස්වීම අවසානයේ විදුහල්පතිවරයා සිසුන් අමතා මෙලෙස පැවසීය.
 
109933774 00b3f9a67f bඋදේ 7.30 න් පස්සේ ගේට්ටුව වහනවා. ප්‍රමාද වෙලා එන අයට ගේට්ටුව ළඟ සෑහෙන වෙලාවක් හිටගෙන ඉන්න වෙයි. මේක ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි ගුරුවරුන්ටත් පොදුයි.
 
" අපේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දැන් පුරප්පාඩු වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මම අද සිට තිලක් ප්‍රියන්ත ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට පත් කරනවා. ඒ වගේම මේ විද්‍යාලයේ සියලුම දරුවන් උදේට එනකොට වගේම හවසට යනකොටත් දෙන්නා බැගින් පාරේ දකුණු පැත්තෙන් යන්න ඕනේ. ආචාර්ය මණ්ඩලයත් මේක මේ විදියටම සිදු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. උදේ 7.30 න් පස්සේ ගේට්ටුව වහනවා. ප්‍රමාද වෙලා එන අයට ගේට්ටුව ළඟ සෑහෙන වෙලාවක් හිටගෙන ඉන්න වෙයි. මේක ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි ගුරුවරුන්ටත් පොදුයි. මම 7:30 පහුවෙලා ආවොත් මට ඉන්න වෙන්නෙත් ගේට්ටුවෙන් එළියට වෙලා හිටගෙන. ඒ කියන්නේ මේක මටත් පොදු නීතියක්. ඒ නිසා මේ පාසලේ හැම දෙනෙක්ම ඒ නීතියට අනුව හරියටම කටයුතු කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා."
බොහෝ ශිෂ්‍ය නායකයන් කෙරෙහි සිසුන්ගේ වැඩි කැමැත්තක් නැත. ඊට හේතුව ශිෂ්‍ය නායකයන් තමන් පිළිබඳව ගුරුවරුන්ට කේළාම් කියන්නේ යැයි ඔවුන් තුළ තිබෙන පොදු විශ්වාසය නිසා ය. කෙසේ වුවද තිලක් ශිෂ්‍ය නායක සේම, ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට පත්වූ පසුවද කා සමඟත් සහයෝගයෙන් කටයුතු කිරීම නිසා පාසැලේ සිසුන් අතර ප්‍රසාදයට ලක් වී සිටියේය. ඔහු තැන නොතැන නොබලා කරන මුකරි, කවට වදන් දෙඩීම ද ඊට හේතු වන්නට ඇත.
 
IMG 20240727 WA0005උපතිස්ස බාලසූරිය
 
බොහෝ විට ගුරුදෙගුරු සංගමයේ රැස්වීම් පවත්වන ලද්දේ සති අන්තයේ දිනෙක ය. එවැනි දිනවලට ශිෂ්‍ය නායකයන්ට රාජකාරි පැවරෙන නිසා ඔවුන් නොවැරැදීම එම දිනයේ පාසලට පැමිණිය යුතු ය. ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ තිලක්, ප්‍රධාන ගේට්ටුව ඇතුළු ශිෂ්‍ය නායකයින් ගේ සේවාව අවශ්‍ය ස්ථානවලට ශිෂ්‍ය නායකයන් යොදවා අනෙකුත් අවශ්‍ය සියලු කටයුතු ද සම්පාදනය කර රැස්වීම පවත්වන්නට නියමිත ප්‍රධාන ශාලාව අසල රැඳී සිටියේ ය.
 
එකල වාහනවලින් පාසලට එන දෙමව්පියන් අඩු ය. පැමිණෙන ගුරු දෙගුරුන්ගේ වාහන අතලොස්ස නතර කර තැබීමට වෙනම ස්ථානයක් තිබිණි. පැමිණෙන රථවලට ඒවා ගාල් කරන ස්ථානය පෙන්වූයේත් ඒ සඳහා යොදවා සිටි ශිෂ්‍ය නායකයකු විසිනි.
 
IMG 20240727 WA0011 1 ඇන්තනී සී. පෙරේරා
 
සුදු පැහැති මොරිස් ඔක්ස්ෆර්ඩ් රථයක් විද්‍යාලීය භූමියට ඇතුළු විණි. නියමිත තැන රථය ගාල් කර ඉන් බැස ආ පුද්ගලයා දැක තිලක්ගේ සිත අමන්දානන්දයෙන් පිරී ගියේය. අද නම් ඉතාමත් රසවත් ජවනිකාවක් දැක බලා ගන්නට අවස්ථාව සැලසේවි යැයි ඔහුට සිතිණි. ඉතාමත් ගාම්භීර විලාසයෙන් තමා පසුකර ප්‍රධාන ශාලාවට යමින් සිටි ඒ පුද්ගලයා දැක තිලක් මුව පුරා සිනාසුණ ද ඔහු කට කොන යන්තමට විවර කිරීම පමණක් කර එතැන පසුකර ප්‍රධාන ශාලාව දෙසට පිය මැන්නේය. ඔහු අන් කවුරුත් නොව එකල සිංහල සිනමා නළු නිළියන් අතර ජනප්‍රියත්වයෙහි හිනිපෙත්තේ සිටි විකට නළු ඇන්තනි සී. පෙරේරා ය. ඔහුගේ දියණිය දීප්තිකා පෙරේරා එවක ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ඇය උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි. පසු කලෙක ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු හමාර කර වෛද්‍යවරියක ලෙස සේවයට එක්වූ බව දැන ගන්නට ලැබිණි.
 
රැස්වීම ආරම්භ වූ පසු ශිෂ්‍ය නායක නායිකාවෝ ද රැස්වීම් ශාලාවේ අවසාන පේළිවල රැඳී සිටියහ.
 
sara 18 01 ITN Movie bw dim70 දශකයේ දී සූරයන්ගෙත් සූරයා, හතරදෙනාම සූරයෝ ආදී වශයෙන් සූරයන් ගේ චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් තිරගත විණි. එවකට මෙම චිත්‍රපටවලට නැතිවම බැරි විකට නළුවකු වූයේ ඇන්තනි සී. පෙරේරා ය. දැකීමෙන් පවා සිනා උපදවන නළුවකු වූ ඇන්තනි සී. පෙරේරා තිලක් ඉතා ප්‍රිය කළ රංගන ශිල්පියෙන් විය. අද සභාව කුල්මත් කිරීම සඳහා ඔහු කුමක් කරනු විය හැකිදැයි තිලක් කල්පනා කළේය.
 
එක්තරා අවස්ථාවක පාසැල් දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් අතර ඇති වූ කතාවකදී ඇන්තනි සී. පෙරේරා නැගී සිටියේය. ඔහු ඉතා තාර්කිකවත්, නිවැරදිවත් , සිය මතය ක්‍රමානුකූලව වචනවලට පෙරළමින් දක්ෂ නීතීඥයකු මෙන් ඉතාමත් විචක්ෂණශීලී ලෙස කතා කරන විලාසය තිලක් දෑස් අයා බලා සිටියේ මහත් විමතියකිනි. " මේ විකට නළු ඇන්තනි සී. පෙරේරා ද ? " තිලක් තමාගෙන්ම අසා ගත්තේය.නමුත් රුව මෙන්ම කට හඬ ද ඔහු ගේ මය. ගුරුවරුන් සේම සෙසු දෙමාපියෝ ද හාවක් හූවක් නැතිව ඔහු දෙස නෙත් දල්වා බලාගෙනම ඇන්තනි සී. පෙරේරා ගේ ව්‍යක්ත අදහස් දැක්වීමට කන්දී සිටිති. මේ නම් ඇදහිය නොහැක්කකි.
 
ඉන්පසු තිලක්, ඇන්තනි සී. පෙරේරා ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව මඳක් කරුණු සොයා බැලීය. ඔහු වාමාංශික දේශපාලනයෙහි ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු බව තිලක්ට දැනගන්නට ලැබිණි. රිදී තිරයෙහි සැබෑම විකටයකු වන ඔහුගේ සැබෑ ජීවිතය තුළ කොහෙත්ම එම ලක්ෂණ නොමැති බව දැන ගත් කල තිලක් තුළ ඇති වූයේ එක්තරා අන්දමක පුදුමයකි. ඔහුගේ සැබෑ ජීවිතය එකකි. රංගන ජීවිතය ඊට හාත්පසින්ම වෙනස් වූ අනෙකකි. එක මනුෂ්‍යයකු තුළ මනුෂ්‍යයන් කීදෙනෙකු ජීවත් වන්නේදැයි තිලක් කල්පනා කරන්නට විය. මිනිස් චරිතය පුදුමාකාර වූවකි .එය කිසිදු පාසැල් විෂයකින් පරිපූර්ණ ලෙස උගත නොහැකිය. ඒ සඳහා සමාජ අත්දැකීම් පාසැල් පාසැල් විෂයයන්ට වඩා උපකාරී වේ. තිලක් ඒ පාඩම ඉගෙන ගත්තේ පන්ති කාමරය තුළදී නොව ප්‍රධාන ශාලාව තුළ ලද මේ අත්දැකීමෙනි. එය ද ජීවිතය විෂයෙහි අගනා පාඩමකි. මෙබඳු අලුත් පාඩම් ඉගෙන ගැනීමට සමාජයේ විවිධ අංශ කෙරෙහි ගැඹුරින් නැඹුරු විය යුතු යැයි ඔහුට සිතිණ.  
ඉන්පසු ඇන්තනි සී. පෙරේරා රඟපාන විකට චිත්‍රපටි කොතෙක් නැරඹුවත් තිලක්ට සිනා ගියේ නැත. ඔහු එම නළුවා තුළින් දුටුවේ විකටයකු නොව එදා පාසලේදී දුටු දක්ෂ කථිකයා ය.
 
IMG 20240727 WA0009තිලක් (දකුණු පස) තම සුහද මිතුරු ආනන්ද ලාල් ගේ දේහය රැගත් අවමංගල පෙරහැරේ
 
ජාඇල තුඩැල්ලේ පදිංචිව සිටි ඇන්තනි සී. පෙරේරා වයස හැට ගණන් වල දී මිය ගියේය. අපේ රටේ චිත්‍රපට ඉතිහාසයේ මුල් යුගයේ විකට නළුවකු වූ හියුගෝ ප්‍රනාන්දු හෙවත් හියුගෝ මාස්ටර්, ඇන්තනි සී. පෙරේරාට වඩා වැඩිමහලු වූ අතර ඔහු පදිංචිව සිටියේ මීගමුවේ ය. ඇන්තනි සී. පෙරේරා ගේ මෙම අවමඟුල් උත්සවයට තිලක් ද සහභාගී විය. එහි දී හියුගෝ මාස්ටර් මීගමුවේ සිට පැමිණ අවමංගල සභාව අමතා කතාවක් ඉදිරිපත් කළේය.
 
20120712hugo master 5හියුගෝ මාස්ටර්"මීගමුවට යන්න තිබුණු ටෙලිග්‍රෑම් එක වැරදිලා තුඩැල්ලට ඇවිත්" හියුගෝ මාස්ටර් සිය කතාවට එම වදන් පෙළ එක්කළේ " මැරෙන්න හිටියේ මං. මැරුණේ ඇන්තනී " යන්න නොකියා කියමිනි. 
 
තිලක් සාමාන්‍ය පෙළ පන්තියේ සිටි කාලයේ දී පටන්ම පාසලේ බිත්ති පුවත්පතකට සම්බන්ධ වී කටයුතු කරන්නට විය. "සමාජ විද්‍යා" නම් වූ එම බිත්ති පුවත්පතෙහි සංස්කාරකවරයා වූයේ තිලක්ට වඩා පන්ති දෙකක් ඉහළින් සිටි ආනන්ද ලාල් ලියනගේ නමැති සිසුවෙකි. තිලක් එහි සහාය සංස්කාරක ලෙස කටයුතු කළ අතර ජැක්සන් ඇන්තනි එහි චිත්‍ර ශිල්පියා විය. රඟපාන්නට, ගීත ගායනා කරන්නට සේම චිත්‍ර ඇඳීමට ද ජැක්සන්ට මනා හැකියාවක් තිබිණි. ඉතාමත් වටකුරු ලෙස පැහැදිලි අත් අකුරු ලියූ ශිෂ්‍යාවෝ කිහිප දෙනෙක් මෙම බිත්ති පුවත් පතේ ලිපි පිටපත් කර දුන්හ.
 
ඊට පෙර සිසුන් අරඹා තිබූ "සමාජ විද්‍යා" බිත්ති පුවත්පත 1975 සිට 1977 වසර වන තුරු වසර දෙකක් නොකඩවාම ඔවුහු කරගෙන ගියහ. එය පාසලේ සිසුන් අතර ජනප්‍රිය ව තිබිණි. 1977 වසරේදී එය නතර කරන්නට සිදුවූයේ ආනන්ද ලාල් ලියනගේ උසස් පෙළ අවසන් කර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී සිටි නිසා ය. භූගෝල විද්‍යා විශේෂවේදී උපාධියක් ලැබූ ආනන්ද ස්ථාන කිහිපයක රැකියා කර ඉන් පසුකලෙක ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ( නාරා ) ආයතනයේ ව්‍යාප්ති නිලධාරියා වශයෙන් සේවයට එක් විය.
වයස අවුරුදු පනස් පහේ දී විශ්‍රාම ලද ඔහු අවුරුදු පනස් අටේදී හදිසි හෘදයාබාධයකින් මෙලොව හැර ගියේය. තිලක්ට වඩා දෙවසරකින් වැඩිමහල් ආනන්ද මිය යන තෙක්ම දුකේදීත් සැපේදීත් තිලක් සමීපයේ සිටි දුලබ ගණයේ මිතුරෙක් විය. එනිසා ආනන්ද ලාල් ගේ අකල් මරණය තිලක් දැඩි මානසික කම්පනයකට පත් කිරීමට හේතු විය.
 
IMG 20240727 WA0010ආනන්ද ලාල් ලියනගේ
 
අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් පසු තිලක් 1978 දී පාසල් දිවියට සමුදුන්නේය. ඉන්පසු ඔහුට කරන්නට විශේෂ වැඩක් තිබුණේ නැත. එවකට ගණේමුල්ල, හොරගොල්ල සිරි මහින්දාරාම විහාරස්ථානයෙහි අධිපති ධූරය දැරූ පූජ්‍ය මිද්දරමුල්ලේ අරියකිත්ති තිස්ස හිමියන් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකි. උන්වහන්සේගේ ඉල්ලීම මත තිලක් ටික කලක් මහින්දාරාම දහම් පාසලෙහි ඉගැන්වීම් කටයුතු කළේය. මේ අතර දහම් පාසල වෙනුවෙන් ළමා සඟරාවක් ආරම්භ කරන ලෙස තිලක්ට අරියකිත්ති හිමියන් වෙතින් ඇරයුමක් ලැබී තිබිණි. නමුත් දහම් සඟරාවක් කිරීමට තිලක් තුළ එතරම් කැමැත්තක් තිබුණේ නැත. ඔහුට සඟරාවක් කිරීමේ විශාල කැමැත්තක් තිබිණි. නමුත් ඒ මෙවැන්නක් නොවේ. තම සිතට නැඟෙන විනෝදාත්මක සිතුවිලිවලට සරිලන විනෝදාත්මක ගණයේ සඟරාවකි.
 
තිලක් ළමා වියේ දී කැමැත්තෙන් සිටියේ මතු දුම්රිය රියැදුරකු ලෙස රැකියාව කිරීමට ය. පසු කලෙක ඒ අදහස ඉබේම බොඳ වී ගොස් ඔහුගේ සිත ගුවන් විදුලි නිවේදක වෘත්තිය කෙරෙහි බැඳිණි. නමුත් පාසලේ දී විවිධ ලේඛන කටයුතුවලට සම්බන්ධ වන්නට අවස්ථාව ලැබීම සහ ගුරුවරුන්ගෙන් එවැනි කටයුතුවලදී ලද ප්‍රශංසාවන් සහ දිරිගැන්වීම් නිසා පසුව ඔහුගේ සිත දැඩි ලෙස ඇදී ගියේ පුවත්පත් කලාව කෙරෙහි ය. එයට තවත් හේතුවක් බලපෑවේය.
 
IMG 20240727 WA0003මිද්දරමුල්ලේ අරියකිත්ති තිස්ස හිමි
 
තිලක් ගේ මිතුරු කණ්ඩායමේ සිටි ජැක්සන් රාගම, පොඩිවීකුඹුරේ "ප්‍රාර්ථනා" නිවසේ පදිංචිව සිටි අතර තිලක් ඇතුළු මිතුරු පිරිස නිවාඩු දිනවල බොහෝ විට ජැක්සන්ගේ නිවසට යාම් ඊම් කළහ. ජැක්සන්ට සිටියේ පිරිමි සහෝදරයන් පමණි. එකල ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ සේනක ටයිටස් මල්ටිපැක්ස් ආයතනයේ පුවත්පත්වල සේවය කළේය. මෙම ආයතනය මගින් පුවත්පත් කිහිපයක්ම එවකට මුද්‍රණය කළ අතර එකල ලංකාවේ අතිවිශාල අලෙවි වාර්තාවක් තැබූ සිත්තර චිත්‍රකතා පත්‍රය මල්ටිපැක්ස් ආයතනයට අයත් විය. සූකිරි ළමා පත්‍රය ද එවැනිම ජනප්‍රිය පුවත්පතකි. සේනක අයියාගේ ඇසුර නිසා තිලක්ගේ පත්තරකාරයෙකු වීමේ සිහිනය තව තවත් දළු ලා වැඩිණි.
පුවත්පතකට සම්බන්ධ වීමට තවමත් අවස්ථාවක් ලබා නොසිටි තිලක්ට කුමක් හෝ සඟරාවක් කිරීමේ තදබල ආශාවක් පැන නැගී පැවතියේය. අන්තිමේ තිලක්, ජැක්සන් සහ උපතිස්ස ඇතුළු මෙම මිතුරන් කිහිප දෙනා එක්ව තම තමන්ගේ අතේ ඇති සුළු මුදල් ටික එකතු කර අලුත් සඟරාවක් රෝනියෝ ක්‍රමයට මුද්‍රණය කරන්නට කතිකා කර ගත්හ. ඒ ඔවු`නොවුන් අතරේ බෙදා ගැනීම සඳහා පිටපත් දහයක් වැනි ප්‍රමාණයකි.එය මුද්‍රණය කරන ලද්දේ ගම්පහ බෞද්ධාලෝක මාවතේ පදික වේදිකාව අයිනේ කුඩා ආවරණයක් යට තිබූ රෝනියෝ මැෂිමකිනි. කලාප කිහිපයක් වශයෙන් එළි දැක්වූ එහි කවරයේ චිත්‍රය ස්ටෙන්සිල් එකක් මත නිර්මාණය කළේ ද ජැක්සන් විසින්ම ය.
 
senaka titusජැක්සන්ගේ සොයුරු සේනක ටයිටස්
 
සඟරාවට තිලක් අපූරු නමක් යෙදුවේය. සමාජයේ කලින් කලට අවවහර ලෙසින් භාවිතා වන විවිධ වදන් තිබේ. කලින් කලට ඇති වී නැති වී යන මෙවැනි වදන් අතර එකල භාවිතා වූ ප්‍රකට වදනක් වූයේ "මවිතෙ " යන්න ය. කුමක් හෝ කරුණක් මුල් කරගෙන "තමුසෙට මවිතෙ ද ?" "ඌට මවිතෙ ගහලා"ආදී වදන් එකල නිතර ව්‍යවහාර විණි. තම සඟරාව "මවිතෙ" යනුවෙන් නම් කිරීමට තිලක් තීරණය කළ අතර මිතුරෝ ද ඊට එකඟත්වය පළ කළහ.
සාමාන්‍යයෙන් පැරණි පුවත්පත්වල මෙන්ම සඟරාවල ද නමට යටින් එහි අන්තර්ගතය පිළිබඳ හුවා දැක්වෙන, එම පුවත්පතට හෝ සඟරාවට ම අනන්‍ය වූ වැකියක් තිබේ. එකල ඇතැම් පුවත්පත් සහ සඟරාවල වැකියක් වෙනුවට තිබුණේ කුඩා සිව් පද හෝ දෙපද කවියකි. මවිතෙටද කවියක් ලියන්නට තිලක් කල්පනා කළේය. මේ ඔහු ලියූ කවියයි.
 
IMG 20240727 WA0006තිලක් සේනාසිංහ
 
සියලු තතු දියතෙ
පත් වූ ලෙසින් මවතෙ
ගුරු දිනට සුරතෙ
තබා ගනු මැන මෙන්න මවිතෙ
 
මවිතෙ සඳහා ඔවුන් ලිව්වේ සත්‍ය ප්‍රවෘත්ති ම නොවේ. ඔවුන්ගේ ඒ තරුණ වියට හිතෙන හිතෙන දේවල් ලියා පළ කරමින් මෙම මිතුරු පිරිස එයින් මහත් වින්දනයක් ලැබූහ.
 
8987895465566ජැක්සන් ඇන්තනී
 
ජැක්සන් ගේ නිවෙසට යන පාරේ අනෙක් පැත්තේ පිහිටියේ වෙල්යායකි. එහි පාර අයිනට වෙන්නට පොදු ළිඳක් පිහිටා තිබිණි. මෙය "ස්ත්‍රී, පුරුෂ"යනුවෙන් කොටස් දෙකකට වෙන් කර තිබූ අතර පාර පැත්තෙන් ළිඳ බැම්මකින් ආවරණය කර පැවතියේය. එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙම ළිඳෙන් තම ස්නානය කිරීමේ අවශ්‍යතාව පිරිමසා ගත්හ. ජැක්සන්ලාගේ නිවසට ගිය අවස්ථාවලදී තිලක්, උපතිස්ස ඇතුළු මිතුරු පිරිස ද බොහෝ වාරයක් මෙම ළිඳෙන් නාමින් විනෝද වී තිබිණි.
 
 මෙම ළිඳෙන් දිනපතා පිරිමින් සෑහෙන පිරිසක් ස්නානය කරන නිසා ළිඳේ පිරිමින්ගේ කොටස විශාල විය යුතු යැයි මෙම මිතුරු පිරිස කතා වූහ. එය ඔවුන් කිහිප දෙනා අතර වූ කතාබහක් මිස මේ ළිඳේ ස්නානය කරන කිසිදු පිරිමියෙකුගේවත් එවැනි අදහසක් තුන් හිතකවත් තිබූ බවක් දැනගන්නට නොවිණි. අන්තිමේ තිලක්ට අපූරු අදහසක් පහළ විය. එනම් ළිඳේ පිරිමින්ගේ කොටස විශාල කරන්නට යන බවට ප්‍රවෘත්තියක් මවිතෙට ලියා පළ කිරීම ය. ඔහු එම ප්‍රවෘත්තිය ලිවීය. ඊට ඔහු සිරස්තලය යෙදුවේ මෙලෙසිනි.
 
" පුරුෂ ළිං ගේ - තවත් දික් වේ" එහි විශේෂත්වයක් වූයේ තිලක් පුවත්පත් කලාවට පිවිස වසර දහයකට පමණ පසුව එක් පුවත් පත් කාර්යාලයක කර්තෘ මණ්ඩලයේ තිබී "මවිතෙ" පිටපතක් හමුවීම ය.
නැවත හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...