The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

August 5, 2024 • 10:05 AM

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් විය.
  • තිලක්, ජැක්සන් ඇතුළු ඔවුන්ගේ මිතුරු පිරිස උසස් පෙළ අසමත් වී නොසිටියත් මුල් වතාවේ ඔවුන් කිසිවෙකුවත් විශ්ව විද්‍යාලයට යාමට ප්‍රමාණවත් තරම් ලකුණු ලබා තිබුණේ නැත.
  • ජැක්සන් ඇතුළු අනෙක් කිහිප දෙනාම දෙවන වරට උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වූයේ කෙසේ හෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ අරමුණක් ඔවුන් තුළ තිබූ නිසා ය.
  • එසේම සිතූ ලෙසින් ම ඔවුහු දෙවන වර උසස් පෙළ ඉහළින් ම සමත් වී විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
උසස් පෙළ  විභාගයේ ප්‍රතිඵල නිකුත් විය. තිලක්, ජැක්සන් ඇතුළු ඔවුන්ගේ මිතුරු පිරිස උසස් පෙළ අසමත් වී නොසිටියත් මුල් වතාවේ ඔවුන්  කිසිවෙකුවත් විශ්ව විද්‍යාලයට යාමට ප්‍රමාණවත් තරම් ලකුණු ලබා තිබුණේ නැත. ජැක්සන් ඇතුළු අනෙක්  කිහිප දෙනාම  දෙවන වරට උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වූයේ කෙසේ හෝ  විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ අරමුණක් ඔවුන් තුළ තිබූ නිසා ය. එසේම සිතූ ලෙසින් ම ඔවුහු දෙවන වර උසස් පෙළ ඉහළින් ම සමත් වී  විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා සිටියහ.
         
නමුත් විශ්ව විද්‍යාලයට ගොස් පූර්ණකාලීන පත්තරකාරයකු වීමේ සිහිනය සැබෑ කර ගැනීම ප්‍රමාද කර ගන්නට තිලක්ගේ කැමැත්තක් තිබුණේ නැත. ඔහු ප්‍රකට පුවත්පත් කලාවේදීන්ගේ ජීවිත කතා පිළිබඳව කියවා තිබිණි. ඔවුහු බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනය ලැබූවෝ නොවෙති. නමුත් පත්තරකාරයකු වී එයින් ලැබූ අත්දැකීම්, පොත්පත් කියවීම ආදිය තුළින්  ලද පන්නරය ඔස්සේ විශ්ව විද්‍යාලයක විෂය ධාරාවක් හැදෑරීම තුළින් ලද නොහැකි අන්දමේ දැනුමකින් ඔවුහු පෝෂණය වී සිටියහ. පුවත්පත් කලාව යන්නම පුළුල් විෂයකි.
 
අපේ රටේ පවතින්නේ මුදල් අය නොකරන අධ්‍යාපනයක්  ( free charge education )  මිස නිදහස්  අධ්‍යාපනයක් ( free education) නොවන බව
 
 
මාධ්‍යවේදියකු ලෙස ඉදිරි ගමනක් යාමට නම් ඒ සම්බන්ධ වෙනම ස්වාධීන හැදෑරීමක් තිබිය යුතු ය. වර්තමානයේ මෙන් නොව අතීතයේ,  පත්තරකාරයා ඉතා පුළුල් සමාජමය කියැවීමකින් යුතු වූවෙකි. ඒ අනුව තමන් පාඨකයන් අමතන්නට යන කාරණාව පිළිබඳව මාධ්‍යවේදියා  පළමුව තොරතුරු සොයා ගෙන ඒ පිළිබඳව දැනුවත් වෙයි. නිරන්තරව සිදුවන මෙම ක්‍රියාදාමය මඟින් පත්තරකාරයකු ලබන දැනුම් සම්භාරය සුළුපටු නොවේ. එය පාසලක හෝ විශ්ව විද්‍යාලයක යම් විෂය ක්ෂේත්‍රයකට කොටු වී ලබන සීමිත දැනුමට වඩා බෙහෙවින් පුළුල් ය. මේ අනුව අතීතයේ පත්තරකාරයන් යනු වයසට යන්නට යන්නට  පුළුල් ජීවිත පරිඥානයකින් හා සමාජ  පරිඥානයකින් යුත් පුද්ගලයෙකි. ඒ නිසා පත්තරකාරයකු  වීම ම නිදහස් අධ්‍යාපනය ලැබීමක් ලෙස  තිලක් විශ්වාස කළේය. අපේ රටේ පවතින්නේ මුදල් අය නොකරන අධ්‍යාපනයක් ( free charge education) මිස නිදහස්  අධ්‍යාපනයක් (free education) නොවන බව ඔහු එවක සිටම තරයේම විශ්වාස කළේ ය.
 
මේ කාලය වන විට තිලක්ගේ  පියා රජයේ සේවයෙන් විශ්‍රාම ලබා සිටියේය. වරෙක ගමේ සිටින අමරදාස, මාතුපාල ඇතුළු මිතුරු කණ්ඩායම සමග එක් වී මොනවා හෝ කරන තිලක්, ජැක්සන් ඇතුළු පාසල් මිතුරු  කණ්ඩායම ද නිතර නිතර හමු විය. තම එකම පුතු සම වයසේ කොලු පිරිවරක් සමග එක්වී රස්තියාදු ගසන්නේ යැයි තිලක්ගේ පියා කල්පනා කරන්නට ඇත.
 
IMG 20240802 WA0012එවකට කාර්මික විද්‍යාලය වූ කුරුණෑගල තාක්ෂණික විද්‍යාලය
 
 
ආහාර දෙපාර්තමේන්තුවේ  තිලක්ගේ පියා සමග එකට සේවය කළ මිතුරකු කුරුණෑගල, වැහැර පදිංචිව සිටියේය.  ප්‍රනාන්දු නම් වූ එම මිතුරා සමග කතිකා කරගෙන  කුරුණෑගල කාර්මික විද්‍යාලයේ (එකල කාර්මික විද්‍යාල යනුවෙන් ව්‍යවහාර  කළ මෙම  අධ්‍යාපන ආයතන  දැන් හඳුන්වන්නේ තාක්ෂණික විද්‍යාල ලෙසිනි.)  පාඨමාලාවක් හැදෑරීම සඳහා තිලක් ව ඇතුළත් කිරීමට ඔහුගේ පියා සමත් විය. ගණේමුල්ලේ සිට කුරුණෑගලට දිනපතා  යාම් ඊම් කළ නොහැකි ය. එබැවින් තිලක් කුරුණෑගල නතර කළ යුතු වේ. තිලක්ව තම නිවසේ නතර කර ගැනීමට  ප්‍රනාන්දු මහතා  ද ඉත සිතින් කැමැත්ත පළකර තිබිණි. මෙලෙස  තිලක්  නිවසින් දුර බැහැර තැනක රඳවා තබා ගැනීම තුළින්  ඔහු කොලු පිරිවර සමග කල්ලි ගැසීම නැවැත්විය හැකි යැයි තිලක්ගේ පියා විශ්වාස කරන්නට ඇත.
 
 
ඒ 1979 වසරේ  ජනවාරි මාසයේ ය.  ඉන්පසු  තිලක් ගේ ජීවිතය වැඩි කාලයක් ගත වූයේ කුරුණෑගල ය. ඒ කාලයේ  තිලක් නතර වී සිටි කුරුණෑගල කොළඹ පාරේ වැහැර පිහිටි  එම නිවසේ නම ‘ජයසොමි’ නම් විය. එහි හිමිකරු වූ ප්‍රනාන්දු මහතා, ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සියලු  දෙනාගේ සත්පුරුෂභාවය නිසාම දෝ නිවසින් බැහැරව එම ‘ජයසොමි’ නිවසේ විසීමේ කිසිදු අකමැත්තක්  තිලක් තුළ ඇති නොවිණි.
 IMG 20240802 WA0013කුරුණෑගල වැහැර ජයසොමි නිවස
 
 
එම කාර්මික විද්‍යාල පාඨමාලාවම  හැදෑරූ දමයන්ති නම් වූ සිසුවියක් කෙටි කලකින්ම තිලක් හා මිතුරු වූවා ය.  වයසින්  ඇය තිලක් ට වඩා තෙමසක් බාල ය. රූප සොබාව අතින් බැලූ විට දමයන්ති සුරූපී යුවතියක් නොවේ. ඇය සුදු පැහැයට වඩා ළං වූයේ තලෙළු පැහැයට ය. නමුත් හීන්දෑරි, තරමක් උස සිරුරකින් යුතු දමයන්තිට උරුම වී තිබූ සිහින් දිගු නාසය, පිරිපුන් රෝස පැහැති තොල් සඟල සහ දීප්තිමත් දසන් ඇය තුළ  අමුතුම සිරියාවක් පළ කිරීමට සමත්ව තිබිණි.  නිතරම පාහේ සිනා සපිරි මුව මඬලකින් යුතු දමයන්ති දවසේ වැඩිම වේලාවක් සිටියේ සිනාබරව ය. ඇගේ දෙනෙතේ ද නිරන්තරයෙන් දැකිය හැකි කිසියම් කාන්තිමත්  බවක් විණි.  
 
දමයන්ති ගේ ගම ගිරිඋල්ල ය. ඇය  සිය අධ්‍යාපන කටයුතුවල පහසුව තකා කුරුණෑගල, මල්කඩුවාවේ ඥාති නිවෙසක නවාතැන් ගෙන සිටියා ය.  ඒ කාලයේ වැහැර - මල්කඩුවාව අතර  පැරණි  ලංගම බසයක් ධාවනය විය.  එහි ගමන් මඟ  තරමක් අමුතු ය.  වැහැරෙන් ගමනාරම්භ කොට කුරුණෑගල තිබූ පැරණි බස් නැවතුම වෙත පැමිණෙන  බසය එහි විනාඩි කිහිපයක් හති හලා අනතුරුව ඊළඟට මල්කඩුවාව බලා පිටත් වෙයි. ඒ බසයේ ගමන් මඟ එක්  අතකින් ඉංග්‍රීසි යූ අකුරට සමාන ය. යූ අකුරේ එක් ඉහළ කෙළවරක් වැහැර නම්, එහි පතුල කුරුණෑගල බස් නැවතුම්පොළ ය. එහි අනෙක් ගමනාන්තය වූයේ එම යූ අකුරේ අනෙක් ඉහළ කෙළවර බඳු මල්කඩුවාව ය.
 
IMG 20240802 WA0008කුරුණෑගල පැරණි බස් නැවතුම්පොළ
 
සාමාන්‍යයෙන් සතියේ දිනවල කාර්මික විද්‍යාලයේ දේශන සවස තුනට පමණ අවසන් වෙයි.  කලාතුරකින් දිනයෙක මුළු සවස් වරුවේම දේශන නැත. එවිට තිලක් සහ දමයන්ති කුරුණෑගල බස්  නැවතුම්පොළට පැමිණ  එහි නවතා ඇති බසයේ ගමනාන්තය වැහැර ද  මල්කඩුවාව ද යන්න දැනගෙන  ඔවුන්ගේ නවාතැන් පිහිටා ඇති ප්‍රදේශ අනුව ඒ බසයට නැඟ ගත්හ.
 
ඒ බසය වක්‍රාකාර ගමන් මඟකින් යුතු වුවද වැහැර සහ මල්කඩුවාව සම්බන්ධ කෙරෙන  "බයි පාස්" කෙටි මගක් ද තිබේ. ඒ වැහැර කඳවුර නම් ඉසව්ව හරහා ය. ඒ අනුව පසු කලෙක ඒ බසය මල්කඩුවාව දක්වා යාමට නියමිතව තිබූ අවස්ථාවක  වුවද  තිලක්, දමයන්ති සමගින් ඒ බසයට නැඟ මල්කඩුවාව දක්වා ගමන් කළේය .  ඉන්පසුව ඇය  සමගම මල්කඩුවාවෙන් බැස ඇය, තම නවාතැනට යන අතරේ  තිලක් වැහැර කඳවුර ඔස්සේ වැටී ගත් කෙටි මාර්ගයෙන්  තම නවාතැන වෙත පා ගමනින් ඒම පුරුද්දක් කර ගත්තේය. එමෙන්ම ඒ බසය  කුරුණෑගල බස් නැවතුම්පොළෙන් වැහැර තෙක් පැමිණීමට නියමිතව තිබෙන අවස්ථාවල දී  දමයන්ති ද ඒ බසයට නැග  තිලක් හා වැහැර තෙක් පැමිණීමට පුරුදු වූවාය. ඒ ඇයට ද වැහැර හරහා වැටී තිබූ කෙටි මඟ ඔස්සේ මල්කඩුවාවට පා ගමනින් යාමට  හැකිව තිබූ නිසා ය. එසේ සතියට දින පහක් සවස් යාමයේ හමුවීම මත  තිලක් සහ දමයන්ති අතරේ සුහද සමීපත්වයක් ගොඩනැගී එය දිනෙන් දිනම වර්ධනය විය.
 
IMG 20240802 WA0011ගාමිනී ෆොන්සේකා සහ වීනා ජයකොඩි සරුංගලේ චිත්‍රපටයේ ජවනිකාවක
 
 
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ‘නඩරාජා’ නම් දෙමළ නිලධාරියකු ගේ චරිතය රඟපෑ සරුංගලේ සිනමා කෘතිය තිරගත වූයේ 1979 ආරම්භයේ ය. ගාමිණී ෆොන්සේකා රඟපාන ‘නඩරාජා’  චරිතයේ ඇති සුවිශේෂතාව මුල් කොට එය තිරගත වීමට පෙරම සමාජයේ  කතාබහට ලක්ව තිබිණ. දමයන්ති ද ඒ සිනමා කෘතිය පිළිබඳ උනන්දුවක් පළ කළාය.
 
“අපිට නම් ඉතින් ෆිල්ම්ස් බලන්න තියන අවස්ථාව හරි අඩුයි.  ගෙදර දී  නම් එහෙම චාන්ස් එකක් ලැබෙන්නෙම නැති තරම්”
 
දමයන්තිගේ පියා විදුහල්පතිවරයෙකි. ඇයට එක් නැගණියක් හෝ දෙදෙනෙකු සිටින  බව  ඇය කී අයුරු තිලක් ගේ මතකයේ තිබේ. පියා විදුහල්පතිවරයකු වීම මත ඔහුගේ දැඩි නීති රීති යටතේ ඇතිදැඩි වීමට සිදුවීම හේතුවෙන්, චිත්‍රපටයක් නැරඹීම  වැනි විනෝදාත්මක කාර්යයන්වලට පියාගෙන් තහංචි පැනවී තිබෙන බව දමයන්ති ගේ කතාවලින් ඇඟවිණි.
 
 “එහෙම නම් අපි දෙන්නා වෙලාවක ගිහින් ඒ ෆිල්ම් එක බලමුද? මෙහේ ඉම්පීරියල් එකේ ෆිල්ම් එක තියනවා”
 
ඒ සිනමා කෘතිය තිරගත වීම ආරම්භ  වීමෙන් පසු තිලක් දමයන්තිට යෝජනා කළේය. ඒ සැබැවින්ම එම සිනමා කෘතිය නැරඹීමට  තිලක්  තුළ ද වුවමනාවක් පැවැති නිසා ය.
 
"ඒකට කමක් නැද්ද ඉතින්” දමයන්ති  ඇසුවා ය.
 
"ඇයි ඉතින් මොකක්ද ප්‍රශ්නේ ?  අපි දෙන්නම යන්නේ ෆිල්ම් එක බලන්නනේ. අනික අපි දෙන්නා විතරක් නෙවෙයි නේ ඒ ෂෝ එක බලන්නේ. තව කොච්චර නම් ඉන්නවද?”  
 
තිලක් කීවේ අවංක හැඟීමෙනි.
 
 
IMG 20240802 WA0014කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාව
 
ඒ අනුව 1979 සිංහල අලුත් අවුරුදු නිවාඩුව ඇරඹීමට පෙර දිනයේ  තිලක්, දමයන්ති ද සමගින් කුරුණෑගල ඉම්පීරියල් සිනමාහලට ගොස් ඕ.ඩී.සී. ටිකට් දෙකක් ද රැගෙන සරුංගලය සිනමා කෘතිය නැරඹුවේය. මෙවැනි චිත්‍රපට නැරඹීමට යන බොහෝ තරුණ ජෝඩු බැල්කනි ටිකට්පත් මිල දී ගෙන සිනමා දර්ශනය පැවැත්වෙන අතරේ මැවෙන අඩ අඳුරු පරිසරය මුල් කොට අනුරාගී හැසිරීම්වල යෙදීම  ප්‍රකට කරුණකි. නමුදු මෙහි දී  ඇය සමග එවැනි කිසිදු හැසිරීමක් සිදු නොවූ බව තිලක්ට  හොඳින් මතක ය. ඒ එම සිනමා කෘතියේ සෑම දර්ශනයක් හා සෑම දෙබසක්ම ඔහුගේ  මතකයේ ගොනු වී තිබූ නිසා ය. එම චිත්‍රපටය අවසානයේ සිනමාහල පෙනෙන තෙක් මානයේ වූ බොජුන් හලකට ගොස් ඔවුහු කෙටි කැවිලි අනුභව කොට සිසිල් බීම පානය කළහ.
 
සිංහල අලුත් අවුරුදු නිවාඩුව සතියකට වැඩි කාලයක් පවතී. ඒ කාලය තුළ දමයන්ති ගේ ඇසුර නොලැබීම  තිලක්ගේ  සිතට සියුම් වේදනාවක් දනවන්නක් විය. දමයන්ති ඒ හැඟීම හමුවේ තිලක්ටත් වඩා සංවේදී වී තිබිණි.
 
"අනේ අපිට  ආයිත් ඉතින් දවස් දහයක් විතර හම්බ වෙන්න බැරි වෙනවා නේද? නිවාඩු දෙන දිනයේදී දමයන්ති  ඇසුවාය.
 
සෑම සති අන්තයක්ම නිවසේ ගත කරන තිලක්  සදුඳා උදේ කුරුණෑගල යන්නේ කොළඹ සිට කන්කසන්තුරය දක්වා දිවෙන "යාල් දේවී" ශීඝ්‍රගාමී දුම්රියෙනි. නමුත් සිකුරාදා සවස නැවත නිවසට ඒමට ඒ වෙලාවට දුම්රියක් නොමැති බැවින් ඔහු කුරුණෑගල සිට වරකාපොළ, නිට්ටඹුව ඔස්සේ කොළඹ බලා දිවෙන අංක හය දරන ලංගම බසයකින්  ආපසු  පැමිණෙයි. ඒ කාලයේ ද පැය භාගයෙන් භාගයට වාගේ කොළඹ කුරුණෑගල ලංගම බස් ධාවනය විය.
 
IMG 20240802 WA0007කුරුණෑගල නගර මධ්‍යයේ ඔරලෝසු කණුව
 
දමයන්ති ද සති අන්තයේ ගිරිඋල්ලේ පිහිටි තම නිවෙස වෙත ගියේ කොළඹ බසයකිනි. නමුත් ඒ බසයේ බස් මාර්ගය වැටී තිබුණේ නාරම්මල ගිරිඋල්ල මිනුවන්ගොඩ ජාඇල ආදී ප්‍රදේශ ඔස්සේ ය. එහි මාර්ග අංකය වූයේ පහ ය.
 
මාර්ග අංක හය දරන බසය ඔස්සේ කඩවතට පැමිණෙන තිලක්ට කඩවතින් ගණේමුල්ල බසයකට මාරු වීමේ පහසු හැකියාවක් තිබේ. එමෙන්ම මාර්ග අංක පහ ඔස්සේ ධාවනය කෙරෙන බසයකින් ජාඇලට පැමිණි කල එතැනින් ද ගණේමුල්ල බසයකට මාරු වීමේ යම් හැකියාවක් පවතී. නමුත්, ගැටලුව වී තිබුණේ ජාඇල - ගණේමුල්ල බස්, කඩවත - ගණේමුල්ල බස් තරම් සුලබ නොවීම ය.                     
 
දින කිහිපයකට හෝ මෙලෙස දමයන්තිගේ දුරස්වීම පිළිබඳ සංතාපයෙන් පසු වූ තිලක්  තුළ පහළ  වූ සිතිවිල්ලකට අනුව, ඔහු එදින අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණීම සඳහා දමයන්ති ද සමඟ ඇය නැගුණු මාර්ග අංක පහ දරන බසයට නැගුණේය.
 
 
බසය ගිරිඋල්ල  නගරයට ළංවත්ම "මම එහෙනම් බහිනවා, ඔයා ඔය අවුරුදු දවස්වල යාළුවොත් එක්ක තැන් තැන්වල ඇවිදින්න නොගිහින් ගෙදරටම වෙලා ඉන්න, අපි ආයිත් ටෙක් එක පටන් ගන්න දවසේ උදෙන්ම හම්බු වෙමු” යැයි බිඳුණු හඬින් පවසා තිලක් ගේ සුරත තදින්ම මිරිකා ගත්තාය. ඒ මොහොතේ ක්ෂණිකව ඇය දෙස බැලූ තිලක්ට  ඇගේ දෙනෙතේ දීප්තිය වියැකී ඒවායේ කඳුළු පිරී ඇති වගක් පැහැදිලිවම දක්නට ලැබිණි.         
  IMG 20240802 WA0003සේනක ටයිටස්                                                                   
 
ඒ "පත්තර පිස්සුව"  තිලක්ගේ ඔළුවට තදින්ම ගසා තිබූ කාලයයි. මෑත කාලයේ  "කූඹියෝ" ටෙලි නාට්‍යයේ ඔස්ටින් නම් පාතාල නායකයා ගේ චරිතය රඟපෑමෙන් විශිෂ්ඨතම රංගන ප්‍රතිභාවක් ද පළ කළ  ජැක්සන් ගේ වැඩිමල් සොයුරු සේනක ටයිටස් ඒවන විට ‘සිත්තර’ ප්‍රකාශයට පත් කළ පුවත්පත් ආයතනයේ සේවය කළේ ය. එබැවින්  තමාටත්  කුමක් හෝ පත්තරයකට කුමන දෙයක්  හෝ ලිවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස තිලක්,  සේනක අයියා  හමුවේ   කන්කෙඳිරි ගෑවේ සෑහෙන කාලයක සිට ම ය. නමුත්  1979 වසරේ සතියේ දින  පහම  කුරුණෑගලට කොටු වී සිටීම මත  අඩුම තරමින් එවැනි කෙඳිරි ගෑමකටවත් සේනක අයියා හමුවීමට තිලක්ට  ඉඩක් නොලැබුණි.
 
"මම උඹ ගැන අපේ සූකිරි පත්තරේ එඩිටර් තලංගම ප්‍රේමදාස මහත්තයට කිව්වා. උඹ ලබන සෙනසුරාදා අපේ ඔෆිස් එකට ගිහින් ඒ මහත්තයව හම්බු වෙයන්. එහෙම යනකොට නිකම් ගොනා වගේ අත් දෙක වන වනා යන්න එපා. "සූකිරි" පත්තරේට හොඳයි කියලා උඹට හිතෙන දෙයක්  ලියා ගෙනම පලයන්”
 
IMG 20240802 WA0015තලංගම ප්‍රේමදාස
 
එවර සිංහල අලුත් අවුරුදු නිවාඩුවේ දී  ජැක්සන්ලාගේ ගෙදරට ගිය තිලක්ට සේනක අයියා කීය. “එතකොට මාව ලියන්න ගනී නේද?” ඒ වන විට පත්තර කාරයකු වීමේ "උණ  රෝගයෙන් " පෙළුණු තිලක්  ඔහුගෙන් ඇසීය.
 
“උඹ ලියන ඒවා හොඳ නම්  ගනියි, නැත්නම් උඹව එලවා ගනී” සේනක අයියා ගේ ක්ෂණික පිළිතුර එය විය.
 
අප රටේ  ගම්මානවලට ගොඩ, වෙල, පිටිය, ලන්ද ආදී වදන්  හැදුණු ආකාරය සහිත ලිපියක් ලියා එය ද රැගෙන  තිලක් එම සිංහල අලුත්  අවුරුද්දෙන් පසු එළැඹි පළමු සෙනසුරාදා දිනයේ ම සිත්තර නිවසට ගොස් තලංගම ප්‍රේමදාස සූරීන් හමු විය.  
 
“මේකේ නම් තරමක් අලුත් දෙයක් තියෙනවා. ඒ හින්දා මම මේක ලබන සතියට ගන්නම්, හැබැයි  ඉතින් මීටත් වඩා අලුත්, ළමයින්ට කියවන්න ආසා හිතෙන  ප්‍රයෝජනවත් දේවල් ලියන්න ඕනේ”   තිලක්ට පැත්තකින් වාඩි වන ලෙස කියා ඔහුගේ  ලිපිය මුල සිට අග දක්වා කියැවූ තලංගම ප්‍රේමදාස සූරීහු කීහ.
 
 
ඒ වන විට "සූකිරි" සතියකට පිටපත් ලක්ෂ එකහමාරක් පමණ අලෙවි වූ අතිශය ජනප්‍රිය ළමා පුවත්පතකි. එහි සංස්කාරක පදවිය හෙබ වූ තලංගම  ප්‍රේමදාස නම් සුවිශිෂ්ඨ ලේඛකයා,  එවකට  ලංකා ගමනාගමන මණ්ඩලයේ භාෂා පරිවර්තකවරයකු ලෙස සේවය කරමින් සිටියේ ය. එනිසා ඔහු "සූකිරි" පුවත්පතේ සංස්කරණ කටයුතු කළේ  සෙනසුරාදා ඉරිදා යන  සති අන්ත නිවාඩු දිනවල පමණි. එය සේනක අයියා විසින්  තමන් වෙත තිළිණ කළ දිව්‍යමය වරප්‍රසාදයක් බව තිලක්ට සිතුණේ  ඔහුට ද පුවත්පතේ වැඩ කටයුතුවල යෙදෙන්නට  අවකාශ ලැබුණේ  සති අන්ත දින දෙකේ පමණක් නිසා ය.
 
311566830 197868432621714 8302015403496836351 n "සූකිරි" සතියකට පිටපත් ලක්ෂ එකහමාරක් පමණ අලෙවි වූ අතිශය ජනප්‍රිය ළමා පුවත්පතකි
 
කුඩා කල සිටම තම සිත තුළ පැවැති පත්තරකාරයකු වීමේ සිහිනය මෙලෙසින් හෝ මල්පල ගැන්වීම ඔහු දුටුවේ සිය පැතුම් ලෝකය පුරා සිත් සේ පියඔන්නට අත්තටු යුවළක්  ලැබුණු  ආකාරයේ නිදහස් හා සුන්දර හැඟීමකිනි. නමුත්  ඔහුගේ සිත තුළ ගොනු වූ  අලුත් පැනයක් විය.  එනම්  සතිපතා මෙවැනි ලිපි ලිවීමට වුවමනා කරුණු සපයා ගන්නේ කෙසේද? යන්නය. එහෙත් කවර හෝ බාධක හමුවේ වුව තම උත්සාහය අතහැරීමට තිලක්  කෙසේවත් සිතුවේ නැත.
 
සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු එළැඹුණු මුල් දිනයේ උදෙන්ම දමයන්ති කාර්මික විද්‍යාලයට පැමිණ සිටියාය. තිලක්  දුටු සැනින් ඇය පළ කරන අතිශය හුරු පුරුදු  ඇගේ සිනාව එදින ද  නොවියැකීම පැවැතිණි.
එහෙත් ඒ වන විට "පත්තර උණෙන්" හිස පිරී ඉතිරී තිබූ තිලක්ට  ඇගේ ඒ සිනාවේ සිරියාවන්ත බව පෙර පරිදිම විඳගත හැකි විණි ද  යන්න ඔහුටම ගැටලුවක් විය.  
 
 සාමාන්‍යයෙන්  සිංහල අවුරුද්ද නිමාවේ තම සේවා සහ අධ්‍යාපන ආයතනවලට පැමිණෙන පිරිස් දේශීය රස කැවිලි පාර්සලයක් ගෙන ඒමේ සිරිතක්  තිබේ. දමයන්ති ද කැවිලි පාර්සල් දෙකක් ගෙනැවිත් තිබිණි.
" මේ ටික මම ඔයාටම දෙන්න වෙනම වෙන් කරලා තියා ගත්තා"
 
IMG 20240802 WA0005කුරුණෑගල වැව රවුම
 
එයින් එක් කැවිලි පාර්සලයක්  තිලක් ගේ අත  තබමින් ඇය කීවා ය.  ඉන්පසුව ද  ඔහු හා දමයන්ති අතර පැවැති සුහද සමීපත්වය එලෙසම පැවතියත්  පුවත්පත සඳහා ලිපි ලිවීමට අවශ්‍ය කරුණු  සම්පාදනය කර ගැනීම පිළිබඳ වූ ප්‍රබල අභියෝගය හමුවේ එහි උණුසුම  ඔහුටත් නොදැනීම තරමක් නිවී යන්නට ඇත. එහෙත්, ඉන්පසු ද කාර්මික විද්‍යාලයේ දේශන වේලාසනින් නිමා වූ දිනවල ඔවුන්  දෙදෙනා කුරුණෑගල වැව රවුම, ඇත් කඳ විහාරය ආදී සොඳුරු විවේකස්ථානවල සැරිසැරීම පුරුද්දක් කර ගෙන තිබිණි. එහෙත්  තිලක්, දමයන්ති සමග වැඩිපුරම යාමට ඇලුම් කළේ මල්කඩුවාව නාගරික පොදු සුසාන භූමිය වෙත ය. එහි ඉතා අලංකාර ලෙස මල්  වවා තිබූ අතර උස් තුරු සෙවණ යට වූයේ අපූරු නිස්කලංක බවක් සහ සිසිලසකි. සැබවින්ම එය එකල ද ඉතාමත් දැකුම්කළු, මනස්කාන්ත පරිසරයක් සහිත සුසාන භූමියක් විය. ඔවුන් දෙදෙනාට එහි යාමට ඉඩකඩ ලැබුණේ  සවස් යාමයේ ය. ඒ වෙලාවට නිතිපතාම වාගේ නාගරික පොදු  සුසාන භූමිය වෙත අවසන් කටයුතු කිරීම සඳහා  මියගිය අයගේ දේහයන්  රැගෙන පැමිණෙන පිරිස්වලින් අඩුවක් නොවූ නිසා ඔවුන් දෙදෙනා මෙසේ සුසාන භූමියේ ඇවිදීම කිසිවෙකුගේවත් විශේෂ අවධානයකට ලක් නොවිණි. එහෙත්, ඒ කාලය තුළ ද තිලක්  දමයන්තිට නිශ්චිතව ආදරය ප්‍රකාශ කළ බවක් ඔහුට  මතක නැත. එමෙන්ම ඒ කාලයේ තමන් ඇයට සැබැවින්ම ආදරය කරන ලද්දේ ද, එසේ ආදරය කරන අතරේ තම හිස තුළ ගොනු වූ පත්තරකාරයකු වීමේ උමතුව විසින් එය අකාලයේ බෙලහීන කරවන ලද්දේ ද යන්නට තිලක්ට අදටත් නිශ්චිත පිළිතුරක් සොයා ගත නොහැකි ය. නමුදු සුපුරුදු ලෙස සෑම  සිකුරාදා සවසකම දමයන්ති ද සමඟ මාර්ග අංක පහේ බසයේ නැගී ඇය ගිරිඋල්ලෙන් බැස ගිය පසු තනිවම නිවසට පැමිණෙන තිලක්  ඊළඟ සෙනසුරාදා උදේ සිට නොවිඳිනා දුක් විඳ පුවත් පත් ලිපි සඳහා කරුණු එක්රැස් කළේය.
 
 
වසරක කාර්මික විද්‍යාල පාඨමාලාව 1979 දෙසැම්බරයේ නිමාවට පත් වීමත් සමඟ දමයන්තිගෙන් සමුගැනීමේ කාලය ද උදා විය. එය තිලක්ගේ  එක් නෙතකට දුක් කඳුළු ද, අනෙක් නෙතට සතුටු කඳුළු ද උනන සිදුවීමක් වූයේ එම යුගය නිමා වීමත් සමඟ දමයන්තිගෙන් වෙන්වීම සහ පත්තරකාරයකු වීමේ සිහිනය සැබෑ වීම යන සිදුවීම් දෙකම එක්වර පෙළ ගැසුණු  නිසා ය.  සාමාන්‍යයෙන් නවක ලේඛකයකු පුවත්පත් සඳහා ලියන ලිපි රචනාවලට මුදල් ගෙවනු නොලැබේ. එහෙත් තිලක්  සූකිරි පුවත්පතට ලියූ මුල් ලිපියේ සිට එක් ලිපියක් සඳහා රුපියල් පහළොවක මුදලක් ගෙවීමට නිර්දේශ කිරීමට තරම් තලංගම ප්‍රේමදාස සූරීන් තුළ පැවැති දයා කරුණා ගුණය සම්බන්ධයෙන් දැනුදු  තිලක් තුළ ඇත්තේ අතිමහත් භක්ත්‍යාදරයකි. එකල රුපියල් පහළොව යනු වර්තමානය හා සසඳන විට රුපියල් දහසක් තරම් වන මුදලකි.
 IMG 20240802 WA0006කුරුණෑගල පොදු සුසාන භූමිය
 
මේ සියලු තත්වයන් යටතේ තිලක්,  දමයන්තිගේ ලෝකයෙන් පත්තර ලෝකයට සංක්‍රමණය වන අතරේ දමයන්ති ඔහුට  වරින් වර ලියුම් ලිවීමට පටන් ගත්තා ය. ඒවායින් ඇය ඔහුට  ආදරය කරන බව සෘජුව නොවුණ ද,  ව්‍යංගයෙන් ඒ බව හැඟවෙන කරුණු අහුරු ගණන් සොයා ගත හැකිවිය. තිලක්  ද ඇගේ ලිපිවලට පිළිතුරු යැවීය. නමුත්  ඇයට තරම් දිගට ලියුම් ලියන්නට ඔහුට අවකාශයක් නොතිබිණි. ඒ අනුව මුලදී සතිපතා තිලක්ට ලියුම් එවූ දමයන්තිට  ඔහු යැවූයේ  කෙටි පිළිතුරු ය.  පසුව ඇය එවන දිගු ලියුම් දෙකකට පිළිතුරක් ලෙස එක් කෙටි පිළිතුරු ලිපියක්  යැවීමට ඔහු පෙළඹී තිබිණ. ඒ කාලය වන විට තිලක් තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම උදෙසාම මිස, තම ස්වීයත්වය පිළිබඳ පැවැත්ම කෙරෙහිවත් උනන්දු නොවන බොහීමියානුවකු ගේ තත්වයට පත්ව සිටීම ඊට හේතු වන්නට ඇතැයි තිලක්  සිතයි. අවසානයේ දමයන්තිගේ ලිපි ලිවීම ද මඳින් මඳ අඩු වූ අතර වසරක් ඇවෑමෙන් එය මුලුමනින්ම ඇනහිට තිබිණ.
 
දමයන්ති පිළිබඳ මුල් කතාව එයයි. එයට  පසුකතාවක් ද  මෙලෙසින් එකතු කරමු. එම පසුකතාවට සම්බන්ධ වන්නේ ඊට වසර විසි හතරකට පමණ පසුව  සිදුවූ සිදුවීමකි.
 
 
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වූයේ 2003 වසරේ දෙසැම්බර් 12 වනදා ය. එහෙත්, ඊට පෙර 1998 දී පමණ වත්මන් බුදුසමය සම්බන්ධ අර්බුකාරී ස්ථානවල සිට පටිගත කෙරුණු ධර්ම දේශනා මාලාවක් පුර පසළොස්වක පෝ දිනවල ස්වාධීන රූපවාහිනිය මගින් ප්‍රචාරය කෙරිණ. එහි විධායක නිෂ්පාදක ලෙස කටයුතු කළේ මහසෙන් මොරවක ය. සහාය නිශ්පාදකවරයා වූයේ මෑතභාගයේ අප අතුරින් සදහටම වෙන් වූ උදය තෙන්නකෝන් ය. එම පටිගත කිරීම පිණිස ශාසනික අර්බුද සම්බන්ධ එවැනි විශේෂිත ස්ථාන දැන හඳුනා ගෙන එම වැඩසටහන් පටිගත කිරීම සඳහා සම්බන්ධීකරණ කටයුතු කරන ලද්දේ  තිලක් විසිනි. එමෙන්ම ඒ ධර්ම දේශනාමය වැඩසටහන ආරම්භයේ දී ඒ සඳහා  නිමිත්ත ලෙස තෝරා ගත් ස්ථානය හා  ඒ සම්බන්ධ ශාසනික අර්බුදය පිළිබඳ විනාඩි තුනක පමණ කෙටි හැඳින්වීමක් කිරීම ද  තිලක් වෙත පැවරී තිබිණ. ඒ වන විට තිලක් "රැජින"  කාන්තා පුවත්පතේ කතුවරයාව සිටියේ ය. කුරුවිට දිවාගුහාව ලෙසින් ප්‍රකට වූ බටතොට ලෙන, නිකවැරටිය මීවැල්ලාවේ හාස්කම් බෝධිය, කුණ්ඩසාලේ ගල්මඩුව විහාරය, සීතාවක බැරැන්ඩි කෝවිල,ශ්‍රී පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය  ආදිය එවන් ධර්ම දේශනා වැඩසටහන් පටිගත කෙරුණු ස්ථාන අතුරින් කිහිපයකි. එහිදී එම ස්ථානය සම්බන්ධ විස්තර සමඟ රූපවාහිනියේ තිලක් ගේ රූපය දර්ශනය වන විට එහි "රැජින පුවත් පතේ කර්තෘ තිලක් සේනාසිංහ" යන සඳහන ද ඒ සමඟම  දර්ශනය විය. කලින් සෑම මසකම පුර පෝදා දිනවල විකාශය වූ ඒ වැඩසටහන්  මාලාව සෝම හිමියන් ගේ අපවත් වීමත් සමඟ  ඒ දිනවල  ස්වාධීන රූපවාහිනිය මගින් දිනපතා රාත්‍රී කාලවල විකාශය කෙරුණු  අතර ඒ කාලය තුළ  මෙම ධර්ම දේශනා මාලාව සංවිධානය කළ  තිලක්ට ද අතිරේක ප්‍රසිද්ධියක් හිමි විය.
 IMG 20240802 WA0010තිලක් සේනාසිංහ, ගංගොඩවිල සෝම හිමි සමඟ කුණ්ඩසාලේ ගල්මඩුව විහාරයේ ස්වාධීන රූපවාහිනී ධර්ම දේශනා වැඩසටහනකදී
 
 “මට මිස්ට සේනාසිංහට ටිකක් කතා කරන්න පුළුවන්ද?”
 
එවැනි දිනයක තිලක්ගේ කාර්යාලයීය දුරකථනයට ඇමතුමක් දුන් කාන්තාවක විමසා සිටියා ය.
" ඔව්,  කතා කරනවා"  
 
කාන්තා පුවත්පතක කර්තෘවරයකුට කාන්තාවක කතා කිරීමේ කිසිදු අරුමයක් නොතිබීම මත  තිලක් පෙරළා පිළිතුරු දුන්නේය.
 
“මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. මිස්ට සේනාසිංහ ගණේමුල්ලෙ ද? "
 
එම කාන්තාව ඇසුවාය.    
 
" ඔව් මම ගණේමුල්ලේ තමයි "
 
ඔහු සාමාන්‍ය ලෙස පිළිතුරු දුන්නේය.
 
"එතකොට මිස්ට සේනාසිංහගේ නමේ ප්‍රියන්ත කියලා කෑල්ලකුත් තියනවද? "
 
යනුවෙන් ඇය අසත්ම  ඇය තම ළමා සහ යොවුන් අවදිය පිළිබඳ යම් දැනීමක් ඇත්තියක බව තිලක්  නිගමනය කළේය. මක් නිසා ද යත් ඔහු එකල භාවිතා කළේ තම උප්පැන්නයේ සඳහන් නම වූ තිලක් ප්‍රියන්ත  යන්න ය.  
 
 "ඔව් .... ඔව්,  මගේ නියම නම තිලක් ප්‍රියන්ත තමයි. සේනාසිංහ කියන්නේ මගේ වාසගමේ කොටසකින් පස්සේ හදා ගත්තු නමක්"
 තිලක්  එසැණින් පැවසීය.
 
 " එතකොට මිස්ට සේනාසිංහ 1979 අවුරුද්දේ කුරුණෑගල ටෙක්නිකල් එකේ ඉගෙන ගත්තද?"
 
එම කාන්තාව ඒ සමඟම නැඟූ ප්‍රශ්නයෙන්  තිලක් ගේ සිත  තුළ බලවත් විමතියක් ඇති විය. ඊට හේතුව ඇගේ මෙම ප්‍රශ්නය තුළම  කිසියම් සුවිශේෂතාවක් වූ බැවිනි.
 
" ඔව්, මම ඒ කාලේ කුරුණෑගල ටෙක් එකේ හිටියා තමයි, එතකොට ඔයා කවුද?"  
ඒ විමතිය හා කුතුහලය මුල්කොට තිලක් ඇසීය.
 
" මිස්ට සේනාසිංහට නම් දැන් මාව මතක නැතුව ඇති, මමත් ඔයාලත් එක්ක ඒ කාලේ ටෙක් එකේ හිටියා, මගේ නම දමයන්ති"
 
" දෙවියන්ට ඔප්පු වෙච්චාවේ "
 
 තිලක්ට කියැවුණේ ඉබේම ය.
 
“අනේ දෙයියනේ, ඔයා මෙච්චර කාලයක් කොහෙද හිටියේ දමයන්ති, එතකොට ඔයා කොහොමද මගේ ෆෝන් නම්බර් එක හොයා ගත්තේ’
ඔහු ඇසුවේ නොඉවසිලිමත් ව ය.
 
" අපි මේ දවස්වල ටී වී එකේ යන සෝම හාමුදුරුවන්ගේ බණ අහනවා. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකේ යන්තමට ඔයාගෙ හැඩරුව තියන කෙනෙක් දැකලා මම මගේ හස්බන්ඩ්ටත් කිව්වා මෙයා වගේ කෙනෙක් ඉස්සර අපිත් එක්ක කුරුණෑගල ටෙක් එකේ හිටියා. හැබැයි එයාගෙ නම නම් එස්.ටී ප්‍රියන්ත. කෝකටත් මෙයාගෙ නොම්බරේ හොයා ගෙන කතා කරලා බලන්න ඕනේ කියලා. ඒත් හස්බන්ඩ් කිව්වා ඕවා ඔයාගේ මනස්ගාත. පුළුවන් නම් කොහේවත් ඉන්න මිනිස්සුන්ට බොරු කෝල්ස් දීලා බැණුනුත් අහගන්න කියලා. " දමයන්ති කීවේ සිනාමුසු හඬිනි.
 
IMG 20240802 WA0004තිලක් සේනාසිංහ
 
එමෙන්ම ඇය එහි දී  කියා සිටි අන්දමට  ඉන්පසු ඇය එම පාඨමාලාවේ ඩිප්ලෝමාව ද හදාරා පසුව ඒ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උපාධියක් ද හිමි කරගෙන ඇත. 1986 වසරේ විවාහ වී සිටි දමයන්ති දෙදරු මවකි. තමන්  ඒ වන විට අර්ධ රාජ්‍ය ආයතනයක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය ලෙස සේවය කරන බව ද දමයන්ති පැවසුවාය.
 
" ඇත්තෙන්ම කියනවා නම් දමයන්ති ඔයාව  තව එක සැරයක් හරි දැක ගන්න මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. ඔයා නම් මාව ටී වී එකේ දැකලා යන්තමට හරි අඳුනා ගත්තා. ඒත් මම ඔයාව අවුරුදු විසි හතරකින්  විතර දැකලා නෑනේ. ඔයා කැමති නම් ඔයාට පහසු වෙලාවක මම එක විනාඩි පහකට ඔයාගේ ඔෆිස් එකට එන්නම්" තිලක් පැවසුවේ අවංකවම ඇය දැක ගැනීමට තිබූ කැමැත්ත නිසා ය.
 
" නෑ එහෙම ඕනේ නැහැ. ඔයාලාගේ ඔෆිස් එක තියෙන්නේ ග්‍රෑන්ඩ්පාස්වලනේ. මම ඔතනින් යන එන වෙලාවක පොඩ්ඩකට ඇවිත් යන්න එන්නම් "
දමයන්ති  පැවසුවාය.
 
" අනේ එහෙනම් කොච්චර දෙයක්ද? හැබැයි  එන වෙලාව කලින් දවසෙ කිව්වොත් මට හුඟක් පහසුවෙයි දමයන්ති " ඇය ඊට එකඟ වූවාය.
 
දින කිහිපයක් හෝ සතියක් හමාරක් ගත වූ පසුව තිලක්ට  නැවත දමයන්තිගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් ඇය පවසා සිටියේ තමන් පසුදින  පෙරවරුවේ කිසියම්  කටයුත්තකට වත්තල ප්‍රදේශයට යන බැවින් ඒ අතර කෙටි වේලාවක් සඳහා  තිලක්ගේ  කාර්යාලයට පැමිණිය හැකි බව ය.  අනිවාර්යයෙන් එදින ඒ වෙලාවට  තමා ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පසුවන බව  තිලක්, දමයන්තිට පැවසුවේය.
 
IMG 20240802 WA0009කුරුණෑගල පොදු සුසාන භූමිය
 
එකල රැජින කර්තෘ මණ්ඩල කාර්යාලය පිහිටියේ අශෝකා සිනමාහල් ගොඩනැගිල්ලේ  උඩුමහලේ දිගු කොරිඩෝවක අන්තයේ තිබූ තරමක් ලොකු කාමරයක ය. එනිසා කාර්යාලයේ  තිලක් ගේ අසුනට  මුහුණ ලා තිබූ වීදුරු දොරෙන් එම කොරිඩෝවෙහි පැමිණෙන ඕනෑම අයකු දුරටම පෙනේ.
 
තිලක් හමුවීමට එක් වාසගමක නමකින් තමන් හඳුන්වා ගත් මහත්මියක පැමිණ සිටින බව පහත මාලයේ පිවිසුම් දොරටුවේ ආරක්ෂක නිලධාරියා දුරකථනයෙන් ඔහු වෙත දැන්වීය.
 
" උඩට එවන්න"තිලක් පෙරළා පිළිතුරු දුන්නේය. ඉන් විනාඩි දෙක තුනකට පසුව එම කොරිඩෝවෙන් මතු වූ කාන්තා රුව දුටු තිලක් ට දෙනෙත් අදහා ගත නොහැකි විය. ඒ, එම කොරිඩෝව ඔස්සේ පැහැපත් පුෂ්ටිමත් කාන්තාවක්  දෙපසට පැද්දෙන ගමනකින් රැජින  කර්තෘ මණ්ඩල අංශයට එනු දැකීමෙනි.
 
"'ඉතින් ?"  
 
තිලක්  හා සුහදව සිනාසෙමින් ඇය පවසත්ම ඇය නිවැරදිව හඳුනා ගැනීම පිළිබඳ බරපතල චිත්ත අභ්‍යාසයක යෙදෙමින් ම තිලක්  ඇයට වාඩිවීම පිණිස  තම මේසය ඉදිරිපස  වූ අසුන දැක්වීය.
 
 
1979 වසරේ තිලක් හා අතිශයින් සුහද වූ දමයන්ති  සාමාන්‍යයෙන් කළු යනුවෙන් හැඳින්වෙන තළෙළු පැහැයෙන් යුතු  විය. එහෙත් මේ කාන්තාව පැහැපත් ය. එදා දමයන්තිට තිබුණේ සිහින් දිගැටි  මුහුණකි. එහෙත්, මෙම කාන්තාව පිරිපුන් වටකුරු මුහුණින් යුතු ය. එදා දමයන්තිගෙන් දක්නට ලැබුණු කුඩා කොපුල්තල සහ ගෙල පෙදෙස වෙනුවට මේ කාන්තාවගෙන් දැකිය හැකි වූයේ  මසින් පිරී පිම්බී ගිය කොපුල්තල දෙකක් හා  ගෙලෙහි හරස් රේඛා අතරින් ඉදිරියට මස් නෙරා ආ ගෙල පෙදෙසකි. එහෙත්, දෙනෙත් නාසය සහ දෙතොල ආදී ඉන්ද්‍රියන් මගින් මේ එදවස  තමා හා සුහද වූ දමයන්තිම බවට  වූ වැදගත් සාක්ෂි ද ඉවත දැමීමට  නොහැකි විය. එහෙත් ඇගේ රෝස පැහැගත් සිහින් දෙතොල පවා මේ වන  විට පුළුල් වී තිබූ අතර එහි තුනී තොල් ආලේපනයක් ද ගල්වා තිබිණ. එදා දමයන්තිගේ සිනාවේ පැවැති සිරියාවන්ත බව ද දමයන්ති නම් වන මෙම කාන්තාව ගේ සිනාවෙන් ප්‍රබල ලෙස මතු වූ බවක්  තිලක්ට  නොපෙනිණි.
  
" මට නම් ඔයාව මෙහෙම දකින්න ලැබුණු එක හීනයක් වගේ දමයන්ති. අපි ඒ කලේ හිතුවද අපි දෙන්නට තව අවුරුදු විසි හතරකින් මෙහෙම මේ විදිහට  මුණ ගැහෙන්න සිද්ද වෙයි කියලා’‘ දමයන්තිගෙන් ආගිය තොරතුරු විමසීමෙන් පසු තිලක්  කීවේය.
 
" මේ හැම දෙයක්ම හීන තමයි මිස්ට සේනාසිංහ. ඒ කාලේ මම ඔය හීනේ දැක්කා. ඊට පස්සේ තවත් හීන දැක්කා. දැන් නම් දකින්නේ දරුවන්ගේ අනාගතේ ගැන හීනේ විතරයි. හීන කියන ඒවායේ හැටි එහෙම තමයි මිස්ට සේනාසිංහ පෙනුණට පස්සේ ඒවා ඉබේම මැකිලා යනවා.’‘ දමයන්ති දුක්මුසු සිනාවක් මුවට නංවා ගනිමින් කීවා ය.
 
" ඉතින් ඇයි ඔයා මට මිස්ට සේනාසිංහ කියන්නේ. ඉස්සර වගේ මට ප්‍රියන්ත කියන්නකෝ"  
 
තිලක් වැඩි දුර දිගක් නොතකා එසේ කීයේ පැරණි දමයන්ති සම්බන්ධයෙන් තමන් තුළ පවතින සුමධුර ස්මරණය යළි මුදුන්පත් කර ගනු පිණිස ය.
නමුත් ඔහුගේ ඒ පැනය හමුවේ මඳ වේලාවක් තම දෙතොල තරයේ තද කරගෙන සිටි දමයන්ති අනතුරුව  රහසින් මෙන් මෙසේ කීවාය.
 
" It was you who were late. not me. You are the one who started this late. If not I would have called you by your first name"
(ඔයා පරක්කු වුණා.මම නෙවෙයි. ඔයා තමයි මේ ප්‍රමාදය පටන් ගත්තේ. එහෙම නොවුණා නම් මට ඔයාගේ මුල් නමින්ම කතා කරන්න තිබුණා)
avatars 2rBv6j58uyFUFryb 4Y6VyQ t1080x1080
 
දමයන්ති ගේ ඒ ප්‍රකාශය තමා වෙත  එල්ල කළ ඉතා සියුම්  රිදවීමක් විය හැකිය යන අනුමානයෙන් යුතු තිලක්  "ඒත් මම ඔයාට දමයන්ති කියලා කතා කරන්නම්. මං කැමති එහෙම තමයි " යනුවෙන් පැවසීය . එවිට දමයන්ති දුන් කෙටි පිළිතුර වූයේ "If you like " (ඔයා කැමති නම්) යන්න පමණි.
 
ඔවුන් දෙදෙනාගේ එම හමුවීම විනාඩි දහයකට පහළොවකට සීමා වූ අතර ඉන්පසුව වරක් හෝ දෙකක් දමයන්ති හා තිලක්  අතර දුරකථන සංවාද ඇති විය. ඒවා මඟින් තම දරුවන්  සම්බන්ධ තොරතුරු සහ ඔවුන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ ආදිය පැවසීමට ඇය වැඩි කැමැත්තක් දක්වන බව පෙනුණි.  නමුත් 1979 වසරේ දී තමාට  හමු වූ දමයන්ති නම් අහිංසක තරුණිය හා  2003 වසරේ දී  හමු වූ දමයන්ති නම් මෙම  මැදිවියේ කාන්තාව එකම ගැහැනියක බව  සිතනවාට වඩා ඒ නම් කාන්තාවන් දෙදෙනකු බව සිතන්නට තිලක්ට සිදුවිය.
 
දැනුදු තිලක්  කුරුණෑගල නගරය හරහා ගමන් කරන  සෑම විටෙකම පුත්තලම පාර අයිනේ පිහිටා ඇති කාර්මික විද්‍යාලය දකිද්දී එම පැරණි සිදුවීම් දාමය තුළින් එදා දමයන්ති මතු වී එනු ඔහු දකී. නමුත් ඔහු මනසින් එසේ දකින්නට කැමැති වූයේ 1979 දී හමු වූ දමයන්ති නම් සිහින් තරුණිය මිස 2003 වසරේදී හමුවූ දමයන්ති නම් මැදිවියේ කාන්තාව නොවේ.
 
ඒ අතරේ වැහැර පසු කරන විට 1979 වසරේ තමන් නතර වී සිටි "ජයසොමි" නිවස එදවස තිබූ ලෙසින්ම ඔහුට දක්නට ලැබෙයි. එහෙත්, එදා එහි හිමිකරුවන්ව සිටි  ප්‍රනාන්දු පවුලේ සත්පුරුෂ සාමාජිකයන් අද ඔහු දකින්නේ නැත. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ ගත වූ කාලය තුළ වල් බිහිව තිබී මේ වන විට පෙර පාසලක් ලෙස පුනර්ජීවනයක් ලබා ඇති  ජයසොමි නිවසයි. ප්‍රනාන්දු යුවළ නම් මේ වන විට ජීවිත්ව සිටී ද යන්න සැක සහිත ය. තිලක්ගේ  සම වයසේ සිටි ප්‍රනාන්දු පවුලේ රූමත් දියණියත්, ඇගේ වැඩිමහල් සොහොයුරා සහ සොයුරියත් කොහේ සිටිනු ඇතිදැයි හෝඩුවාවක්වත් තිලක් දන්නේ නැත. ඇති වීම් නැති වීම් සහ  හමුවීම් වෙන්වීම්වලින් පිරි මේ ජීවිත ගමනේ ස්වභාවය එයයි."හීන කියන ඒවායේ හැටි එහෙම තමයි මිස්ට සේනාසිංහ පෙනුණට පස්සේ ඒවා ඉබේම මැකිලා යනවා.’‘යනුවෙන් අවසන් වරට හමු වූ මොහොතේ දමයන්ති කී වදන් ඔහුට කිසිදා අමතක නොවේ.
 
තවත් කොටසකින් යළිත්  හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි) | The Leader